Friday, March 1, 2024

Poor Things (2023)

මිනිස්සු අවට ලෝකය ගැනත්, තමන් ගැනත් නිවැරැදිව තේරුම්ගන්නෙ කොහොමද කියන ගැටලුව කාලයක පටන් බටහිර දර්ශනවාදය ඇතුළේ විවාදයට ලක්වෙමින් තිබෙන කරුණක්. මේක අයිති වෙන්නෙ දැනුමේ ස්වභාවයන් සහ එහි ප්‍රභවයන් ගැන සොයාබලන, දර්ශනවාදයේ තියන ඥනවිභාගය (Epistemology) නම් ක්ෂේත්‍රයට. මෙතනදි, බටහිර දාර්ශනික සම්ප්‍රදායන් ඇතුළේ ප්‍රධාන වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ ප්‍රවාදයන් දෙකක් හඳුනාගන්න ලැබෙනව. බුද්ධිවාදී (Rational) දාර්ශනික ප්‍රවාහය මින් එකක්. මීට පක්ෂව දාර්ශනිකයන් ගෙන එන මූලික අදහස තමා මිනිස්සු දැනුම ලබාගන්නෙ තර්ක බුද්ධියෙන් කල්පනා කිරීම හරහා බව. මිනිස් චින්තාව තාර්කික පදනමකට ගොනුකර විග්‍රහ කිරීමටයි මොවුන් වෑයම් දැරුවේ. ග්‍රීක සම්භාව්‍ය දාර්ශනිකයන් වුණු සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ සහ ඉන් පස්සේ යුරෝපයේ ඩෙකාට් වැනි අය මේ පක්ෂයේ ප්‍රමුඛතම චරිත විදිහට හඳුනාගැනෙනවා. අනෙක් කණ්ඩායම නම් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදන සහ ඒවායින් ලබන් අත්දැකීම් මුල් කරගෙන මිනිසා දැනුම ලබාගන්නා බවට ප්‍රකාශ කළ අනුභූතිවාදී (Empirical) දාර්ශනිකයින්. ඔවුන් කිව්වා මනුස්සයෙක් ලෝකෙට බිහිවෙන්නෙ හරියට හිස් කඩදාසියක් වගේ කියලා. පසුකාලීනව ඔහු හෝ ඇය ලබන අත්දැකීම් අනුව, ඒ කියන්නෙ මේ ළදරුවා නම් හිස් කඩදාසියේ ලියැවෙන දේ අනුව, ඔහු හෝ ඇය කවුරුන් බවට පත්වෙනවාද යන්න තීරණය වෙන බව ඔවුන් කිව්වා. තර්ක බුද්ධිය මිනිස් දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය විදිහට නම් කළ නොහැකි බවට ඔවුන් වාද කළා. ජෝන් ලොක්, ඩේවිඩ් හියුම්, ජෝර්ජ් බාක්ලේ වැනි දාර්ශනිකයින් මේ පක්ෂයේ පුරෝගාමී චරිත විදිහට නම් කළ හැකියි. මේ දාර්ශනික සම්ප්‍රදායන් අතරට පසුව ජර්මන් ජාතික දාර්ශනික  එම්මෑනුවෙල් කාන්ට් වෙනස් අදහසක් අරගෙන ආවා. ඔහු මේ "හිස් කඩදාසියක් ආකාරයට ලෝකයට උපදින" කතාව ප්‍රශ්න කළා. ඔහු කිව්වා අත්දැකීම් ආශ්‍රයෙන් දැනුම ලබන්න නම්, අත්දැකීම් ග්‍රහණය කරගත හැකි සහ ඒවා ගැන විනිශ්චය කර බැලිය හැකි යම් පූර්ව දැනුමක් (A priori) උරුම කරගෙන මිනිසුන් මෙලොවට ඉපදිය යුතු බව. ඔහු මෙය අත්දැකීම් සීමාවෙන් එහා සිට පැවත එන කුසලතාවක් විදිහටයි නම් කරන්නෙ. කාන්ට් එක්තරා ආකාරයකට බුද්ධිවාදය සහ අනුභූතිවාදය එක් කර ඒ අතර මැද නව මාවතක් විවර කළා කියන්න පුළුවන්. දැනුම ගැන තියන මේ දාර්ශනික සංවාද පැත්තකින් තියෙද්දී, අවට ලෝකය තේරුම් ගන්න අපි ලබන අත්දැකීම් සහ අපේම බුද්ධිය කොයිතරම් වැදගත් වෙනවද කියන කරුණ ගැන ජීවිතේ ඇතුළෙන් අපිටම වටහගත හැකියි. දැන් සමාජ මාධ්‍ය අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන හින්දා, මේවයින් අපිට ලැබෙන තොරතුරු, නොයෙක් අදහස් මතවාදවලට අපි නිරාවරණය වීම එක්ක, මේ දේවල් අපි හිතන පතන ස්වභාවය හැඩගස්වන්න සෑහෙන බලපෑමක් කරනව. අදින් අවුරුදු දහයකට කලින් හිටිය අපි සහ දැන් ඉන්න අපි අතර වෙනස හිතා බැලුවොත්, ලෝකය පිළිබඳව සහ ජීවිතේ ගැන, දේශපාලනික සහ සමාජීය කරුණු කාරණා ගැන අපි හිතන පතන දේවල් කොයිතරම් වෙනස් වෙලාද කියල අපිටම කල්පනා කරල බලන්න පුළුවන්. ජීවිතේ ඇතුළෙ සහ අපේ මනුස්ස සම්බන්ධකම් ඇතුළේ අපිට අත්විඳගන්න සිදුවන දේවල්, අපේ චරිත ස්වභාවයන් සහ අපේ සිතුවිලි හැඩගස්වන්න කොයිතරම් බලපෑමක් කරනවද කියල හරි අපූරුවට පෙන්වා දෙන සිනමාපටයක් පහුගිය 2023 අවුරුද්දේ තිරගත වුණා. ඒ තමා යෝගෝස් ලැන්තිමෝස් කියන ග්‍රීක් ජාතික සිනමාකරුවාගේ ඇමරිකානු හොලිවුඩය නිර්මාණයක් වුණු Poor Things චිත්‍රපටය. 

