Tuesday, July 31, 2018

මතකයෙ තියන දේවල් මකල දැම්මට හදවතේ තියන දේවල් මකල දාන්න පුලුවන් ද? Eternal sunshine of the spotless mind (2004)


මිනිස්සු ජීවත් වෙන්නෙ මතකයන් එක්ක. ගොඩක් වෙලාවට අපි කෑවට බිව්වට හුස්ම ගත්තට ජීවත් වන බව දැනෙන්නෙ නම් මතකයන් නිසා කියන කාරණයට වැඩි දැනා එකඟ වේවි. එ් තරමට මේ මතකයන් මනුස්ස ජීවිතයට සමීපයි. සමහර මතකයන් හරි සුන්දරයි. විශේෂයෙන් ළමා කාලය ගැන කතා කරද්දි. විශාල ආදරයකින් අපිට එ් කාලය ගැන කතාකරන්න පුලුවන්. මොකද ඉතා ම සුන්දර මතකයන් විදිහට එ් දේවල් අපි ගාව තවම ඉතිරිවී තියන නිසා. නමුත් හැම මතකයක් ම එහෙම සුන්දරයි කියන්න බෑ. සමහර දේවල් තියනව ඒක එහෙම නොවුණනම් කියල හිතන. එ් සිද්දිය නැත්තම් එ් පුද්ගලය මගෙ මතකෙන් අයින් කර දාන්න පුලුවන් නම් මම එහෙම කරනව කියල සමහර අය මාත් එක්ක කියා තියනව. ඇත්තටම එහෙම තෝරාගත්ත මතකයක් අපිට සදහටම මකා දමන්න පුලුවන් නම් ඒක මොනවගේ වේවි ද... මෙහෙම හිතන්න..ඔයා මොකක් හරි ක්‍රමයකින් යම් කෙනෙක්ව ඔයාගෙ මතකෙන් අයින් කරදානව.දැන් ඔයාගෙ ජීවිතේ එහෙම කෙනෙක් ඉඳල නෑ. ඒත් අර පුද්ගලය ආයෙත් ඔයාගෙ ජීවිතේ ඇතුලෙ මුණගැහුණොත් අර අමතක කළ සිදුවීම ම නැවතවාරයක් නොවේවි කියාල ඔයා සහතික වෙන්නෙ කොහොමද? Eternal sunshine of the spotless mind කියන්නෙ එහෙම මතකය ඉවත් කළ පුද්ගලයන් කීපදෙනෙක් ගැන කතාවක්.

