Thursday, January 27, 2022

Petite Maman (Little Mother - 2021)

 Petite Maman (Little Mother - 2021) 


“you didn’t invent my sadness”

පොඩි දරුවෙක් සහ වැඩිහිටියෙක් කියන්නෙ වෙලාවකට ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක්. දරුවෙකුට නම් තමන්ගෙ අවට ලෝකය ගැන නිවැරදිම වැටහීමක් නෑ. ඒ නිසාම වෙන්න ඕන ඒ ජීවිතේ ගත වෙන්නෙ බොහෝම නිදහසේ සැහැල්ලුවේ. වෙලාවකට උතුරා යන සතුටත්, තවත් වෙලාවක තරහවත් කේන්තියත්, ඉන්පස්සෙ ආදරයත් කරුණාවත් පොඩි උන්ගේ ලෝකේ ඇතුලෙ වෙනස් වෙන්නෙ බොහෝම ඉක්මණ්ට. වැඩිහිටි ලෝකෙ ඊට වෙනස්. රට ලෝකෙ සමාජෙ ගැන දැනුවත් වෙන තරමට වගකීම පීඩනය වැඩි වෙන්න පටන් ගන්නව. ජීවිතේ බර දැනෙන්න පටන් ගන්නව. ඒ වුණත් දරුවෙක්, දෙමාපියෙක්, පවුලක් විදිහට මේ ලෝක දෙක මුණගැහෙන තැනක ඇතිවෙනව අමුතු බැඳීමක්. විශේෂයෙන් පවුලක් ඇතුළෙ පැවැත්මට නම් මේ බැඳීම හොඳ මට්ටමේ එකක් වීම අනිවාර්යයි. 2021 අවුරුද්දේ ප්‍රංශ භාෂාවෙන් තිරගත වුණු  Petite Maman චිත්‍රපටය මෙන්න මේ කාරණාව මුල්කරගෙන නිමැවී තිබෙන අපූරුම සිනමාපටයක්.

Petite Maman පැය 1 විනාඩි 12 පමණ ධාවන කාලයක් තියන, සාපේක්ෂව කෙටි වගේම සරල කතාපුවතක්. ඒත් ඇත්තටම ඒ සරල කම ඇතුළේ කියවෙන්නෙ මහ සංකීර්ණ ජීවිත කතාවක්. Nelly අවුරුදු අටක පුංචි ගෑනුලමයෙක්. Nelly ගේ ආච්චි අම්මාගෙ මරණය එක්ක Nelly එයාගෙ අම්මාත් තාත්තාත් එක්ක අම්මා කුඩා කාලෙ හැදුණ වැඩුන නිවහනට එනව. Nelly ගෙ අම්මා එයාගෙ ළමා වයස ගතවුණු හැටි Nelly ට කියල දෙනව. ඒත් Nelly ට දකින්න ලැබෙන්නෙ එයාගෙ අම්මා මහ දුකකින් ඉන්නා බවක්. එයා නොදන්න මොකක්දො අඳුරකින් අම්මාව වැහිල ගිහින් වගේ. එයාට ඒ ඇයි කියල හිතා ගන්න බැහැ. දවසක් Nelly ගෙදර කිට්ටුව තියන කැලේ ඇතුළෙ සෙල්ලම් කරමින් ඉද්දි දකින්න ලැබෙනව එයා වගේම තව ගෑනුලමයෙක්ව. එයා ගෙ නම Marion. ඉක්මනින්ම Marion සහ Nelly හොඳ යාලුවන් බවට පත්වෙනව. Marion සහ Nelly හොයාගන්නව තමන් අතරේ අපූරු සම්බන්ධයක් ඇති බව..

Petite Maman යථාර්ථයේ සීමාව ඇතුළෙ ඉඳිමින්ම එය ඉක්මවා යන කතාවක්. ඒ නිසා තේරුම් ගන්න බැරි අමුතු මායාමය ස්වභාවයක් චිත්‍රපටය ඇතුළෙ අපිට දැනෙනව. මොකක්ද ඒ සිද්දවුණේ කියන දේ ගැන අපිට කතාව ඇතුළෙ පැහැදිලි කර දෙන්නෙ නෑ. නරඹන්නා විසින්ම එය තමන්ට දැනෙන ආකාරයකට විඳගත යුතුයි. කලා කෘතියකට කොයිතරම් අපූරුවට යථාර්ථය ඉක්මවල ජීවිතේ විවරණය කර දෙන්න පුලුවන් ද. එයට හොඳම උදාහරණයක් මේ චිත්‍රපටයම.

Nelly ගේ සහ Marion ගේ චරිත රඟදක්වන Joséphine Sanz සහ Gabrielle Sanz හැබෑ ජීවිතේ නිවුන් සහෝදරියන්. Petite Maman තිරරචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ 2019  අවුරුද්දේ Portrait of a lady on fire නිර්මාණය කරපු ප්‍රංශ ජාතික සිනමාවේදිනි Céline Sciamma. ඇගේ සිනමා භාවිතාව ප්‍රකට වෙන්නේ ගැහැනියකගේ ජීවිතය ප්‍රධාන වශයෙන් තේමා කරගැනීම නිසා. Petite Maman ඇතුළෙත් ඒ කාරණාව දැකගන්න පුලුවන්. Petite Maman 2021 අවුරුද්දේ හොඳම චිත්‍රපට අතරට එකතුකරන්න පුලුවන් අපූරුම සිනමා නිර්මාණයක් බව කියන්නම්.



1 comment: