Saturday, January 30, 2021

අපේ කෙටි පිළිසඳර කෙළවර

අපේ කෙටි පිළිසඳර කෙළවර
ඔබ නික්ම ගිය පසු තරු අතරට
යළිත් ගොස් මුහු වෙමි
දහස් ගණනක් ගොඩනැගිලි මැද
නගරයේ අඳුරු සෙවණැලි අතරට...

හිම මිදෙන සීතල තවරගෙන
අනිවාරතේ හාත්පස පැටලෙන
මීදුම් සළුව විනිවිද
එළිය වෙයි වීදි ලාම්පුවක හදවත
යාන්තම් නිවි නිවී දැල්වෙන..

හැප්පී යකඩ දඬු එකිනෙක
මොටෝරථ කෑ ගසා හඬනා
විසල් හිස් ඝෝෂාව අතරේ
දෝංකාරය දී ඇසෙන්නේ මට තව
ඔබේ තෙත්බරිත කටහඬ..

අනන්තය තෙක් විසිරෙන
නිමක් නැති දහසකුත් තරු මැද
පෙනෙන්නේ මට තවම
නිල් පාට සිහින් එළි විහිදන
ඔබේ ඇස් දෙක..

රාත්‍රිය බැවින් පෙනෙන තෙක් මානෙක
නැති බැවින් සළකුණක්
හෙටයි යැයි දවසක
ඇවිද යමි බර වූ හදින්
වදන් නොහඳුනනා එකෙකු ලෙසින්
මුහුවී සහසකුත් මිනිස් ගංගාවක ...

රළ වුණත් බිඳෙයි 
හැපුණු පසු වෙරළක..
නවාතැනක් ම නොවෙයි ඇත්තේ
හැම පටු වීදියකම කෙළවර..
නිල් පාට එළියෙන් 
එළිය දුන්නත් ඈතට
පොළවට කඩා වැටී නැත
තරු කිසිම දවසක...



Thursday, January 28, 2021

අඹ ගසක නිදහස

ඔබ ගියදා පටන්
ගෙ උයනේ තැනින් තැන
කොළ වියැළි මැලවෙන
බඳුන් ගත පොඩි පැල වලට
දිය ඉසිමි වරින් වර...

දැන් ඒවා
වියළි කොළ හංගා
පෙන්වයි මට
යන්තමින් මතුවන 
සිහින් ලා දළු..

හැන්දෑවට
සාංකාවෙන් හිත පිරෙන යාමෙට
ඇවිදින් මිදුලට
බලා ඉන්නෙමි
අතුපතර විහිදුන
විසල් අඹ ගස දෙස..

කොයිතරම් ප්‍රීතිමත් ද
ඇන්තූරියම් පැළයක ජීවිතය 
දිය බින්දු කීපයකින් සැනහෙන
විසිතුරු මලක් දෙකක් පෙන්වා
මියැදෙන...

කාලේ අකාලේ
ආකාසයෙන් වට
වැහි දියෙන් සෑහිය යුතු..
හිස් අහස දක්වා
අතුපතර විහිදා
බොහො උස්ව වැඩිය යුතු..
කලට මල් පිබිදිය යුතු..
කොයිතරම් බරද
නිදහස
අඹගසක් සතු..



Monday, January 25, 2021

Promising young woman (2020)

කැසී සහ මැඩිසන් වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙන ගත් මිතුරියන්. මැඩිසන් සාර්ථකව අධ්‍යාපනය නිමා කරල වෛද්‍ය වෘතියේ ඉදිරියටම ගමන් කරමින් ඉන්නව. නමුත් කැසී තමන්ගෙ අද්‍යාපනය අතර මග නතර කරල, විද්‍යාලය හැර දමල ඇවිත් කෝපි අවන්හලක බොහොම කුඩා රැකියාවක් කරමින් ජීවතය ගෙවාදමනව. කැසී සහ මැඩිසන් මේ මුණ ගැහෙන්නේ වසර හතකට පස්සෙ. ඉතින් ඒතරම් කාලෙකින් සිදුවන මිතුරු හමුවීමක් කොයිතරම් උත්කර්ෂවත් එකක් වෙන්න ඕන ද? මැඩිසන් සහ කැසී කලකට පසුව එකිනෙකා දැක ගැනීමේ ප්‍රීතියෙන් විස්කි බඳුන් කීපයක්ම හිස් කරනව. ආ ගිය තොරතුරු හුවමාරු වෙන සුහද කතාබහ අතරේ මුහුවෙන මධුමත එක්ක මිතුරු කතාබහ ක්‍රමයෙන් අඳුරු ඉසව්වකට ඇදී යන බව පෙනෙන්නට පටන් ගන්නව. වැළලී ගිය අතීතයක යම් යම් වේදනාත්මක මතකයන් කතා බහ තුළින් මතු වෙනව. නමුත් මැඩිසන් සීමාව ඉක්මවා යමින් මධුවිතෙහි ගිලී යන බවයි දකින්නට ලැබෙන්නෙ. කැසී ඉතාම ඉවසිලිවන්තව ඇගෙන් අතීත තොරතුරු විමසනව. එක් තැනකදි මැඩිසන් අතින් මධුවිත බඳුන ගිලිහී වැටිල ඇය සිහි නැති තත්ත්වයට පත්වෙනව. කැසී අවට යම් තරුණයෙකුට ඇයව පෙන්වල එතැනින් පිටවී එනව. ඇත්තට එතැන සිදුවුණේ මොකක්ද?

2020 අවුරුද්දේ තිරගත වුණ  promising young woman චිත්‍රපටය ඇතුළත් වෙන්නෙ    dark comedy/ thriller ගණයට. drama සහ romantic රසයත් චිත්‍රපටය  පුරා විඳගන්න පුලුවන්. ඇමරිකාව වැනි අතිශය නිදහස්කාමී සාමාජයක වුණත් ගැහැණියකට මුහුණදෙන්න සිදුවන පීඩා කාරී තත්ත්වයන් චිත්‍රපටය තේමා වෙන්නෙ. ඇය පිරිමියා පිනවන ආශාවේ වස්තුව වීම, ඒ හරහා ඇයට මුහුණ දෙන්න සිදුවන අයුක්තිය අසාධාරණය හමුවේ නීතිය ඉදිරිපිට පවා ඇය අසරණ වන ආකාරය චිත්‍රපටය තුළින් දකින්න ලැබෙන්නෙ. අදාළ වස්තු විෂය ඒ තරම් ගැඹුරින් නැතත් කුතුහලය වගේම සංවේගදායක බව මතුකරමින් චිත්‍රපටය නිර්මාණය කර තිබෙනව. නිතර සිනමාපට නරඹන පුරුදු රසිකයෙකුට නම් සමහර අවස්ථාවල ඊලඟට සිදුවන්නේ මොනවගේ සිදුවීමක්ද කියල පැහැදිලිව අනුමාන කර හැකියි. ඒ ආකාරයේ ලේසියෙන් අනුමාන කළ හැකි තැන් කීපයක් චිත්‍රපටයෙ තිබුණා. නමුත් චිත්‍රපටය අවසානයට ගමන් කරන්නෙ නොසිතන මොහොතක, නොසිතන ආකාරයේ ක්ෂණික කම්පනයක් ප්‍රේක්ෂකයා තුළ ඇති කරමින්.

Promising young woman  තවත් ආකාරයකට සුවිශේෂයි. ඒ මෙය නිර්මාණය වෙන්න සිනමා ක්ෂේත්‍රයේ ප්‍රභල කාන්තාවන් තුන්දෙනෙක් මූලිකත්වය අරගෙන තිබීම.  පළමුවෙන්ම  ප්‍රධාන චරිතය හෙවත් කැසී ගේ චරිතය නිරූපණය කරන‍ Carey Mulligan. මේ ආකාරයේ කැපී පෙනෙන චරිතයකින් ඇය අපට හමුවෙන්නෙ යම් කලකට පසුව. ඉතිහාසගත කතාපුවත්වල ප්‍රේමණීය ගැහැණියගේ ස්වභාවයෙන් ප්‍රේක්ෂකාගරයට සමීප වුණු ඇය මේ චිත්‍රපටයෙන් අයුක්තිය හමුවේ නීතිය අතටගෙන නැගී සිටිනා හුදෙකලා ගැහැනියක් විදිහට නැවත හමු වෙනව. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන Margot Robbie  දෙවැනියට මෙයට දායක වන ප්‍රබල කාන්තා චරිතය විදිහට හඳුනා ගත හැකියි. ඇයගේ LuckyChap Entertainment ආයතනය මගින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ. තුන්වැනියට Promising Young Woman  පිටපත ලියා අධ්‍යක්ෂණය කරන Emerald Fennell. ඇය The Crown, වැනි රූපවාහිනී නාටක ගණනාවක  නිළියක්, පිටපත් රචිකාවියක් විදිහට වැඩ කර තිබෙනව. මේ අධ්‍යක්ෂවරියක් විදිහට ඇයගේ පළමු සිනමා නිර්මාණය. මේ ගැහැනු තුන් දෙනා එකතුව, ගැහැනිය වස්තු විෂය කරගෙන ගොඩනැගුණු සරල නමුත් කුතුහලය පිරුණු කතා පුවතක් විදිහට promising young woman හඳුන්වාදිය හැකියි.




Friday, January 22, 2021

එකම හිස් අසුන

කොයිතරම් නපුරුද
බස් රථයෙහි
ඔබේ පසෙකින් ඉඩ තබන
එකම හිස් අසුන.

කොයිතරම් දරුණුද
විලවුන් සුවඳ ගෙන
දස අත හමන සුළඟ.

කොයිතරම් වැරදිකාරද
මේ වැනි මොහොතක
වික්ටර් ගෙ ප්‍රේමගීයක් ගයන
රේඩියෝව..



Noroi (2005)

ජපන් ජාතික මසෆුමි කොබයාෂි, ජපානය පුරා සිදුවෙන, කිසි කෙනෙකුට පැහැදිලි කල නොහැකි අත්භූත සිදුවීම් සොයා යමින් ගවේෂණය කරන්නෙක්. ස්වාභාවිකත්වය ඉක්මවා යන සිදුවීම් ගැන තොරතුරු රැස් කරමින් පොත පත, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙක්. දවසක් ජුන්කෝ නම් එක් ගැහැනියක් අසල්වැසි නිවසෙන් මතුවෙන අබිරහස් හඬක් ගැන කොබයාෂි ට දැනුම් දෙනව. හිටිගමන් ළදරුවෙක් හඬන ආකාරයෙ හඬක් ඒ නිවසෙන් ඇසෙන බවත්, එහි වාසය කරන්නන්ගෙ ස්වභාවය අමුතු බවත් ඇය කියනව. ඇගෙ ප්‍රකාශය අනුව මේ හඬ පටිගත කරගන්න කොබයාෂි ඒ අසල්වාසින්ගෙන් ප්‍රශ්න කරමින් මේ සිදුවීම ගැන වැඩිදුර සොයා බලනව. ටික කලකින්ම එක රැයකදි කොබයාෂි ගේ නිවසේ හදිස්සියේ ගින්නක් ඇති වෙනව. ගින්න නිවා දමන්න බොහෝ අය උත්සාහ දැරුවත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ නිවසේ සුන් බුන් අතරේ ගින්නෙන් දැවීගිය කොබයාෂි ගෙ බිරිඳ ගේ මළසිරුර හමුවෙනවා. නමුත් කොබයාෂිට සිදුවුණ දෙයක් නැහැ. ඔහු ගැන කොසිම හෝඩුවාවක් නැහැ. ඔහු ගේ කැමරාකරු ලඟ ඇති, ඔහු අවසාන වතාවට සොයාබලමින් සිටි පරීක්ෂණයේ පටිගත කල වීඩියෝ දර්ශන තමයි Noroi නම් චිත්‍රපටයක් විදිහට පෙළගැහෙන්නෙ.

Noroi (ජපන් භාෂාවෙන් සාපය) චිත්‍රපටය found footage නැතිනම් සැබෑ සිදුවීමකින් පසුව සොයාගන්නා වීඩියෝ දර්ශනවලින් සැදුනු චිත්‍රපටයක් ආකාරයෙන් නිර්මාණය කර තිබෙන්නෙ. මේ සැබෑ සිදුවීමක් ආකාරයෙන් නිර්මාණය කර තිබීම නිසා මේ කතාපුවතේ භයංකර බව දෙගුණ තෙගුණ කර තිබෙනව. මෙය නරඹන්නේ රාත්‍රියක හුදෙකලාවේ නම් සැකයක් නැහැ ඒ හැඟීම උපරිමයෙන් ඔබට විඳගන්න පුලුවන්. ජපානය Horror චිත්‍රපට අංශයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න රටක්. ඒ මළවුන් ඇදහීම ඒ සම්බන්ධ සිරිත් විරිත් වගේම මරණයෙන් නැවත නැගිටින ආත්ම ගැන සාම්ප්‍රදායිකව එන, අත්භූත රසය දනවන ජනකතා සාහිත්‍යක් ජපානයට උරුම වී තිබෙන නිසා බව අපිට හිතන්න හැකියි. ඔවුන් එවැනි දේ සිනමාව ඇතුලෙ ඉතා නිර්මාණශීලීව භාවිත කරනව. හොඳම උදාහරණයක් මේ noroi චිත්‍රපටය. මම හිතනව අපේ සිනමාකරුන්ට මේ චිත්‍රපට හොඳ ආදර්ශයක්, සංකීර්ණ මතවාදයන් වෙනුවට සරලව, පාරම්පරික ඇදහිලි විශ්වාසයන්ගෙන්, සංස්කෘතිකාංගවලින්, ජන සාහිත්‍යයෙන්, කොයිතරම් ප්‍රයෝජනයක් සිනමාව වෙනුවෙන් අරගන්න පුලුවන්ද කියන කාරණය සම්බන්ධයෙන්. Horror චිත්‍රපට රසිකයෙක් නම් මඟහැර නොගත යුතු සිනමා අත්දැකීමක් විදිහට noroi චිත්‍රපටය නම් කරන්න පුලුවන්.



Wednesday, January 20, 2021

කුහුඹු පෙම

අතු පතර විහිද ගිය
දහසකුත් පත් දරන
ඔබ විසල් තුර..

එක කුඩා තුරු පතක
ලෝකයක් ගොඩ නගන
මගෙ කුහුඹු පෙම.



Monday, January 18, 2021

මම කුඩා නගරයක්..

මම
කුඩා නගරයක්
පටු වීදි කිහිපයකින් සැදි
සියලු දේ බෙදා නම්කොට තිබෙන..

ඔබ
මහද්වීපයක්
අනන්තය තෙක් විහිදෙන 
අසීමිත භූවිෂමතා ලක්ෂණ දරන
පය තැබූ කල
අතරමං වීමට සිතෙන..




Tuesday, January 12, 2021

Natural Woman

විනාඩි 3 ක සින්දුවක් කියන්නෙ ජීවිතය ගැන   සමාජය ගැන නැත්නම් වෙනත් යමක් ගැන ගැඹුරින් යමක් ප්‍රකාශ කරන්න ඉඩක් නැති සරල සුන්දර කලා මාධ්‍යක් බව කෙනෙකුට හිතෙන්න පුලුවන්. මේ සරල සුන්දර ගීත කලාවේ සීමාවන් ඉක්මවා ගිය අවස්ථාවන් ඉතිහාසයෙ පුරා බැලුවොත් අපිට හොයාගත හැකියි. නමුත් ගීතයේ මේ සංක්ෂිප්ත බව රැකෙමින් නමුත් ජීවිතය ගැන වඩා ගැඹුරින් යමක් ප්‍රකාශ වෙන පදමාලාවන් ඉඳහිට හෝ අහන්න දකින්න ලැබෙනව. මේ කෙටි හැඳින්වීම ලියවෙන්නෙ Aretha Fraklin  ගයන Natural woman ගීය වෙනුවෙන්. මේ ගීය soul සංගීත ආරට අනුව නිර්මාණය වුණු ගීයක්. Aretha  ඇමරිකාවේ 50 - 60 දශකවල බිහිවුණු soul සංගීතයේ අග්‍රස්ථානය හිමි කරගන්නා ගායිකාව කිව්වොත් නිවැරැදියි. Queen of Souls නම් විරුදාවලියෙන් ඇයව හැඳින්වෙන්නේ ඒ නිසා. 

Soul සංගීතය ඇමරිකානු කලුජාතිකයින්ගේ ජනසංගීත රටාවන් ආශ්‍රයෙන් බිහිවුණු Jazz, Rythem and Blues (R n B) වගේම දේවස්ථාන ආශ්‍රිතව Gospel music පදනම් කරගෙන ගොඩනැගුණ සංගීත ධාරාවක්. (Rock සංගීතය බිහිව එන්නෙත් ඔය මුල් වලින්) ඉතාම හැඟුම්බර වගේම උච්ච ස්වරයෙන් සිදුවන ගායනාවන් මේ Soul සංගීතයේ අනන්‍ය ලක්ෂණයක්)

2010 Rolling Stones සඟරාව විසින් එදාමෙදාතුර ලෝකයේ පහළ වුණු අති විශිෂ්ටතම ගායක ගායිකාවන් 100 දෙනා නම් කරද්දි එහි ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ Aretha. Rock සංගීතය ආශ්‍රිත සංගීතඥයන් ඇගයීමට ලක්කරන Rock n Roll hall of fame නාමාවලියට ඇතුලත් වුණ මුල්ම ගැහැනිය Aretha. ඉතින් ඇගේ ගායනාව ගැන ඉන් එහාට හඳුන්වාදීමක් අවශ්‍ය නෑ. Aretha ගේ ගායන කුසලතාව කියන්න ගියොත් මේ වගේ සටහන් කීපයක්වත් ලියන්න වේවි. Aretha ගැයූ ගීත බොහොමයක කලු ජාතික කාන්තාවක් විදිහට සමාජයෙන් එල්ලවුණ පීඩනය වගේම ඒ සියලු දේට වඩා ගැහැනියක් විදිහට ජීවිතයේ ඇය විඳින අත්විඳීම් තේමා වුණා.

ඇගේ Natural woman ගීය නිකුත් වෙන්නෙ 1967 අවුරුද්දේ. මේ පද රචනා කරන්නෙ සුප්‍රකට පද රචක යුවළක් වුණු Gerry Goffin සහ Carole King දෙදෙනා. ඉතාම කෙටියෙන් ඉතාම ගැඹුරින් මේ ගීය ආදරය මුල් කරගත්ත බැඳීමක ස්වභාවය කොයිවගේ විය යුතුද කියන කාරණය පැහැදිලි කරනව. ජීවිතය ඉතාම වෙහෙසකාරී අත්දැකීමක්, දුක් පීඩාවන්ගෙන් බහුල තැනක්. නමුත් ආදරය මේ හැමදෙයකින්ම අපට නිදහස ලැබෙන තැන වියයුතුයි. වර්තමානයෙදි අපිට අහන්න දකින්න ලැබෙන ආදර කතාවල ඇතුලාන්තය මීට වඩා හාත්පසින්ම වෙනස්. ප්‍රේමයෙන් බැඳුනු බොහෝම දෙනා ඒ ප්‍රේමයේ නාමයෙන් එකිනෙකාගේ ජීවිත තමන්ට උවමනා ආකාරයට පාලනය කරගන්න උත්සහ කරනව. තමන්ට උවමනා ආකාරයට පෙම්වතා හෝ පෙම්වතිය හදාගැනීමයි බොහෝ අයගෙ අරමුණ. අනෙකාව සීමාවක හිරකර තැබීම ලොකු ජයග්‍රහනයක් බව ඔවුන් හිතනව. බොහෝවිට ප්‍රේමවන්තයන් තමන් ආදරය කරන ඇය තමන් මෙන් හිතන පතන, ආශාවන් තියන, නිදහස ප්‍රිය කරන මනුශයෙක් බව බාර ගන්න සූදානම් නැහැ. නමුත් Aretha ගයන මේ ගීතයේ ඇගේ ප්‍රේමවන්තයා ඊට වඩා සෑහෙන වෙනස් චරිතයක්. 