ලන්ඩනයේ ජීවත්වෙන එක්තරා ආකාරයක අසම්මත ජීවිත පැවැත්මක් ඇති ශල්‍ය වෛද්‍ය Godwin Baxter ට දවසක් මියයමින් ඉන්නා තරුණ ගැහැනියකගේ සිරුරක් මුණගැහෙනවා. ඇයට ජීවය දෙන්න ඔහු උත්සාහ කළත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ ශල්‍ය වෛද්‍යවරයා එක උපක්‍රමයක් යොදවලා ඇයව නැවත පණගන්වනවා. නමුන් ඒ සිරුරේ ඉන්නෙ ඇය නොවෙයි. 
යළි පණ ලබන්නේ ජීවිතේ කිසිම අත්දැකීමක් නොලැබූ ළදරු මනසක් හිමි තැනැත්තියක්. Godwin ඇයට Bella Baxter යන නම තබනව. Bella ගේ ළදරු ක්‍රියාවන් සමීපව නිරීක්ෂණය කරන Godwin ඇය ක්‍රමයෙන්, ඇය ලබන අත්දැකීම් ආශ්‍රයෙන් යම් යම් දේ ඉගෙන ගන්නා බව දකිනවා. Godwin කොහොම වුණත් Bella ව ආදරයෙන් බලාගන්නව. Bella ත් ඔහුට ආදරෙයි. ඇය ඔහුට කියන්නේ God කියල. නමුත් Godwin, Bella ට පිටස්තර ලෝකය තහනම් තැනක් බවට පත් කරලා යි තිබෙන්නෙ. නිවසින් පිටට යන්න ඇයට ඔහුගේ අවසර හිමි වෙන්නෙ නෑ. ඇයට  යහපතක් වෙන්න තමන් ගාව ඉන්නා යහපත්ම ගති පැවතුම් ඇති වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඈව විවාහ කරදෙන්න Godwin කල්පනා කරනවා. නීතිඥ Duncan දවසක් ඔවුන්ගේ ගේ ගෙදරට එන්නෙ ඔය අතරෙයි. Bella ව Duncan ගෙ ඇස ගැටෙන්නෙ එතකොටයි. Duncan ටිකෙන් ටික Bella ට කිට්ටුවෙනවා. තමුන් මේ රට අතහැරලා පෘතුගාලයේ ලිස්බන් නුවරට යන බව කියන Duncan තමන් එක්ක එන්න Bella ට ආරාධනා කරනවා. ඒ අනුව Godwin ගෙන් මිදිලා Bella, Duncan එක්ක ලිස්බන් බලා යනව. නොවැඩුණු ළමා මනසක් තියන Bella ඇය කිසිදාක නොදැන උන්නු ලෝකයට කොහොම මුහුණදේවිද? Duncan ඇයට ඇත්තටම ආදරෙයි ද? මේ Bella Baxter කියන්නෙ ඇත්තටම කවුද?

