Saturday, July 6, 2024

ගෝදානය

 දඩයම් යුගයේදී වනපල නෙලා ගෙන සොබාදහමේම කොටසක්ව දිවි ගෙවීමට හුරුව සිටි මිනිසා කෘෂිකාර්මික ජීවන රටාවකට මාරුවිමත් සමග තම ජීවිත පැවැත්ම වඩා සංකීර්ණ බවට පත් කරගත්තේ ය. ඔහු බිම්කොටා සකසා තමන්ට අවැසි බෝගවර්ග වගා කරගන්නට පටන් ගත් අතර මිනිසාට එලෙස මහපොළොවත්, අව්වැසි සුළි සුළං ආදී ස්වභාවික බලවේග සමග නිරන්තර අරගලයක නිරතවීමට සිදුවිය. මෙය මනුශ්‍යයින්ට දරාගත හැකි ශක්ති ප්‍රමාණය ඉක්මවායන අතිශ්‍ය වෙහෙසකාරී කාර්යභාරයක් වූ නිසා ගොවි කටයුතුවල නිරත වන මිනිසා ඉන් හෙම්බත් වී විඩාවට පත් විය. නමුත් ශිෂ්ටාචාරයේ ගමන්මග ගොඩනැගුණේ ඒ මාවත ඔස්සේ ය. පොළොව බෙදා වෙන් කරගෙන එයට අයිතිවාසිකම් කියන්නට පටන් ගත් දා සිට මිනිසා ගේ ආත්මාර්ථය දියුණු විය. භූමියට ඇති හිමිකම් මත සමාජ බලය සහ අධිපතීත්වය තීන්දු විය. පාලන බලය හිමි සුළු පිරිසකට භෞතික වස්තු සම්භාරයක අයිතිවාසිකම් හිමිවූ අතර අති බහුතරයක් දෙනා ශ්‍රමය වගුරා ඒ වෙනුවෙන් ද තම දිවි පැවැත්ම වෙනුවෙන්ද ඔවුන්ට සේවය කළ යුතු විය. වහල් යුගයේ සිට වැඩවසම් යුගය පසුකරගෙන වෙලඳාම මුල්කරගත් ධනේශ්වර සමාජ ක්‍රමය දක්වා අප පැමිණ සිටිමු. පීඩනයේ ස්වරූපය වෙනස් වුවත් තවමත් මිනිසාගේ පැවැත්ම අසාධාරණය සහ අයුක්තියේ විෂම චක්‍රයක නොපවතින බව කිව හැකි ද.

භාරතීය ලේඛක ප්‍රේම්චාන්ද්ගේ Godaan නවකතාවට පාදක වන්නේ 1900 මුල් භාගයේ කෘෂිකර්මාන්තය මුල් කරගත් ඉන්දියානු ගැමි සමාජයේ පැවති මේ විෂමාචාරී ස්වභාවයයි. මෙය ප්‍රේම්චාන්ද්ගේ අවසාන නවකතාව සේම ඔහුගේ අග්‍රම කෘතිය ලෙස සැලකෙයි. ගෝදාන් ලියා අවසානයේ අත්පිටපත තුරුලු කරගෙන ඔහු අවසන් හුස්ම හෙළුවේලු. Godaan ඉන්දියානු නවකතා අතර ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකෙන කෘතියකි. එය "ගෝදානය" නමින් සිංහලට පරිවර්තනය කරන්නේ භාරත සාහිත්‍යයේ අගනාම නිර්මාණයන් සිංහල පාථකයා හමුවට ගෙන ආ චින්තා ලක්ෂ්මි සිංහාආරච්චි මහත්මියයි. මේ කෘතිය පරිවර්තනයෙන් අවසානයේ එතුමියද ජීවිතයෙන් සමුගන්නේ දෛවෝපගත ආකාරයටයි. ප්‍රේම්චාන්ද් යනු මේ ලේඛකයා ආරූඪ කරගත් නාමයක් වන අතර ඔහුගේ සැබෑ නාමය නම් ධන්පත් රායි ය. එවකට භාරතයේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය දැඩි සේ විවේචනය කරමින් තම පළමු කෙටි කතා සංග්‍රහය පළ කිරීම නිසා ඇති වුණු ජීවිත තර්ජන මෙලෙස ඉන්පසු ආරූඪ නාමයකින් පෙනී සිටීමට හේතු කාරණ විය. 1963 වසරේ දී Godaan එම නමින්ම චිත්‍රපටියක් ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර එහි ප්‍රධාන චරිතය ප්‍රකට නළු රාජ් කුමාර් විසින් රඟදක්වනු ලැබීය. 2004 දී ඉන්දියානු "දූර්දර්ශන්" රූපවාහිනී නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද කොටස් 27 ක රූපවාහිනී නාට්‍යයක් ලෙස Godaan යළිත් ප්‍රතිනිර්මණය වී ඉන්දියාව පුරා මහත් ජන්ප්‍රියත්වයක් හිමි කරගත්තේ ය. මේ රූපවාහිනී නාට්‍ය දූර්දර්ශන් youtube නාලිකාවේ ඇත.

ගෝදානය කේන්ද්‍රගත වන්නේ භාරතයේ ලක්නව් නගරය ආසන්න ගමක වෙසෙන හෝරි නම් ගොවියෙකු වටා ය. හෝරි ගේ බිරිඳ ධනියා වන අතර ඔහුට දරුවන් තිදෙනෙකු වෙයි. හෝරී යනු ගතානුගතික අදහස් කරපින්නා ගත් සාමාන්‍ය ගැමියෙකි. මුදල් පරිහරණය ඒ තරම්
හුරුනැති මේ ගැමියන්ට නිතර ගමේ බලවත් මිනිසුන්ගෙන් මුදල් ණයට ගැනීමට සිදුවෙයි. මේ ගම් ප්‍රධානීන් ණයට දී අධික පොළියක් අය කර එය ගෙවීමට නොහැකි වූ කළ ගොවියන්ගේ අස්වනු, ඉඩකඩම්, හරකබාන ආදියද කොල්ලකා ගනිති. හෝරි බොහෝ වෙහෙසවී කුඹුරු වැඩ කර අස්වනු නෙළා සෞභාග්‍යමත් ජීවිතයක් ගතකිරීමට සිහින දකින නමුත් සැමදා ඔහුගේ සිහින බොඳවී ඔවුන් දුගී බවේ පත්ලටම ඇදවැටෙයි. හෝරි ඇතුළු ගැමි ජනතාවගේ ජීවන යථාර්ථය මෙයයි.

හෝරී මෙන්ම ඒ ගමේ අනෙක් ගොවියන් ජීවත්වන සහ වගා කටයුතු කරන ඉඩම් හිමි වන්නේ රායි නම් සමින්දාර් වරයෙකුට ය. ඔහුගේ ඉඩම් වල ජීවත්වන සියළු ගොවියන් රායි මහතාට බදු ගෙවිය යුතු ය. රායි මහතාට ඔහුගේ සමාජ මට්ටමේ මිතුරන් කීපදෙනෙක් වෙයි. ඛන්නා, මෙහෙතා, මාලතී, ගෝවින්දි ඒ අතරින් කීපදෙනෙකි. ඔවුන් ධනවත් සුඛෝපභෝගී පැලැන්තියේ ජීවිත ගෙවූවත් ඔවුන්ටද තවත් ආකාරයකින් ජීවන සටනක නිරත වී සිටීමට සිදුව ඇත. ධනය ගොඩගසා ගැනීම සේම එම ජීවන රටාව පවත්වාගෙන යාමට ද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදිය යුතු ය. ජීවිතය නම් ස්වභාවයෙන්ම විෂමාචාරී බව උරුම කර ගත්තකි. දුප්පත් ගොවියෙක් වූවද ඉඩම් හිමි මහරාජා කෙනෙකු වුවද සැමට පොදු වන්නේ එකම ජීවන ධර්මතාවකි. ජීවිතයේ සැබෑ සැනසුම ඇත්තේ ජීවිතේ ඇති මේ අස්ථිර ස්වභාවන් අවබෝධ කරගෙන ධන සම්පත්වලට අනවශ්‍ය ලෙස නොඇලී සැබෑ මනුෂ්‍යත්වය අනුසාර කරමින් දිවි ගෙවීමෙන් බව කතුවරයා මාලතී, මෙහෙතා වැනි චරිත හරහා අපට පෙන්වා දෙයි.

සමාජයෙහි මෙන්ම ලෝකයෙහි ද ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවිත තුළ ද ඇති තතු ඒ ආකාරයෙන් නිරූපිත කරන යථාර්ථවාදී ශෛලියකින් ලියවී ඇති ගෝදානය සම්භාව්‍ය සාහිත්‍ය ප්‍රිය පාථකයා කිසිසේත් මඟහැරගත නොයුතු නිර්මාණයකි. එමෙන්ම දහසක් දුක්ගැහැට විඳ දරාගෙන ස්වශක්තියෙන්ම වංග, හින්දි, උර්දු ආදී භාරත භාෂා උගෙන සාහිත්‍යයේ මෙවැනි වටිනා මිණිකැට සිංහල බසින් කියවන පාථකයා හමුවට ගෙන ඒමට සිය දිවි කැපකළ චින්තා ලක්ෂ්මි සිංහාආරච්චි පරිවර්තිකාවට මෙරට පාථකයා සදා ණයගැති බව මෙහි සඳහන් කිරීමට වටින්නේ ය.



1 comment:

  1. ඇයගේ නික්ම යාම සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ නොමැකිය හැකි හිඩසක් ඇති කලා.

    ReplyDelete