Saturday, August 31, 2019

Rosemary's Baby (1968)

සාතන් ඇදහීම, නොයෙක් ආකාර යක්ෂ වන්දනාවන් සහ ඒ හා බැඳුණු වත්පිළිවෙත් කිතුණු දහම ව්‍යාප්ත වුණ යුරෝපයේ මධ්‍යතන යුගයේදිත් පැවතී තිබෙනවා. මධ්‍යතන යුරෝපයේ සංස්කෘතික , සමාජ පදනම් වල අධිපතිත්වය දරපු කතෝලික පල්ලිය කිතුණු දහමට විරුද්ධ අදහස් දරන්නන් ඉතා දරුණු විදිහට මර්ධනය කලා. ඒ නිසා ඉතා රහසිගතවයි මේ යක්ෂයා ඇදහීම සිදුවුණේ. වතිකානුව මුල්කරගත්ත රෝමානු කතෝලික සභාව පිහිටුවාගැනීමෙන් පස්සෙ සභාව ඇතුලෙන්ම කණ්ඩායමක් මේ කතෝලික පල්ලියෙ අධිපතිත්වයට විරුද්ධව කැරල්ලක් ඇති කරනව. ඔවුන් හඳුන්වන්නෙ ප්‍රොතෙස්තන්තියානුවන් විදිහට (Protestant). කතෝලික සභාවත් ඉන් පස්සෙ නොයෙක් විභේදනයන්ට ලක්වෙනව. මුල් කිතුණුවන් මේ බෙදී ගිය කොටස් හඳුන්වන්න "සාතනික" නම යොදාගන්නව. මේ "සාතනික" යෙදුම බහුලව භාවිතවෙන්න පටන් ගන්නෙ ඉන්පස්සෙ. ඇමරිකානු ජාතික ගත් කතුවරයෙක්, සංගීතඥයෙක් වුණ Anton La Vey විසින් 1966 අවුරුද්දෙ සාතනික සභාවක් පිහිටුවනව. ඔහු සාතනික බයිබලයක් පවා ලියනව. මොවුන්ගෙ මූලික අරමුණ දෙවියන් සහ පල්ලියෙ අධිපතිත්වය ප්‍රතික්ෂේප කිරීම, පුද්ගල නිදහස, නිදහස් කැමැත්ත ඇගයීම වැනි දේවල්. ඉතා කුඩා කණ්ඩායම් අතරේ කල්ට් එකක් විදිහට අද දක්වා සාතන් ඇදහීම පවතිනවා. යටි අතට හැරවූ කොන් පහක තරුව (Pentagram) සහ එලුවෙකුගෙ හිස සහිත බොහිමොත් සලකුණ සාතන් ගේ සළකුණ විදිහට හඳුන්වනව. ඇයි මේ එළුවෙක්ම යොදාගන්නෙ? බයිබලයේ බැටලුවා යහපත, අහිංසකත්වය සංකේතවත් කරන්නත්, එළුවා නපුර, දුෂ්ටකම සංකේතවත් කරන්නත් යොදාගන්නව. ජේසුස් වහන්සෙ ඉපදීමට පෙරත් ජේසුස් වහන්සේ ජීවත්වුණ සමකාලීනවත් බැටළුවන් එළුවන් වගේ සතුන් ඇති දැඩි කිරීම ජුදා ජාතීන් අතර පැවතුණ බව හඳුනගන්න පුලුවන්. එදිනෙදා ජීවිතයට සමීප නිසා මේ එළුවන් උදාහරණයට ගන්න ඇති. (දාවිත්ව නාතාන් දිවැසිවරයාට මුණගැහෙන්නෙ ඔහු පියාගේ බැටලු රැළ බලාගනිමින් ඉද්දි. ආබ්‍රහම් (Abraham) තම පුතා ඊසාක් (Iasac) වෙනුවට දෙවියන්ට පුදකරන්නෙ බැටලුවෙක්ව. ජේසුස් වහන්සේ යහපත් එඬේරා නමින් හඳුන්වනව, බයිබලයේ බොහෝ තැන්වල එඬෙරු සහ බැටලු රැළ උපමාවට අරගෙන තියනව) ඉතින් ඇත්තටම කවුද මේ සාතන් නමින් හඳුන්වන්නෙ?

කිතුදහමේත් ඊට සමකාලීනව බිහිවුණ ජුදා ආගම් වලත් ලෝකය මවා එය පාලනය කරන සර්ව බලධාරී දෙවියන්වහන්සේ කෙනෙක් ගැන කියැවෙනවා. දෙවියන් තමා සියලු යහපත් දේ බිහි කරන්නෙ. විශ්වයෙහි අධිපතිත්වය දරන්නෙ. හැම විටම දෙවියන්ට විරුද්ධව ක්‍රියාකරන යක්ෂ බලවේගයක් ගැන මේ හැම ආගමකම කියැවෙනව. දෙවියන් යහපත නම් මේ යක්ෂයා තමයි සියලු දුෂ්ට කමේ නපුරේ උපත වෙන්නෙ. හරියට සුදු සහ කලු වගේ. (එළුවන් සහ බැටලුවන්) කිතුණු ධර්මයෙ සාතන් නමින් හඳුන්වන්නෙ මේ දෙවියන් වහන්සේ ගේ ප්‍රධාන සතුරා, නපුරට අධිපති යක්ෂයා. හීබෲ බසින් "සාතන්" කියන වචනය අරුත් ගැන්වෙන්නෙ "නපුර ගෙන එන්නා" "පාපිෂ්ටයා" "විවේචනය කරන්නා" විදිහට. නමුත් කිතුණුවන්ගෙ අත්පොත වුණු බයිබලයේ සාතන් කියන්නෙ කවුද ඔහු බිහිවුණේ කොහොමද කියා නිසි පැහැදිලි කිරීමක් නෑ. බයිබලය ඇතුලෙ විවිධ අවස්ථා වල නපුර ගෙන එන්නන් හැඳින්වීමට "සාතන්" යන යෙදුම යොදාගෙන තිබෙනවා.(මතෙව් 12: 24 - 27, මතෙව් 4: 1 - 11, මාක් 1: 12 - 13) මේ නපුරා හැඳින්වීමට "සාතන්" යන යෙදුමට අමතරව "ලුසිෆර්" "බීල්සෙබාබ්" බොහිමොත්" නම් වලිනුත් හඳුන්වනව. සාතන් දෙවියන් වහන්සේගෙ අග්‍ර දේවදූතයෙක් බවත්, තමන්ගෙ බලවත් කමෙන් උඩඟු වුණ ඔහු දෙවියන්‍ට සමාන වීමට උත්සහ කල බවත්, අවසානෙ දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ඔහු එලවා දැම්ම නිසා දෙවියන්ගේ ප්‍රධාන විරුද්ධවාදීයා බවට පත්වුණ බවත් තමයි කිතුණුවන් අතරෙ තියන මතය. සාතන් බිහිවීම ගැන සඳහන් වෙන බොහෝ තැන්වල තියෙන්නෙ ඒ අදහස (යෙසායා 14: 12 - 17). කොහොම වුණත් සාතන් යනු කවුද ඔහු බිහිවුණෙ කොහොමද කියා නිශ්චිත පැහැදිලි කිරීමක් නෑ. මේ සාතන් ඇදහීම නොයෙක් පොතපත, සිනමා නිර්මාණ වලට වස්තු බීජය සපයල තියනව. Ira Levin නම් ලේඛකයෙක් නූතනයේ සාතන් ඇදහීමේ කල්ට් එකක් පසුබිම් කරගෙන Rosemary's Baby නමින් නවකතාවක් ලියනව. (දිලීප ජයකොඩි මහත්මය මේ නවකතාව "රෝස්මරීට බබෙක්" නමින් සිංහලට පරිවර්තනය කරල තියනව) සුප්‍රසිද්ධ සිනමාකරු Roman Polanski මේ නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන සිනමාපටය Rosemary's Baby.

Rosemary සහ Guy අලුත විවාපත් වුන යුවළක්. මේ දෙන්නා ජීවිතය අලුතෙන් පටන් ගන්න අලුත් වාසස්ථානයක් සොයනවා. එක්තරා මහල් නිවාස සංකීර්ණයක නිවසක් මේ දෙන්නා මිලදී ගන්නවා. ඒ නවාතැන අඳුරු ස්වභාවයක් ගත්තත් අලුතෙන් වර්ණගන්වල දෙදෙනා නිවස කළඑළි කරනව. අසල්වැසි නිවසේ ඉන්නෙ ඉතාම මිත්‍රශීලි මහළු යුවලක්. මේ විදිහට අඩුපාඩුවකින් තොරව සතුටින් ඔවුන්ගෙ ජීවිතය ගතවෙද්දි, අලුතෙන් විවාහ වෙන බෝහෝමයක් යුවළ වගේ රෝස්මෙරි සහ ගයි දරුවෙක් අපේක්ෂා කරනව. ඔවුන්ගේ සිහිනය මල්ඵල ගැන්වෙන බව ලකුණු පහළ කරමින් රෝස්මෙරි ගැබ් ගන්නව. දැන් ඔවුන් දෙදෙනාගෙ කාලය ගත වෙන්න පෙරටත් වඩා සතුටින්. ඒත් බිහිසුණු යමක් සිදුවෙන බව රෝස්මෙරීට ඉවෙන් මෙන් දැනෙනව. ඇගේ කුසෙන් අධික වේදනාවක් හටගන්නව. ඈව පරික්ෂා කරන වෙද්‍යවරයා කියන්නෙ ඈට බියවීමට හේතුවක් නැති බවත් මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්. ඒත් රෝස්මරි එය විශ්වාසකරන්නෙ නෑ. කුමක් හෝ අබිරහසක් මෙතන ඇති බව ඈට සහතිකයි. ඇත්තටම ඈට සිදුවෙන්නෙ මොකක්ද,?

රෝස්මරි චිත්‍රපටයෙ අපිට Plot twist, සාමාන්‍ය Horror චිත්‍රපටවල වගේ ලේ වැගිරෙන බිහිසුණු මාරාන්තික දර්ශන දකින්න ලැබෙන්නෙ නෑ. එක අවස්ථාවක පමණයි යම් බිහිසුණු බවක් ඇති දර්ශනයක් අපි දකින්නෙ. ඒ Rosemary දකින සිහිනයක්. මේ චිත්‍රපටයෙ ත්‍රාසය සහ භීතිය මතු කරන්නෙ ඉතාම තාත්විකව සහ ඉතාම සියුම් ව. මේ චිත්‍රපටයෙ විශේෂත්වය මතු වෙන්නෙ එතනයි. එය හුදෙක් කම්පනය බිහිසුණු බව මත රදාපවතින චිත්‍රපටයක් නොවෙයි. 

අනතුරක් පිළිබද ස්ත්‍රියකගෙ ඉව, යම් කරුණු ඉක්මණින්ම විශ්වාස කිරීමට සහ සැක කිරීමට පෙළඹෙන ඇගේ ස්වභාවය මේ Rosemary ගේ චරිතයෙන් දකින්න පුලුවන්. ඒ වගේම විශේෂම කාරණය මව සහ දරුවා අතර සම්බන්ධතාව. මුහුණ පවා තවම නොදුටු දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කරන්න බැරි මොනවද,? කරන්න බැරි දෙයක් නෑ. .. Rosemary ගේ චරිතය නිරූපණය කරන Mia Ferrow රගපෑමක් බව නොදැනෙන තරම් ඉතාම තාත්වික රංගනයක යෙදෙනව. චිත්‍රපටය බලපු කෙනෙකුට ඇගේ රඟපෑම් ලේසියන් අමතක වෙන්නෙ නැතිවෙයි. නමුත් පුදුමයට වගේ ඇගේ මේ රංගනය වෙනුවෙන් Oscar සම්මානය සදහා ඇගේ නම නිර්දේශ වෙන්නේ වත් නෑ!  නමුත් Golden Globe සම්මානය සදහා ඇගෙ නම නිර්දේශ වෙනව.

