Saturday, August 30, 2025

The Life of Chuck (2024)

බුදුන් වහන්සේ වතාවක් කියල තියනවා මම බඹයක් පමණ මේ ශරීරය තුළ මුළුමහත් ලෝකයම පනවමි කියලා. (මේ කතාව ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ රෝහිතස්ස සූත්‍රයේ. රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් සහ බුදුන් වහන්සේ අතර ඇති වෙන සංවාදයක අතර දී මේ කාරණාව මතුවෙන්නෙ. රෝහිතස්ස වරක් භාවනා කරල සිත දියුණු කරගෙන ඊතලයක වේගයෙන් විශ්වය හරහා ගමන් කිරීමේ හැකියාව ලැබූ කෙනෙක්. විශ්වයේ කෙළවර හොයා ගෙන ඔය විදිහට අවුරුදු සීයක් ගමන් කරලා කෙළවරක් නොදැක මේ රෝහිතස්ස මියැදෙනවා. අවසානෙ දේව පුත්‍රයෙක් විදිහට ඉපදෙන මේ රෝහිතස්ස තමයි බුදුන්වහන්සේ ගෙන් ලෝකයෙ කෙළවර ගැන අහන්නෙ. ඊට දෙන පිළිතුර අතරෙ උන්වහන්සේ කියනව බඹයක් පමණ මේ ශරීරය තුළ ලෝකයත්, එයින් මිදීමේ මාර්ගයත් පනවමි කියලා)

අපි අවට මුළුමහත් සියළු දේකම, මුලු විශ්වයම අරගත්තොත් මේකේ ආරම්භයක් අවසානයක් අගක් මුලක් කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් අපි බාහිර ලෝකයේ විශ්වයේ කොයිතරම් දේවල් දැක්කත් ඇහුවත් බැලුවත් අපි ඒ දේ කරන්නෙ අපේ ඉන්ද්‍රියන් හරහා. පිටස්තර ලෝකය අපි තේරුම් ගන්නෙ අපේම මනසින්. අපේ මතක, සංවේදනා, අදහස් සිතුවිලි මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නෙ බාහිරින් අපි ග්‍රහණය කරගන්න දේවල් එක්ක. මෙන්න මේවයින් හැදුණු විශ්වයක් ඇතුළාන්තයෙන් අපි ගොඩනගා ගන්නව. බඹයක් පමණ ශරීරයේ ලෝකයම පනවමි කියලා බුදුන් වහන්සේ කියන කතාව එහෙම අර්ථවත් කරගන්න පුලුවන්.  


එතකොට "මම" කියන්නේ නිකන්ම පුද්ගල චරිතයක් පමණක් නෙවෙයි. මගේ ජීවිතේ මම ලැබුව සමස්ත අත්දැකීම් වල එකතුව මං ඇතුළේ මේ මොහොතෙත් පවතිනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මං ඇතුළේ එකට පවතිනවා. හරියට දේදුන්නක පාට හත වගේ එකිනෙකට වෙනස් ගතිගුණාංග සහිත නමුත් එක තනි පැවැත්මක් මම. ඇමරිකානු ජාතියේ කවියා විදිහට සලකන Walt Whitman ගේ Song of Myself කවියේ තැනක මේ ගැන කියැවෙනවා.


Very well then I contradict myself, 

I am large, I contain multitudes.


පොඩ්ඩක් හිතන්න "ගණකාධිකාරීවරයෙක්" කිව්වම හිතේ මැවෙන්නෙ කොයි විදිහේ රෑපයක් ද? එතකොට "නැට්ටුක්කාර ගණකාධිකාරීවරයෙක්" කිව්වොත්? හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ නොගැළපෙන ඒ වුණත් හරි අපූරු පුද්ගල චරිතයක් එතනදි මැවෙනවා. මිනිස්සු සහ මේ මනුස්ස ජීවිතේ සරලවම ඒ වගේ පරස්පරතාවන් ගෙන් පිරිලයි පවතින්නේ. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි ජීවිතේ තේරුම් ගන්නත් බැරි ඒක ඇතුළේ තියෙන මේ පරස්පර ස්වභාවයන් හින්දා. ඊළඟ මාසේ, හෙට දවසේ, නැත්නම් ඊළඟ තප්පරයේ ජීවිතේ අපිට අරගෙන එන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. නමුත් මේ තේරුම්ගන්න බැරි පටලැවිලි සහගත බව, ඉක්මණින්ම වියැකෙන සුළු බව සමහර වෙලාවකට ජීවිතේට වෙනස්ම ලස්සනක් අරගෙන එනවා. පොඩ්ඩක් හිතන්න හැම දෙයක්ම කෙළින් ඉරක් ගැහුවා වගේ නිශ්චිතයි නම්, අපේ ජීවිතේ අසීමිත කාලයක් පුරා පවතිනව නම් ජීවිතේ මෙච්චර වටිනා කමක් අපිට නොදැනෙන්න තිබ්බා. මේ වෙනස් කම් එක හිතින් බාර ගෙන එක මොහොතක් නෑර විඳගන්න එක තමා අපිට කරන්න පුළුවන් වැඩේ.


චිත්‍රපටියක පින්තූරයක් දාලා මෙච්චර ගොඩක් දේවල් කියන්නෙ ඇයි කියල හිතෙනව නම් මෙන්න මේ Life of Chuck කියන චිත්‍රපටියයි ඔය කාරණා ටිකයි අතරේ සම්බන්ධයක් තියනව. (විශේෂයෙන් මේ පින්තූරයම තෝරාගත්තේ චිත්‍රපටියේ මේ scene එකට මට පුදුම තරම් ආසා හිතුණ හින්දා. Pulp Fiction, La La Land වගේ චිත්‍රපටි වලට පස්සේ සිනමාව ඇතුළෙන් දැක්ක ලස්සනම Dancing scene එකක් මේක. කතාවට බලෙන් එල්ලපු කෘත්‍රිම දර්ශනයක් නොවී ස්වභාවික විදිහට කතාව ඇතුළෙන්ම මතුවන සහ කතාවට අදාළම scene එකක් හින්දා මේකේ ලස්සන තවත් වැඩිවෙනවා) කියල තියන දේවල් එක්ක Life of Chuck කියන්නෙ බරසාර, මහා දාර්ශනික, ඔලුව ඇතුළෙ සමනල් ගැට වැටෙන චිත්‍රපටියක් කියල හිතෙනව නම් ඒක වැරදියි. මේක එහෙම මහප්‍රාණ කතාවක් නෙමේ. මුලින්ම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරි වුණත් පස්සෙ හැම දෙයක්ම තේරුම් යන්න පටන් ගන්නවා. වෙලාවකට මියුසික් එකත් එක්ක අඩිය තියලා නටන්න හිතෙනව. තවත් වෙලාවක විශ්වයේ පැවැත්ම, පරිසර දූෂණය සහ මානව සංහතියේ ඉදිරි ගමන වගේ කාරණා ගැන අහස පොළොව ගැටලන්න කල්පනා කරන්න හිතෙනව. සරලව විඳින්න වගේම ගැඹුරට හිතන්න වුණත් කාරණා මේකෙ තියනවා. 