යෝගෝස් ලැන්තිමෝස් ගේ චිත්‍රපටි බලලා තියෙන කෙනෙකුට නම් ඔහුගේ සිනමා භාවිතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. කලින් ඔහුගේ Dogtooth චිත්‍රපටිය ගැන ලියද්දීත් ඒ ගැන සඳහන් කළා. ඔහු බොහෝමයක් වෙලාවට තමන් විසින්ම පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන නිර්මාණ කරුවෙක් වුණත් Poor Things නිර්මාණය කරන්නේ මෙනමින්ම පළ වී ඇති නවකතාවක් පාදක කරගෙන. ඔහු මේ වර්තමාන යුගයේ වඩාත් හිතුවක්කාරීම සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපටි අසම්මත දර්ශන බොහෝම ඇතුළත් ඒවා. ඔහුගේ චිත්‍රපටිවල පසුතල නිර්මාණයන් සහ රෑප රාමු ගොඩ නැංවීම් සෞන්දර්යාත්මක අතින් ඉහළම තැනක තියනවා වගේම ඒවායේ පසුබිම් සංගීතය මේ චිත්‍රපටිවල අමුතු විකාර රෑපී බව ඉස්මතු කරවන ආකාරයෙන් යොදාගන්නවා. හැබැයි මතුපිට තලය ඒ ආකාරයෙන් වුණත්, ඒවායේ නිරෑපිත වෙන තේමාවන් සහ යටිපෙළ අරුත් වශයෙන් මතුකෙරෙන කාරණා ජීවිතය සම්බන්ධයෙන් ඉතා අනුවේදනීය ඒවා. ලැන්තිමෝස් ගේ සිනමාපට උපරිමෙන් විඳින්න නම් එක්තරා ආකාරයකට මේ අභූතරූපී මතුපිට ගොඩනැංවීම සහ ඒ පසුබිමේ ඇති පරස්පර අරුත තේරුම්ගැනීම අවශ්‍යයි. Poor Things පවා අපිට කියවාගන්න පුළුවන් වෙන්නේ ඒ ආකාරයටමයි. Poor Things ගැන පළවී තිබුණ ප්‍රේක්ෂක විචාරක අදහස් විමසා බැලුවම පෙනෙන්නෙ ඔවුන් එක්කො චිත්‍රපටයට දැඩිව ආදරේ කරන, නැතිනම් දැඩිව එය විවේචනය කරන ආකාරයට ධ්‍රැවීකරණය වී තිබෙන බවක්. නමුත්, අතිශ්‍ය බහුතරයක් දෙනා මේ චිත්‍රපටය සාමාන්‍ය මට්ටමෙන් සලකන්නෙ නැති බව ඒ අනුව අපිට තීරණය කරන්න සිද්දවෙනවා. ඇත්තටම Poor Things එහෙම විවේකයට විනෝදයට ඔහේ බලලා ඉවර කරන්න පුලුවන් විදිහේ කතාවක් නොවෙයි කොහොමත්. එකක් මෙහි අන්තර්ගතය තේමාවන් ගණනාවකින් අපිට කියවා ගන්න පුළුවන් බොහොම සාරවත් එකක්. අනෙක් කාරණය මෙහි රෑපමය ගොඩ නැංවීම. චිත්‍රපටයට බහුලවම යොදාගෙන තියෙන්නේ නිර්මිත පසුතලයන්. ඒවා කොයිතරම් විචිත්‍රවත්ව අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට නිර්මාණය කරලා තිබුණාද කියලා චිත්‍රපටිය බැලූ කෙනෙක් දන්නවා. 

