Thursday, November 28, 2024

We Live in Time (2024)

 අපි ජීවත් වෙන්නෙ කාලය ඇතුළේ. නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත්, අපි ජීවත් වෙන්නෙ කොච්චරක්ද කියලා අපි නොදන්න නමුත් යම් සීමා සහිත කාලයක් ඇතුළේ. ජීවිතේ තියෙන මේ සීමා සහිත බව අපේ පැවැත්මට අගයක් එකතු කරනවා කියල මං හිතනව. පොඩ්ඩක් හිතන්න අපි අමරණීය මිනිස්සු වුණොත් මොකක් වේවිද? අපි ගෙවන මේ ජීවිතේට වටිනාකමක් තියේවිද? මේ වහා වියැකෙනසුළු, කෙටි කාලීන බව නිසා නේද ජීවිතේ මේ තරම් අරපරිස්සම් කරගන්න, ගොඩනගා ගන්න, වැඩිදියුණු කරගන්න අපි උත්සාහ දරන්නේ? සමහරු සාමාන්‍ය වශයෙන් මනුස්ස ජීවිතේකට උරුම උපරිම කාලය ගත කරලා නික්මී යනවා. තවත් සමහරු ඒ තරම් වාසනාවන්ත (හෝ අවාසනාවන්ත?) නැහැ. ඒ අය ජීවිතෙන් බාගයක්ම ගතවෙලා යද්දීම දැන ගන්නවා තමන්ට තවත් ඉතිරි වෙලා තියෙන්නෙ බොහොම ස්වල්ප කාලයයි කියලා. නමුත් කොහොම වුණත්, ජීවිතේ කියන්නෙ අවසාන මොහොත දක්වාම ජීවත්වෙන්න වටින සහ අන්තිම හුස්ම පොද දක්වාම සටන් කිරීමේ ප්‍රහර්ෂය අත්විඳගත යුතුම දෙයක් බව නම් ඇත්තක්.

ඔහුගේත් ඇයගේත් කතාව මෙන්න මේ විදිහට ඉක්මණින්ම අවසාන වීමේ දිනයක් ලියැවී තිබුණු එකක් බව අහම්බෙන් වගේ මුණගැහෙනකොට ඒ දෙන්නාම නොදැන ඉන්න ඇති. අහම්බයක් කියන්නේ ඒක ඇත්තටම කලින් සැලසුම් නොකළ අමුතුම විදිහේ අහම්බයක් තමයි. නමුත් කොහොම හරි මේ දෙදෙනාගේ අහඹු හමුවීම ඉස්පිරිතාලයක ලියැවෙන හදිස්සි අනතුරු වාර්තාවක ඉඳන් දින පොතක ලියැවුණු ප්‍රේම කවියක් දක්වා ඉක්මණින් පරිණාමය වෙනවා. අල්මා නම් වුණු ඇය වෘත්තීය වශයෙන් ඉහළින්ම දස්කම් දක්වමින් සිටි සූපවේදිනියක්. ටෝබියස් නම් ඔහු ආහාර නිෂ්පාදන සමාගමක රැකියාවේ යෙදෙන්නෙක්. මේ විස්තරේ කියනව කෙනෙකුට නම් හරියට පයිනස් පුඩිම් එක්ක සීත කළ දොඩම් ජූස් වීදුරුවක් නැත්නම් කස්ටඩ් ලයිම් ජෙල් උඩින් දාපු බැවේරියන් වයිට් සොසේජ් බන්දේසියක් එක්ක ෂැම්පේන් අහුරක් වගේ මේ දෙන්නත් ගැළපෙන බව හිතෙන්න පුළුවන්. ඒක ඇත්තටම එහෙම තමා. නමුත් ඔවුන් අතරේ එතෙර වෙන්නට අපහසු විශාල බාධක පවුරක් ඒ වෙනකොටත් ගොඩනැගී තිබුණා. ඔහුට උවමනා වුණේ පවුලක්. පුංචි දරු සිඟිත්තෙක්. ආදරණීය බිරිඳක් එක්ක ගෙවීයන සුන්දර පවුලක ලස්සන ජීවිතයක්. නමුත් ඇය ගර්භාෂය ආශ්‍රිත පිළිකාවකින් පීඩාවිඳිමින් උන්නා. ඇගේ ජීවිත පැවැත්ම රැඳී තිබුණේ අවිනිශ්චිත තැනක. අනෙක් අතින් ඇය තමන් ආදරය කළ සූප ශාස්ත්‍රය අතින් තවත් ඉදිරියට යන්න ආශා කළා. මෙන්න මේ අභියෝගකාරී පැවැත්මක් එක්ක මේ දෙන්නාගේ ජීවිත කොහොම ගත වේවිද? We Live in Time චිත්‍රපටියෙ අන්තර්ගත වෙන්නෙ අන්නෙ ඒ ගැන.

ආසම දෙන්නෙක් වුණු Florence Pugh සහ Andrew Garfield ප්‍රධාන චරිත රඟපෑමයි මේක බලන්න ප්‍රධනම හේතුව වුණේ. මේ දෙන්නාම එකට ප්‍රධාන චරිත කරන වෙන අවස්ථාවක් කලින් දැකලා නැහැ. කොහොම වුණෙත් ඒ දෙන්නාගේ කෙමිස්ට්‍රි එක චිත්‍රපටිය ඇතුළේ හොඳින්ම ගොඩනැගී තියෙනවා. ඒක කොයිතරම්ද කියනවා නම් සමහර අතිශ්‍ය ප්‍රේමාන්විත දර්ශන මේ දෙන්නා රඟපාද්දී අධ්‍යක්ෂවරයා "කට්" කිව්වත් එය නොඇසී දෙන්නා සෑහෙන වෙලාවක් අදාළ ජවනිකාව රඟදක්වමින් ඉඳ තිබෙනවා. චිත්‍රපටිය ඇතුළේ කතාව ගලායන්නේ මුල මැද අග විදිහට නොවෙයි. සිද්ධි දාමයන් අදාළ අනුපිළිවෙල වෙනස් කරලයි අපි දකින්නේ. ඒ නිසා මුලදී කතාවේ ගලායාම තේරුම් ගන්න ටිකක් අපහසු වුණත් පහුවෙද්දී කතාව තේරුම්යන්න පටන්ගන්නවා. මේ වගේ චිත්‍රපටි හදවත සුවපත් කරන සිනමාවක් විදිහට හදුන්වාදෙන්න මම කැමතියි. එක අතකින් මේ කතාව නරඹන්නෙකුගේ හදවත ප්‍රසන්න හැඟීමකින් පුරවනවා. අනෙක් අතින් අපිට ලැබිලා තියන ජීවිතය දිහා සුබදායි තැනක ඉඳන් බලන්න පොළඹවනවා. ජීවිතය කියන්නෙ හැම විටම සුබදායී දේවල්ම වෙන නැතක් නොවෙයි. හැම ආගමික ශාස්තෘ වරයෙක්ම, දාර්ශනිකයෙකුම වගේ මේකෙ තියන දුක් සහිත බව ගැන දේශනා කර තියෙනවා තමයි. නමුත් අපි ඒ දුක් පීඩාවන්ටම යටවිය යුතු නැහැ කියලා මේ වගේ චිත්‍රපටිවලින් අපිට කියා දෙනවා. අපි ඇදවැටිලා ඉ්නන ඍනාත්මක තැන් වලින් නැගිටලා එන්න හයියක් දෙනවා. මිනිස් ජීවිතයක් කියන්නේ අතිශ්‍ය දුර්ලභ දෙයක්. ඒ විරල අත්දැකීම ලබාගන්න තරම් ඔබත් මමත් වාසනාවන්ත වෙලා තියෙනවා. මෙන්න මේ කාරණේ හරියට වටහාගත්තොත් මේ දුර්ලභ ජීවිතය අපතේ ගිය ජීවිතයක් නොවෙන බවට පත් කරගන්න අපිට පුළුවන් කියලා මම හිතනවා. We Live in Time. අපිට තියෙන්නෙ කෙටි කාලයයි. ඒ කෙටි කාලය අමතක නොවෙන කාලයක් බවට පත් කරගන්න. අපිට කරන්න තියෙන්නෙ ඒ දේ තමයි.