මේක මම දැකල තියන අමුතුම සහ වෙනස්ම වැඩක්. එහෙම වෙන්න එක හේතුවක් තියනව. ඒ තමා Stephen King. මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ එයාගෙ කෙටි නව කතාවකින්. Stephen King මහත්මයගෙ පරිකල්පනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. Green Mile, Shawshank Redemption, The Shining වගේ සිනමාව ඇතුළෙ සම්භාවනීය චිත්‍රපටි වල ඉඳලා Secret Window, It, The Mist, 1408, In the tall grass, The Monkey, Doctor Sleep වගේ චිත්‍රපටි ලයිස්තුවක්ම Stephen King ලියපු කතා මුල් කරගෙන නිර්මාණය වෙලා තියනව. අනෙක් හේතුව Mike Flanagan. මේ චිත්‍රපටියෙ තිර රචනාව සහ අධ්‍යක්ෂණය කරන්නෙ Mike. මෑත කාලෙදි කතා බහට ලක්වුණු horror/ thriller ගණෙයෙ රූපවාහිනී නාටක වුණු The Haunting of Hill House, Midnight Mass, The Fall of the House of Ushser කියන්නෙ Mike Flanagan ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ඒව. මේ දෙන්නම මින් පෙර කරල තියෙන නිර්මාණ දැක්කම මේකත් අමුතුම වැඩක් නොවුණොත් තමා පුදුම. අවසාන වශයෙන් The Life of Chuck කියන්නෙ මම බලපු වෙනස්ම සහ අමතක නොවෙනම සිනමා අත්දැකීමක් දුන්න චිත්‍රපටියක් බව කියන්නම්.




Wednesday, August 27, 2025

Sorry, Baby (2025)

 හැම හොඳ ප්‍රබන්ධයකින්ම කරන්නෙ අපිට අමතක නොවෙන චරිතයක් මුණගස්වන එක. නවකතාවකින් හරි කෙටි කතාවකින් හරි චිත්‍රපටියකින් හරි වෙන්නේ මෙහෙම එක චරිතයක් මතු කරලා අරගෙන එයාගේ විශේෂතා වගේම දුර්වලකම් එක්ක එයා ගේ සපත්තුවට බැහැලා ඇවිදන් යන්න ඉඩ සලස්වන එක. එයාගේ ඇස් දෙකෙන් ලෝකය දැකලා ඒ සිතුවිලි වලට එබීබලන්න දොරක් විවර කරලා දෙන එක. පොඩ්ඩක් හිතන්න ඇල්බෙයා කැමූ පිටස්තරයා නොලීවා නම් මාර්සෝ කෙනෙක්ව අපි දන්නෙ නෑ. මාර්කේස් කොළරා කාලේ ආලේ නොලීවා නම් ෆ්ලොරෙන්තිනෝ සහ ෆර්මිනා කෙනෙක්ව අපි දන්නෙ නෑ. කොනත් ඩොයිල් මහත්මයා රහස් පරීක්ෂක කතා නොලීවා නම් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ගැන අපි අහලවත් නෑ. ඔය කාරණාව සිනමාවටත් පොදුයි. අපි බලන චිත්‍රපටි ඇතුලේ නොයෙක් චරිත අපිට මුණගැහෙනවා. සමහර චරිතවල තියන ගතිගුණාංගයන් එක්ක අපි ටිකක් වැඩිපුර අනන්‍ය වෙනවා. සමහර අයගෙ පෙනුම, හිතන පතන විදිහ වගේ දේවල් එක්ක අපි ටිකක් වැඩිපුර ඒ අය එක්ක බැඳෙනවා. 2025 අවුරුද්දට අදාළව එහෙම කෙනෙක් මට මුණගස්වපු චිත්‍රපටියක් ගැනයි මේ කියන්නෙ.

එයාගෙ නම ඇග්නස්. ඇග්නස් මට හමුවෙන්නෙ මේ අවුරුද්දෙ ආව Sorry, baby චිත්‍රපටියෙන්. ඇග්නස් ගේ චරිතය රචනා වෙන්නෙ, රඟදක්වන්නෙ, අධ්‍යක්ෂණය වෙන්නෙ එකම ගැහැනියක අතින්. Eva Victor ඇගේ නම. ඇමරිකානු රංගන පාසලක අධ්‍යාපනය ලබලා සිනමාවට පිවිසෙන Eva ගේ කුළුඳුල් සිනමා රචනය සහ අධ්‍යක්ෂණය තමා Sorry, baby. මේ කතාව ලියන්න ඇයට මුල් වෙන්නෙ එයාම මුහුණදීපු එක් අත්දැකීමක් බවයි කියවෙන්නෙ. එහෙම බැලුවාම ඇග්නස් කියන්නෙ මුළුමණින් Eva ගේ ප්‍රතිනිර්මාණයක්. ඇගේම ආත්ම ප්‍රකාශනයක්.


