Saturday, March 30, 2019

ස්වර්ගයේ සිට වැටෙන කඳුළු - Tears in heaven



ඒ සිද්ධිය වෙන්නෙ 1991 මාර්තු මාසෙ 20 වෙනිද. එරික් ක්ලැප්ටන් ගේ බිරිද ලෝරි අවුරුදු හතරක් වයස පුංචි පුතා කොනර් එක්ක නිව් යෝක් නගරේ සුවිසාල නිවාස සංකීර්ණයක ලෝරි ගෙ මිතුරියක් වාසය කළ නවාතැනට එන්නෙ එදා තමයි. එරික් ක්ලැප්ටන් කියන්නෙ බටහිර රොක් සංගීතයේ දැවැන්තයෙක් වගේ ම එදා මෙදා තුර ලෝකෙ බිහිවුණ හොදම ගිටාර් වාදකයෙක්. ලෝරි ගෙ මිතුරිය වාසය කළේ නිවාස සංකීර්ණයේ 53 වෙනි තට්ටුවේ. යම් කටයුත්තකට පිටතට ගිහින් හිටපු එරික් එතැනදි ඔවුන් මුණගැහෙන්න නියමිත වෙලා තිබුණා. පුංචි කොනර් මග බලා හිටියෙ තාත්තගෙ අතේ එල්ලිල ඇවිදින්න යන්න. ඇත්තටම හැම කෙනෙක්ම හිටියෙ සතුටින්. නමුත් පොඩි වැරැද්දක් වෙලා තිබුණ. නවාතැන සුද්ද පවිත්‍ර කළ පිරිසිදු කිරීමේ සේවකයෙකුට කාමරයක තිබුණ විශාල ජනේලයක් වහන්න අමතක වෙලා තිබුණ. ඉතින් ඔය අතරේ ලෝරි නාන කාමරයට ගියේ දරුවා බලාගන්න ගැහැණියටත් ගෙදර වැඩ කරන සේවිකාවටත් දරුවා ගාවින් මොහොතක් වත් හෙල්ලෙන්න එපා කියමින්. නමුත් දගකාර  පුංචි කෝනර් හිටියේ නිවස පුරා ම දුවපනිමින්. විවර වෙලා තිබුණ ජනේලෙ ලගට ගිය කෝනර් ඉන් පහලට එබුනේ කවුරුත් හිතාගන්නත් කලින්. එකවරම සබරතාව ගිලිහි ගිය පොඩි දරුවා ජනේලෙන් එළියට වැටෙනව. ඔව් තට්ටු 53 කින්.!! කැල්ප්ටන් නවාතැනට එන්නෙ එදා හවස. සිද්දිය දැනගත්තට පස්සෙ ඔහුට වුණේ මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ. ඇත්තටම ඔහු එයින් දරුණු විදිහට කඩාවැටුණ. දරුවා ඉපදෙන්න කලින් තදින්ම මතට ඇබ්බැහිව සිටි එරික් ඒ දේවල් වලට තිත තියන්නෙ පුතා නිසාමයි. තම දරුවාට හොඳ පියෙක් වීම තමා ඔහුගේ සිහිනය වෙලා තිබුණෙ. ඉතින් ඒ බිඳ වැටීම සුලුපටු එකක් නෙමෙයි. ඒ කම්පනයෙන් ගොඩ එන්න ඔහුට සෑහෙන කාලයක් ගතවෙනව. සුව වීමේ කාලය අතරයි ක්ලැප්ටන් අතින් Tears in heaven ගීතය ලියවෙන්නෙ...


හදුනාගත හැකිද දවසක
ස්වර්ගයේදී දුටුවොත් මා ඔබ

Would you know my name
If I saw you in heaven

දැනේවිද මට මෙන් ඔබටද එය
ස්වර්ගයේදී හමුවුණොත් ඔබ මට

Would it be the same 
If I saw you in heaven

තවත් සවිමත්විය යුතුය මා
එලෙසින් පැවතිය යුතුය මා

I must be strong
and carry on

දැනසිටින බැවින් මම තවම 
අයිති නොවන බව ස්වර්ගයට

Cause I know I don't belong
here in heaven

කාලයට හැකිය ඔබ බිම හෙලනට
ඔබේ දෙපා අඩපණ කර

Time can bring you down
Time can bend your knees

කාලයට හැකිය බිද දමනට ඔබ හදවත
අනුකම්පා අයැද සිටියද ඔබ
අනුකම්පා අයැද සිටියද

Time can break your heart
Have you begging please
begging please..