නවකතාවක් සිනමාවට අරගෙන එන එක නිර්මාණකරුවෙකුට විශාල අභියෝගයක්. මොකද නවකතාවක් හරියට සාගරයක් වගෙයි. නවකතාවකින් ගොඩනගන පරිකල්පන ලෝකය ඉතා විශාල පරාසයක විහිදෙනව. නවකතාව එක්ක සංසංදනාත්මකව බැලුවොත් සිනමාව සීමාසහිත මාධ්‍යයක්. නවකතාවක් කියවන පාඨකයෙක් කතාව තමන්ගෙ මනස තුල ගොඩනගාගන්නෙ තම අත්දැකීම අනුව. මෙතනදි පාඨකයා ගොඩනගාගන්න රූපය පුද්ගලබද්ධ එකක්. නමුත් සිනමාවෙදි මේ පුද්ගලබද්ධ රූපය පොදු අත්දැකීමක් බවට පත්‍ කරනව. එතනදි විශාල වගකීමක් පැවරෙනව චිත්‍රපටයෙ අධ්‍යක්ෂ වරයාට. Rosemary's Baby චිත්‍රපටයෙ සාර්ථකත්වය තියෙන්නෙ Roman Polanski එය හුදු පැතලි ත්‍රාසයකට සීමානොකර වඩා පරිපූර්ණ සිනමා අත්දැකීමක් විඳගැනීමට සැලැස්වීම නිසා. මේක නවකතාවක් ඉතාම සර්ථකව සිනමාවට නැගුණු අවස්ථාවකට උදාහරණයක් විදිහට අරගන්න පුලුවන්. මුලින් සඳහන් කලා වගේ මේ චිත්‍රපටයෙ, යථාර්ථයට වඩාත් සමීපව සහ සියුම් ව තැවරුණු සංත්‍රාසය horror සිනමාව ප්‍රියකරන්නන් පමණක් නොවෙයි ඕනෑම සිනමා රසිකයෙක් මගහැර නොගත යුතු එකක්.. !






Pentagram


Anton La Vey


යහපත් එඬේරා


Thursday, August 29, 2019

ගින්නෙන් පසු

අතු අතු බදා වැළඳී
පිළිස්සුන සගයෙකුගෙ
ඉපල් වී ගිය අතක්..

සියොළඟ පුරා දැවටී
ගී ගැයූ සියොත් මිතුරෙකුගෙ
ඉතිරි එක් පියාපතක්..

ගින්නේ දැවී අළු බවට හැරවුන
තම නෑදෑ පිරිස ගෙන
අහසට නැගි අඳුරු පැහැ දුමක්

අතරින්
පෙරඹර උදාවන හිරු දකියි
නොදැවී ඉතිරි වුණ ගසක්.



Wednesday, August 28, 2019

Leave no trace (2018)


මිනිසා කියන්නෙ කණ්ඩායම්ගත සත්ත්වයෙක්. ඈත පරිණාමීය යුග වල මුල්ම මිනිසුන් පවා කණ්ඩායම් ආකාරයේ ජීවන රටාවකට හුරුවී සිටි බවට සාධක හමුවෙනවා. ශිෂ්ටාචාරය ක්‍රමයෙන් දියුණු වීමත් එක්ක පොදු පැවැත්ම සඳහා එකඟතාවන්, ක්‍රමවේදයන්, සම්මුතීන් ඔහු විසින් නිර්මාණය කරගත්තා. නමුත් පසුව මේ ක්‍රමවේදයන් නැවත ඔහුවම පීඩා කරවන්නක් බවට පත්වුණා. අපි ජීවත්වෙන වර්තමාන යුගය වෙනකොට අපේ දෛනික ජීවිත රටාව ඉතාම තරඟකාරී, වගේම වෙහෙසකාරී එකක් බවට පත්වෙලා තියනව. ජාතීන් වශයෙන් ආගම් වශයෙන් එකිනෙකා පරයා තම බලය විදහාපෑම වෙනුවෙන් ජිවීත විනාශ කරන දරුණු යුධ ගැටුම් ලොව පුරා ඇවිලී ගිහින්. ඇතැම් වෙලාවට යුද්ධය විසින් මිනිසා ඇතුලෙ නිර්මාණය කරන පීඩාව එළියට එන්නෙ හිතාගන්න බැරි තැන් වලින්. 

Peter Rock කියන ලේඛකයාගේ My Abandonment නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණ Leave No Trace චිත්‍රපටයෙ අපි දකින්නෙ PTSD (Post-Traumatic Stress Disorder) තත්ත්වයෙන් පෙළෙන Will නම් සොල්දාදුවෙක් සහ ඔහුගෙ දියණිය Tom ගැන කතාවක්. PTSD කියන්නෙ යම් භයානක අත්දැකීමකට මුහුණ දුන්නු කෙනෙකුට ඇතිවෙන මානසික තත්ත්වයක්. බියකරු සිහින දැකීම, ඒ අත්දැකීම නැවත නැවත ආවර්ජනා කිරීම, නිතර කාංසාවෙන් පසුවීම PTSD තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙකුගෙ ලක්ෂණ . Will මිනිස්සු ගැවසෙන සමාජයෙ ජීවත් වීම ප්‍රතික්ෂේප කරනව. හෙලිකොප්ටර් යානයක සද්දෙන් පවා ඔහු බියට පත්වෙනව. ඔහු තම දියණිය එක්ක වනගතවයි ජීවත්වෙන්නෙ. මේ වනගත පරිසරය ඉතා අපූරුවට කැමරාවට අල්ලගෙන තියනව. මුලින්ම අපි දකිනව කැලෑවෙ ගහක පිනි බින්දු වැටිල හිරු එළියෙ දිදුලන මකුළු දැලක දර්ශනයක්. මිනිසා විසින් නිර්මාණය කරගත්ත විශමාචාරී ක්‍රමයද මේ මකුළු දැලෙන් සංකේතවත් වෙන්නෙ?

