Sunday, December 31, 2023

Dogtooth (2009)

කවද හරි දවසක මං මේ ලෝකෙට ආවෙ කොහොමද කියලා අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහන පොඩි එකෙකුට බොහෝම වෙලාවට "කපුටා ගෙනත් දැම්මා" නැත්තං "රෝස කැලෙන් ඇහින්දා" වගේ උත්තරයක් ලැබෙන්න තියන්නේ ලොකු ඉඩකඩක්. සමහර විට අපෙන් වැඩි දෙනෙකුට එහෙම අත්දැකීම් ඇති. ඕකට බොහොම ප්‍රසිද්ධ ඇම්ඩන්ගෙ කතාවකුත් තියනව. තමන් සහ පවුලේ අය ඉපදුණේ කොහොමද කියලා ඇම්ඩා අම්මගෙන් ඇහුවම "රෝස කැලෙන් ගෙනාවා" කියලා පස්සෙ ඇම්ඩා ඉස්කෝලෙදි වයසින් වැඩිමල් කොල්ලෙකුගෙන් ඇත්ත විස්තරේ දැනගෙන "එතකොට අම්මෙ අපේ පරම්පරාවෙ එකෙක් වත් අහවල් වැඩේ කරල නැද්ද" කියලා ගෙදර ඇවිත් අහනව. මේක කිව්වම හිනායන කතාවක් වුණාට මේකෙ හිතන්න වෙනත් පැත්තක් තියනවා. දරුවන්ට සමහර දේවල් කියලා දෙද්දී දෙමව්පියෝ ඇත්ත වසන් කරනව නම්, දෙමව්පියෝ තමන්ට බොරු කළ බව කවදහරි දවසක දරුවෝ දැනගන්නව. නැත්නම් සමහර වෙලාවට දෙමව්පියෝ දරුවන්ව සමාජයට ලෝකයට හුරු කරවන්නෙ තමන්ට ඔවුන්ව දකින්න උවමනා ආකාරයට, තමන්ගේ අරමුණු වෙනුවෙන් මිස ඔවුන්ව එහෙම කළ යුතු ආකාරයට නොවෙයි.

සමහර දේවල් එකවරම දරුවන්ට කියාදෙන්න අපහසු වුණාට ජීවිතේ ගැන, රටේ ලෝකේ දේවල් ගැන ඇත්ත කරුණු කාරණා කියා දීමේ වගකීමක් දෙමාපියන්ට තියනව. මොකද එහෙම නූණොත් කවද හරි දරුවො සමාජෙට යන්නෙ නොදැනුවත්කම කරපින්නාගෙන. සමාජෙ කියන්නේ නොයෙක් දුර්මත, වැරදි අදහස් පිරැණු තැනක්. එතකොට දරුවනුත් නිවැරැදි දේ තෝරාබේරා ගන්න බැරිව මේ වැරදි අදහස්වලින් ඔලුගෙඩි පුරවාගෙන ඒ අදහස්ම නැවත සමාජෙ පතුරුවාහරින වැඩිහිටියන් බවට පත්වෙන්න තියන ඉඩකඩ වැඩියි. එතකොට, ඇත්ත කරුණු කාරණා සොයාබලලා තමන් දැනුවත් වෙන ගමන්ම තවත් පරම්පරාවකට ඒ නිවැරදි අවබෝධය උරුම කර දීම දෙමව්පියන් සතු යුතුකමක් බවට පත්වෙන්නෙ නිතැතින් ම යි. මෙතනදි මතක් වෙන්නෙ 2016 ආව Captain Fantastic ෆිල්ම් එක. දරුවො කිහිප දෙනෙකු ලොකුමහත් කර හදා වඩා ගන්න, ටිකක් විප්ලවකාරී අදහස් තියන තාත්තා කෙනෙකුගේ කතාවක් ඒක. දවසක් එයාගෙ පුංචිම දුව අහනව තාත්තේ මං ඉපදුණේ කොහොමද කියලා. එතනදි තාත්තා ඊට අදාල හැම කරුණක්ම හංගන්නේ නැතුව සහ පොඩි එකාට තේරුම්ගත හැකි මට්ටමෙන් කියා දෙනවා. දරුවත් තමන්ගේ බුද්ධිමට්ටම අනුව ඒ දේ තේරුම් ගන්නව. මේ චිත්‍රපටියේ තාත්තා කෑමෙන් බීමෙන් විතරක් නෙවෙයි අදහස් වලින් පවා දරුවන් පෝෂණය කරන පෙරළිකාර චරිතයක් ඇති තාත්තා කෙනෙක්. තවම බලා නැත්නම් අනිවාර්යයෙන් බලන්න. 

2009 ආව Dogtooth කියන්නෙත් මේ වගේ දෙමාපිය දූදරු සම්බන්ධකමක් ගැන කියවෙන, නමුත් සෑහෙන අසම්මත සහ බොහොම දෙනෙකුට නම් බලන්න ප්‍රියතාවක් ඇති නොවෙයි කියල හිතන්න පුළුවන් මට්ටමේ ෆිල්ම් එකක්. මේක ග්‍රීක් ජාතික සිනමාකරුවෙක් වුණු Yorgos Lanthimos මුල්කාලීනව කළ වැඩක්. මේ අවුරුද්දේ ආව Poor Things චිත්‍රපටයත් ඒක්ක Yorgos Lanthimos ගැන ආයෙමත් සිනමාව ගැන උනන්දු ජනතාව අතරේ කතාබහට ලක්වෙන්න පටන් අරන් තියනවා. කොහොම වුණත් Lanthimos මුල්ම වරට සිනමාකරුවෙකු විදිහට සැලකිය යුතු ජාත්‍යන්තර අවධානයක් දිනගත්තෙ Dogtooth ෆිල්ම් එකෙන්. තමන්ටම අන්‍ය සිනමා භාෂාවක් සමග වැඩි දෙනා හිතන්නෙවත් නැති මට්ටමේ වැඩවලට අතගහන පෙරළිකාර සිනමාකාරයෙක් ලෝකෙට ඇවිත් ඉන්නා බව Dogtooth වලින් ඉඟිකළා. (අද වෙද්දී Lanthimos මේ සිනමා මාවතේ සෑහෙන දුරක් ඇවිත් ඉන්නව). 

Dogtooth ෆිල්ම් එකේ තියෙන්නෙ දරුවන් තුන්දෙනෙක්ව බාහිර ලෝකයෙන් සහමුලින්ම ඈත් කරලා හදාවඩා ගන්නා මව් පිය යුවළක් ගැන කතාවක්. කෙටියෙන්ම කිව්වොත් ගෙදර තාප්පෙන් එහාට ලෝකයක් නැති බවයි මේ දරුවන්ට කියා දීලා තියෙන්නෙ. ඉන් එහාට අඩියක් වත් තියන්න තහනම්. අම්මාත් යොවුන් වියේ දූ වරු දෙදෙනාත් පුතාත් ගෙදර ජීවත් වෙන්නේ හිරකාරයින්ට සමානව. ගෙදර ගේට්ටුවෙන් එළියට යන්න කිසි කෙනෙකුට අවසර නෑ. කර්මාන්තශාලාවක් හිමි තාත්තා පමණයි දිනපතා එළියට ගිහින් අවශ්‍ය හැම දේම අරගෙන එන්නේ. (කර්මාන්ත ශාලාව ඉතා ප්‍රබල රූපකයක් මෙතනදි. කම්හලක භාණ්ඩයක් නිශ්පාදනය කරන ආකාරයට දරුවන් හදන පියෙක්) දරුවන්ට හැමදේම කියා දෙන්නේ දෙමව්පියන්ට උවමනා ආකාරයට. උදාහරණ විදිහට "මුහුද" කියන්නෙ ගෙදර තියන ලොකු පුටුවක්, "සොම්බී" කියන්නේ මිදුලේ හැදෙන කහ මලක්, "පූසා" කියන්නේ මිනිස්සුන්ව පණපිටින් කා දමන නපුරු සත්ත්වයෙක්, ඔය වගේ තවත් දේවල්. ලෝකය සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ට උවමනා විදිහට අර්ථකථනය කරලා ඒවයින් ළමයින්ගේ ඔළු පුරවනවා. කිසිම දෙයක් නොදන්න දරුවෝ ඒවා පිළිගන්නවා. මේ තාත්තා ළමයින්ට බුරන්න පුරුදු කරනවා, බල්ලන් වගේ හතරගාතෙන් ඇවිදින්න හුරු කරනවා, පුතා තරුණ වයසේ ඉන්න නිසා පුතාට අවශ්‍ය ලිංගික කටයුතු කරගන්න ගැහැණු ළමයෙක්ව නිතර නිතර ගෙදරට ගෙනත් දෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලා. ඇත්තටම Dogtooth කියන්නේ බලන් ඉන්න අපහසු සහ ඔබටත් මටත් පුරුදු ලෝක ධර්මතාවන් ගෙන් ඈත්ව නිර්මාණය කර තිබෙන චිත්‍රපටයක්. වඩාත් නිවැරදිව කියනවානම් Lanthimos විශ්වය ඇතුළේ ගොඩනැගුණු වෙනත් ම ලෝකයක්. නමුත් මේ අභූතරූපී වෙනස් ලෝකය ඇතුළේ නිරූපිත වෙන්නෙ ඔබෙත් මගෙත් ලෝකයම තමයි.