ආදරය සහ මිනිස් සම්බන්ධ කම් ගැන කරලා තියෙන අර්ථ නිරූපණයන් එක්ක චිත්‍රපටිය කියවාගන්න අපිට තවත් මාවතක් විවර කරගන්න පුළුවන්. ආදරය මූලික වශයෙන් මිනිස් ජීවිතයේ අවස්ථාවන් තුනක් මුල්කරගෙන පවතිනවා. භෞතිකත්වය, හැඟීම් ඇතුළු සිතුවිලි කලාපය සහ ආධ්‍යාත්මය ආදි වශයෙන්. භෞතිකත්වය මුල්කරගත් ආදරය යනු ආශාවන් සංතෘප්ත කරගැනීමේ ආදරයයි. ආශාවන් ඉතා ප්‍රාථමිකයි සහ වහා ඇතිවී නැතිවී යන සුළුයි. ඒවා මත පදනම් වෙලා ජීවිතේ ගැන වැදගත් තීරණ ගැනීම ඉතාම අනතුරුදායක විදිහට අවදානම් සහගතයි. ආශාව මුල් කරගත් ආදරයත් ඒ වගෙයි. ඉන් එහා සීමාවේ තියෙන, අපි බොහෝවිට කතා කරන රොමාන්තික ආදරය පවතින්නේ හැඟීම් සහ සිතුවිලි කලාපය අතරෙයි. මෙය කෙනෙකුගේ ගති ස්වභාවය, රුචි අරුචි කම් වගේ දේවල් නිසා හදවතේ ඇතිවෙන ප්‍රසන්න හැඟීම් එක්ක හටගන්න සහ දිගුකාලීනව ජීවිතය පුරා පවතින ආදරයක්. ප්‍රේම සම්බන්ධතා බවට පත්වෙන්නෙ මෙහෙම බැඳීම්. නමුත් අයිති කරගැනීමේ ආශාව, අනෙකාට වඩා මම ඉස්මතු වීම වගේ කාරණාවන් එක්ක මේ ආදරයත් බොහෝවිට රිදවීමට ලක්වීම වළක්වන්න ඉතා අපහසුයි. තුන්වෙනි තැන තියෙන්නෙ කිසිවක් පෙරළා අපේක්ෂා නොකරන, අනෙකා වෙනුවෙන් හැකි සියල්ල ලබා දෙන ආදරයක්. මෙතැනදී අයිතිය ගැන ගැටළුවක් නැහැ, මෙතන තමාගේ පරම සතුට අනෙකාගෙ සතුටම නිසා තමන්ගේ හදවතේ ඇතිවෙන දුක්වේදනා තමා විසින්ම අවබෝධ කරගෙන ඒවා විඳදරාගන්න නිසා එයින් හානියක් වෙන්නෙ නෑ. Bella Baxter ගේ ජීවිතේදීත් ඇය මේ තුන් ආකාරයේම ආදරයන් අත්දකිනවා. මේ තුන් ආකාරයේම ආදරවන්තයින් ඇයට මුණ ගැහෙනවා. ඇය ජීවිතේ ගැන අත්දැකීම් ලබන්නේ මේ ආකාර ආදරයන් එක්ක. අර සමර විජේසිංහ මහත්මයගෙ "උගත් තරුණියගේ කවිය" මෙතනදි මතකෙට එනව.

