Monday, December 6, 2021

Spencer (2021)

 වර්ෂ 1991 දෙසැම්බර් මාසයේ දි බ්‍රිතාන්‍ය රජ පවුල, එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තයෙ, මහ රැජිණට හිමි වතුයායක පිහිටි Sandringham නිවාසයේ තම නත්තල් නිවාඩුව ගතකිරීමට පැමිණෙනව. වෙල්ස් හි කුමරිය ඩයනා, ඇගෙ සැමියා වුණු චාල්ස් කුමරා සහ ඔවුන්ගේ එවකට කුඩා දරුවන් වුණු විළියම්, හැරී දෙපුතුන් ද මේ පිරිස අතර ඇතුළත්. මේ ගෙවෙමින් තිබුනෙ ඩයනා කුමරිය ලොව පුරා මාධ්‍යවල පුවත් මවමින් සිටි යුගයක්. විශේෂයෙන් ඇගෙත් චාල්ස් ගෙත් විවාහයෙ ඉරිතලායාම්, රාජකීයයෙකුට කිසිසේත් නොගැලපුණු ඇගේ නිදහස්කාමී හැසිරීම් රටාව මේවායින් සහ ඩයනාගේ ඡායාරූප වලින් පුවත්පත් සඟරා පිරී ඉතිරී යමින් තිබුණා. 1991 නත්තල් නිවාඩුව රජ පවුලේත් ඇගේ ජීවිතයේත් සුවිශේෂ කඩඉමක් සනිටුහන් කල සිදුවීමක්. ඒ ඇය තමන්ගේ විවාහය සහ ඒත් සමඟ රජ පවුල සමග ඇති උරුමය අතහැරීමට තීරණය කරන්නෙ මේ කාලපරාසයෙදි වීම. Spencer චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මෙන්න මේ ඓතිහාසික සිදුවීම මුල් කරගෙන. 

Spencer චිත්‍රපටය, ඉතිහාසය සිදුවුණු ආකරයෙන්ම යළි යළිත් ප්‍රතිනිර්මාණය කරනවාට වඩා එක්තරා ආකාරයක භාවමය සංචාරයක් ඔබව ගෙනයන බව කියන්නම්. මේ හුදු චරිත කතාවක සීමාවෙන් එහාට යන සිනමාත්මක වෑයමක්. මූලිකවම එහි සිදුවෙන්නේ රාජකීයත්වය නමැති රන් කූඩුවක සිරගත වුණු අතිශ්‍ය සාමාන්‍ය මිනිස් ගැහැනියකගේ පීඩිත හැඟීම් ප්‍රකාශනය කිරීමක්. එක් අතකින් චාල්ස් සහ කැමිලා පාකර් අතර තිබුණු අනියම් සබඳතාව බිරිඳක් විදිහට ඩයනාව රිදවා තිබුණා. අනික් අතින් රජ පවුලේ අටෝරාසියක් නීති රීති සම්ප්‍රදායන් වලට යටත්ව සිටීමට ඇයට සිදුවුණා. අනික් අතින් දරු දෙදෙනාට ආදරණීය මවක් වෙන්න ඇයට උවමනා වුණා. මේ මානසික අරගලය ඈව උමතු බවේ සීමාව දක්වා රැගෙන ආව. ඈ සැනසීමක් ලබන්න උත්සාහ කරන්නෙ මේ රාජකීය ගතානුගතිකත්වය බිඳදැමීමෙන්. හැකි තරම් ඒ උරුමයෙන් ඈත් වීමෙන්.  ඇය මේ හැඟීම් සමග කර අරගලය වඩා කාව්‍යමය ආකාරයකින් පැය දෙකකට ආසන්න කාලයක් Spencer චිත්‍රපට‍යෙ මැවෙන්නෙ. 

Spencer නිර්මාණය වෙනුවෙන් එක්වෙන්නෙ සිනමාවෙ මෑත කාලිනව විශිෂ්ටතා පලකල නිර්මාණ කරුවන් පිරිසක්. මෙහි අධ්‍යක්ෂ Pablo Larraín Matte. 2016 දී ජැකී කෙනඩිගේ චරිතය ඇසුරෙන් Jakie චිත්‍රපටය නිර්මාණය කලේ ඔහු. තිරරචනය Peaky Blinders නිර්මාණය කල Steven Knight ගේ. Cinematography අංශයෙන් Portrait of a Lady on Fire චිත්‍රපටය වෙනුවෙන් ලොව පුරා සම්මානනීය වුණු Claire Mathon. සංගීතය සුප්‍රකට බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වෙන Radiohead සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක Jonny Greenwood ගෙ. Spencer චිත්‍රපටයක් විදිහට කොයිතරම් පරිපූර්ණ නිර්මාණයක් ද කියන කාරණය පෙන්වා දෙන්න මේ හඳුන්වාදීම් කිහිපයම ප්‍රමාණවත්. 

නමුත් චිත්‍රපටය නැරඹූ කෙනෙකුට සදානුස්මරණීයම කාරණය වෙන්නෙ ඩයනා කුමරියගේ චරිතය නැවත ජීවමාන කරවන, Kristen Stewart ගේ රංගනය බව කිවයුතුමයි. මම හිතන්නෙ බොහො වෙලාවට ඒකකාරී ස්වරූපයේ චරිතවලට සීමාවී සිටි ඇයගේ රංගන ජීවිතේ සුවිශේෂ සංධිස්ථානයක් මේ චිත්‍රපටය සමග ඇය සනිටුහන් කරන බව. ඩයනා, ඔබේත් මගේත් මතකයේ රැඳෙන්නෙ අසම සම රූප සෞන්දර්යයකින් පිරුණු අසීමිත ගැහැනියක් විදිහට. Kristen Stewart ඉදිරිපත් කල අති සියුම් සහ ප්‍රබල රංග විලාසය මතකයේ රැඳුණු ඒ ගැහැණියට කොයි ආකාරයෙන් වත් අසාධාරණ‍යක් නොකල බවයි මගේ හැඟීම. සොයා බැලුවොත් ඩයනා කුමරිය නම් චරිතය තවත් බොහො රංගන ශිල්පිනින් විසින් මීට පෙර රඟ දක්වා ඇතිබව ඔබට දැකගන්න ලැබේවි. Kristen Stewart ඒ අතර ඉදිරියෙන්ම තැබිය හැකි බවට නම් සැකයක් නැහැ. ඩයනා කුමරියගේ ආරක්ශකයෙකු වශයෙන් ක්‍රියාකල Ken Wharfe නමැත්තෙකු චිත්‍රපටය නැරඹීමෙන් පසුව කියා තිබුණේ මෙවැනි අදහසක්.

"පහුගිය අවුරුදු දහයක පමණ කාලයක පටන්, ඩයනාගේ චරිතය නිරූපණය කල සියලුම දෙනා අතරින්, වඩාත්ම ඩයනාට සමීප වුණේ ඇයයි. ඩයනාගේ සුවිශේෂ හැසිරීම් රටාව ඇය අති විශිෂ්ට ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර තිබුණා"

Kristen ලැබූ මේ සාර්ථකත්වය පිටුපස ඉතාම දැඩි වෙහෙසක් ඇති බව නොඅනුමානයි. ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක් වුණු ඇය මේ වෙනුවෙන්ම පුරා මාස හයක්ම බ්‍රිතාන්‍ය ඌරුවට ඉංග්‍රීසි උච්චාරණය පුහුණු වුණු බවයි සඳහන් වෙන්නෙ. මෙතෙක් සිදුකල සියලුම රංගනයන් අතරින් තමන් වඩාත්ම ප්‍රිය කරන රඟපෑම මෙය බව ඇයත් පසුව කියා තිබුණා.

කොහොම නමුත් මීලඟට පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලක Kristen වෙනුවෙන් අඩුවශයෙන් නාම යෝජනාවක් හෝ වෙන්වී තිබෙන්නට ඉඩ ඇති බව හොලිවුඩය පිලිබඳ උනන්දු බොහෝ දැන් පටන්ම ඉඟි පළකරමින් ඉන්නා බවක් දැකගන්න ලැබෙනව. ඒ අනාවැකි ඇත්තක් බවට පත්වෙන්න සෑහෙන ඉඩකඩක් තියන බව කිවයුතුමයි.



1 comment:

  1. මේක බලන්න... ටිකක් අමුතුයි ඒත් ලස්සනයි..

    ReplyDelete