ජොඑල් කියන්නෙ බොහොම තැන්පත්, නිවිච්ච ගතිගුණ තියන, වැඩි කතාබහක් නැති චරිතයක්, දවසක් අහම්බෙන් වගේ මුණගැහෙන ක්ලෙමෙන්ටයින් කියන තරුණිය එක්ක ජොයෙල් සම්බන්ධතාවක් ඇති කරගන්නව. ක්ලෙමෙන්ටයින් නම් ජොයෙල් ගේ සම්පූර්ණයෙන් අනික් පැත්ත. ක්ලෙමෙන්ටයින් ආවේගශීලී ඉක්මණින් ම කේන්ති යන එසැණින් ආපහු නිවෙන උතුරා පිටාර යන චරිතයක්. ඉතින් මේ සම්බන්ධතාවය පීඩාකාරී තැනකට එන එක අරුමයක් නැහැ කියල හිතන්න පුලුවන්. ඒත එක අතකට බැලුවම හැම සම්බන්ධතාවක් ම එහෙමනේද කියන කාරණාව තමා මතුවෙන්නෙ. ඉතින් ජොයෙල් එක්ක තියන සම්බන්ධතාව අවසාන කරන්න හිතන ක්ලෙමෙන්ටයින් තීරණේ කරන්නෙ ඔහුව සදහටම තමන්ගෙ මතකයෙන් මකා දමන්න. ඒත් ඒක කරන්නෙ කොහොමද? මතකය මකන්නෙ මෙහෙමයි. ඒ වෙනකොට හොවාඩ් කියන එක්තරා වෛද්‍යවරයෙක් මතකය මකා දමන උපකරණයක් නිර්මාණය කරල තියනව එතනදි කරන්නෙ අදාල පුද්ගලයාට සම්බන්ධ හැම දෙයක්ම හැමතැනක්ම ඡායාරූපයට අරගෙන ඒ දේ දකිනකොට පුද්ගලයාගෙ මොළයේ ක්‍රියාත්මක වෙන තැන් හොයල ඒ තැන් වෙනස් කිරීමෙන්. එතකොට අදාල පුද්ගලයාට සම්බන්ධ හැම මතකයක්ම  මොළයෙන් ඉවත් වෙනව. ඉතින් ඉන්පස්සෙ ජොඑල් දකින්නෙ දිසි දාක තමන්ව දැක නැති තමන්ව නාඳුනන ක්ලෙමෙන්ටයින් කෙනෙක්ව. මේ වගේ අවස්ථාවක ඔහු පත්වෙන්නෙ මොනවගේ තත්ත්වයකටද කියල අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ නෙ. මේ වේදනාවෙන් ගොඩ එන්න ඔහු කරන්නෙ ඇයවත් මතකයෙන් මකා දැමීම. මතකය මකන කණ්ඩායමේ තරුණයින් දෙදෙනාත් තරුණියකුත් ජොයෙල්ගෙ ගෙදරටම ඇවිත් තමන්ගෙ මෙහෙයුම ආරම්භ කරනව. චිත්‍රපටය වෙනස්ම මානයකට යන්නෙ මෙතනදි. ජොඑල් සිහි නොමැති තත්ත්වයෙ හිටියත් ඔහුගෙ අවිඥානය තවම අවදියෙන්. ඉතින් ඇය ගැන මතකය ටිකෙන් ටික මැකී යද්දි ඈ ගැන මතකය රැකගන්න ජොඑල් ඔහු ඇතුලේම සටන් කරනව. මතකය පණ ඇති වස්තුවක් විදිහට අපි ඉස්සරහට ඇවිත් ඒ මතකය වෙනුවෙන් ඔවුන් කරන සටන තිරය මත ඇඳෙන්නෙ නැවුම් ආකාරයකට. මෙතනදි රූප රාමු පෙළගස්වල තියන විදිහ සහ කතාවෙ ගලා යාම සම්මත ආකාරයෙ බැහැරව යම් ඉන්ද්‍රජාලික ස්වරූපයකින් පෙනවන නිසා නුහුරු බවක් දැනුණත් කතාවෙ යටි පෙළ ගැන මෙතනින් මතු කරන්න හදන කාරණාව ගැන සංවේදීතාවකින් බැලුවොත් ඒ ගතිය මගහරවා ගන්න පුලුවන් වේවි. මේ අතර මතක මකා දමන කණ්ඩායමේ තරුණ තරුණියන් අතරෙත් සිදුවීමක් පසුබිමෙන් අපිට දකින්න ලැබෙනව. ජොයෙල් ගේ මේ උත්සාහය අවසානෙ සර්ථක වේවි ද?

Jim Carry සහ Kate Winslot  මේ චිත්‍රපටයෙ ජොඑල් සහ ක්ලෙමෙන්ටයින් විදිහට රංගනයේ යෙදෙනව. චිත්‍රපටය රූගත කරද්දි Jim සහ Kate අතර හුවමාරු වන සමහර දෙබස් ඒ මොහොතෙම ඔවුන් අතරෙන් මතුවුණ ඒව බව තමයි සඳහන්  වෙන්නෙ. මේකෙ දෙබස් ගැනනම් විශේෂයෙන් සඳහන් කරන්න ඕන, හොයාගෙන ගිහින් නැවත් නැවත කියවන්න හිතෙන තරම් දෙබස් මේ චිත්‍රපටයෙ අහන්න පුලුවන්. Kate Winslot තමන්ගෙ කැමතිම රංගනයක් විදිහට මේ චිත්‍රපටය හඳුන්වා දෙනව. මෑතක බලපු චිත්‍රපට වලින් මමත් පුද්ගලිකව වැඩියෙන් කැමති වුණ චිත්‍රපටයක් විදිහට හඳුන්වා දෙන්න පුලුවන්. ජොඑල් සහ ක්ලෙමන්ටයින් මගේ මතකයෙ මකන්න බැරි බොහොම ආදරණීය තැනක සටහන් වුණ බව කියන්න කැමතියි.






