Saturday, September 14, 2024

How To Make Millions Before Grandma Dies (2024)

 ලෙඩ දුක්, මහළු වයස, මරණය... මේ දේවල් තරම් ඇඟේ හැප්පිගෙන යන ගාණට අපිට සමීප ජීවිත යථාර්ථයන් තවත් නැතුව ඇති. ඒත් හැමදාම ලෙඩ දුක් හැදිලා මහළු වෙලා මිය යන අය ගැන අහුවත් දැක්කත් අපි පුරුදු වෙලා ඉන්නව එක මොහොතක දි ඒව ගැන කණගාටු වෙන අතරේ ආයෙමත් කිසි දෙයක් නොවුණු ගාණට හිත හදාගෙන ඉක්මණ්ටම එදිනෙදා ජීවිතේට ආයෙ හැරෙන්න. මං හිතන්නෙ අපේ මනසම එක්තරා රටාවකට අනුව හැඩගැහිලා තියනව මම සහ මගේ සුබ සිද්ධිය මූලිකත්වයෙ තියලා ඉන් එහා අනවශ්‍ය දාර්ශනික ප්‍රශ්න වලට අවධානෙ යොමු කරලා මනස වෙහෙසවා නොගන්න ආකාරයෙන් වැඩ කරන්න. ඔය මොනදේ සිද්ද වුණත් අපේ ලාබ පාඩු ගණන් හදන්න, වෙන්න තියන යුතුකම් හොයන්න බලන්න, මට වැඩියෙ වාසියක් වෙන්නෙ කාගෙන්ද කොහොමද කියල කල්පනා කරල බලන්න, ඔන්න ඔය දේවල් ඇතුළෙ තමා අන්‍තිමට අපි ඇවිත් නතර වෙන්නෙ. නමුත් අපේ ලෝකය ඇතුළෙන්ම හෙල්ලිලා යන එක මොහොතක් එනවා. අපි දැඩිව ආදරේ කරන අපේම කෙනෙක් අපේම හිතවතෙක් සුව කරන්න බැරි දරුණු රෝගයක් වැළඳිලා නැත්නම් මියගිහින් කියලා දැනගත්තම ඒ දේ අපිට සිද්ද වෙනවා. එක අතකින් ඒ පුද්ගලයාගෙ වියෝවෙන් ජීවිතේ ඇතිවෙන හෝ වෙන්න නියමිත හිස්කම ගැන සහ ඔහු හෝ ඇයට විඳින්න සිදුවෙන දුක්වේදනා ගැන සංතාපයත් අනික් අතින් ඒ වියෝගය නිසා ඉදිරියට මට මුහුණ දෙන්න සිදුවෙන වාසි සහගත සහ අවාසිසහගත තත්ත්වයන් මොනවද කියන ආත්ම මූලික සිතුවිල්ලත් අතරේ අරගලයක සිත පැටලෙනවා. විශේෂයෙන්ම පවුලක් ඇතුළෙ, දරුවන් දෙමාපියන් ක්‍රමයෙන් වයස්ගත වෙනකොට මෙවැනි දේවල් බහුලව සිද්දවෙන බව දැකගන්න පුලුවන්. 2024 අවුරුද්දෙ තායිලන්තයේ නිමැවුණු How To Make Millions Before Grandma Dies කියන්නෙ අන්න එවැනි කතා තේමාවක් ඇතුළත් චිත්‍රපටයක්.