මම හිතනව Leave No Trace මූලිකවම යුද්ධය ගැන කතා කරන සිනමාපටයක් කියල. නමුත් යුද්ධය කියන වචනය වත් නොකියා, යුද්ධය එක රූප රාමුවකින් වත් නොපෙන්වා යුද්ධයේ ඵල විපාක අපිට දැනෙන්න සලස්වනව. Leave No Trace ගෝලීය වශයෙන්, සමාජීය වශයෙන් බලපාන ගැටලුවක්, දේශපාලනය වත් යුධ ගැටුම් වත් කිසිවක් නොපෙන්වා මහේශාක්‍ය තත්වයෙන් තොරව ක්ෂුද්‍ර මට්ටමෙන්, පියෙකුගෙ සහ දියණියකගෙ සම්බන්ධතාව ඇසුරෙන් පෙන්වාදෙනව. මේ පවුල් සම්බන්ධතාව කේන්ද්‍රීය තේමාවෙන් වෙන්කරල ගන්න බෑ. ඒක චිත්‍රපටයෙ හරයත් එක්ක අවියෝජනීයව බැඳිල තියෙන්නෙ. Will හෙවත් පියා තමන්ගෙ දියණිය පාසල් යැවුවෙ නැති වුණත් ඈට ලියන්න කියවන්න හොඳහැටි කියාදෙනව. ජීවිතයට අවශ්‍ය ආචාර ධර්ම ඈට හුරු කරනව. හැම දෙමාපියෙක්ම වගේ ඔහු තමන්ගෙ දියණියට ආදරෙයි. ඒත් අපේ රටවල බොහොමයක් මව් පියන් වගේ තමන් ගෙ ආකල්ප, තමන් කැමති අකමැති දේ දරුවන් පිට පටවල තමන්ට ඕන මාර්ගයෙ ඔවුන් බලෙන් දක්කන්න උත්සහ කරන්නෙ නෑ. තමන් සහ තමන්ගෙ දියණිය අතර වෙනස ඔහු අවබෝධ කරගන්නව. මෙතනිනුයි පියෙකු විදිහට Will ගෙ විශිෂ්ඨත්වය මතුවෙන්නෙ.

මිනිසුන්ගෙ කෲරකම් නිසා දුක් විඳින Will සහ Tom සැනසුමක් ලබන්නෙත් වෙනත් මිනිසුන් පිරිසක් ආශ්‍රයෙ ම යි. ඒ තැනින් තැනට යමින් කැලෑබදව ජීවත් වෙන සංගීතය ජීවිතේට සමීප කරගත්ත නිදහස්කාමී මිනිසුන් පිරිසක් අතරෙ. මෙතනින් මතුකර පෙන්වන්නෙ මේ ජීවන ක්‍රමයෙ තියන පීඩාව ඇතුලෙ සුවපත් වීම තියෙන්නෙ අපි අපි අතරෙමයි කියන කාරණාව ද?. කොහොම වුණත් සිස්ටම් චේන්ජ් ගැන කතාවෙන මේ යුගයෙ හැමදේමටම කලින් සිස්ටම් එක විසින් අපිට මොකක්ද කරල තියෙන්නෙ කියල හඳුනාගත යුතුයි කියල මම හිතනව. කලා කෘතියකින් කරන්නෙ මෙන්න මේ දෙය අපේ ඇස් ඉස්සරහපිට නිරාවරණය කර පෙන්වීම. අන්තිම දර්ශන කීපයෙදි මතුවෙන සියුම් කම්පනය අපිට මොකක්ද වුණේ කියන ගැටලුවට හොඳ උත්තරයක් සපයාදෙනව.







Monday, August 26, 2019

Cries and Whispers (1972 භාෂාව - ස්වීඩන්)


James Monaco ගේ How to read a film කියන ග්‍රන්ථයෙ Film as an Art (කලා මාධ්‍යක් ලෙස සිනමාව) නම් පරිච්ඡේදයේ ඔහු සඳහන් කරනව කලාව කියන්නෙ අපිට නිර්වචනය කරගන්න බැරි දෙයට කියල. ඔහු මේ අදහස ඉදිරිපත් කරන්නෙ Robert Frost ඇමරිකානු කවියාගෙ කියමනක් උපුටා දක්වමින්. Frost කියනවා කවිය කියන්නෙ අපිට පරිවර්තනය කරගන්න බැරි දෙයට කියල. මිනිස්සු තමන් නිපදවා ගත්ත භාෂාව ගැන කොයිතරම් ආඩම්බර වුණත් කවිය කියන්නෙ මොකක්ද කියල හරි නිර්වචනයක් සපයගන්න තවමත් ඔහු සමත් වෙලා නෑ. කවියක් බවට හැරවෙන්නෙ වෙන කිසිම ආකාරයකින් කියාගන්න බැරි හැඟීමක්. කවියකින් කියවෙන්නෙ හරියටම මෙන්න මේ දෙය කියල අපිට නිශ්චිතවම ඇඟිල්ල දිගුකරල පෙන්නන්න බෑ. T S Eliot කියන විදිහට කවියක් තියෙන්නෙ විඳින්න. ඒක හරියට මලක් විඳිනව වගේ..මලක සියුමැලි පෙති වල පහසින්, පැහැයෙන් සුවඳින් මිස පෙති කඩා බිඳ දමල කෑලි වලට කපල ඒ මල විඳින්න බෑ. මේක සිනමාවටත් පොදුයි. සමහර චිත්‍රපටි තියනව අපිට ඒව රූප රාමුවෙන් රූප රාමුව අරගෙන, මුල මැද අග සිද්ධි ගලපල තාර්කික සම්බන්ධතාවක් ගොඩනගාගන්න බෑ. කිසිම ක්‍රමයකින් අපිට ඒව විස්තර කරන්න බෑ. කරන්න පුලුවන් එකම දේ තමා චිත්‍රපටය විඳීම, තමන් එහි කොටසක්ම බවට පත්වීම, අපි ජීවිතේ අත්විඳින සියුම් සංවේදනාවන් අවස්ථා සිද්ධි එක්ක සමපාත කරගෙන චිත්‍රපටය තමන්ගෙ අත්දැකීමක් බවට පත්කරගැනීම. ලෝකෙ එදා මෙදාතුර බිහිවුණ විශිෂ්ඨතම සිනමාකරුවෙක් විදිහට සලකන Ingmar Bergman ගේ Cries and Whispers කියන්නෙ මේ වගේ සිනමා කවියක්. නමුත් ඒ අත්දැකීම තේමාත්මකවම ඉතාම වේදනා කාරී එකක් බව කියන්න ඕන. 

Maria, Karen සහ Agnes එක පවුලක සහෝදරියන් තුන්දෙනෙක්. මේ අය ජීවත් වෙන්නෙ විශාල වතුයායක් මැද පිහිටල තියන පැරණි පන්නයේ නිවසක. Anna ඔවුන්ගේ දිගුකාලීන විශ්වාසවන්ත සේවිකාව. Agnes පිළිකාවකින් මියයමින් ඉන්නෙ. Maria සහ Karen ඈට සාත්තු කරමින් ඈ බලාගන්නවා. නමුත් Agnes ට අවශ්‍ය ආදරය, උණුහුම ඈට ලැබෙන්න Anna ගෙන් පමණයි. Anna තමන්ගෙ දියණිය කුඩා වයසේදිම මිය යාමේ වේදනාවෙන් පීඩා විඳින ගැහැණියක්. ඇය නිතරම තමා අමතක කර අනෙක් මිනිස්සුන්ට ආදරය දක්වන්න පෙළඹෙන්නෙ එක්කො තමන්ගේ පීඩාවෙන් තාවකාලිකව හෝ මිදීමෙ අදහසින් නැත්නම් ඇය අනික් මිනිසුන්ගෙ වේදනාව ගැන ඇත්තම සහකම්පනයෙන් මේ හැම දෙයක්ම කරන්නෙ. Anna සහ Agnes ගේ චරිත දෙක ගත්තම එක පොදු ලක්ෂණයක් හඳුනාගන්න පුලුවන්. ඒ තමා දෙදෙනාම තුළ පවතින දැඩි ආගම් භක්තිය. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාව ගොඩ නැගෙන්න මේ පොදු ගුණාංගය හේතු වෙන්න ඇති. අනෙක් මිනිසුන් ගැන දයාන්විත බව ඔවුන්ට ලැබුණෙ කිතුණු දහමේ බලපෑමෙන් ද කියන ගැටලුව අපිට ඉතිරි වෙනව. කොහොම නමුත් Anna Maria ටත් Karen ටත් එකසේ ආදරය කරන්න පෙළඹෙන නමුත් ඔවුන් Anna ව පිළිගන්න සූදානම් නෑ. මියයමින් ඉන්න Agnes පමණයි Anna ගේ සෙනෙහස විඳින්නෙ. එයින් සැනසුමක් ලබන්නෙ.

අධ්‍යක්ෂවරයා මේ කතාව සරල රේඛීය ස්වභාවයෙන් අපිට කියන්නෙ නෑ. මුහුණෙන් පළවෙන හැඟීම් වලින්, අතීත ස්මරණයන්, සිහින ආශ්‍රයෙනුයි නරඹන්නන් මේ කතාව ග්‍රහණය කරගත්ත යුත්තෙ. මුහුණේ හැඟීම් ප්‍රකාශනයන් ගැන මෙතනදි විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මේ චිත්‍රපටය පුරාම චරිත වල මුහුණු ඉතා සමීපව කැමරාවට හසු කරගත් අවස්ථා ගණනාවක්ම දකින්න ලැබෙනව. රූප රාමුවක කේන්ද්‍රීය වස්තුව (Focal point) බවට පත් වෙන්නෙ බොහෝවිට මිනිස් මුහුණ. මේ බව ඉතාම පැහැදිලිවම දැකගත හැකි වුණ සිදුවීමක් තිබුණා. Karen සහ ඇගේ ස්වාමිපුරුෂයා රාත්‍රී ආහාර ගනිමින් ඉන්න අවස්ථාවෙ. ස්වාමියා ආහාර ගනිමින් ඉන්නා දර්ශනයෙදි ඔහු ගේ මුහුණ ඉතා හොඳින් නිරූපනය වී තිබුණා. ඔහු වචනයක් වත් කතා කරන්නෙ නෑ. ආහාර ගනිමින් සිටියා පමණයි. නමුත් ඒ අවථාවෙ ඔහුගෙ මුහුණේ, ඇස්වලින් සිදුවන හැඟීම් ප්‍රකාශනය ඉතාම තියුණුයි. 

Cries and Whispers නැරඹූ ඕනෑම කෙනෙකුට අමතක නොවෙන දෙයක් තියනව. ඒ තමා තනි රතු පැහැයෙන් වර්ණ ගැන්වුණු නිවස ඇතුලත කාමර සහ ඒ පසුබිමේ තනි සුදු පැහැයෙන් සැරසුණු චරිත. එතනදි මැවෙන දර්ශනය වචනයෙන් කිව නොහැකි තරම් අපූරු එකක්. සිනමා ඉතිහාසයේ සුවිශේෂ සළකුණක් තබන මේ Cinematography නිර්මාණකරුවා Sven Nykvist, ඔහු Bergman ගේ සිනමාපට ගණනාවකටම දායකවී තිබෙනවා. මේ රතුපැහැ බිත්ති ගැන බොහෝ අය විවිධාකාර අදහස් පළකරනවා. මට දැනෙන විදිහට මේ චිත්‍රපටයෙ තේමාව.. ආදරය, අනුරාගය, ආවේගය, පීඩනය, වේදනාව, මේ ආකාරයේ මිනිස් හැඟීම් නිසා ඒ බව හැඟවෙන වර්ණය විදිහට රතු භාවිතා කරන්න ඇති. රතු පැහැ කාමරය හදවතක ඇතුලාන්තය බවත් ඒ තුළ ඉන්න සුදු ඇඳගත් චරිත මිනිස් හැඟීම් නියෝජනය කරන බවත් සමහර විචාරකයින් කියනව...

මුලින්ම සඳහන් කලා වගේ Cries and Whispers කියන්නෙ වේදනාවක්. සමහර දර්ශන නැවත මතක් කරන්න පවා අපහසුයි. මේ චිත්‍රපටය සහමුලින්ම වේදනාව තේමා කරගෙන නිර්මාණය වුණ එකක් බව කෙනෙකුට හිතුණත් ඒක අරුමයක් නෙමේ. අපේ ජීවිතයෙ අපි විඳින සංවේදනා එක්ක ඒ අත්දැකීම අපි විඳිනවා මිස මේ කතාව වෙන විදිහකට පැහැදිලි කරන්න බෑ. මේ තමා Anna ලා ගෙ කතාව. හිත් පිත් නැති Marie ලා Karen ලා ට මැදිවුණ Anna ලා ගෙ කතාව තමා මේ. Cries and Whispers මට දැනෙන්නෙ කොහොමද කියල වචන කිහිපයකින් කිව්වොත් කියන්න වෙන්නෙ අන්න එහෙම.












Friday, August 23, 2019

ගිනිගෙන දැවෙන මිහිතලයේ පෙණහළු යුගල


පෘථිවියේ සමස්ත ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20% ක් පමණ සපුරාලන මිහිතලයේ පෙණහළු නමින් හදුන්වන ඇමේසන් වනාන්තරය ගින්නට දැවීයන හැටි බලා ඉන්නෙ විශාල හිත් වේදනාවකින්. මේ නිවර්තන වැසි වනාන්තර වර්තමානය වන විට පවතින්නෙ මුලු පෘථිවිතලයෙන්ම 6% ක් තරම් ප්‍රමාණයක්. නමුත් දැනට හඳුනාගෙන ඉන්න සියලුම ආකාරයේ ජීවීන්ගෙන් 50% කට ත් වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වෙන්නෙ මේ වැසි වනාන්තර වල. ජෛව විවිධත්වය ඉතාම ඉහළ අගයක් ගන්න මේ වනාන්තර වල හක්ටාරයක වර්ග ප්‍රමාණයේ භූමියක ශාක විශේෂ පමණක් 480 ක් පමණ හමුවෙන බව පැවසෙනවා. මුලු යුරෝපයේම සමනලුන් විශේෂ සිටින්නේ 320 ක් වුණත් පෙරුවියානු එක් වැසි වනාන්තරයක පමණක් සමනල් විශේෂ 1300 ක් පමණ සොයාගෙන තිබෙනවා. තවමත් මිනිස් ඇසකට අසු නොවුණ ගහ කොළ සතුන් මේ වැසි වනාන්තර වල පැවතීමේ ඉඩකඩ ඉතාම ඉහළයි. ඉතින් එවැනි අසීමිත ජීවයක් මේ නිස්කාරණේ දැවී යන්නෙ.. පරසරයට ගහට කොළට ආදරය කරන මිනිස්සු සෑහෙන කම්පාවට පත්වී ඉන්න මොහොතක්. තමන්ගෙ සහචරයින්ට වනාන්තරය එළිකරන්න ඉඩදීල ඇස්කන් පියාගෙන ඉන්න බවට බ්‍රසීල ජනපති වරයාට මූලිකවම චෝදනා එල්ල වෙමින් තිබෙනව. විල්පත්තුව කැලෑව කැපීම, කන්කොටා දළපූට්ටුවා වගේ වටිනා සත්තු අමු අමුවෙ මරාදැමීම වගේ අත්දැකීම් අපිට තියනව. දේශපාලනය කියන්නෙ ඕනැම ජරාජීර්ණ තුච්ච වැඩක් කරගන්න පුලුවන් ලයිසන් එකක් විතරයි දැන්. සදාහරිත වනාන්තරයක් සදා ශෝකයේ මළගමක් බවට පත්වෙන අතරේ ක්‍රමයෙන් වැනසීයන මේ සම්පත රැක ගැනීමට ගෝලීය වශයෙන් ක්‍රියාත්මකවෙන වැඩ පිලිවෙලක අවශ්‍යතාව දැඩිව මතුවෙන මොහොතක් මේ. ලෝක බලවතුන්ගේ දේශපාල පොරපිටියේ තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් එකිනෙකා කුලල්කාගනිමින් ඉන්න අතරෙ මේ මිල කල නොහැකි ස්වභාවික සම්පත් වල ඉරණම මොකක්ද? අපට කල හැකි දෙය බලා හිඳීම පමණක් ද කියන ගැටලුව අවසානෙ ඉතිරි වෙන්නෙ

ඇමේසන් වනයෙහි ඇවිලීයන ගින්න



ඇමේසන් වනාන්තරයට ආවේණීක සත්ත්වයන් කිහිප දෙනෙක්. මේ වනාන්තරය විනාශවි ගියහොත් මේ සතුන් සදහටම මිහිමතින් තුරන්වී යනු ඇත...

ජගුවාරයා  - Jaguar


මැකෝ ගිරවා - Macaw


කෘන්තකයන්ගේ පවුලේ දැවැන්තයා කැපිබාරාවා - Capybara


ඉතා මන්දගාමිව හැසිරෙන ස්ලොත් හෙවත් මන්දයා - Sloth


යෝධ කුහුඹු කන්නා - Giant Anteater


ඇනකොන්ඩා - Anaconda


සිංහ මුහුණැති ටැමරින් - Golden Lion Tamarin


ලොව ශක්තිමත්ම රාජාලියා ලෙස හැදින්වෙන හාපි රාජාලියා - Harpy Eagle 




Thursday, August 22, 2019

The Lives of Others (2006 - භාෂාව - ජර්මන්)


George Orwell කියන සුප්‍රසිද්ධ ලේඛකයා 1949 අවුරුද්දෙ දි "1984" නමින් නවකතාවක් ලියා පළකරනව. මේක එදාමෙදාතුර ලියවුණු ප්‍රබලතම දේශපාලන ප්‍රබන්ධයක් විදිහටයි සැලෙකෙන්නෙ. ඔහු පොතට 1984 නම යොදන්නෙ කතාවට පාදක වෙන කාල සීමාව ඒ යුගයෙදි අනාගත කාලයට අයිති වුණ 1984 අවුරුද්ද වෙන නිසා. නවකතාවෙ කියන්නෙ අනාගතයෙ බිහිවෙන කල්පිත රාජ්‍යක් ගැන. ලොකු සහෝදරයා කියන පුද්ගලයා තමා රටේ සියලු දෙනාගේම නායකයා වෙන්නෙ. ඔහුගෙ පක්ෂ සහෝදරවරු තමා සියලු දේ පාලනය කරන්නෙ. සියලු දේ සිදුවෙන්නෙ පක්ෂයේ තීරණයට අනුව. මිනිස්සු ජීවත් වෙන්න ඕන කොහොමද , කන්නෙ බොන්නෙ මොනවද විතරක් නෙමේ මිනිසෙකුගෙ සිතුවිලි පවා තීරණය කරන්නෙ පක්ෂය විසින්. සිතුවිලි පාලක පොලීසියක් ඉන්නව. කෙනෙක් පක්ෂයට විරුද්ධ අදහස් හිතන බව පෙනුනොත් ඒ පුද්ගලයා අබිරහස් ලෙස අතුරුදහන් වෙන්න වැඩි ඉඩක් තියනව (Big brother is watching) . කෙටියෙන් කිව්වොත් පුද්ගලයෙක් තුළ ඉන්න මනුශ්‍යයා ඉවත් කරල ඒ වෙනුවට පක්ෂයේ අදහස් වලින් ඔහුව පුරවනව. 2006 අවුරුද්දෙ ජර්මන් භාෂාවෙන් නිපදවුන The Lives of Others චිත්‍රපටය බලද්දි මට George Orwell ගේ මේ පරිකල්පිත රාජ්‍යයේ ක්‍රියාවලිට සෑහෙන දුරට සමානකම් ඇති සිදුවීම් කීපයක් දකින්න ලැබෙනව. ඒවගේම චිත්‍රපටයේ පසුබිම ගොඩ නැගෙන්නෙ වර්ෂ 1984 ජර්මනිය මුල්කරගෙන!! . එය 1984 වර්ෂයම වීම අහම්බයක් බව මම නම් හිතන්නෙ නෑ..

The Lives of others කියන්නෙ 2006 අවුරුද්දෙ Oscar සම්මාන උළලේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්ත සිනමා නිර්මාණය. ඒ වගේම මේකෙ අධ්‍යක්ෂ  Florian Henckel von Donnersmarck ගෙ පළමුවෙනි චිත්‍රපටය (Director Debut). Lives of Others එහෙම නැත්නම් "අනුන්ගෙ ජීවිත" කියන තැනදිම අපිට ඇතිවෙනව විශාල කුතුහලයක්. මොකද අපේ අනෙකා කියන්නෙම අපි නොදන්නා යම් සැඟවුණු කලාපයක් නිසා. එත් කෙනෙකුට වෘත්තීය විදිහට තව කෙනෙකුගෙ ජීවිතය දිහා බලා ඉන්න සිද්දවුණොතින් තත්ත්වය කොහොම වෙයි ද? The lives of others චිත්‍රපටයෙ මෙවැනි සිදුවීමක් අපි දකින්නෙ .. 

දෙවනි ලෝක යුද්ධයෙන් ලද පරාජය එක්ක ජර්මනිය කොටස් දෙකකට කැඩෙනව. බර්ලින් නගරය මැදින් තාප්පයක් ඉදිකරල නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වශයෙන් මේ රට දෙකඩ වෙනව. මෙයින් නැගෙනහිර ජර්මනිය සමාජවාදී රුසියාවේ පාලනයට නතුවෙනව. ඔවුන් නැගෙනහිර ජර්මනියෙ මාර්ක්ස් - ලෙනින් වාදී වාමාංශික රජයක් පිහිටුවනව. මෙන්න මේ නැගෙනහිර ජර්මනියෙ ජීවත්වන බොහොම සුප්‍රසිද්ධ කලාකරුවෙක් තමා George Dreyman. (George Orwell ?) ඔහු කවියෙක්, නාට්‍ය නිශ්පාදකයෙක්, ලේඛකයෙක්, පියානෝ වාදකයෙක්, බොහීමියන් ජීවිතයක් ප්‍රියකරන නිදහස්කාමියෙක්. තට්ටු නිවාසයක පිහිටි නවාතැනක තමන්ගෙ ප්‍රේමවන්තිය Christa එක්ක ඔහු ජීවත් වෙන්නෙ. George ගෙ නාට්‍ය වල ප්‍රධාන නිළියගෙ භූමිකාව රඟදක්වන්නෙ ඇයයි. George ගේ කලා නිර්මාණයන් නැගෙනහිර ජර්මනියෙන් පිටත පවා ඉමහත් ජන්ප්‍රියත්වයට පත්වෙනව. මේ නාට්‍ය වලින් සමාජවාදය සියුම්ව උපහාසයට ලක්කරන බව සමාජවාදී රජයේ සංස්කෘතික ඇමතිවරයා අනුමාන කරනව. George, බාහිර ලෝකයෙන් වසංකරගෙන ඉන්න, තමන්ගෙ ආණ්ඩුවේ දූෂණයන් අක්‍රමිකතාවන් ගැන බටහිට ඔත්තු සපයන ඔත්තුකාරයෙක් බව ඔහු සැක කරනව. මේ නිසා George ගැන හොයා බලන්න රටේ ආරක්ෂක අංශ ප්‍රධානියාට පැවරෙනව. ආරක්ෂක ප්‍රධානියා මේ කටයුත්ත මෙවැනි වැඩ ගැන හොඳ දැනීමක් තියන, තමන්ගෙ පාසල් වියේ හොඳම මිතුරෙක් වුණ, ආරක්ෂක නිලධාරි Gerd Weisler ට බාර දෙනව. Weisler, George ගෙ නවාතැනේ රහසිගත මයික්‍රෆෝන කීපයක් සහ කැමරාවක් සවි කරනව. ඒ ගොඩනැගිල්ලෙම ඉහල කොටසක් වෙනකරගන්න Weisler දිනපතා George ගේ නවාතැන නිරීක්ෂනය කරමින්, කතාබහට සවන්දෙනව. කලාකරුවෙක්, බොහිමියානුවෙක් වුණ George ගෙන් ඔහු මොනවද දකින්නෙ? ඇත්තටම George ගේ ජීවිතයට රහසින් එබී බැලීම Weisler ට ඉතාම දැඩිව බලපෑම් කරන්න පටන්ගන්නෙ නොසිතූ විදිහට. තමා ඇතුලෙ යම් දෙයක් සිද්ද වෙන බව ඔහුට දැනෙනව. ඉක්මනින්ම ඔහු දැනගන්නව George ගෙ නවාතැනේ යමක් ඇති බව සහ රජයට ඒ ගැන ඉක්මණින් දැනගන්න ලැබෙන බව. ඉතින් Weisler මේ අවස්තාවෙ මොකක්ද කරන්නෙ. නියමිත විදිහට හැමදෙයක්ම බලධාරීන්ට වාර්තාකරල මේ අපූරු කලාකරුවාගේ ජීවිතය එහෙම පිටින් විනාශ කර දමනව ද? නැත්නම් කිසිම දෙයක් වුණේ නෑ වගේ ඉඳල ඔහු වෙනුවට තමන් විනාශය කරා යනව ද?

Weisler ගේ චරිතය දිහා බැලුවොත් අපිට කාරණා කීපයක් නිරීක්ෂනය කරගන්න පුලුවන්. ඔහු මනුශ්‍යයෙකුට වඩා සමාන වෙන්නෙ යාන්ත්‍රික රොබෝ කෙනෙකුට. ඔහුගෙ මුහුණෙ කිසිම හැඟීමක් පළවෙන ස්වභාවයක් පේන්නට නෑ. ඔහු හිනාවෙන්නෙ නෑ. ඔහුට පෙම්වතියක් නෑ. ආදරය කියන දේ ඔහුගෙ ජීවිතේ නැහැ. ජීවිතේ සතුට ගැන ඔහුට වැටහීමක් නෑ. කලා කරුවෙක්, ජීවිතය උපරිමයෙන් විඳින්නෙක් වන George දිහා එබී බැලීමෙන් Weisler දකින්නෙ තමන්ගෙ හිස් කම. ඔහු George ට ආසක්ත වෙන්න පටන්ගන්නව. තමන්ගෙ ජීවිතේ අහිමි ලිංගික තෘප්තිය සොයා යන Weisler නවතින්නෙ මුදලට ලබාගන්න සේවාවක් ලඟ. එතන ව්‍යාපාරික ගණුදෙනුවක් මිස සතුටක් ඔහු ලබන්නෙ නෑ. තවත් අවස්තාවකදි සංස්කෘතික ඇමතිවරයා අතින් George ගෙ බිරිඳ ඉතාම නින්දිත විදිහට අපයෝජනයට ලක්වෙන හැටි Weisler දැනගන්නව. මේ රහස් ඔත්තු බැලීම පිටුපස තියන සැබෑ කාරණා ඔහු ක්‍රමයෙන් වටහගන්නව. තමන් ජීවිතේ පරදුවට තියල ආරක්ෂා කරන්න බැඳී ඉන්න රජයේ ඇතුලත ජරා ජීර්ණ වූ ස්වභාවය දකින Weisler තුල ඇතිවෙන්නෙ සියුම් කම්පනයක්. නමුත් එකම එක තැනක Weisler ගෙ මුහුණේ ඉතා සියුම් සිනහවක් ඇඳෙනව. ඒත් එතනට ඔහුට එන්න හැකිවෙන මාර්ගය නම් කොහෙත්ම ලේසි පහසු එකක් නොවෙයි.

කලින් සඳහන් කලා වගේ The Live of Others කියන්නෙ ඔස්කා සම්මානයෙන් වගේම ලොව පුරා සිනමා උළෙලවල සම්මානයට ලක් වුණ චිත්‍රපටයක්. හැඟීම් දැනීම් නැති මිනිසා Weisler , නිදහස්කාමී කවියා George ඔහුගෙ සුරූපී පෙම්වන්තිය Christa මේ හැම කෙනෙකුගෙම රංගනයන් එකකට එකක් නොදෙවනියි..අපි පවා කවියාට ආසක්ත වීම වළක්වන්න බෑ.. ඒ ඔහුගේ අසීමාන්තික අනුරාගී පැවැත්ම යම් තැන්වලදි අපේ ෆැන්ටසික මනෝමය ආශාවන් එක්ක සමපාත වෙන නිසා..ඒ වගේම යම් තැනක අපිට අපේ ජීවිත බලාපොරොත්තුවක් සතුටක් නැති වියළි කාන්තාරයක් වගේ වුණ පොලිස් නිලධාරියාගෙ පැවැත්ම එක්ක සංසංදනය කරන්න පුලුවන්.. මේ දෙන්නාම අපි තුළ ඉන්නව...මේ දෙන්නා නියෝජනය කරන්නෙ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක්.. !! කොහොම වුණත් ඒ බලාපොරොත්තු දල්වන අවසානයට මම බොහොම කැමතියි.. චිත්‍රපටයක අවසානෙ වැඩියෙන්ම සතුටක් දැනුණ තැනක්... ඒත් ආයෙමත් කිව්වොත් එතනට මනුශ්‍යයෙකුට එන්න තියන මාර්ගය ඉතාම දුෂ්කර එකක්..නිවැරදි තෝරා ගැනීමක් සහ සෑහෙන කැපවීමක් අවශ්‍යමයි..! නමුත් අවසානෙ ඉතුරුවෙන තෘප්තිය.. ඇතුලාන්ත ආලෝකය... තමන් ජීවිත කාලය ඇතුලෙ අර්ථවත් යමක් කළ බව හැඟීම.. කොතැනක කොයිවිදිහකින් හිටියත් අපි හැමකෙනෙක්ම ජීවිත කාලෙ ඇතුලෙ ලබා ගතයුතු දේ ඒක තමයි.. Lives of Others කලා කෘතියක් විදිහට ඉහළින්ම තියන්න පුලුවන් නිර්මාණයක් බව කියන්න දෙවරක් හිතන්න ඕනවෙන්නෙ නෑ..










Wednesday, August 21, 2019

කණ කොක් සුද


වැසි සමය එළැඹේ
ඇසෙයි ගිගුරුම් හඬ ඈතට
බොර පැහැය සැඟවයි සෙමෙන්
කණ කොකුන්ගේ තටු යට.