Monday, July 30, 2018

රෑනෙන් මිදුණු කුරුල්ලෙක්



අත්තටු සලසලා මීදුම් සළු   අතරේ
සිත්ලෙස නැගූ ගී හඬ නිලඹර ඉතිරේ 
එක්වී පියාඹන සියොතුන් කැළ අතරේ
නුඹ පමණක් තනිව කොයි යනවද මිතුරේ

රතු හොට අයා ඒ සියොතුන් නගන නද
රසබර නුඹෙ හිතට මිහිරක් නොදෙනවද  
තනිව පියාඹන තටුදෙක රිදෙනවද
කුරුල්ලෝ නුඹට තනිකම දැනෙනවද

මිතුරන් සමග පියඹායන විට රෑනේ
උන් යන තැනක මිස වෙන ගමනක් නෑනේ
උන් හා සම නොවෙති නුඹ දකිනා හීනේ
නුඹෙ හිත රැඳී ඇත තුරු වදුලක් ගානේ

සාර ඵලය අඹ දඹ තුරු සිනා සලා
මීර ජලය ඇල දොළ කඳු පිටින් හලා
සාර උයන් නුඹෙ මිතුරන් පසු කලා
නෑර තුටින් යනවද යලි එදෙස බලා

සුන්දර බව නොදන්නා රුදු හිත් අතර 
ඉන්නෙද කෙලෙස අත්තටු විදහා නිතර
සුන්දර වන මලක් අසලින් වී නතර
ගින්දර නිවාගෙන ඉඳපන් මගෙ මිතුර

2016/07/29






Tuesday, July 24, 2018

සුහදිනි


සුහදිනි..
අතින් අත පැටලුණ සැණින්
යලි ලිහී යාමට නියමිත බැවින්
අප දෑත් පැටලිය යුතු නැත...

එක අඩැසි බැල්මකින්
සහසක් ගිනි පුළිගු දැල්විය හැකි බැවින්
නිතර අප දෑස් මුණගැසිය යුතු නැත....

සිනිඳු මුදු තෙපුලකින්
හද බැමි දෙදරා පිටාරව යා හැකි බැවින්
රළු බසින් ඇමතුවද කම් නැත.....

විලවුන් සුවඳ අහුරකින්
මට මා ද අමතක විය හැකි බැවින්
මඳක් ඈතින් හිඳිනු කම් නැත....

වැළඳගැනුමක මුදුව සිප ගැනුමක
විස මුසුව තිබියහැකි බැවින්
එවැනි දෑ අප අතර සිදුවීම සුදුසු නැත...

සුහදිනි.....
ප්‍රේමය නම් "ප්‍රේමය" ම මිස
"වෙනත් නම්" ඊට තිබිය යුතු නැත..

2017/07/25





Monday, July 23, 2018

සඳුදා


බරැති හදවත් වලට
හිස තබා වැතිර 
දුර ගමන් බස් වල නැගී
ගමන්මළු එයි කොළඹ






Friday, July 20, 2018

නාඳුනන සහෝදරයා - Rain Man (1988)


