Tuesday, April 20, 2021

Do the right thing (1989)

බෲක්ලින් වල වීදියක අයිනෙ තිබුණ "සැල්" ගේ පීසා කඩෙන් එලියට බැස්ස කොල්ල, "හැමෝම එකතුවෙලා මේ පීසා කඩේ වර්ජනේ කරන්න ඕන, කිසි කෙනෙක් ඔය පැත්ත පළාතක යන්න එපා" කියල මග හම්බවෙන, එයා දන්න කියන හැමෝටම කිය කිය යන්න පටන්ගත්ත. "අපි පොඩි කාලෙ ඉඳංම කන්නෙ ඔය කඩෙන් නෙ බං. මොකටද ඕක වර්ජනේ කරන්නෙ. පිස්සු කතා නොකිය හිටපන්" කොල්ලගෙ යාලුවො කිව්ව. "අනේ පලයං යන්න, අපිට ඔය කඩ වර්ජනේ කර කර ඉන්නවට වඩා වැඩ තියනව" වැඩිහිටි මිනිස්සු කොල්ලට නෝන්ඩිය දැම්ම. ඒත් ඇයි මේ කොල්ලට එකපාරට "සැල්" ගේ පීස කඩේ වර්ජනේ කරන්න හිතුණෙ? මනුස්සයෙකුට හේතුවක් නැතුව නිකං එහෙම හිතෙන්නෙ නෑ නෙ. මේ පීසා කඩේ අයිතිකාර සැල්වදෝර්, කවුරුත් දන්න විදිහට කිව්වොත් "සැල්" ඉතාලි ඇමරිකානු ජාතිකයෙක්. එයාගෙ පීසා කඩේ බිත්තියක් පුරා අලවල තියනව ඇමරිකන් ඉතාලියානුවන් ගෙ පින්තූර. එසේ මෙසේ අය නෙමෙයි "රොබට් ඩී නීරෝ" "අල් පචිනෝ" "ෆ්‍රෑන්ක් සිනාට්‍රා" "සොෆියා ලොරේන්" වගේ ලෝකෙ පුරා නම තියපු ඇමරිකානු ඉතාලියානුවොයි සැල් ගෙ කඩේ බිත්තිය සැරසුවෙ. කඩේට කන්න ආව මේ කොල්ලට ඔය වැඩේ සෑහෙන ප්‍රශ්නයක් වුණා. කොල්ල කලු ඇමරිකානුවෙක්, කඩේ අවට වැඩි හරියක් හිටියෙ කලු ඇමරිකානුවො. කොල්ල සැල් ගෙ මූණට කියල දාපු වචනෙන් ම කිව්වොත් " ඉතාලි කාරයෙක් කවදාවත් මේ කඩෙන් කනව මං දැකල නෑ. මේකෙ කන තරමක් කන්නෙ කල්ලො. තමුන්ගෙ මේ බිස්නස් එක දුවන්නෙ කල්ලො නිසා. ඉතින් තමුසෙට වටින්නැද්ද එක කලු මිනිහෙකුගෙ පින්තූරයක් මේ බිත්තියෙ එල්ලගන්න" කොල්ල කියපු කතාව සැල් තදින්ම ප්‍රතික්ෂේප කෙරුව. ඒ තරහට කඩෙන් එලියට බැහැපු කොල්ල, සැල් ගෙ කඩෙන් ආයෙ කවදාවත් පීස කන්නෙපා කියල තමන් දන්න හැම කල්ලෙකුටම කිය කිය ගියා.