Looking out on the morning rain
I used to feel so uninspired
And when I knew I had to face another day
Lord, it made me feel so tired
Before the day I met you, life was so unkind
But you're the key to my peace of mind

'Cause you make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

ඇගේ ජිවිතය ඇයටම උරුම දුක් වේදනාවන් පිරුනු එකක්. මේ මුල් පද කීපයෙන් ඇය ප්‍රකාශ කරන්නෙ ජීවිතේ තමන් විඳින වෙහෙසකාරි බව. නමුත් ඔහු මුණ ගැසීම ඒ වේදනාවන්ගෙන් ඇය මිදවූ බව ඇය කියනව. එහෙම වෙන්නෙ ඔහු ඇයව ‍තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න උත්සාහ නොකරන නිසා. ප්‍රේමය ඇතුලෙ ඇය විඳන සුවදායක බවේ රහස සැඟවිලා තියෙන්නෙ එතැන.

Before the day I met you, life was so unkind
But you're the key to my peace of mind

මේ ප්‍රේමවන්තයා හරි අපූරු චරිතයක් වියයුතුයි. මොකද සමාජයෙ බොහෝ මිනිසුන් ඇසුරේ පීඩාකාරී බව ම මිසක් සහනයක් ලබන්න බෑ. නමුත් ඔහු ඇයට ලබා දෙනව ඇයට අවශ්‍යම දේ. ඒ මානසික නිදහසත් ඇතුළාන්ත සාමයත් මිස අන් යමක් නොවෙයි. 

You make me feel like a natural woman

මං හිතන්නෙ මේක ගැහැනියක අතින් මිනිසෙකුට ලබන්න පුලුවන් ලොකුම ප්‍රශංසාවක්. මොකද ඔහු ඇයට ලබා දීල තියනව ඇයට දෙන්න පුලුවන් හොඳම දේ  ඇයට ඇයම වෙන්න් ඉඩ හැරීම.  ගීතයේ ඉතිරි පදමාලාවත් ගලා යන්නෙ ඒ ආකාරයට. 

When my soul was in the lost and found
You came along to claim it
I didn't know just what was wrong with me
'Til your kiss helped me name it
Now I'm no longer doubtful, of what I'm living for
And if I make you happy I don't need to do more

'Cause you make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

Oh, baby, what you've done to me (what you've done to me)
You make me feel so good inside (good inside)
And I just want to be (want to be)
Close to you, you make me feel so alive

You make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

මේ ගීතයට වස්තු විෂය වන දෙදෙනා පෙම්වත් යුවලක් බව අපි උපකල්පනය කලත් හැබෑවට මේ එහෙම දෙදෙනෙක් නොවිය හැකියි. සමහර බැඳීම් එහෙම නමක් දීල වර්ගීකරණය කරන්න බැහැ. පිරිමියෙකුට සහ ගැහැනියකට මේ ආකාරයෙ සමීප ඇසුරක් ගොඩනගා ගන්න ඔවුන් අතරේ ප්‍රේම සම්බන්ධයක් තිබිය යුතුම නැහැ. අනෙක් පුද්ගලයා තමන්ට කොයිතරම් වටිනවාද කියන කාරණය නිතරම එකිනෙකාට කියා නොගත්තත් හදවත් ඇසුරේ බැඳීමක ඒ සහනශීලී බව නිතර පවතිනව.

මතුපිට සරලයි සුන්දරයි වගේ පෙනුණත් ජීවිතේ ගැන කොයි තරම් ගැඹුරකට මේ පදමාලාවලන් ඇතුලෙන් යන්න පුලුවන්ද. අපේ මාධ්‍යවලින් ප්‍රචාරය නොවුණත් ලෝක සංගීතය ගැන විමසා බලද්දි මේ වගේ හැංගුණු මැණික් කැට ඕන තරම් හොයාගන්න පුලුවන් බව කියන්න ඕන.






Monday, January 11, 2021

ගස් විඳ දරා ගත යුතු

වසාගෙන ඉති අතු
පුබුදුවා දහසකුත් මල් රතු
පැමිණ යළි නික්ම යාමයි
කාරිය වසන්තය සතු.

පැමිණී ගියත් කොයි තරම් ඍතු
පිස දමා බොඳවෙන නෙතු
ගස් සම සිතින් විඳ දරා ගත යුතු.




Friday, January 8, 2021

Nomadland (2020)

කාලයක් තමන්ගේ ජීවිතයට ඉතා සමීපව සිටි කෙනෙකුගේ නික්මයාම සහ එයින් ඇතිවෙන හුදෙකලාව තරම් මිනිස් හදවත වේදනාවෙන් පෙළන හැඟීමක් තවත් නැතුව ඇති. සමහර විට ඒ අය අපි ලඟින් සිටීමම කොයිතරම් වටිනවද කියන දෙය කවදාවත් අපිට එවැනි කෙනෙකුට කියන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති. කෙනෙකුගේ වටිනාකම අපිට දැනෙන්නෙ තවදුරටත් ඒ අය අපේ ජීවිත තුළ නොපවතින මොහොතක වෙන්න ඇති. "ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකකි" ධර්මයේ පවා ඉතා පැහැදිලිව මේ කරුණ සඳහන් කරල තියන එය ඒ තරම් ජීවිතයට සමීප අත්දැකීමක් නිසා. 2020 අවුරුද්දේ තිරගත වුණු Nomadland චිත්‍රපටය නැරඹුව කෙනෙකුට, චිත්‍රපටය පුරා දකින්න ලැබෙන්නෙ අහිමිවීමේ වේදනාවෙන් ජීවිතය පුරා ඇවිදින හුදෙකලා ගැහැනියකගේ කතාවක් බව කියන්න පුලුවන්. එහි වරදකුත් නෑ. නමුත් මෙතනට පසුබිම් වෙන සමාජ දේශපාලනික කාරණා කිහිපයක් තිබෙනව. 

මෑත ඉතිහාසය පුරාම ඇමරිකාව ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකය හිමි රට විදිහට "ලෝක බලවතා" ගේ තැන පසුවෙමින් තිබුණා. නමුත් එදා පටන් අද වන තුරු ඇමරිකාව ආර්ථික අවපාතයන් 18 කට මුහුණුදී තිබෙනව. මින් 1929 ආර්ථික අවපාතය ඇමරිකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම විදිහට හඳුන්වනව. ඉන්පසුව සිදුවුණු දරුණුතම ආර්ථික අවපාතය සිදුවුණේ 2008 අවුරුද්දේ. මෙයින් මධ්‍යම පාන්තික ජනතාවට සෑහෙන අර්බුද ගණනාවකට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන් ස්ථීර වාසස්ථානයක් නඩත්තු කරගෙන වාසය කිරීම බොහෝ අයට අපහසු වුණා. ඒ නිසා සමහරු තමන්ට ඉතිරි වත්කම් යොදවල, සංචාරක ජීවිතයට සුදුසු විදිහට නිපදවපු RV වෑන් රථ මිලදී ගෙන, නැත්නම් තම තමන්ගේ වාහන ඒ ආකාරයට සකස් කරගෙන තැනින් තැනට යමින් මහ මඟ සැරිසරන ජීවිතයකට හුරුවුණා. අතරමඟ හමුවෙන තාවකාලික රැකියාවන් කරමින් මේ අය එදාවේල හොයාගත්ත. Nomads නමින් මේ අයව හඳුන්වනව. (vandweller නමිනුත් මේ අය හඳුන්වනව. එහි අර්ථය ලැබෙන්න වෑන් රථයක වාසය කරන්නා යනුවෙන්) මෙතනදි තව කාරණාවක් මතුවෙනව. ඇමරිකානු සමාජ සංස්කෘතිය නිර්මාණය වෙලා තිබෙන්නෙ තනි පුද්ගලයා කේන්ද්‍ර කරගෙන. ආසියාතික රටවල වගේ පවුල් වලට දැඩිව බැඳුන සාමුහික පැවැත්මක් ඔවුන්ට නෑ. දරුවන් තරුණ වයසේදිම දෙවව්පියන්ගෙන් වෙන් වෙනව. මේ නිසා වැඩිහිටියන් බොහෝවිට ජීවිත් වෙන්නෙ හුදෙකලාව. මේ Nomad ජීවිතයට යොමුවුණු බොහෝ අය ඒ වගෙයි. ඒ වගේම යුරෝපයෙත් ඇතුළුව මේ සුදු ජාතිකයින් සංචාරයට ඉතා කැමැත්තක් දක්වනව. එක් තැනක කොටුවෙලා ඉන්න ඔවුන් අකමැතියි. මේ හේතු කාරණා සමහර ඇමරිකානුවන් Nomads වරුන් බවට පත්වෙන්න බලපෑමක් ඇතිකලා. 

2017 අවුරුද්දේ දි  Jessica Bruder. නම් ලේඛිකාව මේ Nomad වරු ඇසුරෙන් Nomadland: Surviving America in the Twenty-First Century නම් ග්‍රන්ථය රචනා කරනව. එය ප්‍රබන්ධයක් නොවෙයි. එහි ඇතුලත් වෙන්නේ සැබෑම Nomad මිනිසුන්ගේ ජීවිත අත්දැකීම්. නිදහස් ජීවිතය බොහෝ දෙනා සිතන ආකාරයට පහසු එකක් නොවෙන බව ඇය කියනව. සැප පහසුකම් අඩුයි. අනාරක්ෂිතයි. එදා වේල සපයගන්න නම් කුමක් හෝ රැකියාවක් කල යුතුයි. තාවකාලික කුඩා කුඩා රැකියාවන් මිස ස්ථීර වෘත්තියක යෙදෙන්න ඒ තත්ත්වය යටතේ අපහසුයි. ඇගේ කෘතිය ඇසුරෙන් Nomadland චිත්‍රපටය නිර්මාණය කරන්නෙ ඇමරිකාවේ ජීවත්වන, චීන ජාතික සිනමාවේදිනියක් වුණු Chloé Zhao. චිත්‍රපටයේ තිරරචනය, අධ්‍යක්ෂණය, සංස්කරණය වගේම සම නිශ්පාදනය සිදුවන්නේ ඇය අතින්. 

චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Fern නම් මැදිවයස් කාන්තාව. ඇයත් ඇගේ ස්වාමිපුරුෂයා Bo ත් ජීවත් වුණේ ඇමරිකාවේ බටහිර නෙවාඩා වේ රොකී කඳුකරය ආසන්න කාන්තර බිමක පිහිටා තිබුණ US Gypsum නම් සමාගම ආශ්‍රිත Empire ග්‍රාමයේ. Empire, USG කර්මාන්තයේ සේවය කල අයගෙන්ම සෑදුනු ග්‍රාමයක්. Fern සහ Bo ඉතාම ආදරයෙන් ජීවත් වුනා. නමුත් දිනක් නොසිතූ විදිහට Bo ජීවිතයෙන් සමුගන්නව. තමන්ගේ ජීවිතයේ සුන්දරම මතකයන් රැඳුණු Empire අතහැර නොයන Fern එහිම නැවතී ඉන්නව. නමුත් ආර්ථික අවපාතයෙන් පස්සෙ USG සමාගම වසා දමනව. Fern ට සිද්දවෙනව Empire අතහැර යන්න. ඇය තීරණය කරනව වෑන් රථයක් මිලදීගෙන එහි නැගිලා තැන තැන යමින් Nomad ජීවිතයක් ගතකරන්න. 

දවසක් ඇයට යූටියුබය හරහා Bob Wells නමැත්තෙකුගෙ වීඩියෝවක් දැකගන්න ලැබෙනව. ඔහු වෑන් රථයක ජීවිතය ගෙවන සමාජ ක්‍රියාකාරිකයෙක්. තැනින් තැනට යමින් මේ විදිහට මහ මඟ ජීවත් වන්නන් සමූහ වශයෙන් එකතු කිරීමයි ඔහු කරන්නෙ. Bob welles ගේ Nomads එකමුතුවක් ලඟපාතක පැවැත්වෙන බව ඇය දැනගන්නව. ඇය එයට සහභාගි වෙන්න තීරණය කරනව. බොහෝ විට ඇය වගේම තවත් Nomad ජීවිත ගෙවන්න හඳුනාගන්න ඔවුන් සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති කරගන්න, තමන්ගේ ජීවිත අත්දැකීම බෙදාගන්න ඇයට අවස්ථාවක් ලැබෙනව. මහ පොළව මත ස්ථීර වාසස්ථානයක් නොමැති, සුළඟ වගේ තැනින් තැනට සැරිසරන ඔවුන්ගේ ජීවිතවලට කුමක් සිදුවේවි ද.

චිත්‍රපටයෙ සුවිශේෂම කාරණය ප්‍රධාන චරිතය හැර අනෙක් සියලුදෙනා සැබෑම Nomad ජීවිත ගතකරන අය වීම. ඔවුන් වෘත්තිය නලු නිලියන් නොවෙයි. ඔවුන් පෙනීඉන්නේ ඔවුන් විදිහට මයි. Bob Wells පවා සැබෑ චරිතයක්. ඔහු ඇමරිකානු ධනවාදී ජීවිත රටාව විවේචන කරන්නෙක්. භෞතික අවශ්‍යතා අවම වුණු nomad ජීවිතය ප්‍රවර්ධනය කරමින් ඔවුන් අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට ක්‍රියා කරන්නෙක්. David, Linday May, Swankie මේ අය එම නම් වලින්ම හැඳින්වෙන සැබෑ ජීවිත.

චිත්‍රපටය පුරාම කැපීපෙනෙන කරුණ Fern ගේ චරිතය නිරූපණය කරන Frances McDormand ගේ රංගන ප්‍රතිභාව. ඇය රංගනය නම් කාර්‍ය අකුරටම ඉෂ්ටකරන රංගවේදිනියන් අතරේ ඉහළින්ම තැබිය හැකියි. 2017 දි Three Billboards චිත්‍රපටයෙ ඇගේ රඟපෑම් චිත්‍රපටය නැරඹූ කෙනෙකුට නම් අමතක නොවෙන එකක්. 2020 වසරේ මේ චිත්‍රපටයෙ ඇගේ රඟපෑමත් ඊට නොදෙවනි බවයි කියන්න පුලුවන්. ජීවිතයේ හුදෙකලාවෙන් පීඩා විඳින, නමුත් කිසිවක් ඉදිරියේ නොසැලෙන ධෛර්යමත් ගැහැනිය නිරායාසයෙන් ඇය තුළින් මතුවෙන බවක් අපි දකින්නෙ. චිත්‍රපටයෙ Cinematography අංශය ගැන සඳහන් කල යුතුමයි. ඇමරිකාවේ බටහිර කාන්තාර බිම් හරහා අනන්තය දක්වා විහිදෙන මං මාවත්, ඈත කඳුවල්ලට සීමා වෙන නිමක් නැති අහස  චිත්‍රපටයට එකතු කරන කාව්‍යාත්මක බව එහි සෞන්දර්ය ගුණය තවත් ඉහළ නංවනවා. 

චිත්‍රපටයෙ තැනක Bob Wells සහ Fern අතර සංවාද⁣යකදී ඔහු ඇයට කියනව අපි ආදරය කරන අයගෙන් කවදාවත් අපිට සමුගන්න බැරි බව. මොකද ඔවුන් ගැන මතකයන් අපි හදවතේ ඉතාම සුරක්ෂිතව රැඳී තිබෙන නිසා. භෞතික වශයෙන් ඔවුන් අපි ලඟ නොරැඳුනත් මතකයන් අපි තුළ පවතිනව. මේ තමා සරලවම Fern ගේ ජීවිතය. ඔහු මිය ගියත් ඇය නෙවාඩාවේ තම වාසස්ථානය හැර නොයන්නෙ ඒ ඔවුන් ගේ මතකයන් රැඳුනු තැන නිසා. අවසානයේ එතැනිනුත් නික්මයන්න සිදුවුණු මොහොතේ ඇය එක තැන නොරැඳි  සැරසරන ජීවිතයක් තෝරාගන්නෙ ඇගේ හද පෙළන වේදනාවට එකම සැනසුම එය පමණක් බව ඈ වටහා ගන්න නිසා. අපේ ජිවිතය එක්තරා ආකාරයකට නොනවතින සැරිසැරීමක් තමා.  

Chloé Zhao ගේ Nomadland චිත්‍රපටය එක් අතකින් ඇමරිකානු සමාජයේ එක් පැතිකඩක් නිරාවරණය කරන ගමන් අනෙක් අතෙන් ජීවිතයෙ නොනවතින ගමනේ මිනිසුන් අත්විඳින සියුම් සංවේදනාවන් කාව්‍යමය සුන්දරත්වයකින් දෑස් ඉදිරිපිට සිතුවම් කරනව.



Thursday, January 7, 2021

ප්‍රතිමා දෙවිවරු

ලිහා දැමු පසු දේව සළුපිලි
ප්‍රතිමා වලින් බැස එති දෙවිවරු..

සඳෙහි ලා කිරණ පරදා
විදුලි එළි දිලෙන නගරයේ
ඇවිද යති පා රිදෙන තුරු..

වීදි අද්දර අවන්හල් දොර
රැඳුනු මධු මත් මීදුමේ
වැසි පොදයකින් පවා උතුරන
මග දෙපස කාණු වතුරේ
උස පහන් කණු යටින් මතුවන
ලාබ විලවුන් පුසුඹේ
කැසට් කබලක නිතොර ඇසෙනා
වේග රිද්මේ ස්වර අතරේ
සැරසරති බොහෝ රෑ වන තුරු..

ඉන්පසු
පැමිණ යළි දෙව්මැදුරු තුළට
ඇඳ පැළඳ යළි දේව සළු පිලි
ගල් ගැසී ප්‍රතිමා විලස
සිටිති ඒ දෙවිවරු..



Tuesday, January 5, 2021

අන්තරාවර්තීන් සමරමු! - World Introverts day!

 ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ.

කවුද මේ Introverts කියන්නෙ? කොහොමද ඒ අයව හඳුනාගන්නෙ? මුලින්ම ඒ කාරණාව පැහැදිලි කරගම්මු. මනෝවිද්‍යාවෙදි පුද්ගල පෞරුෂයන් අනුව මිනිසුන්  වර්ග දෙකකට වෙන් කරනව. ඒ Introvert සහ Extrovert විදිහට. (සිංහලෙන් අන්තරාවර්ත සහ බාහිරවර්ත විදිහට හඳුන්වනව මතක විදිහට) හරියටම ගත්තොත් මනෝවිද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් වෙන්ව ගොඩ නැගුණු එක් අතුරු විෂයක් වුණ පුද්ගල පෞරුෂ අධ්‍යයනය (Personality psychology) කියන විෂය ක්ෂේත්‍රයෙයි මේ කරුණු ඇතුළත් වෙන්නෙ. Personality psychology අනුව පෞරුෂත්වය විදිහට හදුන්වන්නේ කෙනක් බාහිර සමාජය එක්ක ගැටෙනකොට ගොඩනගාගන්න පුද්ගල අනන්‍යතාවයට. Personality කියන යෙදුම එන්නෙ Persona නම් ලතින් යෙදුමෙන්. (බර්ග්මාන් ගේ Persona චිත්‍රපටය ගැන කතා කරද්දි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරා) පර්සෝනා වචනයේ තේරුම වෙස්මුහුණ යන්නයි. පෞරුෂය කෙනෙකු පිටස්තරයට පෙන්වන මවාපෑමකට සමානයි. අපේම අදහස්, සිතුවිලි, ආකල්ප, හැගීම් දැනීම්, පුරුදු කරගත් චර්යාවන් වැනි දේවල් එක්ක  අපේ මේ පෞරුෂයන් නිර්මාණය වෙන්නෙ.