සැනසුමක් ඇතිබව දනිමි
මේ දොරෙන් එපිට

Beyond the door
There's peace I'm sure

සැබවින්ම මම දනිමි එය
ස්වර්ගයේදී තවත් කදුලු නොහැලෙන බව

And I know there will be no more
tears in heaven..

***********************

2019 මාර්තු 30 එරික් ක්ලැප්ටන් තමන්ගෙ 74 වෙනි උපන්දිනය සමරනව. Wonderful tonight, Layla, While my guitar gently weeps, White room, Crossroads වගේ අමරණීය ගීත රාශියක් එරික් නිර්මාණය කර තියනව. Rock ගිටාර් වාදනයේ මගේ ලෝකයේ අංක 1 තමයි ඔහු. The Beatles කණ්ඩායම එක්ක ඔහු while my guitar ගීයේ solo කොටස වාදනය කරද්දි ගිටාරයෙන් නික්මෙන රොක් සංගීතෙ සැබෑ මිහිරියාව මම විඳිනව. ඒ වගේම crossroads ගීයේ solo වාදනය මෙතෙක් නිර්මාණය වුණු හොඳම rock solo වාදනයක් විදිහට හඳුන්වනව. අතැඟිලි තුඩින් විදුලි ගිටාරේ තත් පිරිමදින් ලෝකයක් රසවත් කරන මේ සුන්දර මිනිසාට සුබ උපන්දිනක් පතන්නෙ විශාල ආදරයකින්.







රළ


රිදෙන බිඳෙන වාරයක් පාසා
පතුලක සිත
ප්‍රදීපාගාර පාමුලට
දිව එයි රළ..



Friday, March 29, 2019

පියාඹා ගිය ගී කිරිල්ලිය



ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙබරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා

************************************

මාලනී බුලත්සිංහල නම් ඇය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව ගණනින් අතිමහත් නොවූවද රසික හදවත් වල ඇගේ නාමය සදානුස්මරණීය වීමට ඈ ගැයූ අමයුරු ගීත ස්වල්පය ම සෑහේ ය. ඇගේ සමකාලීනයන් වූ ප්‍රේමකීර්ති ද අල්විස්, ලූෂන් බුලත්සිංහල වැනි විශිෂ්ඨ ගණයේ ගී පද රචකයන් ගේ අරුත් සරු පද රචනාද, ප්‍රේමසිරි කේමදාස වැනි අග්‍රගන්‍ය සංගීතඥයෙකු සෙවණෙහි ලැබූ පුහුණුව ද ඇගේ ගීය මැනවින් ආලෝකමත් කළේ ය. එනමුදු ඈ හුදු ගායිකාවක පමණක් නොවූවාය. ඈ උණුවන හදක් තිබූ සෑබෑම මිනිස් දුවක බව කේමදාසයන් ම වරක් පවසා ඇත..

*************
බිඟු තුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්.....

*************
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී....

හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
සිත මගෙ බොලඳ වෙලා
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා.....

**************
සෙවණැලි නොමැකේ නම් 
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා...

දම් පාටින් ලා සඳ බැස යනවා 
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....

**************

හිස ගවසන්න ගෙනා - සමන් පිච්ච පොකුරු කඩා
අහසට විසිකෙරුවා මං...
රෑකල අහස බලන ඔබට පෙනේවී
හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී..

සැන්දෑ අහස වගේ 
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..

**************

අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී...
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී...
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා...
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූදා...

මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා..
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා..
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා...

සම්භෝගය හා විප්‍රයෝගය අතරේ පවතින ප්‍රේමයේ අති සියුම් භාවයන් නිසි පරිදි කැටි කරගත් මේ පද මාලාවන් ඒ හඬින් ගැයෙන කල කෙතරම් මියුරු ද..

*************
හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු...
දෙදෙනාගේම දුක තල්අත්තක ලියමු....
හඳ මාමා අතම ඒ පණිවිඩ යවමු....
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමු....

මා එක්කලා අමනාපව.. වී... දබර....
දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර...

කුටුම්බයෙහි සිදුවන බිඳවැටීමක්, සම්බන්ධතාවයෙහි ඉරිතැලීයාමක් නිමිති කොට ගෙන ප්‍රේමකීර්ති අතින් ලියැවුණු මේ ගීය එම අත්දැකීම ඇතිව හෝ නැතිව, නමුත් පදරුත් විඳිමින් අසන්නෙකු ගේ දෑසින් කඳුලක් නොවැටුණා නම් පුදුම ය.

