Tuesday, September 26, 2023

Snowpiercer (2013)

දැන් මේ පොළවේ මහා පරිමාණයෙන් කරගෙන යන පරිසර විනාශයත් එක්ක මිනිස් වර්ගයාගෙ අනාගතය ලොකු ඛේදවාචකයක තියන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති, සක්සුදක් සේ බොහෝම පැහැදිලි කාරණාවක්. මේ පුපුරන්න නියමිත ගිනි කන්ද උඩට වෙලා අපිට බාබෙකිව් පාටි දාන්න ඉතුරු වෙලා තියන්නෙ කොයිතරම් කාලයක් ද කියන ප්‍රශ්නය පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ. දැනට වයස අනූගණනක් වෙන (අනූ හතක් හරියටම කිව්වොත්) සහ තවමත් මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සක්‍රීයව තමන්ගෙ දායකත්වය දෙන ශ්‍රේෂ්ඨ ගණයේ පරිසර විද්‍යාඥයෙක් වන David Attenboroug මහත්මයා ඉදිරිපත් කරන Life on our planet වාර්තා චිත්‍රපටය බලන්න කියල මම ඔබට යෝජනා කරනව. එතනදි මේ පොළවට අතීතයේ පටන් මිනිස් වර්ගයා විසින් කරමින් ආ විනාසය කොයි වගේද සහ ඉදිරියට වෙන්න නියමිත මොකක්ද කියන කාරණේ ඔහු හරි ලස්සනට පැහැදිලි කරනව. ( පෘථිවියේ නොයෙක් පරිසර පද්ධතීන් ගැන Attenboroug මහත්මයා ඉදිරිපත් කළ Planet earth වැඩසටහන් මාලාවේ නවතම කතාංගයන් මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන බවට ආරංචියකුත් ලැබී තියනව)

නමුත් ප්‍රඥාවන්ත මිනිස්සුන්ගෙ වචන කොයිතරම් අර්ථවත් වුණත් ඒවා හුළඟේ ගසාගෙන යන්න නියමිත බවයි පෙනෙන්නට තිබෙන්නෙ. ආර්ථිකමය වශයෙන් වඩා ලාභදායී මොකක්ද කියන කාරණේ උඩයි හැම දෙයක්ම අවසානෙදි තීරණේ වෙන්නෙ. ගහක් ගහක් විදිහට තියනවට වඩා, තල්මහෙක් තල්මහෙක් විදිහට ජීවත්වෙනවට වඩා ගහ කපාදැමීම, තල්මසා මරා දැමීම ආර්ථිකමය වශයෙන් වාසි සහගතයි. ඒ නිසා මිනිස්සු පරිසරය විනාශ වෙන බව දැන දැනම දැවැන්ත පරිමාණවලින් ගස් කපනවා, තල්මස්සු මරනවා. හරියට මත්ද්‍රව්‍ය ගන්න ඇබ්බැහි වුණ කෙනෙක් මේකෙන් තමන්ට වෙන්නෙ ලොකු විනාසයක් බව දැන දැන වුණත් මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්නවා වගේ, තමන් කරන දේවලින් පරිසරය විනාශවෙලා යන බව දැන දැනම මිනිස්සු ඉක්මණ් ආර්ථික සමෘද්ධිය සහ වෙනත් දේශපාලන වාසි තකා ඉවක් බවක් නැතිව වනාන්තර ගංගා ඇළ දොළ, සාගරය ඇතුළු පරිසර පද්ධතීන් දූෂණය කරමින් ඉන්නවා. දවසින් දවස ජනගණය ඉහළ යමින් තියෙද්දි, මිනිස්සු දැන් හැඩගැහිල තියන අධි පරිභෝජනවාදී ජීවිත රටාවත් එක්ක, පරිසරය සම්බන්ධ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙමින් තියනව. ඉතින් මේ වගේ වාතාවරණයක මිනිස් වර්ගයාගෙ පැවැත්ම ලොකු අර්බුදයක තියෙන බව හොඳටම පැහැදිලියි.

