Wednesday, November 29, 2023

Life on Our Planet (2023)

ස්ටීවන් ස්පීල්බර්ග් ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ මෝගන් ෆ්‍රීමන් ගේ පසුබිම් කථනයෙනුයි 2023 අවුරුද්දේ Netflix හරහා විකාශනය වුණ Life on Our Planet වැඩසටහන් මාලාව නිර්මාණය වෙන්නෙ. යුග ගණනාවක් තිස්සේ මහා වඳවීම් මැද ජීවය මෙතෙක් දුර නොනැසී ගලා ආ හැටි ගැන පැයක කොටස් අටක් මගින් විස්තර කිරීමයි මෙතනදි සිද්දවෙන්නෙ. හොලිවුඩ්වල ලොකු නම් කීපයක්ම වැඩේට සම්බන්ධ වෙලා තියන නිසා හොඳම ගුණාත්මක බවකින් මේක නිර්මාණය කරලා තියනව.

දැනට පෘථිවියේ ආයු කාලය විදිහට සැලකෙන්නෙ වසර බිලියන 4.5 ක්, ඒ කියන්නෙ අවුරුදු මිලියන 4500 ක්. මේ අති දීර්ඝ කාලය ඇතුළත, පෘථිවිය මහා පරිමාණ නෂ්ටවීම් පහකට මුහුණ දීල තියනව. මහා නශ්ටවීමක් (mass extinction) නමින් හඳුන්වන්නේ පෘථිවියේ සමස්ත ජීවි විශේෂ අතරින් 75% කට වැඩි ප්‍රමාණයක් සහමුලින් වඳවී යාමේ ක්‍රියාවලියකට. මේ මහා පරිමාණ වඳවීම් එක රැයකින් සිදුවුණු ඒවා නොවෙයි. වසර දහයක පටන් වසර මිලියනයක පමණ කාලසීමාවක් මේ වෙනුවෙන් ගතවිය හැකියි. මෙතෙක් මිහිතලයේ දිවි ගෙවූ සියළු සත්ත්ව විශේෂ අතරින් දැනට ඉතිරිවී සිටින්නේ ජීවී විශේෂ 1% ක් වගේ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා මිහිමත ජීවය කොයිතරම් සුවිශාල පරාසයක විහිදී තිබුණාද සහ වඳවීම් ජීවීන්ගෙ පැවැත්මට කොයිතරම් බලපෑමක් කර තියෙනවද කියන කාරණ සිතාගත හැකියි.

මේ පෘථිවියේ සිදුවුණු බවට හඳුනා ගෙන ඇති මහා නශ්ඨවීම් පහ ගැන කෙටියෙන් සඳහන් කරන්න කලින් පෘථිවිය ආරම්භයේ පටන් අද දක්වා ගත වුණු කාලය යුග වලට වෙන් කෙරෙන ආකාරය (Geological time scale) ගැන පොඩි සඳහනක් කරන්න අවශ්‍යයි කියල හිතනව.

මුලින්ම වසර බිලියන ගණනක ආයු කාලය ඇතුළේ පෘථිවි ග්‍රහයා ඉතා දීර්ඝ කාලයක් පැවතුණේ කිසිදු ආකාර ජීවයකට සුදුසු නැති ග්‍රහලෝකයක් විදිහට. නමුත් කාලය සමග ක්‍රමානුකූලව වායුගෝලය සහ සාගර නිර්මාණය වෙලා ජීවය පහළ වීමට සුදුසු තත්ත්වයේ ගෝලීය පරිසර සාධක සකස්වෙලා ඒකසෛලික මට්ටමෙන් ජීවය ජලය තුළ හට ගන්නව. මේ ඒකසෛලික ජීවය වඩා සංකීර්ණ තත්ත්වයට පත්වෙන්න පටන් ගන්නෙ මීට වසර මිලියන 540කට පමණ කලින්. එදා සිට අද දක්වා කාලය ෆැනරෝසොයික් (Phanerozoic) මහා යුගය (Eon) ලෙස හඳුන්වනවා. මේ මහා යුගය තවත් යුග (era) තුනකට බෙදෙනව. පැලියෝසොයික් (Paleozoic), මෙසොසොයික් (Mesozoic) සහ සෙනොසොයික් (Cenozoic) විදිහට.

පැලියෝසොයික් (Paleozoic) යුගය පටන් ගන්නේ අවුරුදු මිලියන 540 කට කලින්. පිට කටුවක් සහිත, නැති නම් කවච ධාරී මුහුදු ජීවීන්, මත්ස්‍යයින්, උරගයින්, කෘමී සතුන්, මීවන සහ කේතුධර ශාක බිහිවුණේ මේ කාලයේදී. පැලියෝසොයික් (Paleozoic) යුගය පටන් ගන්නේ කේම්බ්‍රියන් (Cambrian) අවධියෙන්. මේ නිසා ෆැනරෝසොයික් මහා යුගයට පෙර කාලය ප්‍රාග් කේම්බ්‍රියන් අවධිය (Pre cambrian) නමිනුත් හඳුන්වනව. පැලියෝසොයික් යුගය කාල අවධි 6කින් සමන්විතයි. කේම්බ්‍රියන් (Cambrian), ඕර්ඩොවීසියන් (Ordovician), සිලුරියන් (Silurian), ඩෙවොනියන් (Devonian), කාබොනිෆෙරස් (Carboniferus) සහ පර්මියන් (Permian) මේ කාල අවධි හය.

පැලියෝසොයික යුගය අවසානයේ මෙසොසොයික් (Mesozoic) යුගය පටන් ගන්නේ අවුරුදු මිලියන 252 කට කලින්. ඩයිනසෝරයන් මිහිමත රජ කළේ මේ කාලයේ. මේ යුගය සමන්විත වෙන්නෙ ට්‍රයෑසික්, ජුරාසික් සහ ක්‍රිටේෂියස් (Triassic, Jurassic, Cretaceous) කාල අවධි තුනෙන්.

ඩයිනසෝරයන්ගෙ නික්මයාම එක්ක එළඹෙන්නෙ සෙනසොයික යුගය (Cenozoic). ඒ මීට අවුරුදු මිලියන 66කට කලින්. ක්ෂීරපායින් කරළියට එන්නේ මේ කාලයේ. මේ යුගය සමන්විත වෙන්නේ පේලියොජින් (Paleogene), නියොජින් (Neogene), ක්වටනරි (Quaternary) (වර්තමාන යුගය) කාල අවධිවලින්. වර්තමායෙ අප ඉන්නේ Quaternary යුගයේ Holocene කාල අවධියේ

පෘථිවියේ සිදුවුණු මහා නෂ්ටවීම් පහ.

1. Ordovician-Silurian extinction (ඕඩොවිසියන් - සිලුරියන් නශ්ඨවීම)

මිහිමත සිදුවුණු පළමුවන මහා නෂ්ටවීම අවුරුදු මිලියන 444 කට කලින් ඕර්ඩොවීසියන්, සිලුරියන් යුගවල සිදුවී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය අසාමාන්‍ය ආකාරයෙන් පහළ යාම සහ සාගර ජල මට්ටම පහළ යාම මේ වඳවීමට හේතු වී තිබෙනවා. මේ මහා වඳවීම වසර මිලියන කිහිපයක් තිස්සේ සිදුවුණා. එයින් 85%ක් පමණ ජීවින් වඳ වී ගියා. මෙය මෙතෙක් සිදුවුණු දෙවනි විශාලතම වඳ වීම විදිහට සලකනව. මෙතනදී වඳ වුණේ conodonts, trilobites, graptolites වගේ අපෘෂ්ඨවංශික සාගර ජීවීන්.

2. Late Devonian  (ඩෙවොනියානු නශ්ඨවීම)

ඩෙවොනියානු වඳවීම සිද්ධ වෙන්නෙ අවුරුදු මිලියන 375කට කලින් ඩෙවොනියන් යුගයේ. මෙයින් 75%ක් පමණ ජීවීන් වඳවී ගියා. ගොඩබිම කෘමි සතුන්, ප්‍රාථමික ශාක වර්ග බිහිවෙන්න පටන් ගෙන තිබුණේ මේ යුගයේ. නශ්ටවීම බලපෑවේ සාගර ජීවින්ට. ගොඩබිම ශාක වර්ධනය නිසා ගොඩබිම පෝෂක වර්ග මුහුදට එක්වී සාගර ඔක්සිජන් මට්ටම පහළ ගිහින් සාගර ජීවින්ගේ ආහාර හිඟවීම මේ නෂ්ටවීමට හේතු වුණු බව අනුමාන කෙරෙනව.

3. End Permian (පර්මියානු මහා නෂ්ඨවීම)

එදාමෙදා තුර පෘථිවියේ සිදුවුණ විශාලම නෂ්ටවීම සිදුවුණේ අවුරුදු මිලියන 256 කට කලින් පර්මියානු යුගයේ. මෙයින් 96%ක් පෘථිවි ජීවි විශේෂ වඳ වී ගියා. පර්මියානු නෂ්ටවීම නිසා එදා තිබුණු කොරල් වර්ග සහමුලින් නැතිවුණා. පෘථිවිය මතින් ජීවය අතුගෑවී යන්න කිට්ටු වුණු තත්ත්වක් ඇති වුණා. පෘථිවියේ සිදුවුණු මහා පරිමාණ යමහල් විදාරණ මාලාවක් තමයි පර්මියානු නශ්ඨවීමට මූලික හේතුව විදිහට සැලකෙන්නෙ. මෙයින් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුහු වුණා. ගිනි කඳුවලින් නිකුත්වුණු දුම් වලාවන් නිසා අම්ල වැසි ඇති වුණා. මේවායින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි විෂ රසායන මහා පරිමාණයෙන් මුහුදට මුහු වී බහුතර සාගර ජීවීන් සදහට වඳවී ගියා. විද්‍යාඥයින් කියන්නේ මේ සිදුව්ම් නිසා ජීවයේ පැවැත්ම වසර මිලියන සිය ගණනකින් ආපසු හැරවුණු බව.

4. End Triassic (ට්‍රයෑසික් නෂ්ඨවීම)

ට්‍රයෑසික් නෂ්ටවීම සිදුවී තිබෙන්නෙ අවුරුදු මිලියන 200කට කලින් ට්‍රයෑසික් යුගයේ. මෙයින්  එදා සිටි ජීවීන් 80%ක ප්‍රමාණයක් අහිමි වුණා. මීට හේතුව තවමත් නිශ්චිතව සොයාගෙන නෑ. බොහෝවිට මේ කාලයේ සිදුවුණු බවට සැලකෙන ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සහ ඒ ආශ්‍රිත පාරිසරික වෙනස්කම් නිසා මෙය සිදුවුණ බව අනුමාන කරනවා. පෘථිවි වාසී ආදිකල්පිත උරගයින් සහ උභයජීවි විශේෂ බහුතරය මෙයින් වඳ වී ගියා. ට්‍රයෑසික් නෂ්ඨවීම සමග වෙනස්වුණ පරිසර සාධක වලට ඔරොත්තු දීම නිසා දිවි ගලවා ගත් උරගයන් ගෙන් පසු කාලීනව වෙනස් ජීවී කාණ්ඩයක් බිහිවෙලා මිහිතලය පුරා ආධිපත්‍ය පැතිරුවා. ඔවුන් තමයි ඩයිනසෝරයින්. ඒ වගේම අදත් අපි ආදරය කරන වෙනසක් මේ යුගයේ සිදුවුණා. ඒ තමා සපුෂ්ප ශාක බිහිවීම. ගස්වැල් මත නේක වර්ණයෙන් මල් හටගන්න පටන් ගන්නේ මේ ට්‍රයෑසික් අවධියේ පටන්.