නොසිතන් 
සබන් කැට මෙන්
ගැහැනු ගෙවෙතැයි 
පෙම්වතුන්ගෙන්

සත්‍යය පටහැනිය
පෙම්වතුන්ගෙන් ගැහැනු
වැඩෙනු මිස
ගෙවෙනු නැත

Godwin Baxter ගේ චරිතය කරන Willem Dafoe කියල තිබ්බා චිත්‍රපටයේ වේෂ නිරූපණයන් වෙනුවෙන් දවසට පැය හයක් පමණ එකම ඉරියව්වෙන් ඉන්න සිද්ධ වුණා කියල. ප්‍රධාන චරිතයක් කරන Mark Ruffalo තමන්ගේ රංනය ගැන ලොකු අතෘප්තියකින් පසුවුණු බවත් සඳහන් වෙනවා. නමුත් ඔහු නතර වෙලා ඉන්නෙ හොඳම සහය නළුවා වෙනුවෙන් ඔස්කාර් නිර්දේශයකුත් ලබලායි. Bella Baxter චරිතය කරන එමා ස්ටෝන් ගෝල්ඩන් ග්ලෝබ්වල දි වෙන්න ඕන, කියල තිබ්බ ඇය යෝගොස් ලැන්තිමෝස් යටතේ තව දුරටත් වැඩ කරන්න ඉතාම කැමැත්තෙන් ඉන්නව කියලා. ස්ටෝන් සහ ලැන්තිමෝස් සුසංයෝගයෙන් දැනට චිත්‍රපටි තුනක් හැදිල තියනව. The Favourite (2018), Poor Things (2023) සහ ඉදිරියේ තිරගත වෙන්න නියමිත Kinds of Kindness. මේ දෙන්නා අතර දැනට ඉතාම හොඳ මිත්‍රත්වයක් ගොඩනැගී තියෙන බව තමා කියවෙන්නෙ. මේ දෙන්නා දිගටම එකට වැඩ කරනවා නම් ඒක හරි අපූරු දෙයක් වේවි. මොකද හොඳ නිර්මාණකරුවෙකුට අති දක්ෂ රංගවේනියක් මුණ ගැහෙනව කියන්නෙ ප්‍රෙක්ෂකාගාරයෙ ඉන්න අපිට නම් යහපතක් වෙන වැඩක් නිසා. Poor Things වලදී ඒක හොඳින්ම දැකගන්න පුළුවන්. මෙතනදි එමා කරන රඟපෑම ඕනෑම කාලෙක දැක ගත හැකි අතිවිශිෂ්ඨතම චරිත නිරෑපණයන් අතරෙ තැබිය හැකි රංගනයක් බවයි මට දැනුණේ. ඇවිදින විදිහ කතා බහේ පටන් විකාර රූපී ළදරු මට්ටමේ සිට ක්‍රමයෙන් වැඩෙන ගැහැනියක් ඇය ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට ප්‍රතිනිර්මාණය කර තිබුණා. විශේෂයෙන් ඇය මෙහි නිරුවත් සහ ලිංගික දර්ශන නොබියව ඉදිරිපත් කිරීමට කැමති වු බව ලැන්තිමෝස් කියා තිබෙන්නෙ ඇය ගැන විශාල ගෞරවයකින්. ඉතින් 2023 වසරේ හොඳම නිළිය අංශයෙන් ඔස්කාර් නිර්දේශයක් එමා ට නොලැබුණා නම් තමා පුදුම. හොඳම නිළිය, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව ඔස්කාර් නිර්දේශ 11ක් වෙනුවෙන් නාම යෝජනා ලබන්න Poor Things සමත්වෙලා තියෙනව. ඒ වගේම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණු කාන්ස් සිනමා උළලේදී එහි ලබාදෙන උපරිම ත්‍යාගය Golden Lion දිනාගන්නත් Poor Things චිත්‍රපටයට හැකියාව ලැබුණා. යෝගොස් ලැන්තිමෝස් සිනමාවලියේ ඔහුගේ මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය විදිහටත් Poor Things නම් කරනු ලැබුවා. තිරගත කරලා අවුරුද්දක වගේ කාල සීමාවක Poor Things චිත්‍රපටිය ලොව පුරා විවිධාකාර සම්මාන 408 කට නිර්දේශ වෙලා ඉන් 93 ක් මේ වෙනකොට දිනාගෙන තියෙනව. මේ මාර්තු 11 වෙනිදා පැවැත්වෙන ඔස්කාර්වලින් පස්සෙ මේ ඉලක්කම් ගණන් වෙනස් වේවි. එය එහෙමම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!



No comments:

Post a Comment