Friday, February 28, 2020

Starry Starry Night...

වින්සන්ට් වෑන්ගෝ ගැන වර්තමානයේදි නම් නොදන්නා කෙනෙක් නැති තරම්. වෑන්ගෝ නම අසා නැති කෙනෙක් වුණත් ඔහුගෙ Starry Night සිත්තම දැක ඇති. ඔහුගේ යුගයේ ජනප්‍රියව පැවතුණ, මිශ්‍ර නොකරන වර්ණ තිත් වලින් සිතුවම් නිර්මාණය කරන උපස්තිථිවාදී (Impressionism) සිතුවම් කලාව වැඩි දියුණු කරමින්, කෙටි පින්සල් පහර වලින් සිතුවම් නිමවන පශ්චාත් උපස්තිථිවාදය (Post Impressionism) හඳුන්වා දෙන්න පුරෝගාමී වුණ කලාකරුවෙක් විදිහට අද ඔහුව හඳුනා ගැනෙනව. නමුත් වෑන්ගෝ කිසි දවසක කිසිම ආයතනයකින් සිතුවම් කලාව ඉගෙන ගත් අයෙක් නොවෙයි. ඔහු තමන්ගෙ භාවිතාවෙන්ම, ස්වයං හැදෑරීමෙන් ම සිතුවම් කලාව පුරුදු පුහුණු කල පුද්ගලයෙක්. වෑන්ගෝ ගේ ජීවිත පුවත කියවා බලද්දි වැටහෙන කාරණයක් තමා ඔහු ජීවිතය පුරා අසීමිතව ලෙඩ, දුක්, කරදර වලින් පීඩාවට පත්ව සිටි පුද්ගලයෙක් බව. ඔහු සිතුවම් අඳින්න යොමුවුණේ මේ වේදනාවෙන් මිදීමටයි. පසුව එය ඔහුගෙ ජීවිතයම බවට පත්වුණා. ජීවිත කාලය ඇතුලත ඔහු සිතුවම් 2000 ක් පමණ නිර්මාණය කර තිබෙනවා! ඒත් කිසිදාකවත් ඔහුට ඒවායින් විශාල ජනප්‍රියත්වයක් නම් හිමිවුණේ නෑ. ඔහු චිත්‍ර ප්‍රදර්ශන කීපයක්ම පැවැත්වූවත් හිතු තරම් මුදලක් ඒවායින් ලැබුනෙ නෑ. වෑන්ගෝ තමන් නිර්මාණය කල සිතුවම් අතරෙන් මුදලකට විකුණා ඇත්තෙ එකම එක සිතුවමක් පමණයි. වෑන්ගෝ ගේ ජීවිතය ඇසුරෙනුයි ඇමරිකානු ගායක Don Maclean, Stary stary night ගීය රචනා කර සංගීතය නිර්මාණය කරමින් ගායනා කරන්නෙ. 

"1970 සරත් සෘතුවේ දි මට පාසල්වල පැවැත්වුණු වැඩසටහන් කීපයක ගායනා කරන්න අවස්තාව ලැබුන. මම පන්ති කාමරවල ශිෂ්‍යයන් ඉදිරිපිට ගිටාරය වයමින් ගායනයේ යෙදුන. දවසක් මම මගේ කාමරයෙ ඉදිරිපිට ඉස්තෝප්පුවෙ වාඩිවී ඉන්නකොට මම දුටුව පොතක් වින්සන්ට් වෑන්ගෝ ගැන ලියවුණු. එය ලියා තිබුණෙ වෑන්ගෝ ගෙ සහෝදරයා තියෝ. මිහිපිට ඔහුට යම් කරුණාවක් දක්වපු එකම පුද්ගලය තියෝ පමණයි. පොත කියවද්දි මට වෑන්ගෝ ගැන ගීයක් ලියන්න තදින්ම උවමනාවක් ඇතිවුනා. සමාජය ඔහු විකාර රූපිකයෙක් විදිහට හැඳින්වුවත් මට කියන්න ඕන වුණා ඔහු එහෙම කෙනෙක් නොවුණ බව. මම ඔහුගෙ Stary Night සිතුවමේ මුද්‍රිත පිටපතක් දිහා බලාගෙන උන්න. ඒක කොයිතරම් විස්මයජනක ද ! ඒ වර්ණ , ඒ හැඩතල .. කොයිතරම් ඉන්ද්‍රජාලික ද... මම ඒ මොහොතෙම කඩදාසි මල්ලක් අරගෙන ඒ මතුපිට ගීය රචනා කරන්න පටන්ගත්ත."

Stary Night ගීතය නිමැවුණු ආකාරය ගැන Don Maclean විස්තර කරන්නෙ එහෙම.

වින්සන්ට් වෑන්ගෝ Stary Night සිතුවම නිමවන්නෙ 1889 අවුරුද්දෙ දි ඔහු තමන් ඉපදුන රටින් (ඕලන්දය) පිට තැනින් තැනට ඇවිදින පිටුවහල් ජීවිතයක් ගතකරමින් ඉද්දි. "මට රාත්‍රිය දවාලට වඩා වර්ණවත්ව දැනෙනවා" යි ඔහු කියා තිබෙනව. කොහොම වුණත් ඔහු Stary Night සිතුවමට නඟන්නේ දහවල් කාලයේදි, රාත්‍රිය ගැන මතකයන් ඇසුරෙන් බව තමා කියවෙන්නෙ.