බැලු බැල්මට කොල්ල ජාතිවාදි අදහස් තියෙන කෙනෙක් වගේ නෙ පේන්නෙ. ඒක හැබැයි ඇත්ත. තමන් අයිති කලු ජාතිය ඇරෙන්න අනිත් හැමෝම තමන්ගෙ හතුරො වගෙයි එයාට පෙනුනෙ. අනිත් අතට සැල් ට තිබ්බ කලු ජාතිකයෙකුගෙ පින්තූරයක් බිත්තියෙ එල්ලන්න. එහෙම කලයි කියල එයාට පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි පොඩි කොල්ලෙක් තමන්ගෙ ඉස්සරහට ඇවිත් මෙහෙම සද්දෙ දැම්මට අවුරුදු පණහක විතර ව්‍යාපාරික ලෝකෙ අත්දැකීම් තියන මනුස්සයෙක් ඒ වැඩේ කරයි කියල තාර්කිකව හිතන්නත් බෑ. ඉතින්, මොන ජාතියට මොන ආගමට අයිති වුණත් අනිත් මිනිහා එක්ක සමාදානෙන් ඉඳපල්ලා කියල  බාලාංශ පන්තියෙ පටන් ඉගෙන ගන්න, ජාති වාදයට විරුද්ධ වෙන්න ඕන කියල උදේ හවස මතුරන අපිට කොල්ලගෙ ජාතිවාදෙ සමාජෙට විහිලුවක් වෙද්දි දැනෙන සතුටු හැඟීම නම් කරන්න පුලුවන් මාර "ආතල්" එකක් විදිහට. හැබැයි ඒ "ආතල් එකට" අවසානෙ වෙන්න නියමිත මොකක්ද කියල දන්නව නම් ඔය වෙලාවෙ ඔය තරම් සතුටු නොවී ඉන්න තිබුණ. 

ඇත්තටම බැලුවොත් අපි මේ ලෝකෙ උපදින්නෙම, අපි කැමති වුණත් අකමැති වුණත්, මොකක් හරි ආගමකට ජාතියකට අයිති වෙලානෙ. තමන් උපන්න ජාතියට විශේෂ ඇල්මක් හැම කෙනෙකුටම දැන හෝ නොදැන තියනව. ඒක ලොකු ගැටලුවක් නෙමේ. අන්තිමට බැලුවම ජාතිවාදෙ කියන්නෙ කාගෙ කාගෙත් හිත් යට යන්තමට නිවි නිවී ඇවිලෙමින් තිබෙන ගිනිපුපුරකට සමාන දේකට. හොඳ හුළංපාරකට පුලුවන් ඔය ගින්න බට කැලේට ගිනි තිබ්බ ගාණට අවුලුවල ගන්න. දැන් මම මේ කතා කරන Do the right thing චිත්‍රපටයෙ අවසානෙට වෙන්නෙත් ඒක. උදේ ඇතිවුණු සතුටු හැඟීම රෑ වෙද්දි කුඩුපට්ටම් වෙලා කෑලි වත් හොයාගන්න බැරි තැනකයි නවතින්නෙ. හැබැයි ඒක නිකංම ආතල් කුඩුවීමක් නොවෙන්නෙ ඒක ඇතුලෙ අපිට ආයෙමත් අපිවම පේන්න පටන් ගන්න හින්ද.  මතක් කරනගන්න පුලුවන් නම් අප්‍රියෙල් විසි එක, දිගන තෙල්දෙණිය, දෙදාස් නමයට කලින් ලංකාව, යාපනය, අසූ තුන.. ඔය වගේ සෑහෙන දෙවල් ටිකක් මතක් කරගන්න පුලුවන් වෙයි. බෲක්ලින් වීදිය කියන්න ලංකාව විතරක් නෙමේ ලෝකෙ ඕනැම රටකට සමපාත වෙන්න පුලුවන් තැනකට.

මාටින් ලූතර් ගේ පින්තූර බෙල්ලෙ එල්ලගෙන හිටියත්, මැල්කම් එක්ස් බිත්තියෙ අලවන් දුම් ඇල්ලුවත් ඒ මිනිස්සු කියපු දේවල් වලින් අංශුමාත්‍රයක වටිනාකමක් වත් ජීවිත වල තිබ්බ නම් බෲක්ලින් වීදිය කවදාකවත් ගිනි නොගන්න තිබ්බ. හවසට බියර් බෝතලේ උගුරට හලාගෙන හීන් වෙරිය පිටම පාර අයිනෙ ඉඳගෙන උන්නු වයසක මේජර් උන්දෑ නිතරම කියන්න පුරුදු වෙලා හිටිය "කොල්ලනේ...නිතරම හරි දේ කරපල්ල" කියල. ඒත් පාරෙ හිටපු කොල්ලො ටික මේජර් උන්දෑව විහිලුවට ගත්ත මිස කවදාවත් ඒ වචන වල බරක්පතලක් ඇති බව හිතුවෙ නෑ. පාරෙ ඉන්න බීගත්ත වයසක මනුස්සයෙකුගෙ වචන කවුද ගණන් ගන්නෙ. හැබැයි එහෙම වුණා නම් පීසා කඩේ ඩිලිවරි රස්සාව කල "මූකි" දරුවෙකුට වගේ තමන්ට සලකන සැල් ට විරුද්ධව "පළමු ගල" ගහන්න කලින් තමන් මේ කරන්න යන්නෙ මොකක්ද කියල දෙතුන් පාරක් කල්පනා කරනව. (මූකි ගෙ චරිතය රඟපාන්නෙ Do the right thing ලියල අධ්‍යක්ෂණය කරන Spike Lee ම යි. එතකොට එයාගෙ වයස අවුරුදු 32 යි. මේ ලියන මගෙ දැන් වයස! පෝස්ටරේ පීසා එකක් අරන් ඉන්න කොල්ල තමා Spike Lee) 