අපි පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ විකාශය වුණ නමයයි පහ වැඩසටහන ගැන ආයෙමත් කතාබහක් ඇතිවුණේ ඒ වැඩසටහන ඉදිරිපත් කරපු නිවේදක මහත්මයගෙ අභාවයත් එක්ක. නමයයි පහ කිව්ව ගමන් මතක් වෙන්නෙ ඒ වැඩසටහන ආරම්භයෙ විකාශය වෙන සංගීත ඛණ්ඩය. Rain man චිත්‍රපටය බලද්දි මේ අපූරු සංගීතය ආයෙමත් මට ඇහෙන්න පටන්ගන්නවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි Rain man චිත්‍රපටයෙ තේමා සංගීතය.අප්‍රිකානු සංගීතයත් 80 දශකයටම අනන්‍ය electronic නාදමාලාවනුත් එක්ක තමා Hans Zimmer මේ සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ. මුලු කතාවම පැත්තක තියල සංගීතය විතරක් අහන් ඉන්න හිතෙන වර්ගයේ  චිත්‍රපට අතලොස්සක් අතරින් එකක් විදිහට මට Rain man හඳුන්වන්න පුලුවන්.

චිත්‍රපටයෙ කතාව මේ වගෙයි. ඇමරිකාවෙ Los Angeles නගරෙ ජීවත් වෙන චාලි බැබිට් (Charlie Babbit) කියන්නෙ මෝටර් රථ ආනයනය කරල නැවත විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණයෙක්. තව තවත් ව්‍යාපාරය දියුණු කිරීම, තව තවත් වැඩියෙන් මුදල් ඉපයීම තමා චාලි ගෙ ජීවිතයෙ එකම අරමුණ. චාලි කියන්නෙ යාන්තම් තරුණ වයස එද්දිම ගෙදරින් පිටවෙලා ඇවිත් තමන්ගෙම ජීවිතයක් හොයා යන පුද්ගලයෙක්. මේ අතර චාලිට දැනගන්න ලැබෙනව ඔහායෝ පළාතෙ ඒ කියන්නෙ ඇමරිකාවෙ අනිත් කොණේ ජීවත්වෙන තමන්ගෙ පියාගෙ මරණය. චාලි කියන්නෙ කොහොමත් දෙමව්පියන් එක්ක වැඩි සම්බන්ධයක් ඇති පුද්ගලයෙක් නොවුනත් ඔහු තීරණේ කරනව අවසන් කටයුතු වලට සහභාගි වෙන්න. ඒ වෙන දෙයක් නිසා නෙමේ පියාගෙ උරුමය වුණ අති විශාල දේපොළ තමන්ට ලැබේවි යන විශ්වාසයෙන්. අවමඟුලට සහභාගි වෙන චාලි ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්නෙ පියාගෙ අන්තිම කැමත්ත අනුව තමන්‍ට ලැබෙන්නෙ පරණ කාර් එකකුත් රෝස මල් පඳුරු කීපයකුත් පමණක් බව දැනගැනීමෙන්. අන්තිම කැමති පත්‍රයට අනුව ඩොලර් මිලියන තුනක විශාල දේපළක හිමිකාරයා විදිහට නම් කර තියෙන්නෙ කවුද කියන කාරණය හොයා යන චාලි දැනගන්න ඒ උරුමකාරය ජීවත් වෙන්නෙ මානසික රෝහලක බව. චාලි මේ පුද්ගලයව හොයාගෙන මානසික රෝහලට යනව. රේමන් බැබිට් Raymond Babbit කියන මේ පුද්ගලය වෙන කවුරුවත් නොවෙයි කුඩා වයසෙදිම තමන්ගෙන් වෙන් කළ තමාගෙම වැඩිමල් සහෝදරය බව චාලි දැනගන්නව. රේමන් "ඔටිසම්" කියන තත්ත්වයෙන් පෙළෙනව. මේ ඔටිසම් වැළඳුන අයගෙ සන්නිවේදන හැකියාව, තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඉතා අවමයි. මේ නිසා රේමන් බැබිට් සෑහෙන වයස මනුස්සයෙක් වුණත් හැසිරීම් අතින් නොදරුවෙකුට සමානයි. කොහොම වුණත් චාලිගෙ අවධානය යොමු වෙන්නෙ ඩොලර් මිලියන ගණනක් තමන්ට ලබාගැනීම ගැන විතරයි. මේ නිසා පිටස්තර ලෝකය ගැන කිසිම විදිහකින් අවබෝධ කරගන්න හැකියාවක් නැති තමන්ගෙම සහෝදරය ව මානසික රෝහලෙන් හොර රහසෙම පිටමං කරගන්න චාලි  ඔහුවත් අරගෙන ඇමරිකාව හරහා ආපහු L.A එන්න පිටත් වෙනව. ඒක දින ගණනාවක් ගතවෙන දිග ගමනක්. ඒ අතරෙ ‍රේමන් ගැන ඉතාම සුවිශේෂ සොයාගැනීම් කීපයක් කරගන්න චාලි සමත්වෙනව. 

Raymond Babbit ගෙ චරිතය රඟදක්වන Dustin Hoffman ගෙ රංගනය චිත්‍රපටය බලන කෙනෙකුට ලේසියෙන් අමතක වෙන එකක් නොවේ. ඔටිසම් තත්ත්වයෙන් පසුවන කෙනෙකුගෙ හැසිරීම් අධ්‍යනය කරන්න ඔහු අවුරුද්දක පමණ කාලයක් එවැනි අය එක්ක ගතකර තියනව. ඒ උත්සහයෙ ප්‍රතිඵල විදිහට ඒ අවුරුද්දෙ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇතුළු ප්‍රධාන පෙලේ සම්මාන ගණනාවකින් Dustin Hoffman පිදුම් ලබනව. මානසික රෝගියෙක් විදිහට ඔහු මේ චිත්‍රපටයෙ කරන රඟපෑම ඒ තරම් අපූරුයි. ඒ වගේම Charlie  ගෙ චරිතය නිරූපණය කරන Tom Cruise ගෙ රංගනයත් අමතක කරන්න පුලුවන් එකක් නෙමෙයි.

චිත්‍රපටය Raymond  ගෙ චරිතය මුල් කරගෙන ගොඩනැගී තිබුණත් Charlie ගේ කතාවත් ඊට සමගාමීව පසුබිමෙන් ගොඩනැගෙනව. චාලිගෙ ස්වරූපය බැලුවමත්, කොණ්ඩ විලාසිතාවෙන් පවා, ඔහු නිරූපණය කරන්නෙ නූතත්වය වැළඳගත්ත තාරුණ්‍යය. පුලුවන් තරම් මුදල් ඉපයීම සමාජයෙ තව තවත් ඉහළට යෑම, මේව තමා චාලිගෙ ජීවිතේ තේමාවන්. ඒත් ඒ අතරෙ තමන්ට වැදගත් යමක් ජීවිතේ මගහැරෙන බව ඔහු දකිනව. ඒ තමාගෙ මානසික රෝගී සහෝදරයා ගෙ ආශ්‍රයෙදි. චාලිගෙ පෙම්වතිය ඔහු හැර ගිහින්, ඔහු දෙමව්පියන්ගෙ ආදරය ප්‍රතික්ෂේප කරන්නෙ කුඩා වයසෙමයි.  ව්‍යාපාර බිඳවැටෙද්දි, අසාර්ථකත්වය තමාව හොයා එද්දි ඔහුගෙ පිහිටට කවුරුත් නෑ.හිතවතෙක් එක්ක වාඩිවෙලා ටිකක් නිදහසේ කතාබහ කිරීම, තවත් කෙනෙකුට සවන්දීම වගේ දේවල් වල වටිනාකම චාලි ඉගෙනගන්නව. නූතනයෙ මිනිස් සබඳතා මැද්දට මුදල් කියන සාධකය පැමිණීමත් එක්ක මනුස්සය කොයිතරම් යාන්ත්‍රික සත්ත්වයෙක් බවට පත්වෙමින් ඉන්නවද කියන කාරණාව තමා මම මූලික වශයෙන් මේ චිත්‍රපටයෙන් දැක්කෙ.    Classic/ Drama වර්ගයේ චිත්‍රපට බලන්න කැමති අයට මේක ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්.








Thursday, July 19, 2018

Wednesday, July 18, 2018

කෙල්ටික් අහමු

Celtic (කෙල්ටික්) සංගීතය කියන්නේ බටහිර යුරෝපයේ (එංගලන්තය, ස්කොට්ලන්තය, 
අයර්ලන්තය, ප්‍රංශයේ සමහර ප්‍රදේශ) ජන වර්ගයක් වුණ Celtic වරුන් ගේ  ජන සංගීතය 
ආශ්‍රයෙන් නිර්මාණය වුණ සංගීත රටාවකට. අපි ගොඩක් ආසාවෙන් බැලුව රොබින්හුඩ් 
කතා මාලාවෙ ඇතුලත් වෙලා තිබුණේ මේ Celtic සංගීතය (රොබින්හුඩ් කතාවට සංගීත 
නිර්මාණය කරන්නෙ Clannad කියන Celtic සංගීත කණ්ඩායම). 


Robin of Sherwood - Now is here by Clannad


Secret Garden - The Rap


Clannad, Secret Garden, The Corrs, Celtic Women වගේ ජනප්‍රිය 
Celtic  සංගීත කණ්ඩායම් රාශියක් ලෝකය පුරා බිහිවෙලා තියනව.  
Deep Purple කියන Rock සංගීත කණ්ඩායමේ Lead Guitar වාදක  
Ritchie Blackmore සහ ඔහුගෙ බිරිද Candice Night එකතු වෙලා1997 අවුරුද්දේ 
Blackmores Night කියන සංගීත කණ්ඩායම පිහිටුවා ගන්නවා. Guitar, Violin, Flute, 
Mandolin, රබානකට සමාන Bodharan වගේ භාන්ඩ කීපයක් තමා ඔවුන් භාවිතා කරන්නෙ. 
මේ තනු වල සරල කම නිසාත් කොහෙන්දෝ වෙනම ලෝකෙකින් ඇහෙනව වගේ තියන
 සුන්දර කම නිසාත් මම නම් ඉහළින්ම මේ සංගීතය රසවිදිනව...

කැමති අයට බාගත කරගෙන අහන්න ලින්කුවක් මේ එක්ක ඇති. 
ඒ එක්ක තියන Coming Home කියන සින්දුව Blackmores Night කණ්ඩායමේ 
2015 අවුරුද්ද‍ෙ ආව Album  එකේ මම කැමතිම තරමක වේග රිද්මයේ එකක්..





Blackmores Night 


Monday, July 16, 2018

කුරුලු යුවලක්

කුරුලු  යුවලක්
ඉහල අඹ අත්තේ
සිරි සිරි හඬින් හඬගා 
මොන මොනවදො මුමුණන...

පෙම්වත් යුවලක්ද ඒ
ළං ලංව උනුනට
රහස් බස් කොඳුරන..

නැතිනම්
අලුතින් කැදැල්ලක් තනන්නට
සවිමත් අතු සොයාගන්නට
තුඩින් ගෙනයා හැකි දර ඉපල්
ඇති යම් තැනනක් වේද ලඟපාතක
කතාවෙනවද උන්...

ඒත් නැතිනම්
අහම්බෙන් මුණගැසී
ජීවිතේ දුක සුසුම සැනසුම
සමසමව බෙදාගෙන
නැවත වෙන්වෙන්ව
පියඹායනවද 
උනුත් 
අපි වාගෙම...





Thursday, July 12, 2018

බස්‍ රියේ යුවතියක්


බස්‍ රියේ
යුවතියක්..

කියවමින්
කෙටිකතා පොතක්..

ඊළඟ නැවතුමෙන්
බැසයාමට නියමිත..






Wednesday, July 11, 2018

හඳුනන්නී ය ඈ ඒ පියාපත් යුගල.


හඳුනන්නී ය ඈ
ඒ පියාපත් 
යුගල....

සැඩ සුළං රැල් පැමිණ 
සිනිඳු පෙඳ අවුස්සන ලකුණු 
වටහගන්නී මැනවින්...

ඉඳහිට
නුහුරු නුපුරුදු තුරකින්
හමන ඉමිහිරි සුවඳක් 
තෝරා බේරා ගන්නීය
කිසි බසක් නොකියාම....