වර්තමානයේ තරමක් කතාබහට ලක්වෙන හෝම්ස්කූලිං කියන මාතෘකාව එක්ක අපිට Dogtooth වෙනත් දෘෂ්ටි කෝණයකින් කියවාගන්න පුළුවන්. දරුවන් පාසලකට නොයවා නිවසේ තබාගෙනම, දෙමාපියන් විසින්, තෝරාගත් ගුරුවරයෙක් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන හෝම්ස්කූලිං කියන්නේ අධ්‍යාපනයේ වඩාත් නූතනම පියවර බවයි සමහර තැන්වල සඳහන් වෙන්නේ. විශේෂයෙන් පහුගිය කාලයේ තිබුණ කොවිඩ් තත්ත්වය එක්ක මේ මාතෘකාව කරළියට පැමිණුනා. එක් අතකින් Dogtooth චිත්‍රපටයෙන් හෝම්ස්කූලිංවල එක්තරා භයානක පැත්තක් පෙන්වා දෙනවා. දරුවන් නිසි ආකාරයෙන් සමාජගත නොවීම තමයි හෝම්ස්කූලිංවලට එල්ල වෙන ප්‍රබලම චෝදනාව. මොකද පාසලක් කියන්නේ හුදු විෂය කරුණු උගන්වන තැනක් නොවෙයි. පාසලක් කියන්නේ විවිධ ආගම් අදහන, වෙනස් සමාජ මට්ටම්වල, විවිධාකාර හැකියාවන් දරන සහ වෙනස් ආකාරයේ සිතුම් පැතුම් සහිත දරුපිරිසක් ඒකරාශී වුණු තැනකට. දරුවෙක් පාසල් යනව කියන්නේ සමාජයේ මේ විවිධත්වයට, මේ වෙනස්කම්වලට හුරුවෙනවා කියන දෙය. වෙනස් ආගම්වලට, වෙනස් අදහස්වලට ගරුකරන්න එතනදි දරුවෙක් ඉගෙන ගන්නවා. අනෙකා සමග සුහදව වැඩකටයුතු කරන්න හුරුවෙනවා. පොදු ස්ථානවලදී පවත්වාගන්න ඕන විනය ගැන අත්දැකීම් ලබනව. නමුත් ගෙදරම ඉදන් අධ්‍යාපනය ලබන දරුවෙක්ට ඒ දේවල් ලබාගන්න අවස්ථාවක් හිමි වෙන්නේ ඉතාම අවම වශයෙන්. ඒ වගේම හෝම්ස්කූලිං කියන්නේ මූලිකවම දෙමව්පියන් මතම රදා පවතින ක්‍රමයක් නිසා දරුවන්ට තමන් විසින්ම අධ්‍යාපනය දෙන්න තරම් දෙමව්පියන් කොයිතරම් සුදුසුයිද කියන දේ ගැටළුවක්. සමහර වෙලාවට ගුරුවරයෙක්ට පුලුවන් දෙමව්පියෙකුට වඩා හොදින් දරුවෙක් තේරුම් ගන්න. මොකද දෙමව්පියෝ දරුවන් ගැන හිතන්නේ තමා එක්ක සම්බන්ධ කරල. තමාගේම කොටසක් විදිහට හිතල. මේ නිසා සමහර වෙලාවට දරුවන් කියන්නේ තමන්ගේම ජීවිතයක් ඇති ස්වාධීන පැවැත්මක් ඇති අය විදිහට දකින්න දෙමාපියන් අසමත් වෙනව. නමුත් ගුරුවරයෙක්ට ඔය පූර්ව අගතීන් ගෙන් තොරව දරුවෙක් දිහා බලන්න පුළුවන්. ඒ වගේම දරුවන් බොහෝ ගණනක් එක්ක වැඩ කර අත්දැකීම් ඔවුන්ට තියෙනව. ඒ නිසා ගෙදරට සීමාකරන මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් කොයි තරම් සාර්ථක වෙන්න පුළුවන්ද කියන කරුණ ගැන ලොකු ප්‍රශ්ණාර්ථයක් ඉතිරි වෙනව. මේ ෆිල්ම් එක හරහා අපිට කරුණත් මතුකරගන්න පුළුවන්. ඒ වගේම Lanthimos කියා තියෙනව අනාගතයේදී පවුල කියන ඒකකය කොයි වගේ යමක් වේවිද කියන දේ මේ චිත්‍රපටයෙන් තමන් නිරූපණය කරන්න උත්සාහ කළ බව. ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ නූතනවාදී ප්‍රවණතාවන් එක්ක ආදරය, ප්‍රේමය, පවුල, අඹු සැමියන් දරුවන්, අධ්‍යාපනය හැම දෙයක්ම ගමන් කරන්නේ අවසානේ සියළු දේ හැඟීම් දැනීම් නැතිව යාන්ත්‍රික කරණය වීම වෙතද යන ගැටළුවයි. 

Lanthimos ගේ සිනමා භාවිතය කියන්නේ වෙනම පෝස්ට් එකකින් කතා කළ යුතු යමක්. ඒ තරම් කතා කරන්න දේවල් තියන මාතෘකාවක්. Lanthimos කියන්නේ බොහෝවිට තමන්ගේ තිර පිටපත තමන්ම ලියල තමා විසින්ම අධ්‍යක්ෂණය කරන සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපට ඔහුටම අනන්‍යයි සහ සුවිශේෂයි. Lanthimos ගේ චිත්‍රපටි ඇතුළේ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ ඔහුගේම විශ්වයක මිස අපි දන්න ලෝකයේ නෙමෙයි. මිනිස්සුන්ගේ හැසිරීම් සහ ඒවා මෙහෙයවෙන තාර්කික පසුබිම චිත්‍රපටියටම පමණක් අදාළ ඒවා. උදාහරණ විදිහට, මේ චිත්‍රපටයේ තාත්තා වාහනේ නවත්වලා වැඩට යන්නේ පාරේ හිතෙන තැනකින් මිස වාහන නවත්වන්න නියමිත තැනකින් නොවෙයි. ඔහුගේම The Killing of a Sacred Deer චිත්‍රපටයේ ඉන්නා කිසිම කෙනෙක් හිනා වෙන්නේ නෑ. ඔවුන් කනව, බොනව, විනෝද වෙනව, සින්දු කියනව, නටනව නමුත් ඒ දේවල් කරන්න ඕන නිසා මිස ඒ ගැන හැඟීමකින් නොවෙයි. ඔහුගේ චිත්‍රපටවල චරිත ගොඩක් වෙලාවට දක්වන්නේ යාන්ත්‍රික හැසිරීම්. ඒ චිත්‍රපටයෙම අපරාධමය සිදුවීම් කිහිපයක් අපි දැක්කත් පොලීසිය ලොකුවට සම්බන්ධ වෙන්නෙ නෑ. කෙනෙක් කරන දෙයට සමානව විපාක දෙන කර්මය වැනි ක්‍රමයකින් සියලු දේ සිදුවෙන්නේ. බලා ඉන්න අපහසු දර්ශන, අත්භූත ගුප්තමය සිදුවීම් ඔහුගේ චිත්‍රපටවලට බහුලයි. ඔහුගේ රූප රාමු වල හිස් අවකාශය වැඩියි. ඔහුගේ පසුතල ඉතා පිළිවෙළයි, පැහැදිලියි. ඒ වගේම ඔහු සුදු වර්ණය තරමක් වැඩියෙන් භාවිත කරනවා (ඔහුගේ නිල වෙබ් අඩවියට ගිහින් බලන්න). ඒ වගේම, වර්ණ, හැඩතල, අවකාශය අවමයෙන් භාවිත කරන යම් අවමවාදී (Minimalist) බලපෑමක් Lanthimos ගේ චිත්‍රපටිවලින් දැකගන්න පුළුවන්. පසුතලයක වුණත් හිස් ඉඩකඩ වැඩිපුර තියලා අවශ්‍ය වස්තූන් පමණක් ස්ථානගත කර තැබීම, අතුරු කතාවලින් තොර මූලිකම ආඛ්‍යානය සහ ඊට අදාළ සිදුවීම් පමණක් ඇතුළත් වීම ඔහුගේ අනන්‍ය සිනමාකරණයේ මූලික ලක්ෂණ. දෛනික ජීවිතේ මතුපිට අවකාශයෙන් සැඟවී පවතින් ජීවිතේ අප්‍රසන්න අඳුරු යථාර්ථයන් වෙනස්ම කතා තේමාවන් හරහා තිරයට ගෙන ඒමයි ඔහුගෙ ක්‍රමය. ග්‍රීසියේ ඇතනස් නුවර ඉපදිලා සිනමාවෙන් උසස් අධ්‍යාපනය ලබලා අද වෙද්දි ඇමරිකානු හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට රංගවේදීන් සමග වැඩකරන තැනට දුර ගමනක් ඔහු ඇවිත් තියෙනවා. (Dogtooth නැරඹීමෙන් පස්සෙ සුප්‍රකට හොළිවුඩ් නළු Colin Farrell මේ අධ්‍යක්ෂවරයා යටතේ තමන් වැඩකරන්න ඉතා කැමැත්තෙන් සිටිනා බව කියා තිබෙනවා. The Lobster චිත්‍රපටයට ඔහුගේ ආගමනය සිද්ද වෙන්නෙ එහෙම)

