Monday, August 25, 2025

නිල්පාට තිත් පෙළින් හෙළි වුණු රහස

 Émile Durkheim කියන්නෙ සමාජ විද්‍යාවෙ පීතෘවරයෙක් විදිහට සලකන කෙනෙක්. ඔහු ජීවත් වෙන්නෙ 19 වෙනි සියවසේ. Émile ඔහුගේ කෘතියක එක්තරා අපූරු ප්‍රකාශයක් කරල තියනව. ඔහු කියනවා දරුණු අපරාධ සමාජයෙන් නැත්තටම නැති වෙලා ගිය කාලෙක මොකක් වේවිද කියන දේ ගැන. අපරාධ, යුධ ගැටුම් ගැන අහන්නවත් ලැබෙන්නෙ නෑ. වංචා දූෂණ කියලා දෙයක් පවතින්නෙවත් නෑ. හැමෝම හැමකෙනෙකුටම ගරුත්වයෙන් සලකනවා මිස කොතනකවත් නරකක් නපුරක් නෑ. අපි ජීවත්වෙන සමාජය මෙහෙම තැනක් වෙනව නම් හැමෝම කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් ජීවත් වේවි නේද? අපි කවුරුත් කැමති සමාජය එහෙම තැනක් බවට පත් වෙනව නම්, නමුත් Durkheim ගේ උත්තරය ඔබ මම බලාපොරොත්තු වෙන විදිහෙ එකක් නොවෙයි.

ඒ ගැන කියන්න කලින් මම කැමතියි හාවඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ ආචාර්ය David E. Levari ඇතුළු කණ්ඩායමක් වතාවක් සිදුකළ එක්තරා පරීක්ෂණයක් ගැන කියන්න.  


David ඇතුළු කණ්ඩායමේ අරමුණ වුණේ මිනිස් මනසේ තිබෙන එක්තරා මනෝභාවයක් පිළිබඳව අනාවරණය කරගැනීම. පර්යේෂණයෙදි ඔවුන් සිදුකළේ මෙන්න මේ දෙය. පර්යේෂණයට ලක්වෙන අයට සිදුවුණා පරිගණක තිරයක් ඉදිරිපිට වාඩි වෙලා බලා ඉන්න. පරිගණක තිරයේ වර්ණ ගැන්වුව තිත් දාහකට ආසන්න ගණනක් වරින් වර දර්ශනය වුණා. මේ තිත් වර්ණ ගන්වා තිබුණේ නිල් පාට, දම් පාට සහ නිල් දම් අතර වර්ණ වලින්. පර්යේෂණයට ලක්වෙන අය ඉදිරියෙ බොත්තම් දෙකක් තිබුණා. එකක් Blue සහ අනෙක Not Blue විදිහට නම් කර තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ නිල්පාට තිතක් තිරයේ පෙනුණ විට Blue බොත්තම ඔබන්නත් අනෙක් හැම තිතකටම Not Blue බොත්තම ඔබන්නත්. පෙනෙන විදිහට වැඩේ හරිම සරලයි. පරික්ෂකයින් මුලින්ම නිල්පාට තිත් වැඩිපුර තිරය මතට යොමු කළා. හැම කෙනෙකුම කිසිම ගැටලුවක් නැතිව ඊට ප්‍රතිචාර දැක්වුවා. නමුත් ඔවුන් ටිකෙන් ටික නිල් පාට තිත් තිරය මත පෙනෙන වාර ගණන අඩු කරලා නිල් සහ දම් අතර වර්ණ වැඩියෙන් තිරය මත පෙනෙන්න සැලැස්වුවා. එතනදි පරික්ෂණයට ලක්වුණු අය කළේ පැහැදිලිවම නිල්පාට විදිහට නොපෙනුණු වර්ණ පවා Blue නමින් නම් කරන එක. ඒ කියන්නෙ ඔවුන් දකින්න අපේක්ෂාවෙන් හිටි වර්ණය ක්‍රමයෙන් අඩුවෙද්දි ඊට සාපේක්ෂව දක්වන ප්‍රතිචාරය වෙනස් කරනවා වෙනුවට ඔවුන් ඒ වර්ණය හඳුනාගන්න ආකාරය වෙනස් කර ගත්තා. 