උදෑසන සිට
පෙරඹරින් එන සුලඟ ඉවකර
පෙමින් බැඳෙන්නී ඒ සමඟ...

පහළ අතු කොණක
රිදුම් දෙන දෙපා යුගලට බරව
දැන් දැන්ම ඒ දැයි
මඟ බලන්නී සවස....





Sunday, July 8, 2018

දුම්රියපොළේ මහළු මිනිසෙක්


දුම්රියපොළේ 
මහළු මිනිසෙකි...

කඩල ඇට විසිකරමින්
පරවියන්ට...

දැන් දැන්ම ඒදැයි 
මග බලමින්
දුම්රිය.






Friday, July 6, 2018

හඬවල් දෙකක්

කටහඬවල් දෙකක් තියනව  මම වැඩියෙන්ම ආදරය කරන. කොච්වර ඇහුවත් එපා වෙන්නෙ නැති.

පණ්ඩිත් අමරදේව
කසුන් කල්හාර

කොහේ ඉඳන් ඇහෙනවද කියල හිතාගන්න බැරි අමුතු අමුතු ඉන්ද්‍රජාලික ගුණයක් එක්ක, ජීවිතේ ඕනෑම දුකකින් කලකිරීමකින් ඉන්න මොහොතක වුණත් එකපාරක් ඇහුවාම හිත නිවෙන පුදුමාකාර මැජික් බලයක්  මේ හඬවල් දෙකටම තියනවා....

එක පැත්තකින් ඔහු ගයනවා...

කියඹු වැල් ලිහී ඔබේ
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි. . 

අනික් පැත්තෙන් ඔහු

අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
වැහිදියෙන් දෝවන්න. ..
....................

ඒ හඬින් මෙහෙම ගයනකොට වසන්තය මේ දැන් උදාවෙනව කියල හිතෙන්නෙ නැද්ද...

වසන්තයේ මල්  පොකුරු නෙලා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මග බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා...

එක වසන්තයක
එක රාත්‍රියක
දැනුනා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ...
..........................

යටපත් කල නැත්තම් අමතක කර දැමුව අතීතයක් මේ වචන එක්ක නැවත මතක් නොවුණොත් පුදුමයි.

මේ ගුරුපාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා..

ප්‍රේමයේ මං තලාවේ
පා සටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුනු වග
ඔබට මතකද තවම.....
............................

එක පැත්තකින් ඔහුගෙ හඬ වයලීනයත් එක්ක මුහුවෙලා අපිව අඬවනවා. අනෙක් පැත්තෙන් ඔහුගේ ගිටාරෙ තත් වලින් අපේ හදවත කම්පනය කරනව.

නෙතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ හඬා වැටෙද්දී.....

ආදරයේ කඳු බෑවුම් අතරේ
කඳුලු වලින් ඉපදී
සිනහවේ මියැදී
කඳුලේ ඉපදී  වියැකී
ඒ සුරතල් සිනා....

නීල නුවන් ගැබ ශෝක වලාවෝ
වේදනාව ගෙන..

ඇරඹුමම කඳුලක් වෙලා 
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා.....
...............................

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්...

සීත රැයේ
තනිකම නොදැනේ
මල් වරුසාවේ පාවී එන්නම්...
............................

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ

හෙට අලුත්  අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්..

...............................

අමරදේවයන් ජිවිතයෙන් සමුගෙන ගියත් කසුන් තවම අපි අතර ඉන්නවා. ඉතාම ඉවසීමෙන් සංයමයෙන් නිර්මාණ තෝරා බේරාගෙන ඔහු තව ඉදිරියට යායුතුයි. කොහොම වුණත මේ දෙදෙනාම ජීවත්ව හිටිය කාලෙක මේ හඬවල් අහන්න ලැබෙන තරමට අපි වාසනාවන්ත වෙලා තියනව....