**************

කිරිල්ලියක් විය තටු නැත ලැබිලා
ඉගිළී යන්නට අහස වටා
ලොව හිනැහෙද්දී දෑස වසාගෙන
දෙපයින් ඇය යයි දෙරණ පුරා....

**************

රජ මැදුරක ඉපදී සිටියානම් 
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී 
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

සමාජ අසාධාරණයට ද නොයෙක් පීඩාවට ලක්වූ මිනිසුන් ද ඇගේ ගීයෙහි ජීවමානව උන් අයුරු අපට අමතක කළ හැක්කේ කෙසේ ද?? 

2001/03/29 දින ඈ අපෙන් බොහෝ ඈතට පියාඹා ගියා ය. අද ඊට දහ අට වසරක් සම්පූර්ණ වේ. අද අප මෙන්ම හෙට උපදින පරම්පරාව ද ඉන් මතු පරම්පරාවල් ද මේ ගීත එකසේ රසවිඳිනු ඇත. ඉතින් මාලනියනි අපි කුමක් කියමු ද.. ජීවිතේ ඉතා දිගු ගමනෙන් විඩාපත් මොහොතක විඳ සැනහෙනු පිණිස අපට ඉතිරි කර තබා ගිය මේ සිහිලැල් ගීත දිය දෝත වෙනුවෙන් ඔබට බෙහෙවින් ම තුති...





Wednesday, March 27, 2019

පහන් පාමුල


බොහෝ දිගු රැය වල
තනිකමේ රුදුරු
ලසෝ දුක් පිසදමා
ළඟින් හිඳ සොඳුරු
හාත්පස එකළු කර
සිය එළිය පැතිරු
පහන් පාමුල තමා
වැඩියෙන්ම අඳුරු..





Monday, March 25, 2019

Gone baby gone (2007)

සමහර චිත්‍රපටි වල අවසානයන් අපිව මොනවත්ම කියාගන්න බැරි තැනකට අරගෙන එනවා. ඇයි එහෙම වුණේ? මේක මීට වඩා හොඳ තැනකින් අවසාන වෙන්න බැරි ද? නැත්නන් මොකක්ද මම මේ දකින්නෙ කියන කම්පනය අවසානෙ ඉතිරි කරනවා. සමහර විට මේ දෙය මෙහෙම සිදුවිය යුතුයි කියල අපි විසින්ම නිර්ණය කරන සීමාවන් ඇතුලෙ නෙමෙයි ඇත්තටම දේවල් සිද්දවෙන්නෙ. හැබෑ ලෝකය එහෙම නැත්තම් අපි අත්දකින යථාර්ථයේ ස්වභාවය ඒකයි. යුක්තිය සහ සාධාරණත්වය කියන මුළු මිනිස් පැවැත්මේ පදනම් පවා ඒ වගෙ අවස්ථාවක දෙදරා යන්න පුලුවන්. ඒ වගේ වඩා නිවැරදි මොකක්ද, අවසානෙ කවුද හරි කවුද වැරදි කියල හිතාගන්න අමාරු විදිහෙ ටිකක් සංවේදී කතාපුවතක් තමා gone baby gone චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ.

Dennis Lehane කියන ලේඛකයාගෙ නවකතාවක් ඇසුරෙන් මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. Patrik කියන්නෙ පුද්ගලික රහස් පරික්ෂකයෙක් වගේම ක්ශේත්‍රයෙ ආධුනිකයෙක්. අතුරුදහන් වුණු පුංචි ගැහැණු ළමයෙක් සොයායාමේ පරීක්ෂණයක් ඔහුට බාර වෙනව. ඇය සොයාගැනීමට ඔහු ගන්න උත්සහය වටා මුලු චිත්‍රපටය ම ගලා යන්නෙ. Patrick ගේ තියන ආධුනික බව මෙතනදි හොඳින්ම පෙනෙනව. උපායශීලී වීමෙන් විසඳාගත හැකිව තිබූ අවස්ථා කීපයක් ආවේගයන්ට යටවීම නිසා ඔහු මගහරවාගන්නව. සාමාන්‍යයෙන් Crime/ Thriller ගණයේ සිනමාපටයක උද්වේගකාරී බව/ ඊළඟට මොකක්ද වෙන්නෙ කියන කුතුහලය මේ චිත්‍රපටයෙ දක්නට ලැබුණත් එය වඩාත් නාටකීය ස්වභාවයකට සමීප වෙනව. ඊට හේතුව මම හිතන්නෙ මේ කතාවට පදනම් වෙන බොස්ටන් නගරයෙ ජන ජීවිතය දිහා වඩා සමීපව බලන්න උත්සහ කරන නිසා කියලයි. කොකේන් වලට ඇබ්බැහි වුණ තරුණ තරුණියන්, මත්ද්‍රව්‍ය ගෙනයන්නන් සහ මිලට ගන්නන්, මේ අය අතරේ අයාලේ යන ළමා පරපුර තමා තමා අපි දකින්නෙ. කොහොම වුණත් චිත්‍රපටය අවසාන වෙන්නෙ බොහෝ දෙනෙකුගෙ ජීවිත වල ඉරණම තීරණය කරන තැනකින්. 

දක්ෂ නළුවෙක් විදිහට ජනප්‍රිය වුණ Ben Affleck තමයි මේ චිත්‍රපටය අද්‍යක්ෂණය කරන්නෙ සහ තිරපිටපත ලියන්නෙ. ඔහුගේම සහෝදරයා Casey Affleck තමයි පැට්‍රික් ගෙ චරිතය නිරූපණය කරන්නෙ. Casey Affleck මෑත කාලෙදි මම වඩාත්ම කැමති වුණු නළුවෙක්. Manchester by the sea චිත්‍රපටයෙන් ඔහු ඔස්කා සම්මානය පවා දිනාගන්නව. ඔහු තව බොහෝම දුර ගමනක් යන්න පුලුවන් නලුවෙක්. ඒ වගේම Ben නලුකම වගේම අද්‍යක්ෂණයත් ඔහුට හොඳින්ම කල හැකි බව පෙන්වා දී තිබෙනව. Gone baby gone ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයෙන්ම හොඳ ප්‍රතිචාර ලබා ගන්නව. වගේම ආදායම් අතිනුත් සාර්ථක වෙනව. Gone baby gone චිත්‍රපටය crime/thriller වගේම සංවේදී කතාපුවතක් නරඹන්න කැමති ඕනෑම කෙනෙකුට නිර්දේශ කරනව.






Tuesday, March 19, 2019

අවසාන මතක


සියුමැලිව
රඳවාගත්
ඇඟිලි තුඩක පහස...

ඉසියුම්ව
ඇදහැලුණ
සුසුමක සුවඳ...

ඒ තමා 
වරා මලක
අවසාන මතක..





Monday, March 18, 2019

දැකල පුරුදු කෙනෙක්


විවාහය කියන්නෙ පුද්ගල අවශ්‍යතාවක් නෙමෙයි. ඒක සමාජ අවශ්‍යතාවක්. ආදරය ලැබීම, සුරක්ෂිත බව, විශ්වාසවන්ත කම.. මේව තමා පුද්ගල අවශ්‍යතාවයන්. මේ පුද්ගල අවශ්‍යතාවන් සපුරාගන්න සමාජය විසින් හදල දුන්න රෙඩි මේඩ් විසඳුම තමයි විවාහය කියන්නෙ. නිදහසේ ගලායන මිනිස් සිතුවිලි මෙහෙම අච්චුවක හිරකරල තිබ්බම සහ එහෙම සීමාවකට කොටුවෙලා හිතන්න මනස පුරුදු වුණාම ඇතිවෙන ගැටලු සහගත තත්ත්වයන් තමා "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටයෙන් අපි දකින්නෙ.

මුලින්ම ස්තූතියි කියන්න ඕන මේ චිත්‍රපටය වෙනුවෙන් දායක වුණු සියලු දෙනාට. රසවිඳින්න පුලුවන්, හොඳ නිමාවක් තියන, ගුණාත්මක බවින් ඉහල සිනමාපට තවත් වැඩියෙන් නිර්මාණය වෙන්න ඕන. අපේ රටේ සිනමාව ගැන සුබවාදීව කතාකරන්න පුලුවන් යුගයක් හැදෙමින් තියෙන එක ඇත්තටම සතුටට කාරණාවක්.