වර්ණ ගැලපීම් සහ රූප රාමු ගොඩනැංවීම අතින් තමන්ගේම සිනමා භාෂාවක් වැඩි දියුණු කරගැනීමයි ඔහුට මේ තරම් විශාල සාර්ථකත්වයක් ලබන්න හේතු වෙලා තියෙන්නෙ කියල මං හිතන්නෙ. Lanthimos ගේ අලුත්ම චිත්‍රපටිය තමා Poor Things. මීට කලින් ආව Lanthimos ගේ අවසන් චිත්‍රපටිය The Favourite වල ප්‍රධාන චරිතයක් කළ Emma Stone මේකේ ප්‍රධානම චරිතය රඟ දක්වනව. දැනගන්න ලැබුණ විදිහට 2024 අවුරුදේ එළිදකින්න නියමිත Lanthimos ගේ මීළග සිනමාපටය Kind of Kindness වලත් ප්‍රධාන චරිතෙ කරන්නේ Emma Stone මයි. Lanthimos ගේ ඕනෑම චිත්‍රපටයකට තමන් ඉතා කැමැත්තෙන් දායක වෙන බව Emma කියා තිබුණ බවක් දැක්කා. Emma සහ Lanthimos සුසංයෝගය එක්ක තව හොඳ වැඩ ටිකක් ඉදිරියට වේවි කියල හිතෙනව. Poor Things සිනමා ශාලාවල බලන්න අපේ රටේ අවස්ථාව නැති හින්දා ඉක්මණනින්ම වෙබ් පිටපතක් වත් ඒවි කියා බලා ඉන්නව.



5 comments:

  1. මේ චිත්‍රපටය ගැන අසා තිබුනත් සිනමාකරුවා හා නිර්මාණ ගැන කියවන්නට ලැබුන පළමු අවස්ථාව. හොයාගෙන බලන්න ඕනෑ.

    ReplyDelete
  2. හොද දැනුවත් කිරීමක් දෙකම බලලා නෑ බලන්න ඕනේ

    ReplyDelete
  3. හැමදාම වගේ කියවන්න ආසා හිතෙන විස්තරයක් . බලන්නම ඕන.

    ReplyDelete
  4. මාත් හැමදාම කියවනවා. ඒ නිසාම ඉතා හොඳ චිත්‍රපට හමුවෙලාත් තියනවා. ස්තූතියි

    ReplyDelete