Sunday, November 17, 2024

The Outrun (2024)

කාලෙකට පස්සෙ මතක හිටින චරිතෙකින් සීෂා (Saoirse Ronan) ව දැකගන්න ලැබීම සතුටක්. සීෂා කියන්නෙ පොඩි වයසකදිම Atonement සහ The Lovely Bones වගේ චිත්‍රපටවලින් සෑහෙන ජනප්‍රියත්වයක් ලබා ගත්තු වගේම ලොකු පරාසයක රංගන කුසලතාවක් ඇති බව ඔප්පු කර පෙන්නූ කෙනෙක්. පසුකාලීනව එයාව වැඩි පුර දැක ගන්න ලැබුණේ Lady Bird, Little Women වගේ Feminine Energy එක වැඩිපුර මතුකර පෙන්නුව චිත්‍රපටිවලින්. ඒ වගේම මේ අවුරුද්දේ සීෂාගේ Comeback එක වෙන්නෙත් ඒ වැනිම කතාපුවතක් මුල් කරගත්තු වැඩකින්. එක අතකින් මේක එයා වෙනුවෙන්ම ලියපු තිර රචනාවක් ද කියලා හිතෙනවා, අනෙක් අතින් එයා රඟපෑම දිහා බලා ඉන්න විතරක් ම බලන්න හැකි චිත්‍රපටියක් විදිහටත් නම් කරන්න ඕන නම් පුළුවන් කම තියනවා.

කොහොම වුණත් The Outrun නිර්මාණය වෙන්නෙ ස්කොට්ලන්ත මාධ්‍යවේදිනියක් වුණු Amy Liptrot තමන්ගේ ජීවිත අත්දැකීම් සටහන් කරමින් මේ නමින්ම රචනා කරපු කෘතියකින්. චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙ වෙන්නෙ Rona නම් තරුණ ගෑනු ලමයෙක්. Rona ජීවත් වෙන්නෙ මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ත වෙරළින් උතුරේ පිහිටි දූපත් සමූහයක් වුණු ඕක්නි දූපත්වලින් එකක. Rona තමන් ඉතාම ප්‍රිය කරන ජීව විද්‍යාව අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන්න ලන්ඩන් නගරයට එනවා. ලන්ඩන්වලදී නිදහස් සහ විනෝදකාමී ජීවිතයකට හුරු වෙන Rona තමන් වගේම යාළුමිත්‍රයන් පිරිසකුත් ඇති කරගන්නවා. නමුත් ඔය අතරෙ ටිකක් අවදානම්කාරී කෙනෙක් Rona ගේ ජීවිතේට ළං වෙලා එයාට නැතුවම බැරි කෙනෙක් බවට පත්වෙනවා. මේ කියන කෙනා ගැන නම් අපි හොඳහැටි දන්නවා. එයා ගැන විවිධාකාර මට්ටම්වල අත්දැකීම් අපිට තියනවා. ජීවිතේදි එක මොහොතකට යථාර්ථයෙන් අපිව දුර ඈතට අරගෙන ගිහිල්ලා පොඩි සතුටක් ඇති කරවන්න මෙයාට පුළුවන්, ඒ වගේම ජීවිතයක සතුට නැති නාස්ති කරලා ඒ ජීවිතේ ඉවරම කරලා දාන්නත් එයාට පුළුවන්. එයාගෙ නම තමා ඇල්කොහොල්. අපිට එයා අරන් එන නිදහස සහ විනෝදය නිසා අපි එයාට ළං වුණත් ඒත් එක්කම සමාජය ඉස්සරහ අවමානයට ලක්වීම, ඇබ්බැහි වීම, ශරීර සෞඛ්‍ය පිරිහිලා නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරුවීම වගේ විනාශකාරී දේවලුත් එයා අරගෙන එන නිසා ඉතාම අරපරෙස්සම්සහගතව සහ සීමා සහිතව ඇසුරු කළ යුතු කෙනෙක් එයා. Rona ගේ ජීවිත අත්දැකීම දිහා බැලුවොත්, ඇල්කොහොල් කියන්න Rona ට නම් කොයි ආකාරයකින්වත් හොඳ මිත්‍රයෙක් වෙන්නෙ නෑ. මොකද Rona තදබල මට්ටමෙන් ඇල්කොහොල් ඇබ්බැහියෙක් බවට පත්වෙන නිසා එයාගේ ජීවිතේ තනිකර අවුල් ජාලාවක් වෙලයි අවසානේ නතරවෙන්නෙ. කොහොමහරි මාස කිහිපයක් නේවාසිකව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගිවෙලා ජීවිතේ ඇතුළෙත් මතට තිත තියලා Rona ආපහු තමන් උපන්න ගම්පළාත වුණ ඕක්නි දූපත්වලට එනවා. පරිසරය, වනසත්වයින් ගැන තියන උනන්දුව නිසාම Rona ඊට සම්බන්ධ රැකියාවකුත් සොයාගන්නවා. නමුත් අතීතයේ අඳුරු සෙවණැලි වලින් ඒතරම් ලේසියට පහසුවට ගැලවෙන්න එයාට හැකියාව ලැබෙන්නෙ නෑ.