ඊළඟට මේ පරීක්ෂණයෙ ඊළඟ පියවර සිදුවුණා. පරීක්ෂකයින් පරිගණක තිරය මතට යොමු කළේ විවිධාකාර හැඟීම් පළ කරන මිනිස් මුහුණු වල පින්තූර. ඒවා තර්ජනාත්මක, මිත්‍රශීලී සහ කිසි හැඟීමක් පළ නොකරන විදිහට වර්ගීකරණය වුණා.  පරිගණක තිරය ඉස්සරහ තිබුණේ "තර්ජනාත්මක" සහ "තර්ජනාත්මක නොවන" විදිහට නම් කළ බොත්තම් දෙකක්. පර්යේෂණයට ලක් වුණ අයට කරන්න තිබුණේ තර්ජනාත්මක හැඟීමක් පළ කළ මුහුණක් දකිද්දී "තර්ජනාත්මක" කියන බොත්තම ඔබන්න. එහෙම නොවන හැඟීමක් පළ කරන මුහුණක් දකිද්දී "තර්ජනාත්මක නොවන" බොත්තම ඔබන්න. මෙතනදි පර්යේෂකයින් මුලින් තර්ජනාත්මක මුහුණු වැඩිපුර පෙන්වුවා. ඉන්පස්සෙ ක්‍රමයෙන් ඔවුන් තර්ජනාත්මක හැඟීම් පළ වන මුහුණු තිරයේ පෙන්වන වාර ගණන අඩු කළා. ප්‍රතිඵලය කලින් වතාවේ වගේමයි. තර්ජනාත්මක මුහුණු අඩුවෙන් දකිද්දි පර්යේෂණයට ලක්වුණු අය මිත්‍රශීලී මුහුණුවල පවා තර්ජනාත්මක බවක් දැක තිබුණා.


පරීක්ෂකයින් මේ ක්‍රියාකාරකම තවත් පියවරකට අරගෙන ගියා. මෙතනදි ඔවුන් පර්‍යේෂණයට ලක්වුණු අයට පෙන්වුයේ විවිධාකාර රැකියා යෝජනාවන්. සමහර ඒවා කිසිම සදාචාර සම්පන්න බවකින් තොරව ලියවුණ ඒවා වුණු අතරේ සමහර ඒවා ඉතාම සාමාන්‍ය සහ කිසිම වරදක් නැති ආකාරයෙන් ලියවී තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ පරිගණක තිරයේ මතුවන මේ ලියවිලි සදාචාර සම්පන්න ඒවාද නැත්නම් එහෙම නොවන ඒවාද කියලා වර්ගීකරණය කරන්න. මෙතනදිත් මුලින්ම ඔවුන්ට දැකගන්න ලැබුණේ සදාචාරමය නොවන රැකියා යෝජනා වුණු අතරේ ක්‍රමයෙන් ඒවා තිරය මත දිස්වෙන වාර ගණන අඩු කරලා සාමාන්‍ය මට්ටමෙන් ලියවුණු ඒවා වැඩිපුර පෙන්වන්න පටන් ගත්තා. සිදු වුණේ පෙර සංසිද්ධිය මයි. පර්යේෂණයට ලක්වුණු අය සදාචාරමය නොවෙන ලිවීම් දකින්න ලැබුනවා අඩු වෙද්දී සමාන්‍ය ලිවීම් පවා සදාචාරමය නොවෙන විදිහට වර්ගීකරණය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ සදාචාරමය නොවෙන දේවල් දකින්න ලැබෙනවා අඩු වෙද්දී ඔවුන් තමන්ට තිබුණ සදාචාර මිනුම්දඬු වෙනස් කරගන්න පටන් ගත්තා. 


පරීක්ෂකයින් තමන් අනාවරණය කරගත්ත කාරණය Prevalence-induced concept change යන නමින් හැඳින්වුවා. ඉන් කියවෙන්නෙ අපි ජිවත් වන වටපිටාව කොයිතරම් ආරක්ෂාකාරී සහ සාමකාමී එකක් වුණත් අපි අපේක්ෂා කරන්නෙ අනතුරුදායක දේවල් නම් අපිට ඒවා වැඩිපුර දකින්න ලැබෙන බව. එනම් කිසිම අනතුරක් නැති අතිශ්‍ය සාමාන්‍ය දේවල් පවා අනතුරුදායක විදිහට දකින්න අපි පෙළඹෙන බව.


ආයෙමත් Emile Durkheim ළඟට ආවොත් ඔහු කියන දේ මෙන්න මේ පර්‍යෙෂණ ප්‍රතිඵලය එක්ක හොඳින් ගැළපෙනවා. ඔහු කියනවා සමාජයෙ දරුණු අපරාධ නැති වෙන තරමට මිනිස්සු ඊට වඩා කුඩා දේවල් දරුණු මට්ටමෙන් සලකන්න පටන් ගනීවි කියල. ලොකු වැරදි නැති වෙන තරමට මිනිස් ස්වභාවයෙ තියන කුඩා දුර්වලකම් විශාල වැරදි විදිහට සලකන්න අපි පටන් ගනීවි කියලා. මනෝවිද්‍යාව ඇතුළෙත් කියන්නෙ මේ දෙය. අපේ මනස නිතර බලාපොරොත්තු වෙන්නෙ අරමුණු වල ගැටෙන්න. අපේ මනස නිතරම යම් ප්‍රමාණයක පීඩනයක් ඉල්ලා සිටිනව. මේ විදිහට ලොකු පීඩනයක් මනසට දෙන්න දෙයක් නැති වුණාම සාමාන්‍ය දේවල් වලින් පවා මනස පීඩාවට පත්වෙනවා. ඒ කියන්නෙ අපිට තියන ප්‍රශ්නයේ ප්‍රමාණයට අපි ඒකට ප්‍රතිචාර දක්වනවා වෙනුවට අපි කරන්නෙ අපිට අවශ්‍ය පීඩනයේ ප්‍රමාණයට ප්‍රශ්නය ලොකු කර ගන්න එක. කෙනෙක් භෞතික වශයෙන් කොයිතරම් ලොකු දියුණුවක් ලැබුවත් මිල මුදල්, යාන වාහන කොයිතරම් ගොඩගහ ගත්තත් කිසිදාක මානසික සහනය ලැබෙන්නෙ නැත්තෙ ඒ හින්දයි. අපි ලෞකික මට්‍ටමෙන් කොයි තැනක හිටියත් අතෘප්තිය අපිව හොයාගෙන එනවා. මනස ඉල්ලා සිටින පීඩනය, ගැටුම බාහිරින් ලැබෙන්නෙ නැති වුණාම ඒ කියන්නෙ සියල් සපිරි ජීවිතයක් ලැබෙන තරමට ජීවිතේ තියන අතිශ්‍ය සාමාන්‍ය කුඩා දෙවල් අපිට පීඩා කරන්න පටන් ගන්නවා. ලෞකික ජීවිතේ දියුණුව ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ආත්මාර්ථකාමී සහ ළාමක බොළඳ අදහස් ඇති අය බවට පත් කරනවා. 


ඉංග්‍රීසි භාෂාවෙ වචනයක් තියනව Nitpicking කියලා. ඒ කියන්නෙ සාමාන්‍ය නොවැදගත් දේවල් වල පවා වැරදි හොයන එක. කෙස් ගහක අඩුපාඩුවක් පවා හොයමින් තර්ක කරන එක. කෙනෙකුගෙ, නැතිනම් මොකක් හරි දෙයක වරදක් හොයාගන්න ඕන නිසාම වැරදි හොයන එක. විවාහ ජීවිත ගත කරන අයට නැත්නම් දිගුකාලීන සම්බන්ධකම් ඇතුළේ ඉන්න අයට ගොඩක් ඔය අත්දැකීම ඇති. ගොඩක් වෙලාවට දෙදෙනෙක් අතරෙ එහෙම ලොකු ප්‍රශ්න ආරවුල් නැති වෙද්දි පොඩි දේවල් පවා වැරදියට පේන්න පටන් ගන්නව. මිනිස්සු කියන්නෙ සර්ව සම්පූර්ණ ජාතියක් නොවෙයි නෙ. දුර්වලකම්, අතපසුවීම් කාගෙ අතිනුත් වෙනව. ඉතින් සම්බන්ධකමක් හරිම සාමාන්‍ය විදිහට යනකොට මනසට අවශ්‍ය පීඩනය ලබා දෙන්න දෙයක් නැති වෙනකොට මේ වගේ සාමාන්‍ය දේවල් ලොකු වැරදි විදිහට සලකලා මතගැටුම් ඇති කර ගන්නවා. ඒ කියන්නෙ අපිට අවශ්‍ය පමණට අපි අපේ ප්‍රශ්නයේ ප්‍රමාණය සහ ඒකට දෙන අවධානය වෙනස් කර ගන්නවා. David E. Levari ඇතුළු කණ්ඩායම පර්‍යේෂණාත්මකව හොයාගත්තු කාරණාව මෙන්න මේක. Prevalence-induced concept change. නිල් පාට වැඩිපුර පේන්න නැති වෙනකොට දම් පාට පවා නිල් විදිහට හඳුනාගත්තා වගේ, තර්ජනාත්මක නොවෙන පින්තූර වැඩිපුර දකිද්දී සාමාන්‍ය පින්තූර පවා තර්ජනාත්මක විදිහට දකින්න පටන්ගත්තා වගේ අපේ මනස ඉල්ලා සිටින දේ අනුව අපි දකින දෙය වෙනස් කරගන්නවා. ඉතින් ලොකුවට අපේ මනසට පීඩනයක් ඇති කරන දේවල් ඇත්තටම එහෙම ඒවා නොවෙන්න පුළුවන්. අපි සමහර දේවල් ගැන අනව්‍ය තරම් කල්පනා කරමින් ලොකු කාලයක් ශ්‍රමයක් වැය කරනවා. සමහර විට ඒ දේවල් වල එහෙම හිත හිතා වදවෙන්න තරම් වටිනා කමක් නෑ. අපට කන්දක් විදිහට පේන දේ ඇත්තටම නිකම් පස් ගොඩැල්ලක් විතරක් වෙන්න පුලුවන්. මහ මුහුදක් විදිහට අපි හිතා ගෙන ඉන්න දේ පොඩි වතුර වළක් විතරක් වෙන්න පුලුවන්. අපි ලොකු අවධනය දීල තියෙන්නෙ සමහර විට ඇත්තටම එහෙම හිතන්න අවශ්‍ය නැති නොවටිනා ඒවට. ඒ නිසා දේවල් ඇති සැටියෙන් දකින්න පුරුදු වීම හැම අතින්ම වැදගත්. 




1 comment:

  1. අපරාධ නැති ලෝකයක නෙමෙයි දැනටමත් සමාජයේ මේ ලක්ෂණ දකින්න පුළුවන් නේද? අපට අවශ්‍ය දේ තහවුරු කරන්න/කරගන්න අවශ්‍ය උනාම ඉතා කුඩා නොවැදගත් දේ පවා අපි උලුප්පා දක්වමින් තර්ක කරනවා නේද?

    ReplyDelete