ඇග්නස් කියන්නෙ කවුද? එයා මොනවද කරන්නෙ? ඇග්නස් ගේ ජීවිතේ වෙනස් අවධීන් තුනකුයි මේ චිත්‍රපටියෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ. ඈ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් ව ගෙවුණ අවධිය, එම විශ්ව විද්‍යාලයේම සාහිත්‍යය පිළිබඳ ආචාර්‍යවරියක් බවට පත්ව සිටින අවධිය සහ ඒ අතර සංක්‍රාන්ති සමයක්ව ගෙවුණ යුගය. වතාවක් ඇය ජීවිතේ එක්තරා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දෙනවා. මේ අප්‍රසන්න දෙය සිදුවෙන්නෙ ඈ ප්‍රිය කරන කෙනෙක් අතින්. මේ සිදුවීම ඇයට ජීවිතේ පුරා දිගුකාලීනව බලපෑම් කරන ක්ෂිතිමය අත්දැකීමක් (Trauma) බවට පත්වෙනවා. ක්ෂිතිමය ඇත්දැකීමක් නැත්නම් Trauma එකක් කියන්නෙ යම් පීඩාකාරී සහ අප්‍රසන්න සිදුවීමකට ප්‍රතිචාර විදිහට ඇතිවෙන හැඟීම් සමූහයක්, මනෝභාවයක්. සමහර විට මේක ශාරීරිකව සිද්දවෙන්නත් පුලුවන්. Trauma එක්කට මුල්වෙන්නෙ කෙනෙක් මුහුණ දෙන ප්‍රචණ්ඩකාරී සිදුවීමක්, අපයෝජනයක්, නොසලකා හැරීමක් වැනි තනි සිදුවීමක් නැති නම් සිදුවීම් මාලාවක්. මේ සිදුවීම නිසා ඇති වෙන බිය, අනාරක්ෂිත බව, අපහසුතාව දිගුකාලීනව මනස ඇතුලේ පවතිනවා. ඇග්නස් එවැනි තත්වයකටයි පත්වෙන්නෙ. නමුත් වැදගත් කාරණේ මෙන්න මේක. ඇග්නස් තමන්ගෙ පීඩනය තමන් ඇතුළෙම විඳ දරාගෙන තමන් සුවපත් වෙන්න උත්සාහ කරනවා මිස නැවත ලෝකයට පීඩාවක් වෙන්නෙ නැහැ. ඇතුළෙන්ම බිඳවැටුණු මිනිස්සු එක්ක වැඩකරන්න ගොඩක් වෙලාවට අපහසුයි. මොකද ඇතුළාන්තය අඳුරින් පිරුණු අය වටේ නිතරම පවතිනව යම් අඳුරක්. නමුත් ඇග්නස් ඒ තැනට වැටෙන්නෙ නෑ. ඇය මේ අඳුර ආලෝකයක් බවට පෙරළා ගන්නව. මම දකින ඇගේ විශේෂත්වය තමයි ඒක. ඒ වගේ ම මං හිතනව යහපත් මිතුරු ඇසුරත් ඇයට මෙතනදි බලපෑමක් කරනව කියලා. මූණට හිනා වෙලා නැති තැන දොස් කියන, වැරදිම හොයන මිතුරු වෙසින් එන සතුරන් වගේම ඉඳහිටක ඇවිත් උණුහුමක් දීලා යන කෙනෙක්, ඕනෑම දෙයක් බෙදාහදා ගත හැකි එකම විදිහට හිතන පතන මිතුරියක්, උදව් ඕනැ මොහොතක ලඟට ඇවිත් සහනයක් සැනසීමක් දීලා යන අහඹු මනුස්සයෙක්, ඇග්නස් ගේ ජීවිතේ මේ අය ඉන්නවා. ඇතුළාන්ත සුවපත් වීමකට මෙවැනි අය ගොඩක් වැදගත්.


Sorry, Baby චිත්‍රපටිය එක්ක සිනමාවට තවත් අලුත් වීරවරියක් ඇවිත් ඉන්නා බව නිවේදනය කරනවා. ඇය තමා Eva Victor. තිර රචනාව ලියලා ඒක අධ්‍යක්ෂණය කරන ගමන් තමන්ම ප්‍රධාන චරිතයත් රඟපාන එක ලේසි වැඩක් නෙමේ ඇත්තට. නමුත් මෙතනදි ඈ ඒ අභියෝගය සාර්ථකව ජය ගන්නවා. අධ්‍යක්ෂණය ගැන අත්දැකීමක් ලබාගන්න ඈ I saw the TV glow චිත්‍රපටියෙ දර්ශන තලයෙ හිටිය බව කියනවා. කොහොමින් හරි Eva ගෙ පළවෙනි වැඩෙ එයාගෙ ඊළඟ වැඩක් එන තුරු බලා ඉන්න සලස්වනවා. 2020 දි Nomadland හැදුව Cloe Zaho, 2017 දි Lady Bird හැදුව Greta Gerwig, 2023 Past Live හැදුව Celine Song වගේ මතක හිටින නිර්මාණ හරහා එළිදකින අධ්‍යක්ෂ වරියන්, නැතිනම් මෑත කාලීනව සිනමාවට ඇවිත් ඉන්නා කැපීපෙන තරුණ ගැහැනුන් අතරට Eva ගේ නමත් ඇතුළත් කරන්න දෙවරක් හිතන්න ඕන නැහැ.




Monday, August 25, 2025

නිල්පාට තිත් පෙළින් හෙළි වුණු රහස

 Émile Durkheim කියන්නෙ සමාජ විද්‍යාවෙ පීතෘවරයෙක් විදිහට සලකන කෙනෙක්. ඔහු ජීවත් වෙන්නෙ 19 වෙනි සියවසේ. Émile ඔහුගේ කෘතියක එක්තරා අපූරු ප්‍රකාශයක් කරල තියනව. ඔහු කියනවා දරුණු අපරාධ සමාජයෙන් නැත්තටම නැති වෙලා ගිය කාලෙක මොකක් වේවිද කියන දේ ගැන. අපරාධ, යුධ ගැටුම් ගැන අහන්නවත් ලැබෙන්නෙ නෑ. වංචා දූෂණ කියලා දෙයක් පවතින්නෙවත් නෑ. හැමෝම හැමකෙනෙකුටම ගරුත්වයෙන් සලකනවා මිස කොතනකවත් නරකක් නපුරක් නෑ. අපි ජීවත්වෙන සමාජය මෙහෙම තැනක් වෙනව නම් හැමෝම කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් ජීවත් වේවි නේද? අපි කවුරුත් කැමති සමාජය එහෙම තැනක් බවට පත් වෙනව නම්, නමුත් Durkheim ගේ උත්තරය ඔබ මම බලාපොරොත්තු වෙන විදිහෙ එකක් නොවෙයි.