මිනිස්සු ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ ඒ මොහොතේ දැනෙන පෙළඹවීම් මත මිස තමන් මේ කරන්නෙ මොකක්ද, මේ කරන දෙයින් ලැබෙන ප්‍රතිවිපාක කොයිවගේද කියල කිරල මැනල නෙමේ නෙ. අනික් අතට මිනිස්සුන්ට තියනව තමන් කලින් හදාගත්ත මොඩල් ටිකක්. වීරයා, ද්‍රෝහියා, තමන්ගෙ ජාතියෙ එකා, ආදරේ කරන්න ඕන දේවල්, වෛර කරන්න ඕන දේවල්.. ඒ වගේ මිනිස්සු හිතන්නෙ ඔය කලින් ලේබල් කරගත්තු ක්‍රමයකට. කවුරු නැතත් මිනිස්සුන්ගෙ මේ චින්තන රටාව දේශපාලකයින් හොඳට දන්නවා. එයාල නියම වෙලාවට නියම වචන යොදල මිනිස්සුන්ව පාවිච්චි කරනව. මිනිස්සුත් ඒ ඒ අවස්ථාව අනුව නොදැනීම දේශපාලකයන් වෙනුවෙන් පාවිච්චි වෙනව. රාජ්‍ය නමින් හඳුන්වන අධිපති යාත්‍රණය තමන්ගේ බලය පවත්වාගන්නෙ මිනිස්සු අතර තියන දෘෂ්ටිවාද හරහා. එතනදි මේ අධිපති දෘෂ්ටිය පවත්වාගන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ බලවේග අඩපණ කරලදාන්න ඕන "රාජ්‍ය මර්ධනය" කියන්නෙ මේ දෙයට තමා. මිනිස්සු අතරෙ තියන මේ ජාතික ආලය මතින් තමයි රාජ්‍ය තමන්ගෙ අධිපතිත්වය පවත්වගන්නෙ.  මිනිස්සු දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වෙනව කියන්නෙ ඒකට. ඉතින් අවසානෙ වීරයෙක් කියන්න කවුරුත් ඉතුරු වෙන්නෙ නෑ. තමන්ගෙ ජාතිය, තමන්ගෙ ආගම වෙනුවෙන් මිනිස්සු මරාගද්දි ඕක නවත්තපල්ලා ඔය වැඩේ වැරදියි කියන ටික දෙනාට ද්‍රෝහි ලේබලේ වැදිල සමාජෙන් කොන් වෙන්නයි සිද්දවෙන්නෙ. හැබැයි අන්තිමට නැව ගිලෙන්නෙ නම් හැමෝම එක්ක මිස කවුරුත් වෙන වෙනම නෙමෙයි. ග්‍රීස්ම ඍතුවේ උණුසුම්ම දවසක බෲක්ලින් වල පාරක එකිනෙකාට කිට්ටුවෙන් ජීවත් වෙන කලු ඇමරිකානු, සුදු ඇමරිකානු, ඉතාලියානු, ස්පාඤ්ඤ, කොරියන්... මෙකී නොකී ජාතින් අතරෙ ලෝකෙ හරස්කඩක් මවල කියන මේ කතාවෙන් කියන්නෙ අපි ටිකක් තර්කානුකූලව හිතල "හරි දේ" නොකර අපි ඇතුලෙ තියෙන අන්තගාමීත්වයට එලියට ඇවිත් අපිව මෙහෙයවන්න ඉඩ දුන්නොත් ඇතිවෙන අවුල කොයිතරම් දුර යන්න පුලුවන් ද කියන වටිනා පාඩම.



No comments:

Post a Comment