Snowpiercer කියන්නෙ මෙන්න මේ වගේ අනාගතයක් පසුබිම් කරගෙන ලියවුණු Graphic නවකතාවක් ආශ්‍රයෙන් නිමැවවුණ චිත්‍රපටයක්.  Snowpiercer අධ්‍යක්ෂණය කරන්නෙ Memories of Murder, Parasite, The Host වගේ සුපිරි ගණයෙ කොරියානු චිත්‍රපට නිර්මාණය කළ කොරියානු ජාතික අධ්‍යක්ෂ Bong Jon Ho. Snowpiercer කියන්නෙ Bong Jon Ho හොලිවුඩය වෙනුවෙන් කළ වැඩක්. චිත්‍රපටයෙ කියවෙන විදිහට ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න විද්‍යාඥයින් ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට උෂණත්වය අසාමාන්‍ය විදිහට අඩුවෙලා මුළු පෘථවියම හිමෙන් වැහිලා ගිහින් සියළුම ජීවීන් පොළවෙන් වඳ වෙලා අයිස් යුගයක් උදාවෙනවා. මේ විනාශය කලින් දකින නව නිපැයුම්කාර ධනවතෙකු වෙන විල්ෆ්‍රඩ් නමැති පුද්ගලයා, සියලු පහසුකම් සහිත අතිවිශාල දුම්රියක් නිර්මාණය කරනව. මුළු පෘථවියම සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන විල්ෆ්‍රඩ්, දුම්රිය හිමෙන් මිදීම වලක්වාගන්න ඒ මාර්ගයේ නොනවත්වා දුම්රිය ධාවනය කරමින් තියනව. පණ බේරාගන්න සමත්වුණු මිනිස්සු යම් පිරිසක් විතරක් මේ විල්ෆ්‍රඩ්ගේ දුම්රියේ ඉතිරි වෙනවා. 

දුම්රිය ඇතුළේ වැඩ කටයුතු සිද්ධවෙන්නෙ එක්තරා ක්‍රමයකට. මෙතනදි දුම්රිය කාණ්ඩ 5කට බෙදන්න පුළුවන්.

මුලින්ම දුම්රියේ අතිශ්‍ය වැදගත් සහ දිව්‍යමය වටිනාකමක් ඇති බව සැලකෙන ඉදිරිපස කොටස. "ඩිවයින් එන්ජින්" විදිහට මේක හඳුන්වනවා. දුම්රියේ නිර්මාතෘ සහ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විල්ෆ්‍රඩ් ඇතුළු ඔහුගේ පිරිස වාසය කරන්නේ මෙතැන. මේ කොටසට පිටස්තර කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැහැ. සහ විල්ෆ්‍රඩ් ගේ පණිවුඩ අනෙක් මැදිරිවලට සන්නිවේදනය වෙන්නෙ මෙතැන ඉඳන්.

ඉන්පස්සෙ ඉන්නව විනෝදකාමී කණ්ඩායම. ලෝකෙට මොන දේ වුණත් ඒ අයට ගාණක් නෑ. ඒ අයට ඕන කාල බීල සැපේ ඉන්න පමණයි. 

ඉන්පස්සෙ ඉන්නව අතරමැදි කණ්ඩායම. මෙයාල දුම්රිය ඇතුළේ සාපේක්ෂව සැපවත් ජීවිතයක් ගතකරනව. මෙයාලාගෙ ළමයින් දුම්රිය පාසලේ ඉගෙන ගන්නව. ශ්‍රේෂ්ඨ විල්ෆ්‍රඩ් උතුමන් ගැන සහ අපි එයාට කොයිතරම් ණය ගැතිද කියන කාරණේ දුම්රිය ඇතුළේ ළමයින්ට උගන්වනවා. (දුම්රිය ධාවනය වෙන්න පටන් අරන් අවුරුදු 17ක් ගතවෙලා තියෙන නිසා මේ ළමයි දුම්රියෙ ම ඉපදිලා හැදුණු වැඩුණු අය)

ඊටත් පස්සෙ ඉන්නව ආරක්ෂකයින්. අවි ආයුධ දරන්නන්. නමුත් මෙයාලගෙ අවි එසවෙන්නෙ ඊටත් පහළින් ඉන්න කාණ්ඩයට එරෙහිව පමණයි. මෙයාල කරන්නෙ විල්ෆ්‍රඩ් ඇතුළු ඉහළ පාන්තිකයින්ව ආරක්ෂා කරීම.

ඉන්පස්සෙ ඉන්නව දුම්රිය ඇතුළෙ වඩාත්ම ඛේදජනක ඉරණමට ලක් වුණ කාණ්ඩය. ඒ තමා පීඩිතයින්. තමන්ට කියල කිසිදෙයක් නැති දුගී දුප්පතුන්. මෙයාලා ඉන්නෙ දුම්රියේ අවසාන මැදිරිවල. මෙතැන හැමෝටම කන්න ලැබෙන්නෙ ආරක්ෂකයින් විසින් දවස ගාණේ බෙදාදෙන කළුපාට ප්‍රෝටීන් කුට්ටියක් බැගින් පමණයි. හැම දවසකම එකම රස, එකම කෑම. ඒත් දුම්රියේ නීතිවලට එරෙහිව එක වචනයක්වත් කතා කරන්න මේ අයට තහනම්. මේ ක්‍රමයට විරුද්ධවන්නන්ට දෙන දඬුවම ප්‍රසිද්ධියේ අතපය කපා දැමීම. පීඩිතයින්ගෙ ජීවිතය ඒ තරම් පීඩාකාරියි.