චිත්‍රපටය ගැන කියනවනම් ලොකු කතාවක් නැහැ මේක ඇතුලෙ. විවාහක යුවලක් අතර සිදුවෙන සිදුවීම් කීපයක් මුල් කරගෙන තමයි පැය දෙකක වගේ කාලයක් මුළු චිත්‍රපටය ගලායන්නෙ. විශේෂයෙන් මම මේ චිත්‍රපටයෙ දකින්නෙ සචිත්‍ර, එහෙම නැත්තම් කේන්ද්‍රීය විවාහක පුරුශයා ගේ, ගතානුගතික මනෝභාවයන්. ඔහු නියෝජනය කරන්නෙ, ගැහැණියකගෙ සියුම් බවක් හඳුනාගන්න බැරි, අසංවේදී, තමන්ගෙ බිරිඳ, සැමියා නියම කරන හතර මායිම ඇතුලේ කොටු වෙලා හිර වෙලා ජීවත් විය යුතුයි කියල හිතන, මහන්තත්වයෙන් පිරුණු ලාංකික පිරිමියාව. ඇයගේ සිතුවිලි ඔහුට තේරුම් ගන්න බෑ, ඔහුට ඇයව දරාගන්න බෑ, ඔහු ආදරය හඳුනන්නෙ නෑ, තමන්ගෙ මේ දුර්වලකම් ඔහු වසා ගන්නෙ ඇයට පීඩා කිරීමෙන්. අනෙක් පැත්තෙන් තමන්ට ආදරය නොකරන මිනිසෙක් සමග ජීවත් වීමට සිදුවී තිබෙන ඇය. ඇගේ ජීවිතයේ ආදරය, අනුරාගය අහිමි වීමෙන් ඇතිවුණු හිස් තැන පුරවාගන්න අසාර්ථක උත්සහයක ඈ යෙදෙන්නෙ. කෝපි කෝප්පය තොලගෑමේ දර්ශනය මේකට උදාහරණයක්. කොහොම වුණත් චිත්‍රපටය ගැන වැඩි විස්තර කියන්නෙ නෑ. බලන කෙනෙකුට ඒ කුතුහලය ඉතිරි කළ යුතුයි.

චිත්‍රපටයෙ රඟපෑම් තවත් මාව මේකට ආකර්ශණය කරගන්න හේතුවක් වුණා. විශේෂයෙන් සමාධි ලක්සිරි ගේ රඟපෑම. ඈ දිනිති ගේ චරිතය ඇතුලෙම ජීවත් වුණා කිව්වොත් තමයි වඩාත් නිවැරදි. පීඩාවට පත් ගෘහණියකගේ ජීවිතයේ වේදනාව, බලාපොරොත්තු සුන් වීම, මුහුණෙන් වගේම හැම කුඩා ඉරියව්වකින්ම පවා ඈ ඉතාම හොඳින් නිරූපණය කර තිබුණා. බිමල් නිරූපණය කරන චරිතය ඇතුලෙ යම් ඒකාකාරී ස්වභාවයක් දුටුවත් ඔහු තමාගේ කොටස හොඳින් කර තිබුණා. හැම චරිතයකින්ම, කුඩා චරිතයක් රඟපාන නදී කම්මැල්ලවීරගෙන් පවා හොඳ මට්ටමේ රංගනයක් දැකගන්න හැකි වුණා. ඒ අධ්‍යක්ෂවරයාගේ සමත් කම. ඒ වගේම නොයෙක් ආකාරයේ සංකේත භාවිතා කර බොහෝ දේවල් කියන්න උත්සහ දරන ආකාරය චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්. සමහර තැනක කිසිම දෙයක් නැති තනි සුදු බිත්ති පවා රඟපාන හැටි අපි දකිනවා. කැමරා අධ්‍යක්ෂණයෙත්, තිර රචනයෙත් විශිෂ්ඨතාවයන් තමා මේ වගේ අවස්ථාවල මතු වෙන්නෙ. චිත්‍රපටයෙ තියෙන ලිංගික දර්ශනයෙ හැඟීම් දැනීම් නැති යාන්ත්‍රික බවක් දකින්න ලැබෙනව. ඒ සචිත්‍ර, දිනිති වගේ යුවළකට ලිංගිකත්වය කියන්නෙ ඒ මොහොතෙ ශාරීරික අවශ්‍යතාව ඉටුකරගැනිම පමණක් නිසා ද? , ආදරයක් ඇතුලෙ බෙදාහදාගන්න දෙයක් නොවන නිසා ද? චිත්‍රපටය බලන ඔබම ඒක තීරණය කරන්න.

අද මම චිත්‍රපටය බලපු ජා ඇල ඇමිටි ලයිට් සිනමාශාලාවට නම් සෑහෙන තරම් සෙනඟක් ඇවිත් හිටිය. අද නිවාඩු දවස නිසා වෙන්න ඇති. මම ඒ තරමින් වත් සෙනඟක් ඉඳීවි කියල බලාපොරොත්තු වුණේ නෑ. කොහොම වුණත් ඒක හොඳ දෙයක්. මේ චිත්‍රපටය තවත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕන. මේ වෙනතුරු නොබලපු අයට ඉක්මනින් ම බලන්න කියල ආරාධනා කරන්න කැමතියි.

