Thursday, October 12, 2017

නින්ද විසින් වර්ජනය කරනු ලැබූ රාත්‍රියක හුදකලාව.....


අඳුරු සළු වියා දස අත වට කෙරුව
පඳුරු දම දමා තනිකම පලදැරුව
පුරුදු ගීයකින් අහුලාගෙන තනුව...
මිතුරු කුරුල්ලන් කොහෙදෝ ගී ගැයුව

එළියට ඇස පියා අහසේ රන් තරුව
අඳුරම ගොඩ ගැසෙයි හිත තුල කළු කළුව
වෙණ තත මුදා ගීපද තෝරනු බැරුව
රැහැයියනේ උඹලත් ඇයි අද ගොළුව

නින්ද පවා අතහැර ගිහින් අත මානේ
කන්දක් ළයේ තෙරපෙයි සුසුමක් ගානේ
අන්දාතබා විසිතුරු සළුපිලි හීනේ
මන්ද නුඹත් තනිකර මා තනියානේ

දහවල් පිපුණ නෙළුමක රොන් සුවඳ මැකී
විල්දිය වැලඳ සඳ කඳුලැල් හෙලන හැටී
සුළඟ සෙමෙන් තරුවක පා ළකුණු සිඹියි
මැදියම් රැයට දහවල් හිරු කිරණ නැතී

බෙදාගත් කඳුළු බිඳුවක සිසිල දරන්
මුලාවක් නැතිව තුන් යම අඳුර මකන්
හිනාවෙන සිහින් එළියක ළකුණු අරන්
කණාමැදිරියෝ උඹ ඔතනම ඉඳපන්..





Sunday, October 8, 2017

කෙටි කවි #38



අතුපතර විහිදා
උස්ව වැඩුනු කල
ඕනෑම ගසක්
අවනතයි සුළඟට.





Thursday, October 5, 2017

I am nobody... Are you nobody too..?

I am nobody
Are you nobody too..?

කිසිවෙකුත් නොවෙමි මම....
යලිත් කියමි 
ඔබට.

ඔරලෝසු කටු පවා
ගල් ගැසුන
හිම මිදී ඇති බිමකි
මෙතැන....

වැරදීමකින්
පය තැබුව සුළඟ ද
ඒ සැණෙන්
යළි හැරෙන...

නම නොදන්නා 
තුරු මුදුන් වල
සෘතුවක් නැතුවම
ඔහේ මල් පිපෙන 
යලි හැලෙන...

මියුරු ඵලවැල
හටගත්තද අතු අග
සියොතුන් පියාඹා
නොඑන...

මී දුමෙන් වැසුණ
අර කන්ද මුදුනට නැග
කෑ ගසා කියමි..

"කිසිවෙකුත් නොවෙමි මම"




Tuesday, October 3, 2017

හී සර වරුසාවක තෙමෙමින්...


සිහිල් අඳුනෙන් විස කැවූ
ප්‍රේමයේ හී සර ඔබ මැවූ
කාලයේ කඳු අතරින් හැමූ
නොනිමි වැස්සක් ව මා තෙමූ

මේ කුලක් ලෙසින් අහසේ
ඔබ එවූ හී තුඩු දහසේ
තියුණු තුඩු ඇද හැලෙන පහසේ
සිඹියි මා සියොළඟම රහසේ

වස්සාන වසිනා හඬ ඇසී
මතකයක් ඇයි නොහැඬුවෙ කිසී
වැහිපොද වැළඳ ගෙන රිසී
ඉන්නෙමි කන්දක්ව ගල් ගැසී

වැහි පහසේම රැඳිමි
මතකයක් හෙමිහිට සිඹිමි
වසිනා හී සර වැස්සේ
තනිවම තෙමෙමි....






Monday, October 2, 2017

කන්දක් නම් සුන්දර නොහෙල්ලී ඉන්න තරමටය.....


කන්දක් නම් සුන්දර
නොහෙල්ලී ඉන්න තරමටය

ලතෙත්ව නාය යන දවසට
දුක පාත බිම්වලට ය.

සියුමැලි නිම්න පොළවට
කන්දක දුකක් නුහුරුය

කඳුත් ගල්හිත් ඇතිව
උහුලන් ඉන්නෙ ඒකය..





Sunday, October 1, 2017

ජීවිතේ මතක ගස


කොයි තරම් උස ගියත්
ජීවිතේ මතක ගස
ළපටි අතු ඉති නැවෙත්
හොයාගෙන පැරණි පස
අලුත් මල් පිබිදුවත්
සුවඳ කර සතර දෙස
හැලී යලි නතර වත්
හුරු පුරුදු පොළව මත.





Thursday, September 21, 2017

පොත් කඩේ ලඳ

මේක මම කවියට අත තිබ්බ මුල්ම කාලෙ ලියවිච්ච එකක්. එක්තරා විදිහට ඇත්ත අත්දැකීමක් මේකට මුල්වුණා කියන්න පුළුවන්. පොත් කියවීම මිලදී ගැනීම ගැන ලොකු කතාබහක් ඇතිවෙන කාලයක් නිසා ආයෙම පළ කරන්න හිතුණා.


නගරයේ ලොකු පොත් කඩේ
ඉඳන් පොත් විකුණන ලඳේ
රැව් දිදී එන ඔය සිනාකැන්
පොත් කවර මත ඔප වැටේ... 

නිමක් නැති ජීවිත පොතේ
පිටු එකින් එක පෙරලුන තැනේ
තිබෙන හිස් පිටු පුරවගන්නට 
අකුරු නැතිවද හමුවුනේ... 

හිතේ දහසක් වේදනා 
හංගගෙන හිනා පෙන්නනා
ඔය දෑස් කියනා කතාවට
නවකතා වුව පරදිනා... 

ලෑලි කාමර පෝලිමේ
නුඹ වැඩට එන පටු මාවතේ
පොතේ පිටුවල නැවුම් සුවඳක්
නැතේ එදෙසින් විහිදුනේ..... 

අලුත් පොත් පටවාගෙනේ
කොළඹ සිට ලොරි ආ දිනේ
උදව්වට කවුරුවත් නැති තැන
නුඹේ කරට යි පැටවුනේ... 

බරට පොත් මිටි කර තියන්
ඉහළ මාලෙට ගෙන යමින්
රිදෙන දෙපයක දුක අහන්නට
කවුරුවත් උන්නෙ නෑ ලඟින්..... 

හැදී රුදු වෛරස් උණේ
ගෙදර ඉන්නට වුනු දිනේ
පඩි පතෙන් අඩුකර තිබෙනු දැක
හදවතේ කොටසක් නැවතුනේ... 

ගලායන ජීවිත ගඟේ 
ඇදෙන කඩදහි ඔරු වගේ
ගිලෙන ජීවිතෙ ගොඩනගන්නට 
පොතේ පිටු වේවිද අගේ......