 Introvert සහ Extrovert   කියන්නෙ මේ පෞරුෂයන් වර්ගීකරණය වෙන ප්‍රධාන කොටස් දෙක. 1920 දශකයේ මනෝ විද්‍යාඥ Carl Jung තමයි මේ සංකල්පය ඉදිරිපත් කරන්නෙ. Extrovert යනුවෙන් හඳුන්වන්නෙ බාහිර සමාජයට නැඹුරු වුණ පුද්ගලයන්. මේ අය සමාජයේ මිනිසුන් අතර ගැවසෙන්න, කතාබහ කරන්න, සාමුහිකව කරන වැඩකටයුතු වලට සහභාගි වෙන්න වැඩි කැමැත්තක් දක්වනව. මිත්‍රශීලී බව සහ වැඩිපුර සමාජ ආශ්‍රය නිසා මේ අයට මිත්‍රයන් සෑහෙන්න ඉන්නව. කණ්ඩායම් ඇතුළේ මේ අය නිතරම කැපිල පේනව. තනියම එකම තැනකට වෙලා ඉන්න මේ අය කැමති නෑ.

Introvert නමින් හඳුන්වන්නෙ ආත්මය ඇතුළට නැඹුරු වුණ පුද්ගලයන්. මේ අය සමාජ ආශ්‍රය ප්‍රිය නොකරන, කතා බහ ඉතාම අඩු, හුදෙකලා නිහඬ චරිත විදිහට හඳුනාගන්න පුලුවන්. තමන්ගේ වැඩ කටයුතු කාගේවත් උදව්වක් නොලබා තමන් විසින් ම කරගන්න මේ අය කැමතියි. පොදු වැඩ වලදි ඉදිරිපත් නොවෙන ලැජ්ජාශීලි බවක් පෙන්වනව. සමාජශීලී භාවය ඉතාම අඩුයි. මොකක් හරි කාරණයක් දිහා ගැඹුරට හිත යොදවල කල්පනා කරන්න මේ අය දක්ෂයි. හුදෙකලාවේ පොතපත කියවමින්  ඉන්න කැමති නිසා සාපේක්ෂව මේ අයට යම් යම් දේවල් ගැන හොඳ දැනුමක් තියනව.

වැඩිපුර මිතුරු ඇසුරක් නැතත් තෝරාගත් ටික දෙනෙක් සමඟ පමණක් ඉතාම සමීප ඇසුරක් මේ අය පවත්වා ගන්නව. සමාජයේ මේ අය 25% ත් 40% ත් අතර ප්‍රමාණයක් ඉන්න බව තමා සඳහන් වෙන්නෙ. නිහඬව හුදෙකලාව ඉන්න නිසා මේ අය ඉක්මණින් කේන්ති යන, දරුණු ගතිගුණ ඇති අය විදිහට බොහෝ අය වරදවා තේරුම් ගත්තත් සමාජ ආශ්‍රයට අකැමැත්ත මිසක් දරුණු ගති මේ අයට නැහැ. තනිව වාසය පුරුදු කරගෙන ඇති නිසා තමන් ගැන හොද ආත්ම විශ්වාසයක් මේ අයට තියනව. Extrovert අය කතාවේ දක්ෂයන් වෙද්දි Introvert අය බොහෝමයක් ලිවීමේ දක්ෂයන් බව හොයාගෙන තියනව. 

පුද්ගල පෞරුෂය ගොඩනැගෙන ආකාරය ඉතාම සංකීර්ණයි. සහජයෙන් ලැබෙන ගති ස්වභාවයන්, අත්දැකීම්, පවුල් පසුබිම ඔය හැම දැයක්ම කෙනෙකුගේ පෞරුෂය ගොඩනංවන්න බලපෑම් කරනව. ඉතින් අවස්තානුකූලව මේ අන්ත දෙක අතර රැඳෙනව මිසක් ලේසියෙන් කෙනෙක් සර්ව සම්පූර්ණව මේ කොටස් දෙකෙන් එකකට අයිති වෙන්නෙ නෑ. කෙනෙකුගේ ලඟ සාපේක්ෂව වැඩිපුර තිබෙන ගති ස්වභායන් අනුව ඔහු හෝ ඇය Introvert ද නැත්නම් Extrovert ද යන කාරණය තීරණය වෙනව. බහුතරය මේ අතර මැද රැඳෙන අතරේ වැඩිපුර introvert ගති ගුණ ඇති සුලු පිරිසක් නිහඬවම සමාජයට පිටස්තරයන් විදිහට ජීවිතය ගෙවමින් ඉන්නව. 

මේ introvert චරිතයකට හොඳම උදාහරණයකට ගන්න පුලුවන් කෙනෙක් මම අහල තියන පමණට ජී.බී. සේනානායක මහත්මය. ඔහු අද නිසඳැස් විදිහට හඳුන්වන නිදහස් කවියේ ආරම්භකයා වගේම සිංහල කෙටි කතා කලාවේ පුරෝගාමියෙක් විදිහටත් හඳුනාගත හැකියි. ජී.බී. සේනානායක මහත්මය ජීවත්වෙලා තිබෙන්න තමන්ගෙ සහෝදරියකගෙ නිවසේ. ඔහු කිසිම රැකියාවක් කරල නෑ. විවාහ වෙලාත් නැහැ. තමන්ගේ කුටියට වෙලා දොර ජනෙල් වසා ගෙන පොත පත කියවීම, ලිවීමේ යෙදීමයි ඔහුගෙ එකම කාර්‍ය වෙලා තිබෙන්නෙ. නිවසේ කෙනෙකුටවත් ඔහුව දැක ගන්න ලැබිල තියෙන්නෙ ඉතාම අඩුවෙන්. එතුමා introvert පෞරුෂයේ එක් අන්තයකට ගිය මනුෂ්‍යයෙක් විදිහට හඳුනාගන්න පුලුවන්. අනෙක් පැත්තෙන් Extrovert චරිතයක් විදිහට විජය කුමාරතුංග වගේ කෙනෙකුව අරගන්න පුලුවන්. ඔහු නිතරම මිනිස්සු අතර ගැවසෙන්න ප්‍රිය කර තිබෙනව. ජනප්‍රියත්වය නිසා යන යන තැන රසික රසිකාවියන් ඔහුව වටකරගනිද්දි ඒ හැම කෙනෙක් සමගම පුලුවන් ආකාරයට කතාබහ කරන්න ඔහු පැකිලුනේ නෑ. ඒ වගේ සමාජයේ පොදු ප්‍රශ්න වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ කතා කලා. අදටත් පොදු ජනතාවගේ මිනිසෙක් විදිහට ඔහුව හඳුන්වනව.

