Tuesday, January 23, 2024

The Color Purple (2023)

1985 අවුරුද්දේ දි, ඒ වෙනකොට චිත්‍රපටි හතක් පමණක් නිර්මාණය කර සිටි අධ්‍යක්ෂවරයෙක් වුණ ස්ටීවන් ස්පීල්බර්ග්ට, තමන්ගේ අටවෙනි සිනමා නිර්මාණය විදිහට The Color Purple නම් චිත්‍රපටය නිර්මාණය කරන්න අවස්ථාව හිමිවෙනවා. The Color Purple නමින් මුලින්ම ලෝකය හමුවට ආවේ 1982 අවුරුද්දේ ඇලිස් වෝකර් නම් ඇමරිකානු ලේඛිකාව එනමින්ම ලියා පළ කල නවකතාව. මේ නවකතාව ලබපු සාර්ථකත්වයත් එක්ක ඇලිස් වෝකර්ට එයින් චිත්‍රපටියක් නිර්මාණය කරන්න උවමනා වෙනවා. මේ කටයුත්තට ස්පීල්බර්ග් තෝරාගන්නෙ ඇයමයි. The Color Purple ඇමරිකාවේ දකුණු පෙදෙසේ ප්‍රාන්තවල වැඩිවශයෙන් ඉන්නා කළු ජාතිකයින්ගේ සමාජය මුල්කරගෙන ලියවුණ ප්‍රබන්ධයක්. තමන්ට මේ ජන කොටසත්, ඔවුන්ගේ සංස්කෘතියත් ගැන තියන දැනුම ප්‍රමාණවත් නැතැයි කියමින් ස්පීල්බර්ග් ඒ අවස්ථාව ප්‍රතික්ෂ්ප කරන්න උත්සාහ කරනව. නමුත් ඇලිස් වෝකර් ඔහුගේ E.T the Extra Terrestrial චිත්‍රපටය නරඹලා තිබුණා. තමන්ගේ කතාව සිනමාවට ගේනන එකම සුදුස්සා ඔහු බව ඈ තීරණය කරලා අවසානයි. කොහොම හරි ස්පීල්බර්ග් මේ කටයුත්ත බාරගන්නව. අවසානෙ ඇමරිකානු ඩොලර් මිලියන 15ක වියදමෙන් නිමවුණු The Color Purple ඩොලර් මිලියන 98ක ආදායම් වාර්තාවත් තබමින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් මැද තිරගත වෙනවා. The Color Purple ලැබුව සාර්ථකත්වය ස්ටීවන් ස්පීල්බර්ග්ගේ සිනමා දිවියටත් ලොකු බලපෑමක් කළා. ඉන් අවුරුදු හතලිහකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින් තියෙන වෙලාවේ, දැන් ස්පීල්බර්ග් කියන මහා සිනමාකරුවා The Color Purple නවකතාව අශ්‍රයෙන්ම වෙනස් ආකෘතියක සිනමාපටයක් ලෝකය හමුවට අරගෙන එන්න නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙලා තියනවා. නමුත් මේ අලුත් චිත්‍රපටිය වැඩි වශයෙන් පාදක කරගන්නෙ ඔය නමින්ම 2005 අවුරුද්දේ ආව බ්‍රෝඩ්වේ නාට්‍යය. ඒවගේම මේක නැටුම් ගැයුම් පිරුණු සංගීතමය චිත්‍රපටයක්! 

ඇලිස් වෝකර්ගේ The Color Purple සැලකෙන්නේ නූතන සම්භාව්‍ය (modern classic) කෘතියක් විදිහට. හරියට අරුන්දතී රෝයි ගේ The God of Small Things වගේ Color Purple නිකුත් වුණු කාලයේ සමාජෙ සෑහෙන ආන්දෝලනයක් ඇති කරලා තියනවා. එක් අතකින් Pulitzer වගේ ලැබිය හැකි ඉහළම ගරු සම්මානවලින් පිදුම් ලබන අතරේ අනික් පැත්තෙන් අන්තර්ගතය නිසාම මේ කතාව නොයෙක් වාරණවලට පවා ලක්වුණා. වාග් විලාසය, ප්‍රචණ්ඩත්වය, ලිංගික කරුණු සහ සමලිංගිකත්වය වගේ හේතු මුල්කරගෙන ආගමික සංස්ථාවලින් පොතට විශාල විරෝධයක් එල්ල වුණා. ඊශ්‍රායෙලයෙදී මේ පොත මුළුමණින්ම තහනම් වුණා. අරුන්දතී ඉන්දියානු සමාජෙ ගතානුගතිකත්වයෙන් සහ කුල බෙදීම් වලින් පීඩිත ස්ත්‍රිය තම ප්‍රබන්ධය හරහා නිරූපිත කරද්දී, ඇලිස් වෝකර් 1900 මුල් යුගයේ ඇමරිකාවේ පැවති වර්ගවාදය වගේම තමන්ගේ වර්ගයා අතින්ම අතවරයන්ට ලක්වෙන, ගැහැනියක් වීම නිසාම අප්‍රමාණ හිරිහැරයන්ට ලක්වෙන සහ නිවස ඇතුළේම හිංසනයන්ට සහ හිතාගන්න බැරි තරම් නොයෙක් ආකාරවලින් අසීමිත වදබන්ධනයන්‍ට ලක්වුණ කළු ජාතික ස්ත්‍රීයක් පෙරබිමට අරගෙන ආවා. (The Color Purple සිංහල පරිවර්තනය - "දම් පාට කතාව", අමාලි බොරළුගොඩ, විදර්ශන ප්‍රකාශනයක්)

පීඩනය, හිංසනය වගේ දුකම වේදනාවම තේමා කරගත්තු කතාවක් නටමින් ගයමින් කියන්නේ කොහොමද කියල ඔබට හිතෙන්න පුළුවන්. මුල් පොත කියවා නැතත් Musical Drama එකකට ගැළපෙන විදිහට කතාවෙ සැර අවම කරලා ද කියල හිතුණා චිත්‍රපටයේ සමහර තැන් වලදී. නමුත් කලාව කියන්නෙ මනුස්ස හැඟීම් නිරූපණයට. සතුට, ප්‍රහර්ෂය ඇතුළු නොයෙක් මිහිරි හැඟුම් වගේම දුක්, දොම්නස්, වේදනා ආවේගයන් වගේ කර්කෂ හැඟීම් පවා ගයමින් වයමින් අසන්නෙකුට නරඹන්නෙකුට දනවන්න ඊට හැකියි. The Color Purple කියන්නෙ එහෙම දුක්වේදනාවත්, සතුටත් උත්කර්ශවත් බවත් මේ සියළු ප්‍රකාශනයන් ගෙන් වර්ණවත් වුණු චිත්‍රපටියක්. වසරේ හොඳම ලයිස්තුවට නිසැකවම ඇතුළත් කළහැකි, හදවත පුරවාලන වැඩක්. 2023 අවුරුද්දේ චිත්‍රපට නාමාවලියට අඩුවෙලා තිබ්බේ මං හිතන්නේ හොඳ Musical Drama එකක්. The Color Purple එක්ක ඒ අඩුවත් සම්පූර්ණ වෙනව.




No comments:

Post a Comment