මූලික වශයෙන් චිත්‍රපටය ඇතුළෙ දැකගන්න ලැබෙන්නෙ ඔන්න ඔය දේවල් ටික. නමුත් ඔය පිළිවෙළට නොවෙයි. ඒ තමයි මේ කතාවෙ විශේෂත්වය. අනුපිළිවෙලකින් තොරව අතරින් පතර නමුත් එකින් එක සම්බන්ධවෙන සිද්ධි, මතක ආවර්ජන, සිහිනමය දර්ශන, ආත්ම කථනයන්ගෙන් මේ කතාව සමන්විත වීම. Rona ගේ මේ ආත්ම ප්‍රකාශයන් චිත්‍රපටිය ඇතුළෙදි ඇගේ ජීවිත දර්ශනය එක්ක සෑහෙන අරුත් මතු කරනවා. ඒවගේම සොබාදහම සහ භූමි දර්ශනවලටත් මේ චිත්‍රපටියේ වැදගත් තැනක් වෙන් වෙනවා. මං කලින් කිව්වා සීෂා දිහා බලන් ඉන්න විතරක් මේ චිත්‍රපටිය බලන් ඉන්න පුළුවන් කියලා. අනිත් කාරණය තමා මේ අලංකාර භූමි දර්ශන, ඝෝෂා කරමින් රළ නගන සුවිශාල අත්ලාන්තික් සයුර, රළගෙඩි හැපෙන වෙරළබඩ සුවිසල් ගිරි කුළු, සුදුපාට ඝන මීදුම, බැලූ බැලූ අත පැතිරුණ කොළපාට තැනිතලා භූමි, තැනි බිම්වල තෘණ පඳුරු පිසගෙන හමායන කෙළවරක් නැති සුළං දහරාවන්, ඒ සුළං දිගේ කෑ ගහගෙන අත්තටු විහිදන මුහුදු ලිහිණි, සැරින් සැරේ මුහුදේ රැළි අස්සෙන් එබී බලන සීල් සත්තු, The Outrun කියන්නේ ඇහිපිය නොහෙළා බලා ඉන්න හැකි භාවනාමය සිනමා අත්දැකීමක් බවට පත් කරන්නේ මේ දේවල් තමා. කිව්වත් වගේ මේක තරමක මන්දගාමී ගලායාමක් තියන කතාවක්. හෙමින් සැරේ සැනසිල්ලේ විඳගතයුතු සිනමා කෘතියක්. කවුරු හරි කෙනෙක් මේක නරඹන්න තෝරාගන්නවනම් ඒ කාරණේ සිහිතබා ගත්තොත් වැදගත් කියලා හිතෙනවා.



Saturday, November 2, 2024

Good One (2024)

ප්‍රධාන මාර්ගයකින් ඇතුලකට හැරිලා අතුරු පාරක් දිගේ ඇවිදන් ගියාම මුණ ගැහෙන කොළ පාට පිරිච්ච නිසංසල වන ගොමුවක්, නමක් නොදන්නා සීතල දිය කඩිත්තක් වගේ සමහර වෙලාවල ඕනෑම කලා මාධ්‍යක ප්‍රධාන ධාරාවලින් ටිකක් අතුරු පාරවල් වලට හැරිලා ගියාම වැඩි දෙනෙක් නොදන්නා හරි අපූරු සුවදායි තැන් මුණගැහෙනවා. 2024 අවුරුද්දෙ ආව Good One කියන්නෙ ඒවිදිහට මට මුණ ගැහුණ චිත්‍රපටියක්. වැඩි කතාබහකට ලක්වුණු නිර්මාණයක් විදිහට නොපෙනුණත් මම හිතනවා සිනමාවෙ "කලාත්මක" පැත්ත ගැන වැඩිපුර උනන්දු අය මේක මග හැර නොගත යුතු වැඩක් කියලා. මේකෙ කතාව ගැන කෙටියෙන් කියනව නම් කතාව ගොඩනැගෙන්නෙ Sam නම් තරුණ ගැහැනු ළමයා වටා. Sam එයාගෙ තාත්තයි, තාත්තාගෙ හොඳම යාලුවෙකුයි එක්ක ඇමරිකාවේ Catskills නම් වනගත කඳුකර පළාතට දවස් තුනක චාරිකාවකට පිටත් වෙනවා. කැලෑව මැද කූඩාරම් ගහගෙන තමයි ඔවුන් කාලය ගතකරන්න තීරණේ කරන්නෙ. යාළුවගෙ පුත්‍රයාත් ගමන එන්න සූදානම් වෙලා හිටියත් තාත්තා එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න ඒ පුතා ගමන එන්නෙ නෑ. Sam ඉන්නෙ ඒ ගැන තරමක නොරිස්සුමකින්. මොකද එයාට ඇසුරු කරන්න එයාගෙ වයසෙ කෙනෙක් නැති වෙන නිසා. ගමනට සූදානම් වීම, අතරමග drive එක සහ වනාන්තරය ඇතුළෙ ගෙවන දවස් තුන තමා කතාවට ඇතුළත් වෙන්නෙ.

චිත්‍රපටියෙ කතාව ඉතාම සරල එකක්. කතාවක් විදිහට ගත්තොත් අමුතු යමක් ඒ ඇතුළෙ නෑ. නමුත් ඒ කතාව ඇතුළෙ සමහර ඉතා කුඩා මොහොතවල් නරඹන්නෙකුට ප්‍රබලවම දනවන්න උත්සාහ කරල තියනව. ඒකතමා මේ චිත්‍රපටියෙ magic එක. වැඩිහිටි පිරිමි දෙන්නෙකුට සංසංදනාත්මකව තරුණ ගෑනු ලමයෙකුගේ සියුම් බුද්ධිමත්කම සහ සංවේදී කම චිත්‍රපටිය ඇතුළෙ මතුකර පෙන්වනවා. විශේෂයෙන් මානව සම්බන්ධතා කියන කලාපය ඇතුළෙ ගැහැනුන්ට ඇති සූක්ෂමතාවන් පිරිමි මනසට තේරුම්ගන්න බැරි තරම්. සමහර තැන්වල වැඩිහිටි පිරිමින්ගේ නොහික්මුණු හැඟීම් ඉස්සරහ බුද්ධිය යටපත් වෙලා යද්දි ගැහැනු පෙන්වන පරිණත කම පුදුමාකරයි. මේ චිත්‍රපටිය යටිපෙළ අපිට අහුවෙන්නෙ ඒවගෙ තැනකින්. මේක නිර්මාණය කරන්නෙ අධ්‍යක්ෂ වරියක් නිසා මේකෙ ස්ත්‍රී මූලික දෘෂ්ටියකින් නිර්මාණය වී ඇති බව වටහගත හැකියි. ඒවගේම සොබාවිම පසුතලයන්ගේ කොළපාට තැවරුණු දර්ශන හරි අපූරුවට කැමරාවට අල්ලගෙන තියන බව කිවයුතුමයි. අවසානෙ Sam ගෙ චරිතෙ කරන Lily Collias ඔයාගෙ crush එකක් වුණා නම් එහෙම දැනුණ එකම කෙනා ඔයා නොවෙන බවත් මතක තියාගන්න.