ඒ ගැන කියන්න කලින් මම කැමතියි හාවඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ ආචාර්ය David E. Levari ඇතුළු කණ්ඩායමක් වතාවක් සිදුකළ එක්තරා පරීක්ෂණයක් ගැන කියන්න.  


David ඇතුළු කණ්ඩායමේ අරමුණ වුණේ මිනිස් මනසේ තිබෙන එක්තරා මනෝභාවයක් පිළිබඳව අනාවරණය කරගැනීම. පර්යේෂණයෙදි ඔවුන් සිදුකළේ මෙන්න මේ දෙය. පර්යේෂණයට ලක්වෙන අයට සිදුවුණා පරිගණක තිරයක් ඉදිරිපිට වාඩි වෙලා බලා ඉන්න. පරිගණක තිරයේ වර්ණ ගැන්වුව තිත් දාහකට ආසන්න ගණනක් වරින් වර දර්ශනය වුණා. මේ තිත් වර්ණ ගන්වා තිබුණේ නිල් පාට, දම් පාට සහ නිල් දම් අතර වර්ණ වලින්. පර්යේෂණයට ලක්වෙන අය ඉදිරියෙ බොත්තම් දෙකක් තිබුණා. එකක් Blue සහ අනෙක Not Blue විදිහට නම් කර තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ නිල්පාට තිතක් තිරයේ පෙනුණ විට Blue බොත්තම ඔබන්නත් අනෙක් හැම තිතකටම Not Blue බොත්තම ඔබන්නත්. පෙනෙන විදිහට වැඩේ හරිම සරලයි. පරික්ෂකයින් මුලින්ම නිල්පාට තිත් වැඩිපුර තිරය මතට යොමු කළා. හැම කෙනෙකුම කිසිම ගැටලුවක් නැතිව ඊට ප්‍රතිචාර දැක්වුවා. නමුත් ඔවුන් ටිකෙන් ටික නිල් පාට තිත් තිරය මත පෙනෙන වාර ගණන අඩු කරලා නිල් සහ දම් අතර වර්ණ වැඩියෙන් තිරය මත පෙනෙන්න සැලැස්වුවා. එතනදි පරික්ෂණයට ලක්වුණු අය කළේ පැහැදිලිවම නිල්පාට විදිහට නොපෙනුණු වර්ණ පවා Blue නමින් නම් කරන එක. ඒ කියන්නෙ ඔවුන් දකින්න අපේක්ෂාවෙන් හිටි වර්ණය ක්‍රමයෙන් අඩුවෙද්දි ඊට සාපේක්ෂව දක්වන ප්‍රතිචාරය වෙනස් කරනවා වෙනුවට ඔවුන් ඒ වර්ණය හඳුනාගන්න ආකාරය වෙනස් කර ගත්තා. 


ඊළඟට මේ පරීක්ෂණයෙ ඊළඟ පියවර සිදුවුණා. පරීක්ෂකයින් පරිගණක තිරය මතට යොමු කළේ විවිධාකාර හැඟීම් පළ කරන මිනිස් මුහුණු වල පින්තූර. ඒවා තර්ජනාත්මක, මිත්‍රශීලී සහ කිසි හැඟීමක් පළ නොකරන විදිහට වර්ගීකරණය වුණා.  පරිගණක තිරය ඉස්සරහ තිබුණේ "තර්ජනාත්මක" සහ "තර්ජනාත්මක නොවන" විදිහට නම් කළ බොත්තම් දෙකක්. පර්යේෂණයට ලක් වුණ අයට කරන්න තිබුණේ තර්ජනාත්මක හැඟීමක් පළ කළ මුහුණක් දකිද්දී "තර්ජනාත්මක" කියන බොත්තම ඔබන්න. එහෙම නොවන හැඟීමක් පළ කරන මුහුණක් දකිද්දී "තර්ජනාත්මක නොවන" බොත්තම ඔබන්න. මෙතනදි පර්යේෂකයින් මුලින් තර්ජනාත්මක මුහුණු වැඩිපුර පෙන්වුවා. ඉන්පස්සෙ ක්‍රමයෙන් ඔවුන් තර්ජනාත්මක හැඟීම් පළ වන මුහුණු තිරයේ පෙන්වන වාර ගණන අඩු කළා. ප්‍රතිඵලය කලින් වතාවේ වගේමයි. තර්ජනාත්මක මුහුණු අඩුවෙන් දකිද්දි පර්යේෂණයට ලක්වුණු අය මිත්‍රශීලී මුහුණුවල පවා තර්ජනාත්මක බවක් දැක තිබුණා.


පරීක්ෂකයින් මේ ක්‍රියාකාරකම තවත් පියවරකට අරගෙන ගියා. මෙතනදි ඔවුන් පර්‍යේෂණයට ලක්වුණු අයට පෙන්වුයේ විවිධාකාර රැකියා යෝජනාවන්. සමහර ඒවා කිසිම සදාචාර සම්පන්න බවකින් තොරව ලියවුණ ඒවා වුණු අතරේ සමහර ඒවා ඉතාම සාමාන්‍ය සහ කිසිම වරදක් නැති ආකාරයෙන් ලියවී තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ පරිගණක තිරයේ මතුවන මේ ලියවිලි සදාචාර සම්පන්න ඒවාද නැත්නම් එහෙම නොවන ඒවාද කියලා වර්ගීකරණය කරන්න. මෙතනදිත් මුලින්ම ඔවුන්ට දැකගන්න ලැබුණේ සදාචාරමය නොවන රැකියා යෝජනා වුණු අතරේ ක්‍රමයෙන් ඒවා තිරය මත දිස්වෙන වාර ගණන අඩු කරලා සාමාන්‍ය මට්ටමෙන් ලියවුණු ඒවා වැඩිපුර පෙන්වන්න පටන් ගත්තා. සිදු වුණේ පෙර සංසිද්ධිය මයි. පර්යේෂණයට ලක්වුණු අය සදාචාරමය නොවෙන ලිවීම් දකින්න ලැබුනවා අඩු වෙද්දී සමාන්‍ය ලිවීම් පවා සදාචාරමය නොවෙන විදිහට වර්ගීකරණය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ සදාචාරමය නොවෙන දේවල් දකින්න ලැබෙනවා අඩු වෙද්දී ඔවුන් තමන්ට තිබුණ සදාචාර මිනුම්දඬු වෙනස් කරගන්න පටන් ගත්තා. 


පරීක්ෂකයින් තමන් අනාවරණය කරගත්ත කාරණය Prevalence-induced concept change යන නමින් හැඳින්වුවා. ඉන් කියවෙන්නෙ අපි ජිවත් වන වටපිටාව කොයිතරම් ආරක්ෂාකාරී සහ සාමකාමී එකක් වුණත් අපි අපේක්ෂා කරන්නෙ අනතුරුදායක දේවල් නම් අපිට ඒවා වැඩිපුර දකින්න ලැබෙන බව. එනම් කිසිම අනතුරක් නැති අතිශ්‍ය සාමාන්‍ය දේවල් පවා අනතුරුදායක විදිහට දකින්න අපි පෙළඹෙන බව.


ආයෙමත් Emile Durkheim ළඟට ආවොත් ඔහු කියන දේ මෙන්න මේ පර්‍යෙෂණ ප්‍රතිඵලය එක්ක හොඳින් ගැළපෙනවා. ඔහු කියනවා සමාජයෙ දරුණු අපරාධ නැති වෙන තරමට මිනිස්සු ඊට වඩා කුඩා දේවල් දරුණු මට්ටමෙන් සලකන්න පටන් ගනීවි කියල. ලොකු වැරදි නැති වෙන තරමට මිනිස් ස්වභාවයෙ තියන කුඩා දුර්වලකම් විශාල වැරදි විදිහට සලකන්න අපි පටන් ගනීවි කියලා. මනෝවිද්‍යාව ඇතුළෙත් කියන්නෙ මේ දෙය. අපේ මනස නිතර බලාපොරොත්තු වෙන්නෙ අරමුණු වල ගැටෙන්න. අපේ මනස නිතරම යම් ප්‍රමාණයක පීඩනයක් ඉල්ලා සිටිනව. මේ විදිහට ලොකු පීඩනයක් මනසට දෙන්න දෙයක් නැති වුණාම සාමාන්‍ය දේවල් වලින් පවා මනස පීඩාවට පත්වෙනවා. ඒ කියන්නෙ අපිට තියන ප්‍රශ්නයේ ප්‍රමාණයට අපි ඒකට ප්‍රතිචාර දක්වනවා වෙනුවට අපි කරන්නෙ අපිට අවශ්‍ය පීඩනයේ ප්‍රමාණයට ප්‍රශ්නය ලොකු කර ගන්න එක. කෙනෙක් භෞතික වශයෙන් කොයිතරම් ලොකු දියුණුවක් ලැබුවත් මිල මුදල්, යාන වාහන කොයිතරම් ගොඩගහ ගත්තත් කිසිදාක මානසික සහනය ලැබෙන්නෙ නැත්තෙ ඒ හින්දයි. අපි ලෞකික මට්‍ටමෙන් කොයි තැනක හිටියත් අතෘප්තිය අපිව හොයාගෙන එනවා. මනස ඉල්ලා සිටින පීඩනය, ගැටුම බාහිරින් ලැබෙන්නෙ නැති වුණාම ඒ කියන්නෙ සියල් සපිරි ජීවිතයක් ලැබෙන තරමට ජීවිතේ තියන අතිශ්‍ය සාමාන්‍ය කුඩා දෙවල් අපිට පීඩා කරන්න පටන් ගන්නවා. ලෞකික ජීවිතේ දියුණුව ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ආත්මාර්ථකාමී සහ ළාමක බොළඳ අදහස් ඇති අය බවට පත් කරනවා. 


ඉංග්‍රීසි භාෂාවෙ වචනයක් තියනව Nitpicking කියලා. ඒ කියන්නෙ සාමාන්‍ය නොවැදගත් දේවල් වල පවා වැරදි හොයන එක. කෙස් ගහක අඩුපාඩුවක් පවා හොයමින් තර්ක කරන එක. කෙනෙකුගෙ, නැතිනම් මොකක් හරි දෙයක වරදක් හොයාගන්න ඕන නිසාම වැරදි හොයන එක. විවාහ ජීවිත ගත කරන අයට නැත්නම් දිගුකාලීන සම්බන්ධකම් ඇතුළේ ඉන්න අයට ගොඩක් ඔය අත්දැකීම ඇති. ගොඩක් වෙලාවට දෙදෙනෙක් අතරෙ එහෙම ලොකු ප්‍රශ්න ආරවුල් නැති වෙද්දි පොඩි දේවල් පවා වැරදියට පේන්න පටන් ගන්නව. මිනිස්සු කියන්නෙ සර්ව සම්පූර්ණ ජාතියක් නොවෙයි නෙ. දුර්වලකම්, අතපසුවීම් කාගෙ අතිනුත් වෙනව. ඉතින් සම්බන්ධකමක් හරිම සාමාන්‍ය විදිහට යනකොට මනසට අවශ්‍ය පීඩනය ලබා දෙන්න දෙයක් නැති වෙනකොට මේ වගේ සාමාන්‍ය දේවල් ලොකු වැරදි විදිහට සලකලා මතගැටුම් ඇති කර ගන්නවා. ඒ කියන්නෙ අපිට අවශ්‍ය පමණට අපි අපේ ප්‍රශ්නයේ ප්‍රමාණය සහ ඒකට දෙන අවධානය වෙනස් කර ගන්නවා. David E. Levari ඇතුළු කණ්ඩායම පර්‍යේෂණාත්මකව හොයාගත්තු කාරණාව මෙන්න මේක. Prevalence-induced concept change. නිල් පාට වැඩිපුර පේන්න නැති වෙනකොට දම් පාට පවා නිල් විදිහට හඳුනාගත්තා වගේ, තර්ජනාත්මක නොවෙන පින්තූර වැඩිපුර දකිද්දී සාමාන්‍ය පින්තූර පවා තර්ජනාත්මක විදිහට දකින්න පටන්ගත්තා වගේ අපේ මනස ඉල්ලා සිටින දේ අනුව අපි දකින දෙය වෙනස් කරගන්නවා. ඉතින් ලොකුවට අපේ මනසට පීඩනයක් ඇති කරන දේවල් ඇත්තටම එහෙම ඒවා නොවෙන්න පුළුවන්. අපි සමහර දේවල් ගැන අනව්‍ය තරම් කල්පනා කරමින් ලොකු කාලයක් ශ්‍රමයක් වැය කරනවා. සමහර විට ඒ දේවල් වල එහෙම හිත හිතා වදවෙන්න තරම් වටිනා කමක් නෑ. අපට කන්දක් විදිහට පේන දේ ඇත්තටම නිකම් පස් ගොඩැල්ලක් විතරක් වෙන්න පුලුවන්. මහ මුහුදක් විදිහට අපි හිතා ගෙන ඉන්න දේ පොඩි වතුර වළක් විතරක් වෙන්න පුලුවන්. අපි ලොකු අවධනය දීල තියෙන්නෙ සමහර විට ඇත්තටම එහෙම හිතන්න අවශ්‍ය නැති නොවටිනා ඒවට. ඒ නිසා දේවල් ඇති සැටියෙන් දකින්න පුරුදු වීම හැම අතින්ම වැදගත්. 