"තාරකා පිරුණු රැය
සිතුවමට නඟන්න ඔබ
මගේ ආත්මය පුරා පැතිරුණ
අන්ධකාරය හඳුනනා දෑසින්
බලන්න ගිම්හාන දහවලේ
සිතුවම් කරන්න ඔබ
නිල් අලු පැහැය ගෙන
වර්ණ අතරින් ඔබේ.."

මේ කාලයේදි Don Maclean පවා පහු කරමින් උන්නෙ අඳුරු යුගයක්. ඔහුගේ විවාහයේ තිබුණි ගැටලුකාරී බව ඔහු වේදනාවට පත්කර තිබුණ. ඔහු තමන්ගේම අත්දැකීමත් ගීතයට පාදක කරගන්න ඇති.

"මට එක දෙයක් කියන්න අවශ්‍ය වුණා."

Don Maclean තවදුරටත් කියාසිටිනව

"මට කියන්න අවශ්‍ය වුණා ගීතය ඉතාම කාව්‍යාත්මකයි කියල. කවිය ප්‍රඥාසම්පන්නයි, විනෝදාත්මකයි, ආවේගශීලි වගේම ඛේදජනකයි..ගීතයටත් කවියෙන් මේ දේවල් උකහාගත හැකියි. නමුත් අවාසනාවකට වගේ එවැනි නිර්මාණ ඉතාම විරලයි"

Don Maclean ගේ Stary Night ගීය අසා බැලුවොත් එය කවියක් වගේ කොයිතරම් හදවතට සමීපව විඳගත හැකි ගීයක් ද කියන කාරණය ඔබට වටහාගත හැකිවේවි. වින්සන්ට් ගේ ජීවිතේ ඛේදජනක බව, අනෙක් මිනිසුන් අතින් ප්‍රතික්ෂේප වීමේ වේදනාව මේ ගීයෙන් මතුවෙනව. බොක්ස් ගිටාරයක් පමණක් භාවිතා කර තිබීම හා අවසානෙ වයලීන (strings) භාවිතා කර තිබීමෙන් ඒ හැඟීම තවත් තීව්‍ර ව දැනෙනව. බොහෝ අය මේ ගීය නැවත ගයා තිබෙනව එය ඉතිහාසයෙ මෙතෙක් නිමැවුණු හොඳම ගීත අතරට එක්වෙනව..

"ඔවුන් ආදරය කළේ නැහැ ඔබට
නමුත් ඔබේ ආදරය සැබෑවක් ඔවුන් වෙත
ඒ තරු පිරුණු රැයක දසුනේ 
පැතුමන් විසුණු වී ගිය දින ඔබේ
අතැර දැමුවා ඔබ ජීවිතය
ප්‍රේමවන්තයින් කරනා ලෙස
එහෙත් වින්සන්ට් 
ඔබට කියන්න ඉඩ තිබුණානම් මට
සුදුසු තැනක් නොවෙයි මේ ලොව
ඔබ වැනි සුන්දර මිනිසුන්ට"

අයහපත් ශාරීරික මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් ගෙන් පීඩා විඳිමින් නමුත් ජීවිත කැපවීමෙන් කලාවේ නියැලුණත් අවසානෙ කිසිම ඇගයීමකට ලක් නොවී මියගිය කලාකරුවෙකුගෙ ජීවිතය දිහා වඩාත් දයාර්ද්‍ර බැල්මකින් බලන්නත් ඔහු මිනිසුන් අතරෙ ජීවත් වුණ සුන්දරම මනුශ්‍යයෙක් බව කියන්නත් Don Maclean තමන්ගෙ ගිටාරේ ස්වර හඬවනවා. කලාකරුවෙගේ ජීවිතයක් තවත් කලාකරුවෙකුගේ ඇහින් දැක, ගීයකට පබැඳුනු අපූරු අවස්තාවක් විදිහට Stary stary night ගීය හඳුනාගත හැකියි.

වටහාගත හැකියි දැන්
කුමක්ද ඔබ කියන්න වෙර දැරුවේ මට
කෙලෙසක ද පීඩා වින්දේ ඔබ
කෙලෙසකද වේදනාවන් ගෙන්
අත්මිදෙන්නට තැත් කළේ ඔබ..
වටහා ගත්තේ නෑ ඔවුන් ඔබව
තවමත් නැත
වටහා නොගනීවි ඔවුන්
කිසිම දවසක.
......................................

Starry, starry night
Paint your palette blue and grey
Look out on a summer's day
With eyes that know the darkness in my soul

Shadows on the hills
Sketch the trees and the daffodils
Catch the breeze and the winter chills
In colours on the snowy linen land

Now I understand
What you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free
They would not listen, they did not know how
Perhaps they'll listen now

Starry, starry night
Flaming flowers that brightly blaze
Swirling clouds in violet haze
Reflect in Vincent's eyes of China blue
Colours changing hue
Morning fields of amber grain
Weathered faces lined in pain
Are soothed beneath the artist's loving hand

Oh, now I understand
What you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free
They would not listen, they did not know how
Perhaps they'll listen now

For they could not love you, love you
But still your love was true
And when no hope was left in sight on that starry, starry night
You took your life as lovers often do
But I could have told you, Vincent
This world was never meant for one as beautiful as you

Oh, starry, starry night
Portraits hung in empty halls
Frameless heads on nameless walls
With eyes that watch the world and can't forget
Like the strangers that you've met
The ragged men in ragged clothes
The silver thorn of a bloody rose
Lie crushed and broken on the virgin snow

Now I think I know
Oh, what you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free
They would not listen, they're not listening still
Perhaps they never will


Starry Night සිතුවම


Don Maclean


Vincent Van Gogh 


2 comments: