Friday, May 13, 2022

Sillu Karupatti (2019)

මිනිස්සු තමන් නිර්මාණය කරගත්ත භාෂාව ගැන කොයිතරම් ආඩම්බර වුණත් සමහර මිනිස් ගති ස්වභාවයන් නිර්වචනය කරගන්න තරම් ඒ භාෂාව පොහොසත් නෑ."ආදරය" කියන්නෙ එහෙම අපිට කවදාවත් කිසිම න්‍යාය ධර්මයකට යටත් කරගන්න බැරි මෙන්න මෙහෙමයි කියල නිශ්චිතව පැහැදිලි කරගන්න බැරි යමකට. හරියට හමායන හුළඟක් අතින් අල්ලල නතර කරන්න අපිට බැහැ වගේ අදරය කියන්නෙ මොකක්ද කියල ගැටලුවට නිශ්චිතව දෙන්න පුලුවන් පිළිතුරක් අපි ලඟ නැහැ. ඒ වෙනුවට නිදහසේ පාවී යන්න පටන් ගත්තම ඒ හුළඟට නතුවෙන්න ඉඩහැරියම සුළඟක සුවදායී බව ඇඟට දැනෙන්න පටන් ගන්නව. ආදරයත් ඒවගෙයි. මලක් වුණත් එහෙමනෙ. මලේ පෙති එකින් එක කඩල වෙන් කරල ඒව විෂ්ලේෂණය කරල ඒ මලේ සුවඳ විඳගන්න බැහැ. ඒ ආදරය නිර්වචනය කරගන්න අමාරු අපි ඒක අත්දකින ස්වභාවය අපේ ජීවිත අත්දැකීම ලෝකය ගැන අපේ දැක්ම වගේ කරුණු කාරණා ගොඩක් එක්ක බැඳිල තියන නිසා. මේ නිසා කෙනෙක් ආදරය අත්විඳින්නෙ තමන්ටම අනන්‍ය වුණු ක්‍රමයකට. අන්න එහෙම එකිනෙකට වෙනස් ජීවිත කතන්දර හතරක් ඇතුළෙ ආදරය පවතින්නෙ කොහොමද කියන දෙය පෙන්වාදෙන චිත්‍රපටයක් Sillu Karupatti.

දකුණු ඉන්දියානු සිනමාව ගත්තොත් දෙමළ, තෙළිඟු, කන්නඩ කියන්නෙ ක්‍රියාදාම පිරුණු රළු කඨෝර බවින් වැඩි චිත්‍රපට සහ මලයාලම් කියන්නෙ බොහෝම සෞන්දර්යාත්මක, ඇහැට කණට සනීප, යථාර්ථයට වඩා කිට්ටු චිත්‍රපට බවයි අපි පිළිගන්නෙ. නමුත් Sillu Karupatti දෙමළ සිනමාවෙ අපි හිතන මේ සීමාව ඉක්මවපු සොඳුරු බවින් පිරුණු සහ යථාර්ථවත් ගුණයෙන් යුතු සිනමා නිර්මාණයක්. Sillu Karupatti චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ එකිනෙකට අසම්බන්ධිත කතා හතරක එකතුවක්. මේ ආකෘතිය හඳුන්වන්නෙ Anthology Cinema නමින්. සරලව කිව්වොත් කෙටි කතා පොතක වගේ කෙටි චිත්‍රපට හතරක් එකකට පසු එකක් සම්බන්ධ කිරීමෙන් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. Sillu Karupatti නමේ අර්ථය "පැණි හකුරු". නමේ විදිහටම මේ පැණි හකුරු රසම රසයි.

චිත්‍රපටයෙ කතා හතර නම් වෙන්නෙ මේ විදිහට 

- Pink bag (රෝස පැහැති බෑගය)

- Kakka Kadi (කපුටු කෑම)

- Turtles (කැස්බෑවෝ)

- Hey Ammu (හේයි අම්මු)

එකිනෙකට වෙනස් කතා හතරක් වුණත් හැම කතාවක්ම නිර්මාණය කරල තියෙන්නෙ එක පොදු මානව ගුණාංගයක් මතු කෙරෙන විදිහට. ඒ තමා "ආදරය". නොයෙක් වයස් කාණ්ඩයන් ඇතුළෙ නොයෙක් සමාජ පරිසරයන් ඇතුළෙ ජීවිතේ ප්‍රශ්න ගැටලු එක්ක ආදරය කොහොමද පවතින්නෙ කියන දේ බොහෝම සිත්ගන්නාසුලු විදිහට මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව.

Sillu Karupatti අධ්‍යක්ෂණය සහ තිර රචනාව දමිළ සිනමාවෙ නවක සිනමාකාරියක් වෙන Halitha Shameem ගෙන්. අපූරුම කැමරාකරණයකින් වගේම හදවතට දැනෙන කණට ඉතාම ප්‍රිය සංගීතයකින් මේ චිත්‍රපටය හැඩවෙලා තියනව. රඟපෑමුත් ඒ වගේමයි. සමහර කෙටි දෙබස්, කුඩා සිදුවීම් ඇතුළෙ ජීවිතේ මහ ගැඹුරකට හිතන්න යමක් ඉතිරිකරන දෙනව. මුල පටන් අග දක්වාම හදවතට දැනෙන සනීපදායක බව චිත්‍රපටයෙ විශේෂම කාරණාවක්. හදවතටත්  බුද්ධියටත් එකවර අමතන මේ සිනමා නිර්මාණය ජීවිතේ ඇතුළෙ ඔබ මගහැර නොගතයුතු වර්ගයෙ එකක් බව කියමිනුයි මේ කෙටි සටහන නිමා කරන්නෙ.




No comments:

Post a Comment