Friday, August 1, 2025

Materialist (2025)

විවාහය කියන්නෙ කොයි අතින් බැලුවත් හරි අපූරු දෙයක්. ඔයා තමන්ගෙ සහකාරයට විශ්වාසවන්ත වෙනවා, දුකේදිත් සැපේදිත් එයා ළඟින්ම ඉන්නවා කියලා ප්‍රසිද්ධියේම කියලා කොලේකත් අත්සන් කරලා පටන් ගන්න එකම සම්බන්ධකම ඒක විතරයි. වෙන කිසිම බැඳීමක් ඇතුළේ අනෙකා සම්බන්දයෙන් මේ වගේ දෙයක් ලිඛිතව සිද්ද වෙන්නෙ නැහැ. ඔයා මගේ යාළුවෙක් වෙන්නේ ඔයාට උදව් ඕන වෙලාවට මම ඔයාගෙ ළග ඉන්නවා, මිනිස්සු ඔයාට හිනා වෙද්දී ඔයත් මාත් එක්ක එකතුවෙලා මාත් උන්ට හිනාවෙනවාය කියලා කොලේක අත්සන් කරලා නෙමේ. නැත්නම් ඔයාව මම යාළුවෙක් විදිහට තෝරගන්නෙ ඔයාගෙ රස්සාව මොකක්ද, මාසෙ පඩිය කීයද, පදින වාහනේ සෙකන් හෑන්ඩ් ද, ගෙදර කාමරේ ඇටෑච් බාත්රූම් තියනවද කියලා හොයලා නෙමේ. නමුත් ප්‍රේම සම්බන්ධ කම්, යාළු මිත්‍රකම්, නොයෙක් හිතවත් කම් මේවා ඇතුළේ යම් අප්‍රකාශිත ගිවිසුම්ගත වීමක්, එකඟතාවක් තියනවා. ඒවා කොහේවත් ලියලා නැහැ. අපි ඒ බැඳීම්වලට අවංකයි නම් වචනෙන් ප්‍රකාශ නොවෙන මේ එකඟතාවන් කොන්දේසි විරහිතව අපි පවත්වාගෙන යනවා. ඒ වගේ මිත්‍ර සම්බන්ධකමක් ජීවිතේ ඇතුලේ ඇති වෙන්නේ නිරායාසයෙන්මයි. කෙනෙකුගේ අදහස් සිතුම් පැතුම් අපිට සමීපව දැනෙනවා නම්, ඒ පුද්ගලයා එක්ක අදහස් හුවමාරු කරගන්න එක පහසුවක් නම් ස්වභාවයෙන්ම ඒ වගේ දෙන්නෙක් අතරේ කිට්ටු හිතවත්කමක් ඇතිවෙනවා. මේ සම්බන්ධකම් ජීවිතේ ඇතුළේ කොයිතරම් දුරක් යනවද කියන දේ තීරණය වෙන්නේ අර අප්‍රකාශිත ගිවිසුම කොයිතරම් දුරට මේ අය සපුරාලනවද කියන දේ උඩ තමා. නමුත් විවාහය කියන තැනට ආවම, ඉතිහාසය ඇතුළේ විවාහය කියන එක සමාජ චාරිත්‍රයක් බවට පත්වෙනකොට එතෙක් වචනෙන් ප්‍රකාශ නොවුණු එකඟතාවක් විදිහට පැවතිච්ච මේ විවාහය ඇතුළට ලිඛිත ගිවිසුම් ගත වීම අනිවාර්ය අංගයක් විදිහට එකතු වෙන්න ඇති. 2025 ආව Materialist චිත්‍රපටිය පටන්ගන්නේ විවාහයේ මේ ඉතිහාසගත පසුබිම ගැන පොඩි ඉඟියක් ලබා දීලා. මේ Film එක නූතන සමාජේ මිනිස්සු භෞතික ජීවිතේ ගොඩනගාගන්න තරගෙට දුවන අතරේ විවාහ වෙන්න කෙනෙක් හොයාගැනීම කියන ප්‍රශ්නේ විසඳාගන්නෙ කොහොමද කියන කාරණේ මුල් කරගෙන හැදුන එකක් බව මං හිතනවා.

කසාද බඳින්නෙ ඇයි කියන ප්‍රශ්නෙට අවධානෙ යොමුකළොත් මේකට නොයෙක් අය ගාව නොයෙක් විදිහෙ උත්තර දෙන්න පුලුවන්. වයසට ගියාම වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕන හින්ද, ලස්සනට ඇඳල ලොකු වෙඩින් එකක් ගන්න ආස හින්ද, අම්ම තාත්ත කියන හින්ද වගේ තැනක ඉඳන් කවුරු හරි කෙනෙකුට ආදරේ හින්ද සහ ඒ ආදරේ මනුස්සයා එක්ක හැමදාම ළඟින් ඉන්න ලැබෙන හින්ද කියන තැන දක්වා පරාසයක උත්තර ඒ අතර තියේවි. සමහර විට කෙනෙකු ගාව ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් නැති වෙන්නත් පුලුවන්. නමුත් තමන් කසාද බඳින්න හොයන්නෙ කොයිවගේ කෙනෙක්ද, නැත්නම් තමන් කවද හරි බඳින කෙනා ගාව තියෙන්න ඕන කොයි වගේ දේවල්ද කියල හොයල බැලුවොත් මම හිතන්නෙ වැඩි දෙනෙකුට මේ ගැන අදහසක් තියනවා. අඩි හයක් උස, හම සුදු පාට, බඩ තිබීම හෝ නැති වීම, කෙට්ටුවීම, අධ්‍යාපන සුදුසුකම්, රස්සාව.. ඔය වගේ දේවල් ඒ අතර තියනව. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ ඔය හැමදේකින්ම සියල් සපිරි කෙනෙක්ව හොයාගන්න එක තමා. සමහර වෙලාවට එහෙම හොයලා හොයලා ජීවිතේ තරුණ කාලෙ එහෙම හොයමින්ම ගෙවලා දාපු අයත් ඉන්නවා. ඕක ජීවිතේටම එකපාරක් ගන්න බලාපොරොත්තු වෙන තීරණයක් නෙ ඉතින් හොයන්නෙ නැතිව බැහැ තමා. ඔය ප්‍රශ්නෙ දිහා වෙනත් මානයකින් බැලුවොත් මම හිතන්නෙ ඔය කෙනා හොයාගන්න ඒක පහසුවක් වේවි කියලා. හිතන්න හෙට දවසෙ ඉඳන් ආයෙ මැරෙනකම්ම ජීවත්වෙන්න ඕන එක මනුස්සයෙක් එක්ක. ඉතින් එහෙම ජීවිතේ ගෙනියන්න නම් ඒ මනුස්සය කොයි වගේ කෙනෙක් වෙනව නම් ද වඩාත් හොඳ?


කසාද බඳින්න කෙනෙක් හොයනවා කියන්නෙ ජීවිතේටම බලපාන ලොකු තෝරාගැනීමක් හින්දා එතනදි කෙනෙකුට ගැළපෙන කෙනෙක් හොයාගන්න උදව්වෙන එක වෘත්තීයක් විදිහට කරන කට්ටියක් ඉන්නවා. ලංකාවෙ අපි මේකට කියන්නෙ මගුල් කපුකම කියල, ඇමරිකාවෙ නම් ඕකට කියන්නෙ matchmaking කියලා. මේ matchmakers ලා ගාව එයාලගෙ සේවා දායකයින්ගෙ විස්තර ඇතුළත් තොරතුරු ගොනුවක් තියනවා. ඉතින් මට ජීවිත සහකාරයෙක් හොයාගන්න ඕන නම් කරන්න තියෙන්නෙ ඊට අදාළ මුදලක් ගෙවලා මගෙ විස්තර ටික matchmaker කෙනෙකුට දෙන එක. එයාලා එතකොට මම බලාපොරොත්තු වෙන විදිහෙ ගතිගුණාංග තියන කෙනෙක් මගෙ කැමැත්ත අකමැත්ත අනුව තෝරගෙන අපි අතරේ date එකක් සංවිධානය කරනවා. එතනදි මාත් මට එයාල තෝරාදෙන සහකාරයත් එකිනෙකා ගැන දක්වන්නෙ කොයිවගේ ආකල්පයක්ද, ඒ කියන්නෙ පළමු හමුවීමෙන්ම සරලවම එයා ගැන මගේ මොකක් හැරි කැමැත්තක් ඇති වෙලා තියනවද කියන දේ ගැන හොයා බලනවා. එතින් එහෙම දෙයක් තියනව නම් මේ දැන හැඳුනුම්කම ඉදිරියට පවත්වගෙන යන්න මට පුලුවන්. Matchmaker ලා එතනදි අපි ලබන සාර්ථකත්වය ගැන අවධානයෙන් ඉන්නවා. කොහොම හරි මේ හමුවීම අවසානයෙදි විවාහයෙන් කෙළවර වෙන බවට සහතික වීමයි Matchmaker ගෙ රාජකාරිය. 


Lucy කියන්නෙ මේ වගේ Matchmaker කෙනෙක් විදිහට වැඩකරන ගෑනු ලමයෙක්. අනික් අයට කසාද බඳින්න උදව් කළාට Lucy තාමත් තනිකඩයි. පොඩ්ඩක් ඉන්න... ලුසී වගේ ලස්සන හැඩ ගෑනු ළමයෙක් (ලුසී ගෙ චරිතෙ කරන Dakota Johnson මාරම ලස්සනයි මට නම් මේ ෆිල්ම් එක ඇතුළෙ) ඔච්චර කාලයක් තනිකඩව ඉඳීවි කියල හිතන්න පුලුවන් ද.. ඇත්තටම එහෙම බැහැනෙ..  මේ පෝස්ටර් එකෙන් පෙන්නුම් කරන ආකාරයට Lucy ගේ ලෝකේ පෙම්වතුන් දෙන්නෙක් අතරේ දෝලනය වෙන එකක්.


පළමු වැන්නා, John හෙවත් දුප්පත් අසරණ තරුණයා. John තමා Lucy ගෙ පළමු ප්‍රේමවන්තයා. Lucy මැච්මේකිං පටන් ගන්න කලින් නිළියෙක් විදිහට වැඩ කරලා අසාර්ථක වුණු කෙනෙක්. John ඉන්නෙත් ඒ බෝට්ටුවෙ මයි. මම කියන්නෙ රඟපෑම කියන එක ජීවිතේ ලොකුම හීනයක් කරගෙන අන්තිමේ හරිහමන් වැඩකුත් නැතුව අතේ සතේ නැති ගාණට වැටිලා නමුත් රඟපෑමේ හීනය අත නොහැර සිටින්නන් ගේ බෝට්ටුවෙ... John ගෙ මේ ආකල්ප හින්දා Lucy රඟපෑමත් John වත් මේ දෙකම එකපාර අතහැර දමලා යනවා. නමුත් ජීවිතේ වෙනස්ම කාල රේඛාවක දි John සහ Lucy ආයෙමත් එකිනෙකා මුණගැහෙනවා. 


ඊළඟට දෙවැන්නා, සියල් සපිරි Harry. හැරී ට Lucy ව මුණ ගැහෙන්නෙ Lucy ගේ වෘත්තීය ජීවිතේ වැදගත් තැනකදි, ඒ කියන්නෙ wedding එකකදි. Harry ට අවශ්‍ය විවාහ වෙන්න කෙනෙක් හොයා ගන්න. Harry ඒකට උදව් පතන්නෙ Lucy ගෙන්. ඒක වෘත්තීමය උදව්වක් වුණත් Lucy තේරුම් ගන්නවා Harry කියන්නෙ කෙනෙකුට කලාතුරකින් මුණගැහෙන ජාතියේ දුර්ලභ පිරිමියෙකු බව. ඒකට හේතුව Harry කියන්නෙ කිසිම දේකින් අඩුවක් පාඩුවක් නැති පුද්ගලයෙක්. Harry එන්නෙම සල්ලිකාර පවුලකින්. සල්ලි පැත්තෙන් එයා ඉන්නෙ ඉහළම උඩම තැනක. එතකොට අනික් පැත්ත. මනුස්ස පැත්ත? උතුරන්න සල්ලි තියන පසුබිමකින් එන ගොඩක් මිනිස්සුන්ගෙ මනුස්ස ගති ගුණාංග අඩුයි, ලොකුකම වැඩියි, මෝඩයි... ඒත් පුදුමෙකට Harry ට නම් ඔය දුර්ගුණාංග එකක්වත් පිහිටලා නෑ. Harry බොහොම කාරුණිකයි, විනයගරුකයි, කඩවසම්, බුද්ධිමත්, උගත්.. පිරිමියෙකුට තියෙන්න ඕන හොඳ ගුණාංග ඔක්කොම කියන්න.. Harry ගාව ඒ හැම දේම තියන බව සහතිකයි. ඉතින් එහෙම පිරිමියෙක් බඳින්න කෙනෙක් හොයන්න තමන් ගාවට එද්දි ඒ මනුස්සයව තෝරා නොගෙන ඉන්න Lucy ට හේතුවක් තියෙන්න විදිහක් නෑ. 


Lucy, Harry සහ John කියන තුන්දෙනා අපිට මුණගැහෙන්න 2025 අවුරුද්දෙ ආව Materialists චිත්‍රපටිය ඇතුළෙ. මේකෙ අධ්‍යක්ෂණය සහ තිර රචනාව 2023 අවුරුද්දෙ ආව Past Lives නිර්මාණය කළ Celine Song ගෙ. Past Lives කියන්නෙ ඒ අවුරුද්දෙ විතරක් නෙවෙයි, බලන්න ලැබෙන හොඳම වර්ගයෙ Romantic චිත්‍රපටියක්. Materialists කියන්නෙ Celine Song ගේ දෙවනි වැඩේ. පළවෙනි චිත්‍රපටියෙන් ගොඩනගාගත්ත සාර්ථකත්වය දෙවනි චිත්‍රපටියටත් ඈ අරගෙන්න එන්න සමත්වෙලා තියනව මට අනුව නම්. Romantic Drama එකක් විදිහට මේක කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුළුවන් ලස්සන, සුන්දර Feel Good වර්ගයේ චිත්‍රපටියක්. අනිත් දේ මේක ප්‍රේමය සහ විවාහය මූලික කරගත්ත මනුස්ස සම්බන්ධ කම් ගැන හිතට දැනෙන්න කතා කරනවා. මිනිස්සු කොයිතරම් සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කළත්, කසාද බඳින්න කොයිතරම් සම්පූර්ණ කෙනෙක්ව හෙව්වත් අවසානෙ කවුරුවත් මේ පරිපූර්ණත්ව ලබා ගන්නෙ නෑ. එහෙම පරිපූර්ණ සහකාරයෙක්ව කවදාවත් කාටවත් ලැබෙන්නෙත් නෑ. මොකද මිනිස්සු ගාව අනිවාර්යයෙන්ම අඩුපාඩු තියනව. එහෙම නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඉතින් එහෙම අඩුපාඩු තියන කෙනෙකුට මුලිනුත් කිව්වා වගේ සැපේදිත් දුකේදිත් වෙනසක් නැතිව එකට ඉන්නවා කියලා ලිඛිතවම පොරොන්දු වෙලා ජීවිතේම බාරදෙන්නෙ කොහොමද?? අඩුපාඩුකම් මනුස්ස දුර්වලකම් තියන දෙන්නෙක් දුක සැප බෙදාගෙන එකට ජීවිතේ ගෙනියන්නෙ කොහොමද?? නූතන විවාහය කියන කාරණේට ආවම, Materialist චිත්‍රපටිය එක අතකට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාග්නන දරලා තියන උත්සාහයක්. 


මුලින්ම කිව්වා වගේ Dakota Johnson ගේ ආකර්ශණීය බව චිත්‍රපයටියෙන් ඇස් එළියට ගන්න නොහිතෙන්න බලපෑව ප්‍රධාන සාධකයක්. ඊළගට Chris Evans කැප්ටන් ඇමරිකා චරිතෙන් මිදිලා මේ වගේ චිත්‍රපටිවලිනුත් දැකගන්න ලැබීම සතුටක්. අනික Pedro Pascal මේ දවස්වල ටිකක් දකින්න ලැබෙනවා වැඩි දෝ කියල හිතෙන තරමට නිතර පේන මුණක් බවට පත්වෙලා තියනව වුණත් මේකේ Harry ගේ චරිතයට බොහොම හොදින් Pedro ව ගැළපෙනවා කියලා හිතෙනවා. අවසානෙට, මේ අවුරුද්දට අදාළව දැනට ආව හොදම වැඩක් තමා Materialists කියන්නේ.