මේකෙ කතාව මේ වගෙයි. M කියන්නෙ අධ්‍යාපනය අවසන් කරලා හරිහමන් රැකියාවක් නොකර කාලය ගෙවාදමන තරුණයෙක්. නමුත් ලොකු මුදලක් හරිහම්බ කරගන්න ආකාරය ගැන හීන දකින්නෙක්. M ට ඥාති සහෝදරියක් ඉන්නව Mui නමින්. Mui ගෙ සීයා සෑහෙන වයස්ගතව රෝගාතුර වෙලයි ඉන්නෙ. සීයාගෙ ලඟින් ඉඳන් එයාව බලාකියාගන්නෙ Mui තමා. මේ සීයා මිය යන්නෙ තමන්ගෙ ධනස්කන්ධයෙන් එක්තරා කොටසක් Mui ගෙ නමටත් ලියලා. මේ සිද්ධිය Mui විසින්ම M ට කියනවා. ඒ අතරේ M ට දැනගන්න ලැබෙනවා එයාගෙ වයස්ගත ආච්චි අම්මාත් රෝගාතුර වෙලා කියලා. මේ ආච්චි අම්මා ජීවත් වෙන්නෙ තනියෙන්. ඒ නිසා M කල්පනා කරනවා එයාගෙ වාසනාව උරගාලා බලන්න. ආච්චි ළඟ නතර වෙලා එයාට සාත්තු සප්පායම් කරගෙන ඉඳලා ඇගෙ දෙපළවලින් කොටසක් තමන්ට ලියාගන්න. මේ ආච්චි අම්මා ලේසි පාසු චරිතයක් නෙමේ. කාගෙවත් උදව් ගන්න අකමැති සහ තමන්ට හරි කියල හිතෙන දේම කරන මහ මුරණ්ඩු චරිතයක්. ඉතින් M ට එයාගෙ අරමුණ ඉෂ්ථකරගන්න පුලුවන් වේවිද? ඒ බව හරියටම දැනගන්න චිත්‍රපටිය බලන්න.

How To Make Millions Before Grandma Dies කියන්නේ තායිලන්තය තුළ 2024 අවුරුද්දට මෙතෙක් වැඩිම ආදායමක් ලබාගන්න සමත් වුණු තායි භාෂා චිත්‍රපටිය. මේක මේ තරම් ජනාදරයට පත්වීම පුදුමයක් නොවෙන බව චිත්‍රපටිය බැලුවම තේරුම් ගන්න පුලුවන්. මොකද චිත්‍රපටිය ඇතුළේ කතා කරන්නෙ පොදුවේ ඕනෑම කෙනෙකුට, අවම වශයෙන් බහුතරයක් දෙනාගෙ හිතටම දැනෙන මාතෘකාවක් ගැන නිසා. දෙමව්පියො, දරුවෝ, පවුලක ඇතුළෙ මනුස්ස සම්බන්ධකම් මේවා වැඩි දෙනෙකුට අතිශ්‍ය සමීප කාරණා. වැදගත්ම දේ ඒ කතාව හිතට වදින ආකාරයකට අති සංවේදී අයුරින් ඉදිරිපත් කර තිබීම. මේකෙ cinematography සහ සංගීතය යන අංශ අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට ඉතාම උසස් මට්ටමෙන් නිර්මාණය කර තිබෙනවා. සංගීතය විශේශයෙන් බටහිර සම්භාව්‍ය සංගීතයෙ අභාසය ලබා ඇති ආකාරය හඳුනාගත හැකියි. සමහර තැනකදී "පවුල" කියන විශය තමන්ගෙ සිනමාපටවලට බහුලව තේමා කරගන්නා ජපන් සිනමාකරු Koreeda වගෙ කෙනෙකුගෙ නිර්මාණයන් සිහිපත් කරවන සුළුයි. නමුත් Koreeda ගේ අවමවාදී භාවිතයට වඩා වෙනස් ගොඩනැංවීමක් මේ චිත්‍රපටියට ඇතුළත් බව පෙනුණත් අවසානයේ නැවත ඔහුගේ ම චිත්‍රපටි සිහිගන්වන ආකාරයෙන් නරඹන්නාගෙ හදවත උණුහුම් හැඟීමකින් පුරවාලන චිත්‍රපටියක් බව කිව හැකියි. මේ අවුරුද්දෙ නිකුත් වුණු මම බැලූ හොඳම චිත්‍රපටි අතරට How To Make Millions Before Grandma Dies නම් කරන අතරේ හැම කෙනෙකුටම බලන්න වටිනා චිත්‍රපටියක් බව කියමින්ම මේ කෙටි සටහන අවසන් කරන්නම්.



1 comment:

  1. හ්ම්. වෙලාවක් හම්බුනොත් බලන්ට බලන්නම් 🙂
    ඔත්තුවට ටැංක්ස්!

    ReplyDelete