Attachments area


Thursday, July 5, 2018

සයුරක්ව පැවතීම


සයුරක්ව පැවතීම හිතවත
මහ දුක් කඳකි සයුරක් සේම
වෙරළෙ ඔය නට නටා හිටියාට
ඇහෙනවද හෝ හෝ ගගා වැළපෙන හඬ ඈත.

කුස තුළ තබා රැක හිඳ
වෙරළත වැදූ කිරිකවඩි දරු කැල
පයට පාගනකොට
එහෙ මෙහේ යන මිනිසුන් රැළ
සුසුම් නොහෙළා හිඳීමය.

කාලේ් අකාලේ සංවහන සුළං රැළි
කෙහෙවලු කඩාගෙන ගොඩ වදිනකොට
දිය බිදක් දී උන් හැම
පිපාසා නිවීම ය.

පෙරදිග අපරදිග
ගලාබස්නා මහා ගංගා
සම හිතින් පිළි ගැනීමය
උන්ට කරදිය අතර
ඉන්ට ඉඩ සැදීමය.

දැල් පුරා එන ඔරු වල
හබල් පහරට නතුවීමය.

දැලක පැටලී මියඇදුන
රන් මසෙකුගෙ මිතුරෙක්
ගමන් සගයෙක්
ඇසින් හැලෙනා කඳුලක් දෙකක්
නොදැනෙන්න පිස දැමීම ය.

රැළි අතපය දිගැර
ගොඩබිම බදා ගෙන වැළද
හඬන්න වුවමනා වූවත්
වෙරළ ඉම නොඉක්මවා හිඳීමය.

සයුරක්ව පැවතීම හිතවත
මහ දුක් කඳකි සයුරක් සේම
වෙරළෙ ඔය නට නටා හිටියාට
ඇහෙනවද හෝ හෝ ගගා වැළපෙන හඬ ඈත.






Tuesday, July 3, 2018

කවි උපදිනා හැටි


වෙහෙසකර දිගු දවසක කෙළවර 
උපයගත් සන්තාප පිරිපත
නෙතග බැල්මන් මදහාස සනහස
සාද කතා වැඩ පොළේ මගතොට
හදවත කළල් ගැඹුරේ
පොහොර වෙයි..

එවන් සිතුවිලි පතුලක 
ලතෙත් සිහිලස විඳ විඳ
අලුත් කවියක ලා දළු
පැන නැගෙයි..

බිහිවුණු එවන් කවි පැළ
අතරෙන් එකක් ඉඳහිට
අතු ඉති දමා කදිමට
ගසක් ලෙස මතුව එයි.....

එ ගසේ අතු රිකිලි අග
නොයෙකුත්  වර්ණ පැහැ ගෙන
ඉමිහිරි සුවඳ විහිදන
දහසක් මල් පිබිදෙයි.....

පිපුණ මල් සුවඳ ඉවකර
නන් දෙසින් වන බිඟුන් සපැමිණ
උරා බී මකරන්ද මී විත
තුටුව ඉගිල යයි....

සියුම් පෙති  හලා එකිනෙක
මිලින මල් වැටෙයි ගස මුල
මලක රොන් සුවඳ ඉමිහිර
සෙමෙන් මැකී යයි..

එ අතර
රන් පැහැය තවරා උදාගිර
මීදුම් සේල සළු මෑත් කර
තවත් එක දවසකට 
හිරු නැගෙයි.

2017/07/03







Monday, July 2, 2018

දොර ජනෙල් හැර තබමි


දොර ජනෙල් හැර තබමි
ඔබ කැමතිනම්
පිටව යා හැකි.

ඉන් පසුව
අයාලේ යන සුලං රැලි
ආයෙමත් ඇතුලට හමාවි.

මග වැරදුන
සමණලයෙක් දෙන්නෙක්
ඉඳහිටකවත්
ඇවිදින් යාවි.

සඳ එලිය පමණක්
තිත්ත කලුවර රෑකට
එළිය දී ලඟ හිඳීවි.

මිතුරු අකුරක් දෙකක්
එකිනෙක පැටලී ආයෙමත්
පුරුද්දට කවි ලියවේවි.