Introverts day එකක් අන්තර්ජාතික වශයෙන් සම්මත වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑමක් කරන්නෙ 2011අවුරුද්දේ Felicitas Heyne නම් මනෝ විද්‍යාඥයකු ලියා පළකල බ්ලොග් සටහනක් නිසා. නිහඬවූවන් සැමරීම අවශ්‍ය ඇයි කියන කාරණය ඔහු පැහැදිලි කර තිබුණා. මොකද ඔවුන් මේ සමාජයේ සුලුතරයක්. වැරදියට තේරුම් ගත්ත සුලුතරයක් කිව්වොත් වඩා නිවැරදියි. මොකද ලෝකය ගොඩනැගී තිබෙන්නෙ සමාජශීලී මිනිස්සුන්ට පහසු වෙන ආකාරයට. මිනිස් පැවැත්ම සාමුහිකත්වය මුල්කරගෙන ගොඩ නැගුණ එකක්. නමුත් මිනිස් ශිෂ්ටාචාරය හැඩගන්වන්න මේ නිහඬ චින්තකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, කලා කරුවන් කර තිබෙන සේවාව අති මහත්.මේ පොදු සමාජයෙන් දුරස් වුණු,  අර්ථයක් නැති ජීවිත විදිහට නිතරම වැරදියට අවබෝධ කරගන්නා ඔවුන්ව අගය කරනු ලැබීමයි introvert අය වෙනුවෙන් දිනයක් වෙන් කිරීමේ අරමුණ.

ජනවාරි 2  Introvert දිනය යෙදෙන්නේ ජනවාරි 1 මුලු ලෝකයක්ම අවුරුදු සමරන උත්කර්ෂය නිසා ඔවුන් එයට අයිති නැති බව පෙන්වීමේ සංකේතයක් විදිහට. මොකද උත්සව. සැමරීම් වලට මේ අය කොහොමත් උනන්දු නොවෙන නිසා. 

ප්‍රේම සම්බන්ධතා ඇතුළෙ, රැකියාව කරන තැන්වල, පොදු ස්ථානවල මේ වැනි අය නිතරම අපහසුතාවට ලක් වෙනව. කෙනෙක් ස්වකැමැත්තෙන්ම introvert කෙනෙක් වීම තෝරාගන්නෙ නැහැ. එහෙම වුණත් ඒ ස්වභාවය නිසා ඔවුන් අපහාසයට හෝ උපහාසයට ලක්විය යුතු නෑ. එවැනි අය තේරුම් ගන්න. ඔවුන්ට ඔවුන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ හරින්න, ඔබේ උදව් අවශ්‍ය තැන උදව් කරන්නයි අවශ්‍ය. ඒත් සමාජශීලී නොවන බව (පමණක් නොවෙයි ඕනෑම දෙයක්) කෙනෙක් සමාජයේ අපහාස විඳීමට හේතුවක් විය යුතු නැහැ.

මේ සටහනේ අරමුණත් එවැනි අය අප අතර ඉන්නා බවත් ඔවුන් අමුතු මනුෂ්‍යන් නොව ඒ ඔවුන්ගේ ස්වභාවය බව පහදා දීමයි.  සමාජය ඉදිරියේ මැවෙන පෞරුෂත්වයෙ වෙස් මුහුණු අපි විසින් කුඩා කාලයෙ පටන් පුරුදු පුහුණු කරගත් යමක් මිස අවසානයෙදි ඇතුළාන්තයෙන් අපි හැම කෙනෙකුම මනුෂ්‍යයන් බව අපි වටහාගත යුතුයි. සාමුහිකත්වය හුරු නොවීම කෙනෙකු ගේ ජීවිතයට අමතර බරක් එකතු කිරීම කණ්ගාටුදායක තත්ත්වයක්. සමාජයක් විදිහට මේ පිටස්තරයන් ගැන තියන වැරදි ආකල්ප දුරු කිරීම අවශ්‍යම දෙයක් විදිහට මම කල්පනා කරන්නෙ.

පමාවී හෝ සියලු introvert ජීවිත වෙනුවෙන් සුබපැතුමක් එක් කරන්න මේ සටහන යොදාගන්නව!

කෙනෙකුගේ ජීවිතය ඔබට වටහා ගත නොහැකි ජීවිතයක් වීම කිසිසේත් ඔවුන්ගේ වරදක් නොවේ!

Its okay to live a life that nobody can understand!



Friday, January 1, 2021

31 රෑ - චාල්ස් බුකොව්ස්කි

හරියටම රෑ දොළහට
1973 - 74 අවුරුදු අතර මැද
ලොස් ඇන්ජලිස් නගරේ
පටන්ගත්තා මහ හයියෙන් වැස්සක්
පාම් අතු උඩට, මගෙ ජනේලෙන් එපිට...
ඇහෙන්න පටන් ගත්තා
රතිඤ්ඤා, නළා හඬ සද්දෙන්...

නින්දට ගියේ මං රෑ 9 ට
නිවා දමල විදුලි පහන්
ගුලිවෙමින් පොරෝනාවේ..
උන්ගේ සතුට උන්ගේ විනෝදය
උන්ගේ කෑගහන හඬ උන්ගේ කඩදාසි තොප්පි
උන්ගේ වාහන, උන්ගේ ගෑනු
උන්ගේ තේරුමක් නැති බීම...

අලුත් අවුරුදු රෑ
හැමදාම බයගන්නවනවා මාව...
ජීවිතය දන්නවද අවුරුදු ගෙවෙන බවක්..

නැවතිලා නළා හඬ..
නැවතිලා රතිඤ්ඤා සද්දෙත්
මිනිත්තු පහකින් ඉවරයි හැමදේම..
පාම් අතු උඩට වැහි වැටෙන හඬ ඇර
වෙනත් යමක් අහෙන්නේ නෑ අවට..
දැන් මම කල්පනාකරනවා
තේරුම් ගන්න බැරිවේවි මේ මිනිස්සුන්ව 
කවදාකවත් මට..
ඒ වුණත් ජීවත් වෙනවා
හැමදාමත් උන් එක්ක මම..

- චාල්ස් බුකොව්ස්කි

- Originally titled "Palm Leaves"
- Translated by hAsH-