"දැකල පුරුදු කෙනෙක්" නෙමෙයි. ඇත්තටම මේ අපි මයි ..






Wednesday, March 13, 2019

ප්‍රේමය!


හදක මතුවී නැගෙන ආලය
බිඳවැටී ගිනි දැවෙන ශෝකය
දිනක වූවද විප්‍රයෝගය
සබඳ.... මනරංජිතයි ප්‍රේමය.





Monday, March 11, 2019

ඉතිරි පා සළකුණ


මේ වෙරළ අතහැර
ඔබ නික්ම ගිය පසුව
ගව්ගණනක් ඈතට
කාලය ගත විය
සුළඟක් සේ
කෙහෙරැළි අතරින් හමන..

ඉන්පසුව
තැබිමි
පළමු පියවර..

එහෙත් මේ
ඉතිරි පා සළකුණ
මැකීයනු ඇතිද
රළ පහරට
නැතිනම්
පවතිනු ඇතිද 
මෙතනම
ඊළඟ වසන්තය වනතුරුම..





Wednesday, March 6, 2019

මුහුද එක්ක කබඩි සෙල්ලම - Dear Zindagi


ජීවිතේ කියන්නෙ මුහුද එක්ක කරන කබඩි සෙල්ලමක් වගෙයි....  

ඔයා ඉන්නෙ වෙරළෙ.. රැළි මතුවෙනවා. වෙරළෙ සුදුපාට පෙණකැටි විහිදුවල.. ඔයාගෙ දෙපා මුල දැවටිල.  ඒ රළ ආයෙ මුහුදට යනව...  ඊට පස්සෙ වෙන රළක්... ඒත් ඔයා එතන.. මතුවෙලා මැකිල ගිය දිය රැළක් ගැන දුක් වෙමින්... 

ඒත් ඒක තමයි මුහුදෙ රිද්මය.. ඔය කිසිම රළක් ඔයා ලඟ සදහටම.. සදහටම.. නතර කරල තියන්න බෑ....    ( ටිකක් හිතන්න එහෙම වුණොත් මූද කොයි තරම් ඒකාකාරීද)  ඒ වෙනස, විවිධත්වය එක්ක තමයි මුහුදේ සුන්දරත්වය ඔයා විඳින්නෙ..  ජීවිතෙත් එහෙමයි... නිතර නිතර වෙනස් වෙන ජීවිතේ රැලි දිහා බොහෝම ආදරණීයව බලන්න ඔයා පුරුදු වේවි... අන්න ඒ රිද්මය අල්ල ගන්න.. මුහුද එක්ක කබඩි සෙල්ලම් කිරීමේ රිද්මය....

 තව දුරටත් කණස්සලු බැල්මකින් ඒ දිහා බලබල කාලය නාස්ති කරන්නෙ ඇයි කියා ඔයාට හිතේවි... ඉතින් ආදරණීය ජීවිතය.. කියල හැම දෙයක්ම දිහා අලුත් ඇහැකින් බලන්න ඔයාට පුලුවන් වේවි..

Dear Zindagi මට දැනෙන්නෙ එහෙම.. 






Tuesday, March 5, 2019

නෙතු බැල්ම


බිඳෙන් බිඳ නැගෙන කල වියරු රළ මාරුතය
කොහොම උහුලාගම්ද ගැඹුරු හද සාගරය
තියුණු තුඩු ඇනෙන කල දුක් සුසුම් හී සරය
නුඹේ නෙතු බැල්මකින් කියව ගමි ජීවිතය..






Friday, March 1, 2019

අසුරුසැණින් එක මොහොතක දී

"අසුරුසැණින් එක මොහොතක දී
කාලය නැවතී යළි ඇරඹී........."

ප්‍රියාවිය....
කාලය නම්
ඔරලෝසු කටු අතර නොරැඳී
හිම මෙන් මිදී නතර විය හැකි බවටද
අවකාශයම එක මොහොතක
නොපෙනී සැඟව යා හැකි බවට ද
කියාදිය හැක්කේ ඔබටම පමණි...

එහෙත් දවසක
අහම්බෙන් අප දෑස
මුණගැසුණු මොහොතක
ගෙවුණු තත්පර කීපයක 
ඒ කුඩා අනන්තයටය
මම තවම කැමති...