නමුත් ඒ සමගම ඔබට තේරුම්ගන්න පුළුවන් වෙයි මේ අපි ජීවත් වන සමාජයේම හරස්කඩක් බව. දුම්රිය නිරෑපණය කරන්නෙ අපි ජීවත්වන මේ ආර්ථික දේශපාලන පසුබිම මයි. 

අපේ කතාවේ වීරයා, අසාධාරණයට, අයුක්තියට එරෙහිව සටන්වදින ඒ පුද්ගලයා ඔබට හමුවෙන්නෙ චිත්‍රපටය ආරම්භයෙ පටන්මයි. ඔහුගෙ නම කර්ටිස්, (Chris Evens) ඔහු සිදුවෙන හැම දෙයක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කරන, තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක් බවයි අපි දකින්නෙ. ඔහුට තියනව සැලැස්මක්, දුගී දුප්පතුන් පෙළන මේ දුෂ්ට දුර්ජන සමාජ ක්‍රමය පෙරළා දමා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් දිනාගත හැකි මගක්, ඔහුට අවශ්‍ය එය ක්‍රියාත්මක කරන්න. නමුත් ඔය විදිහට හිතු එකම පුද්ගලයා කර්ට් පමණක් නොවෙයි. මීට කලිනුත් නොයෙක් අය දුම්රියේ මේ විෂමාචාරි ක්‍රමය වෙනස් කරන්න උත්සාහ දරා තිබෙනවා. නමුත් ඒ කිසි කෙනෙකුට මේ අරමුණ ජයගන්න හැකි වුණේ නෑ. අපේ විප්ලවකාරී වීරයාටත් අවසානෙ ඒ ඉරණමම අත්වේවිද? නැතිනම් යුක්තිය සාධාරණය රජකරන ලෝකය (දුම්රිය) ගොඩනගන්න ඔහුට පුළුවන් වේවි ද? Snowpiercer බැලුවොත් ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.

Snowpiercer කියන්නෙ වැදගත් සමාජ දේශපාලන කාරණාවක් ඉතාම නිර්මාණාත්මකව විවරණය කරන චිත්‍රපටයක් වගේම  Science Fiction/ Thriller සහ Action චිත්‍රපටයක් විදිහටත් ඉහළ මට්ටමක තියන්න පුලුවන් සිනමාපටයක්. මං හිතන්නෙ පහුගිය දශකයෙන් බිහිවුණු හොඳම සිනමාපට අතරට Snowpiercer නම් කළ හැකියි. හේතුව දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුළෙ අධ්‍යාපනය, නීතිය හා සාමය, ශ්‍රමය වැනි දේවල් අවභාවිත වෙන ආකාරය, ඇති නැති සමාජ පන්ති අතර ඇති නොවතින ගැටුම සහ බලය පවත්වාගැනීම කියන කාරණයෙදි මිනිස්සු කොයිතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන කරණා මේ චිත්‍රපටයෙන් මැනවින් පෙන්වාදී තිබීම. හොලිවුඩ් නළු Chris Evans ගේ හොඳම රඟපෑම මම දුටුවේ මේ චිත්‍රපටයෙන්. ඒ වගේම Bong Joon Ho ගෙ චිත්‍රපට වල නැතුවම බැරි රංගවේදියා, කොරියානු නළු Song Kang Ho ගේ රඟ නොපා රඟපාන සුපුරුදු විලාසයෙන්ම දැකගන්න පුලුවන්. 

මේ මොහොත වෙනකොට අපේ රටේ පවතින විෂමාචාරි දේශපාලන ක්‍රමය සහ සැලැස්මක් නැති ආර්ථිකය එක්ක රටම අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා ඉන්න වෙලාවෙ (රටේ බහුතරය කෝච්චියේ අන්තිම පෙට්ටියෙ ජනතාව තමයි) මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල හතර අතින්ම උදේ හවස මේ සමාජෙ ඇතුළෙ දෝංකාර දිදී ඇහෙනව. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බටහිර රටවලින් අපිට ලැබුණට තාම අපේ ඔලුගෙඩි වැඩවසම් සීමාවෙන් ගැලවිල නෑ. අපේ දේශපාලකයින් මිනිස් ජීවිත බිල්ලට දීල හරි තමන්ගෙ බල පැවැත්ම ආරක්ෂා කරගන්න වෙහෙසෙන අතරේ අපේ මිනිස්සු පුරුද්දට වගේ දේශපාලකයින්ට බැන බැන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව මිස අපි ඉන්නෙ සාමුහික ක්‍රමයක් ඇතුළෙ බව තේරුම් අරගෙන නෑ. ක්‍රමය වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පවලින් සහ හිතන පතන විදිහෙන්මයි ඒක එන්න ඕන. මේ වගේ චිත්‍රපට එතැනදි වැදගත් කාර්‍යයක් ඉෂ්ට කරනව කියලා මම හිතනව.



No comments:

Post a Comment