Thursday, February 8, 2024

ලොව සිනිඳුතම වළාකුළු

ලොව ඇති සිනිඳුතම වළාකුළු
පාව එනුයේ රෝහලට ඉහල අහසෙනි...
තටු කැඩුණු සුරදූතයන්,
මෙ ලෝ එළිය දකිනට මත්තෙන්
ඇස් පියාගත් සුරදූතිකාවන්,
සනීපෙට නිදයි එහි...

ලොවේ කොතැනක හෝ
මවකගෙ මුවින් ගිලිහෙන ගී
මුහුවී අවුත් සුළඟේ
පෙරී විත් වළාකුළු ඉමට
ගැයෙයි ඒ තුළ ලොව ඇති 
මිහිරිතම නැළවිලි...

ආකාශ ගංගාවේ
සඳේ සඳසාවුන් නිදන
සඳවළල්ලෙන් බේරී
ගලා එයි ඒ වළාකුළු තුළට
සඳෙහි සියුමැලිම සඳ කෙඳිති...

ඒ සියළු මිහිරයි
වැහි මන්දාරමේ අඳුරින්
ආකහේ බොඳ වෙද්දී
පායා එන්නෙ දේදුන්නක් වී...



1 comment:

  1. තටු ලැබී ඉහල අහසට නගින සුරදූතයන්ගේ උදම් ගීතත් ඒ අතර ඇති.

    ReplyDelete