කොට්ටෝරුවා කිව්ව ගමන් අපේ ඔලුවෙ මැවෙන්නෙ ගස්වලට කොටමින් යන දිග හොටක් තියන රතුපාට කුරුල්ලෙක්ව. "කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා කෙහෙල් ගහට කොටපුවාම හොට පැටලෙනවා" කියන්නෙ ඒකනෙ. නමුත් කොට්ටෝරුවා කියන්නෙ එහෙම ගහෙන් ගහට කොටමින් යන කුරුල්ලෙක් නෙමේ! කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා. මේ Woodpecker නමින් හඳුන්වන කුරුල්ලාගේ නම සිංහලෙන් කෑරලා වියයුතුයි. මග හඬින් සද්ද නගමින් ගස් වලට කොටන්නේ කෑරලා තමයි. කෑරලුන් විෂේශ ගණනාවක්ම අපේ රටේ දක්නට ලැබෙනවා. මේ මුල්ම පින්තූරෙ ඉන්නෙ අපිට බහුලවම දකින්න ලැබෙන රතුපිට රත් කෑරලා (Red backed woodpecker) . එතරම් සුලබ නොවුණත් රන් පිට රත් කෑරලා (Golden backed woodpecker) කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker) බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker) පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker) කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker) හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker) කියන කෑරලුන් විශේෂ ලංකාවෙන් හමුවෙනව. කෑරලාගෙ ශරීරයෙ තියන සුවිශේෂී පිහිටීමක් තමා අසාමාන්‍යය තරම් දිගට වැඩෙන උන්ගේ දිව. මේ ඉතා දිගු දිව ගස් කඳන් හාරද්දී ඒ තුල ඉන්න කෘමි සතුන් පණුවන් ආහාරයට ගන්න උදව්වෙනව.
එතකොට කොට්ටෝරුවා කියන්නෙ කාටද? මේ හත්වෙනි පින්තූරයෙන් පස්සෙ ඉන්න කුරුල්ලන් තමා නිවැරදිව කොට්ටෝරුවා (ඉංග්‍රීසියෙන් Barbet) විදිහට හඳුන්වන්නෙ. පින්තූරයෙ ඉන්නෙ අපි පොළොස් කොට්ටෝරුවා නමින් හඳුන්වන Brown headed barbet.. රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet) සහ රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet) ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලන්. කොට්ටෝරුවා ආහාරයට ගන්නේ ඉදිණු පළතුරු. මේ කුරුල්ලන් ජීවත්වෙන්නෙ නිවර්තන කලාපීය රටවල. කොට්ටෝරුවාට කෑරලා තරම් ගස් හෑරීමේ හැකියාවක් නෑ. ඒ නිසා දිරා ගිය ගස් කඳක හදාගත් බෙනයක නැත්නම් බොහෝ වෙලාවට කෑරලෙක් අතහැරගිය තැනක තමා කොට්ටෝරුවන් වාසස්ථානය සඳහා තෝරාගන්නෙ.
රතුපිට රත් කෑරලා (Red backed woodpecker)
රන් පිට රත් කෑරලා (Golden backed woodpecker)
කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker)
බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker)
පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker)
කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker)
හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker)
පොළොස් කොට්ටෝරුවා Brown headed barbet
රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet)
රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet)