Wednesday, November 8, 2023

Rupi Kaur සහ ඇමරිකානු දීවාලි සැමරුම

 ධවල මන්දිරයේ පවත්වන්නට යෙදී ඇති දීවාලි උත්සවයකට සහභාගි වීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් කළ ඇරයුම Rupi Kaur ප්‍රතික්ෂේප කර තිබේ. Rupi Kaur යනු ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානු ජාතික කිවිඳියකි. ඇගේ මුල්ම කවි එකතුව Milk and Honey ලොව ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. ඇය ඇමරිකානු ජනාධිපති වරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන අමානුෂික ප්‍රහාරයන්ට ඇමරිකානු රජය සහාය දැක්වීම හේතු කරගෙනයි. මේ ඇය ඒ වෙනුවෙන් පළ කර තිබූ සටහනෙහි සිංහල පරිවර්තනය යි.

...........................................................

"2023 නොවැම්බර් 8 වන දින, උප ජනාධිපති වරයාගේ මෙහෙවීමෙන් පැවත්වීමට නියමිත දීවාලි උත්සවයක් සඳහා, බයිඩ්න් පරිපාලනයෙන් කළ ආරාධනයක් මට මීට දින කිහිපයකට පෙර ලැබුණි. පලස්තීනුවන්ට එරෙහි වත්මන් සාහසික ක්‍රියාවලට ඔවුන් සහයෝගය දක්වමින් සිටිනා කළ, දීවාලි උත්සවය සැමරීම පිළිගත හැකි යමක් බව මෙම පරිපාලනය විසින් හඳුනාගෙන සිටීම ගැන මම පුදුම වෙමි. මෙම නිවාඩුව අපෙන් බොහෝ දෙනෙකුට දැනෙනුයේ ඊට සපුරා විරුද්ධ ලෙසට ය.

දකුණු ආසියානු උරුමය ඇති බොහෝ දෙනා ලොව පුරා දීවාලි උත්සවය සමරනු ලබති. හින්දු සහ ජෛන සම්ප්‍රදායන් තුළ, දීවාලි යනු අසත්‍යයට එරෙහිව නිවැරදිබව සහ නොදැනුවත්කමට එරෙහිව දැනුවත්බව සැමරීමයි.

අපගේ 6 වන ගුරු, Gum Hargobind Sahib Ji, සීක් සම්ප්‍රදායට අනුව, දීවාලි සමයේදී දේශපාලන සිරකරුවන් 52 දෙනෙකුට අසාධාරණ ලෙස සිරගත කිරීමෙන් නිදහස් වීමට උදව් කළේය. අපි මේ දවස හඳුන්වන්නේ Bandi Chhor Divas යනුවෙනි. පීඩනයට එරෙහිව නිදහස සඳහා සටන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ආවර්ජනය කිරීමට මම සෑම විටම මෙම දිනය යොදා ගත්තෙමි.

අද, ඇමරිකානු රජය ගාසා තීරයට බෝම්බ හෙලීමට අරමුදල් සපයනවා පමණක් නොව, සරණාගත කඳවුරු, සෞඛ්‍ය පහසුකම් සහ පූජනීය ස්ථාන කීයක් පුපුරවා හැරියද පලස්තීනුවන්ට එරෙහි මෙම ජන සංහාරය ඔවුන් දිගින් දිගටම සාධාරණීකරණය කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානය, දේශසීමා රහිත වෛද්‍යවරු, රතු කුරුස වැනි සංවිධාන සහ තවත් රටවල් බහුතරයක් විසින් ඉල්ලා සිටින මූලික ක්‍රියාමාර්ගයක් වන මානුෂීය සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීමද ඔවුහු ප්‍රතික්ෂේප කරති. පලස්තීනුවන් 10,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මියගිය අයගෙන් 70% ක් කාන්තාවන් සහ ළමුන් බවයි. ඊශ්‍රායලය විසින් සුදු පොස්ෆරස් බෝම්බ භාවිත කරනු අපි දැක ඇත්තෙමු. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ එය යුධ අපරාධයක් ලෙස විමර්ශනය කළ යුතු බවයි. ඊශ්‍රායල නේවාසිකයන් බටහිර ඉවුරේ පලස්තීනුවන්ගේ නිවෙස්වලට පයින් ගසා ඔවුන්ව අල්ලා ගන්නා ආකාරය CNN නාලිකාවේ අපි දැක ඇත්තෙමු.

මම මගේ දකුණු ආසියාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාවලට වගකියනා ලෙසට මෙම පරිපාලනයට බලකිරීමටයි. සික් ජාතික කාන්තාවක් ලෙස, මෙම පරිපාලනයේ ක්‍රියාවන්ට සුදු හුණු ගෑම වෙනුවෙන් මා භාවිත කිරීමට මම ඉඩ නොදෙමි. කොටු වී සිටින සිවිල් ජනගහනයෙන් 50%ක් ම ළමයින් වන ජන සමූහයකට කරනු ලබන පහරදීම් සඳහා සහාය දක්වන ආයතනයකින් කරන ඕනෑම ආරාධනයක් මම ප්‍රතික්ෂේප කරමි.

මිනිස් ජීවිත මේ ආකාරයෙන් අනතුරට ලක්ව ඇති විට ප්‍රජාවක් ලෙස අපට නිහඬවී සිටිය නොහැකිය. මගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් මට පෞද්ගලිකව පවසා සිටින්නේ ගාසා තීරයේ සිදුවෙමින් පවතින දේ භයානක බවයි, නමුත් ඔවුන් තම ජීවනෝපාය අවදානමට ලක් නොකරති, "ඇතුළතින් වෙනසක් ඇති කිරීමේ අවස්ථාවක්" ලෙස මෙය නොසලකති. ඇතුළත සිටීමෙන් මායාකාරීව කිසිවක් වෙනස් වන්නේ නැත. අපි නිර්භීත විය යුතුය. ඔවුන් ව්‍යාජ ලෙස මවා පෙන්වන ප්‍රතිරූපවලින් මුලා නොවිය යුතුය. මෙම පරිපාලනය සටන් විරාමයක් ප්‍රතික්ෂේප කිරීම නිසා පලස්තීනුවන්ට සෑම දිනකම අහිමි වන දේ හා සසඳන විට, කතා කිරීමෙන් අපට අහිමි වන වරප්‍රසාද යනු කිසිසේත් සැලකිය නොහැකි යමකි.

ආණ්ඩුවක ක්‍රියාකලාපයන් මගින් ලෝකයේ ඕනෑම තැනක මිනිසුන්ට අමානුෂික ලෙස සලකන විට, යුක්තිය ඉල්ලා සිටීම අපගේ සදාචාරාත්මක අවශ්‍යතාවයකි. බිය නොවන්න. ලෝකය සමඟ සිට මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින්න. ඔබ කතා කරන විට බොහෝ හඬවල් ඔබ හා එක්වනු ඇත. අපි පෙත්සම් අත්සන් කරමු. විරෝධතාවලට සහභාගි වෙමු. වර්ජනය කරමු. අපේ නියෝජිතයන් අමතා කියමු - මේ ජන සංහාරය වහාම නවත්වන්න."

- Rupi Kaur



1 comment:

  1. මේ වගේ සංඛේතාත්මක විරෝධයන් වල විශාල වටිනාකමක් තියෙනවා.

    ReplyDelete