Wednesday, February 12, 2020

වෛරයේ රත් ඵලය -‍ A Poison Tree

කෝපයෙන් පසු වුණෙමි මම
මගේ මිතුරෙකු සමග
පැවසුවෙමි ඔහුට ඒ බැව්
නිමාවුණි ඉන් මගේ වෛරය...

කෝපයෙන් පසුවුණෙමි මම
මගේ සතුරෙකු සමග
නොකීවෙමි ඔහුට ඒ ගැන
වැඩුණි දින දින මගේ වෛරය...

පොහොණි කර බියෙන්, සැකයෙන්
තෙමාලූයෙමි කඳුළැලි දියෙන්
විසිතුරුව සැරසුවෙමි එය මම
සටකපට සිනා මුදු වදන් වලින්...

දලු දමා වැඩුණි  දිවා රෑ
මගේ වෛරය නොනැවතී
බිහිව එන තුරු ඉන් දිනක්
රත් පැහැති ඵලයක් දිදුළන..

හසුවුණි ඒ රත් ඵලය
මගේ සතුරාගෙ දෑසට
හඳුනගත්තා ඔහු සැණෙකින්
එය අයිති මට වග..

රාත්‍රී අඳුරු සළුවේ
වෙළී සැඟවී ගිය කල මුලු ලොව
රහසේම පැමිණී ඔහු
සොරාගත්තා මගෙන් එය..

උදෑසනින් අවදිව පසුදින
තුටු පහටු වීමි දසුනින් මා දුටුව
දෑත් විදහා මගේ සතුරා
මැරී සිටියා ගස යට.

(William Blake ගේ Poison Tree කවිය ඇසුරෙනි. සිංහල පරිවර්තනය මගෙනි)



6 comments:

  1. බස පෙරළා ඇති අයුරු කදිමයි.

    ReplyDelete
  2. ඉරිසියයි...

    ඔහොම පද ගැලපිල්ලක්
    බැරි නිසා මම..
    කෝපයෙන් පසුවන්නෙමි...

    ReplyDelete
    Replies
    1. හින්දි සින්දුවක පද පෙරළල තිබුණ දැක්ක අපූරුවට :)

      Delete
    2. ඒක හරිම යාන්ත්‍රික අනුවර්තනයක්.. දැනුත් කියෙව්වා... කිසිම ප්‍රේමනීය බවක් නෑනේ අර ඔරිජිනල් පදවැලේ තිබ්බා වගේ...

      Delete
    3. එහෙම දෙයන් නෑ..ඒක ලස්සනයි...වචන තාර්කික පිළිවෙළකට පෙළස්වනවට වඩා හැගීම් මතු වෙන්න දෙන්න..එතකොට යාන්ත්‍රික ගතිය මග ඇරේවි..

      Delete