රොබට් ෆ්‍රොස්ට් යනු ඇමරිකාව සිතා සිටි වයස්ගත කාරුණික කවියා නොවීය - ඔහු සිත් වේදනාවෙන්ම සුන්දරත්වය පාදා ගත් මිනිසෙක් විය.
ඔහුගේ කවි සන්සුන් ය, නමුත් ඔහුගේ ජීවිතය ගත වූයේ කිසිසේත්ම ඒ අයුරින් නොවේ. ඔහු දුගී දුප්පත්කම සහ කණස්සල්ලෙන් පිරි වටාපිටාවක හැදී වැඩුණු දරුවෙක් වූ නමුත් ඉටිපන්දම් එළියෙන් පොත් කියවූ මහත් බුද්ධි ප්‍රභාවක් පෙන්වූ දරුවෙක් විය. ඔහු ජීවිතයේ ස්ථිරසාර බවක් සොයාගැනීමට පෙර ඒ ගැන ඇති විශ්වාසය බිඳගත්තේ ය. රොබට් ගේ පියා දැඩි සේ මත්පැනට ලොල් වූ පුද්ගලයෙක් වූ අතර බීමතින්ම ඔහු මිය යන විට රොබට් ට වයස එකොළහක් විය. ඉන්පසු ඔහුගේ මව තදින්ම ආගමට දහමට නැඹුරු වූ කාන්තාවක් බවට පත් වූවා ය. වයස විස්සක් වන විට රොබට් ෆ්‍රොස්ට් ට තමන්ගේ පළමු දරුවාගේ මිනීවළ සාරන්නට සිදුවිය. ඉන්පසු ඔහුගේ මුළු ජීවිතය ම නිර්මාණය සහ බිඳවැටීම අතර අරගලයක් වීමට නියමිතව තිබුණි.
ඔහු මුලින්ම කවිය හැර අනෙක් සියළු දේ උත්සාහ කර බැලීය - ගොවිපළ සේවකයෙක්, පාසල් ගුරුවරයෙක්, පුවත්පත් කතුවරයෙක් ආදී වශයෙන් - නමුත් ඒ සෑම දෙයක්ම අවසන් වූයේ අසාර්ථක වීමෙනි. වයස 38 වන විට බංකොලොත් බව සහ අපේක්ෂාභංගත්වය නිසා ඔහු තම පවුලේ ගොවිපළ විකුණා දමා බිරිඳ සහ දරුවන්ද සමග එංගලන්තයට පැමිණියේ ය. මේ තීරණය බොහෝ දේ වෙනස් කළේ ය. බීකන්ස්ෆීල්ඩ් නගරය අසල කුලියට ගත් කුඩා නිවසේ සිට ඔහු ලියූ කවි ඔහුගේ නාමය අමරණීය බවට පත් කළේ ය, The Road Not Taken, Mending Wall, After Apple-Picking ඒ අතර වෙයි. ඔහුගේ කවි වල මතුපිට වූයේ පිටිසරබද ගැමි වටාපිටාවක් වූවත් ඒවායේ ඇතුළාන්තයේ හුදෙකලාව, චිත්තාපර බව, ප්‍රචණ්ඩත්වය වැනි දේ සියුම් ලෙස සැඟවී තිබුණි. "කවිය නම් ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර විය යුතුය" යැයි ඔහු වරක් පැවසීය. ඔහු ආරම්භ කළේ වේදනාවෙනි, අවසාන කළේ ඒ සියළු දේ මැද පැවතීමෙනි.
ඛේදවාචකයන් ඔහු පසුපස පැමිණියේ සෙවණැල්ලක් විලසිනි. ඔහුගේ තවත් දරුවන් දෙදෙනෙක් බාල වයසේදීම මියගිය අතර තවත් පුතෙකු සියදිවි නසාගත්තේ ය. ඔහු මහත් සේ අගය කළ ඔහුගේ බිරිඳ එලිනෝර් මානසික අවපීඩනයට ගොදුරුවී දුර්වලව ගියා ය. ෆ්‍රොස්ට් මේ වේදනාවන් ඔහුගේ සෑම කවියක් තුළටම රැගෙන ආවේ ය. ඔහුගේ කවි තුළ නිරූපිත වනපෙත් හුදු භූමි දර්ශන නොවී සැබෑම අභය භූමි ලෙස දැනෙනුයේ මේ නිසා ය. ඔහු සොබාදහම ගැන කවි ලියූවේ මිනිසුන්ගෙන් පළායාමට නොව, ඔවුන්ටත් තමාටත් සමාව දීමට ය.
1961 වසරේ, වයස 86 වන විට, ඔහු ජනපති ජෝන් එෆ් කෙනඩි ගේ පදවි ප්‍රාප්ති උත්සවයේ එළිමහන් වේදිකාවට ගොඩ විය. ඔහු සූදානම් වූයේ ඒ මොහොත වෙනුවෙන් ඔහු ලියූ නවතම කවි පන්තිය කියවනු පිනිස ය. හාත්පස තිබුණේ තද හිරු රැසකි. ඉන් ඔහුගේ දෑස බොඳවී ගියේ ය. ඔහුගේ අත වෙව්ලන්නට විය. කවිය කියවන්නට පටන් ගත් නමුත් කඩදාසියේ ලියා තිබූ අකුරු ඔහුට පැහැදිලිව පෙනුණේ නැත. ඔහු කතාව පටන් ගත්තේ මහත් අපහසුවෙනි. නමුත් ඉක්මණින්ම කඩදාසිය පසෙක දැමූ රොබට් ෆ්‍රොස්ට් හිස ඔසවා ඔහුගේ “The Gift Outright” කවි පන්තිය මතකයෙන් කියන්නට පටන් ගත්තේ ය. ඔහුව මුළුමනින්ම අවමානයට ලක්වීමට ගිය මොහොතක් ඇමරිකානු ඉතිහාසය තුළ වඩාත් උත්කර්ශවත්ම සජීවී ඉදිරිපත් කිරීමක් බවට ඔහු හරවා ගත්තේ ඒ ආකාරයටයි.
රොබට් ෆ්‍රොස්ට් යනු හිම මිදෙන වන පෙත් අතර ගැවසී සුමුදු කවියෙකු නොවීය. ඔහු ජීවිතයටම බද්ධ වූ මහා ශෝකයන් මැද දිවි ගලවා ගත් කෙනෙකු විය.
ඔහු ලියූවේ සොබාදහමේ සාමය ගැන නොවේ - ඔහු ලියූවේ සාමය අතුරුදහන් වී, අවසානයේ රුදුරු සීත මැද ඇසෙන එකම හඬ ඔබේ හද ගැස්ම පමණක් වන මොහොතේ පවා ඇදනොවැටී ඇවිද යාම ගැනය.
~ Translated from the facebook page "English Literature: A Community's Post"