5. End Cretaceous (ක්‍රිටේෂියානු නෂ්ඨවීම)

අදින් වසර මිලියන 66 කට පමණ කලින් දවසක, මැක්සිකෝවේ යූකටන් අර්ධද්වීපයට ඇද වැටුණු එවරස්ට් කන්ද තරම් විශාල උල්කාශ්මයක් න්‍යෂ්ටික බෝම්බ මිලියනයක තරම් ප්‍රබල පිපුරුමක් ඇති කරමින් පෘථිවියේ වසර මිලියන 150කට කිට්ටු ඩයිනෝසර අධිපත්‍ය අවසන් කර දැමුවා. පිපුරුමෙන් නැගුණු දුහුවිලි වලාවන් වායුගෝලය වසාගත්තා. මෙයින් පෘථිවියට ලැබෙන සූර්යාලෝකය අවම වී ගියා. ශාක වර්ග මියැදී ගියින් ඒ මත යැපුණ සතුන් ආහාර නොමැති කමින් වඳ වුණා. උල්කාෂ්ම බලපෑම අවුරුදු ගණනක් පෘථිවියේ පැවතුණා. ඩයිනසෝරයන් වඳවී ගිය නමුත් ඩයිනසෝර උරුමය සහිත සත්ත්ව කොට්ටාශයක් තවදුරටත් පවතින්න සමත්කම ලැබුවා. ඔවුන්ගෙන් පැවත එන්නන් ඉතාම විචිත්‍රවත් විවිධත්වයක් සහිතව පෘථිවිය පුරා පැතිරී අදටත් පවතිනවා. ඔවුන් තමා කුරුල්ලන්. ඩයිනසෝර යුගයේ ඒ තරම් නොවැදගත්ව සිටි සත්ත් කොට්ටාශයක් ඉන් පසුව කරළියට පැමිණියා. හිමිකරුවෙක් නොමැතිව තිබුණු පෘථිවිය මත ආධිපත්‍යයේ කිරුළ ඔවුන් තම හිස මත පළන්දවා ගත්තා. ඔවුන් තමා ක්ෂීරපායීන්. ක්ෂීරපායින්ගෙන් පැවත එන ප්‍රයිමේටාවන්ට අයිත් සත්ත්ව කාණ්ඩයක් අවසානයේ සියළු සත්ත්වයන්ගේ ස්වාමියා බවට පත්වී ආධිපත්‍යයේ සිංහානය උරුමකරගත්තා. ඒ තමා හෝමෝ සේපියානුවන් වන අපි.

මේ වැඩටහන් මාලාවේ ත්‍රිමාණ සජීවීකරණ කටයුතු සිදු කර තියෙන්නේ Jurassic Park, Jurassic World චිත්‍රපට සම්බන්ධයෙන් කටයුතු කළ Industrial Light and Magic සමාගම ම යි.  චිත්‍රපටවලට භාවිත කළ සමහර සත්තව ආකෘති ඒ ආකාරයෙන්ම මේ වැඩේට යොදාගත්තත් වඩා නිවැරැදිව මේ සත්ත්වයින් ව නැවත ගොඩනැංවීම ගැන ඔවුන් සැලකිලිමත් වෙලා තියෙනව. මොකද චිත්‍රපටවල මේ සත්ත්වයින්ව දැක්වෙන්නෙ සිනමාපටයෙ කතාපුවතට ගැලපෙන ආකාරයෙන් මිසක් ඔවුන්ගේ සැබෑම ස්වරූපවලින් නොවෙයි. හොඳම උදාහරණය වෙලෝසිරැප්ටර් නැත්නම් රැප්ටරයින්.  ඩයිනසෝරයන් සම්බන්ධ චිත්‍රපටවල රැප්ටරයින්ව දැක්වෙන්නෙ ටී රෙක්ස් ලා ගේ ම කුඩා පරිමාණ ආකාරයේ පෙනුමක් ඇති සත්ත්වයන් විදිහට. නමුත් මේ සතුන්ගෙ ඇත්තම ස්වභාවය ඊට වඩා සෑහෙන වෙනස්. ඔවුන් අයිති වෙන්නෙ කුරුල්ලන්ට සමාන තෙරෝපෝඩා නම් ඩයිනසෝර කාණ්ඩයකට. සමහර තෙරෝපෝඩයින්ට පිහාටු තිබුණා, ඉහළ ගාත්‍රා අතර අත්තටු සමාන අවයවයන් තිබුණා. සෑබෑම වෙලෝසිරැප්ටරයින් මේ වැනි ලක්ෂණ ඇති සත්ත්වයන්. පහුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ Netflix හරහා ම විකාශය කෙරුණු Prehistoric planet  වැටසටහන් මාලාව නැරඹුවොත් මේ ප්‍රාග් ඓතිහාසික සතුන් ගැන වැඩිදුරටත් දැනගන්න පුලුවන්.

අපි ඉන්නෙ හය වෙන වඳ වීමක ද කියන ගැටලුව ගැන වැඩසටහන් මාලාව අවසානෙදි අවධානය යොමු කරනවා. පෘථිවි ග්‍රහයා හයවන මහා වඳ වීමක අද්දරටම ඇවිත් ඉන්නා බවට ප්‍රවාදයක් මේ වෙද්දී ඇතිව තියෙනවා. මිහිතලයේ යහපැවැත්ම ගැන නොසිතා කරන මිනිස් සංවර්ධන ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධති ඉතා වේගයෙන් අතුරුදහන් වී යාමත්, සත්ත්වයන්ගේ පැවැත්මට මේ නිසා තර්ජනයක් ඇතිවී තිබීමත් සහ ජීවින් විශාල ප්‍රමාණයක් දැඩිව වඳ වී යාමේ තර්ජනයට ලක්වී සිටීමත් මීට හේතු වෙනවා. මෙය ස්වභාවික නෂ්ඨවීමේ ක්‍රියාවලියකට වඩා සියදහස් ගුණයක් වේගවත් බවයි කියවෙන්නේ. පරිණාමීය වශයෙන් මිනිස්සු ක්‍රමිකව වැඩි දියුණුකරගත් බුද්ධි මහිමය මිහිමත ජීවයට විනාශය අයිති කර දෙමින් අවසන් වන්න නියමිතද කියන කරුණ සැබෑම ගැටළුවක්.

හිතන්න....  කූඹින්ට, වේයන්ට, මීයන්ට ඉතිරි වුණ, එක මිනිස් පුළුටක් නැති මහ නගර, මළකඩ කමින් ගරා වැටෙන අයිෆල් කුළුණ, සිව්පා සත්තු ඇවිද යන අධිවේගී මාර්ග, පෘථිවියේ අනාගතය ගැන අපිට මවා ගන්න තියෙන පින්තූරය එ වැනි එකක් නම්?



2 comments:

  1. මිනිස් ක්‍රියාකාරම් නිසා ගෝලීය උශ්ණතවය වැඩි වීම නිසා ඇතිවන පරිසර වෙනස් වීම නිසා මීලඟ වද වීම වෙන්න පුලුවන් . මමත් මේ ගැන මගේ බ්ලොග් එකේ කථා කරලා තියෙනවා. Mayya

    ReplyDelete
  2. ස්ස්ස්තූතියි ඔත්තුවට. මේක මගෙත් ප්‍රියතම විෂයයක්.

    ReplyDelete