Thursday, April 11, 2024

The Wind That Shakes the Barley (2006)

අයර්ලන්තයේ දකුණු දිගින් පිහිටි Coark නම් ප්‍රාන්තයේ ගම්බද පරිසරයක හොකී ක්‍රීඩා කරමින් ඉන්නව එක්තරා තරුණ පිරිසක්. අයර්ලන්තය කිව්වම මතක් වෙන කොළපාට සුවිශාල තැනිතලා බිම්, මල් විසිරුණු මිටියාවත්, ඈත සිතිජ සීමාවේ පැතිරී ගිය නිල් පාට කඳුවැටි ඔබට මේ දර්ශනයට පසුබිමෙන් ඇතුළත් කරගන්න පුලුවන්. තරුණයන් කණ්ඩායම ක්‍රීඩාවෙ යෙදෙන්නෙ ලෝකෙ වෙනත් ඕනැම තැනක තරුණ පිරිසක් කල්ලි ගැහුණු තැනක තියෙන්නා වගේ කෙළිදෙලෙන් විනෝදෙන්. මේ 1920 දශකය බවත් මතකයේ තබාගන්න. ක්‍රීඩාව අවසන් කරලා ගෙවල් බලා යන මේ අය අතරින් තරුණයින් කිහිප දෙනෙකුට ඉන්පස්සෙ මුහුණ දෙන්න සිද්දවෙන්නෙ අර ලස්සන නිදහස් සුන්දරකම සම්පූර්ණයෙන්ම කණපිට හරවන බිහිසුණු අත්දැකීමකට. ඔවුන් සොයා එන්නෙ බ්‍රිතාන්‍ය සෙබළු කාණ්ඩයක්. මේ වෙද්දී බ්‍රිතාන්‍යයන් අයර්ලන්තය ආක්‍රමණය කර තම බලය ඒ රට තුළත් පතුරුවාහරිමිනුයි උන්නේ. ඉන්දියාව, අප්‍රිකාව වගේ තමන්ගෙ රටටත් වඩා පනස් ගුණයකින් පමණ විශාල භූමි යටත් කරගෙන ලෝකෙ පුරා ඉර නොබසින අධිරාජ්‍යයක් ගොඩනගාපු බ්‍රිතාන්‍යයන්ට තමන්ගෙ අල්ලපු වැටේ තිබුණ අයර්ලන්තය අමතක වෙන්න විදිහක් තිබුණේ නෑ. මේ වෙද්දි බ්‍රිතාන්‍යයන් අයර්ලන්ත ජාතිකයින්ට පොදු ස්ථානවල කණ්ඩායම් ගැසීම තහනම් කරලායි තිබුණේ. අර තරුණ පිරිසත් බ්‍රිතාන්‍ය සොල්දාදුවනුත් අතර ඇති වෙන කතාබහ දුර දිග යන්නෙ ඔවුන් අතරෙන් එක තරුණයෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්න පවා සිද්දකරමින්. මේ සිද්ධිය ඒ වෙනකොට අයර්ලන්තය බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස් කරගැනීමේ නිදහස් සටනේ සටන්වදිමින් සිටි අයර්ලන්ත විමුක්ති හමුදාව (IRA) ට අර තරුණ කණ්ඩායම සම්බන්ධවෙන්න හේතුවක් වෙනව. තමන් උපන් රටේන හිරකාරයන් බවට පත්කරමින් තම නිදහස උදුරාගන්න බ්‍රිතාන්‍යයන්ව මොන ක්‍රමයකින් හරි අයර්ලන්ත භූමියෙන් එලවා දැමිය යුතු බව ඔවුන් දැඩිව හිතට ගන්නව. The Wind That Shakes the Barley චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ නිදහස් සටනේ සටන් වැදුණු මේ අරගලකාර තරුණ කණ්ඩායම වටා.

මේ තරුණ පිරිසට නායකත්වය දෙන්නෙ ටෙඩී සහ ඩේමියන් කියන සහෝදරයන් දෙදෙනා. එකම අරමුණක් වෙනුවෙන් සටන් කළත් පසුව දෙදෙනා කඳවුරු දෙකකට තල්ලුවී ගිහින් දෛවෝපගත විදිහට එකිනෙකාට ප්‍රතිවිරුද්ධව මුහුණට මුණගැහෙන හැටි අපි දකිනව. චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය වෙන්නෙ ඩේමියන්. ඩේමියන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින් සිටිද්දී, තම රට වැසියන්ට බ්‍රිතාන්‍යයන් ගෙන් එල්ලවන පීඩනය දැක ඔවුන්ව මේ විපතින් මුදාගෙන තම දේශයට නිදහස ළඟා කර දීමේ අරමුණෙන්, තම අධ්‍යාපනයත් වෘත්තීයත් අතහැර විමුක්ති සටනට සම්බන්ධ වුණු අයෙක්. චිත්‍රපටය ඇතුළේ නිරූපිත ඩේමියන් තමාගේ සුබ සිද්ධියට වඩා පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකළ පරමාදර්ශී අරගලකරුවෙක්. ඉන්දියාවේ භගත් සිං, ස්කොට්ලන්තයේ විලියම් වොලස්, දකුණු අප්‍රිකාවෙ මැන්ඩෙලා, ලතින් ඇමරිකානු චේ ගුවෙරා වැනි අයට සම කළ හැකි කෙනෙක් (ඔහු චිත්‍රපටය තුළ පමණක් නිරූපිත ප්‍රබන්ධගත චරිතයක්. නමුත් ඔබ අයර්ලන්ත විමුක්ති සටන් ගැන වැඩිදුර සොයා බැලුවොත් මෙවැනි චරිත සැබවින්ම ඒ යුගයේ අයර්ලන්තයේ සිට ඇති බව සොයාගත හැකි වේවි. අයර්ලන්ත ගරිල්ලා සටන් වල නායකත්වය දැරූ මයිකල් කොලින්ස් එවැනි කෙනෙක්. ඔහු ගැන ඔහුගෙ නමින්ම 1996 වසරේ තිරගත වුණු, ලියම් නීසන් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනව)

The Wind That Shakes the Barley නම එන්නෙ 18 වෙනි සියවසේ අයර්ලන්ත විප්ලව සමයේ Robert Dwyer Joyce විසින් ලියූ කවියක පද පෙළකින්. මේ කවිය චිත්‍රපටය මුල්භාගයෙ එක තැනකදි ගායනා වෙනව. අයර්ලන්තය කොහොමත් කලා සම්ප්‍රදායන්ගෙන් පොහොසත් රටක්. මේ අයර්ලන්ත කලාවන් හරි අපූරුවට චිත්‍රපටයට මුහු කරගෙන තියනව. චිත්‍රපටය අධ්‍යක්ෂණය  කරන්නෙ Sorry we missed you, The Old Oak වගේ චිත්‍රපට නිර්මාණය කළ Ken Loach. මේක Loach ගෙ ආදායම් අතින් වඩාත්ම සාර්ථක වුණු චිත්‍රපටය විදිහට සැලකෙනව. 2006 කාන්ස් සිනමා උළලේ Palme D'or සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ චිත්‍රපටයට හැකි වුණා.

මේ චිත්‍රපටයේදි ඩේමියන් ගේ චරිතය නිරූපණය කරන්නෙ Oppenheimer චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානය දිනාගැනීම නිසා මෑතක ලෝ ප්‍රකට වුණු කිලියන් මර්ෆි විසින්. කිලියන්ගේ හොඳම රඟපෑම oppenheimer නම්  The Wind That Shakes the Barley කියන්නෙ ඔහුගෙ දෙවනියට හොඳම රඟපෑම විය යුතුමයි. ඩේමියන් නම් කැරළකරුවාව ඔහු තිරය මත ප්‍රතිනිර්මාණය කරන ආකාරය ඒ තරම් විශිෂ්ටයි. නමුත් මේ ඉස්තරම් රඟපෑම ඔහු කරන්නෙ 2006 තරම් ඈතක. ඔස්කාර් ඇගයීමකට ලක්වෙන්න ඔහුට 2024 තරම් කාලයක් ගත වුණා. කල්ගත වෙලා හරි රංගවේදියෙකුට ලැබෙන උපරිම අගය කිරීමකට ඔහු සුදුසුකම් ලැබීම සතුටට කාරණාවක්.

ඩේමියන් වගේ අරගලකරුවෙක් වෙන එක කොහොමත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අයර්ලන්තයේ පැවතුණේ යුරෝපයේ අනිත් රටවල වගේ කිතු දහම මුල් කරගත්ත සංස්කෘතියක්. ඔවුන් අදහන ක්‍රිස්තුස් වහන්සේ කියන්නෙ නිතරම සමාජයේ ආසාධාරණයට දුක් පීඩාවන්ට ලක්වෙන ජනතාව වෙනුවෙන් පෙරට පැමිණි කෙනෙක්. නමුත් උන්වහන්සේව පෙරටු කරගත් කතෝලික සභාවම පීඩකයින්ගේ පැත්ත ගනිද්දි එයට එරෙහි වෙන්න තරම් හයියක් ඩේමියන්ට තිබුණා. සමහර අවස්ථාවල තම සංවිධානයෙ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම අපහසු තීරණ ගන්න ඔහුට සිදුවුණා. තම සටන් සහයන් සොහොයුරන් තමන් ඉදිරියෙදිම මරා දැමෙන හැටි බලා ඉන්න ඔහුට සිදුවුනා ඔහුගෙ ප්‍රේමවන්තිය පවා නොයෙක් හිරිහැරයන්ට ලක්වුණා. ඩේමියන්ගෙන් නිරූපිත වෙන්නෙ අරගලකරුවෙකුගෙ මේ අති දුෂ්කර ජීවිත පැවැත්ම. The Wind That Shakes the Barley ඔබේ ඇසට කඳුළක් නංවන තරම් සංවේදී කතා පුවතක්. වරක් නැරඹුව කෙනෙකුට පහසුවෙන් අමතක නොවෙන සිනමා අත්දැකීමක්. කිසිසේත් මගහැර නොගත යුතු ආකාරයෙ චිත්‍රපටයක්.



1 comment: