Thursday, September 5, 2024

Kinds of Kindness (2024)

2007 - 2008 අවුරුදුවල යුරෝපයේ ග්‍රීක රාජ්‍යය "ග්‍රීක ණය අර්බුදය" නමින් ප්‍රකටව හැඳින්වෙන බොහොම බරපතළ මූල්‍ය බිඳ වැටීමට මුහුණදුන්නා. මේ නිසා එරටේ ආර්ථිකය විශාල අවපාතයක් දක්වා ගමන් කරන්න පටන් ගෙන අවසානයේදි වර්ෂ 2010 දී ග්‍රීසිය නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට නිවේදනය කිරීම දක්වාම ගියා. මේ ආර්ථික කඩා වැටීමත් එක්ක ග්‍රීසියේ ජන ජීවිතය ක්‍රමක්‍රමයෙන් ඇද වැටුණේ විශාල අර්බුදයකට. රට තුළ ආදායම් අවම වීම, සේවා නියුක්තිය වැනි තත්ත්වයන් හටගෙන මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසා ගැනීම් ඉහළ යෑම වැනි සමාජ ව්‍යසනයන්ට එරට ගොදුරු වුණා. උසස් වෘත්තිකයින් රට හැර ගියා. ජන ජීවිතය මුළුමණින්ම අපේක්ෂා භංගත්වයේ අඳුරු සෙවණැල්ලෙන් වැසී යමින් පැවතියා. ඔය අතරේ ජීවිත පැවැත්මේ තිබූ මේ අවුල වෙනත් ආකාරයට ග්‍රහණය කරගන්න උත්සාහ දැරූ පිරිසක් එහි සිටියා. ඔවුන් තමා ග්‍රීක සිනමා කරුවන්. තම රටෙහි ජන ජීවිතයේ ඇතිව තිබූ පීඩාකාරී බව සහ ජීවිත පැවැත්මෙහි අර්බුදකාරීබව තේමා කරගනිමින් සමස්ත ජීවන යථාර්ථයන් ප්‍රශ්නකෙරෙන චිත්‍රපට නිර්මාණය වීමේ ප්‍රවණතාවක් එහි හටගැනුණා. මෙය Greek New Wave නමින් හඳුන්වනවා(ග්‍රීක නව රැල්ලේ සිනමාව, මෙය Greek Wierd Wave විදිහටත් හැඳින්වෙනවා). සාම්ප්‍රදායික කලා අකෘතිවලින් බැහැරවීම, යථාර්ථයේ තාර්කික සීමාවන් ඉක්මවා යන පසුබිමක් උපයෝගී කරගැනීම සහ සමාජ සම්මුතීන් ගෙන් වියුක්ත වුණ අඳුරු, ගුප්ත ස්වභාවයක් ඇති චරිත භාවිත මෙකී සිනමාපටවල මූලික ලක්ෂණ විදිහට හඳුනාගත හැකියි. ග්‍රීක නව රැල්ල සමග කරළියට පැමිණි සිනමාකරුවන් අතරේ වඩාත් කතාබහට ලක්වන චරිතය බවට පත්වෙන්නේ Yorgos Lanthimos. ලැන්තිමෝස් ගේ සිනමාපට ජීවිතයේ අර්ථය සහ ලෝකය තුළ ඇති විපරීත බව පිළිබිඹු කරන විපරීතවාදී Absurdism දෘෂ්ටියට අනුගතවන සිනමාවක් බව හඳුනාගැනෙනවා. දාර්ශනික එළඹුමක් විදිහට Absurdism කියන්නෙ මොකක්ද කියලා මෙතනදී කෙටියෙන් පැහැදිලි කරගත්තොත් වටිනවා.

Absurdism නැතිනම් විපරීතවාදය කියන්නෙ මිනිසාගේ පැවැත්ම සහ එහි අර්ථය ගැන විමසාබලන සාංදෘෂ්ටකවාදය (existentialism) නම් දාර්ශනික එළඹුමේ තවත් අතුරු ප්‍රවර්ගයක් විදිහට හට ගැනුණු දාර්ශනික මතවාදයක්. මිනිස් ජීවිතයට නෛසර්ගික වුණු අර්ථයක් කියා යමක් නොමැති බවත්, අර්ථය යනු ජීවිතය තුළින් ගොඩනගා ගත යුතු යමක් බවත් තමයි මෙතනදී මූලික වශයෙන් කියැවෙන්නේ. ඊට අනුව මිනිසා ලෝකය හා ගැටෙන විට, ලෝකය සමග ගණුදෙනු කරනා විට හටගන්නේ විපරීත වූ තත්ත්වයක්. උදාහරණ විදිහට කෙනෙකුට ජීවිතය පවත්වාගෙන යන්න නම් රැකියාවක නිරත වෙන්න සිදු වෙලා තිබුණත් රැකියාව වෙනුවෙන් ජීවිතය කැප කළාම ජීවතය අත්විඳින්න ලැබෙන්නේ අඩු කාලයක්. ඒ අනුව කෙනෙකුට ජීවත් වන්න සිදුවෙලා තියෙන්නෙ වැඩිවශයෙන්ම රැකියාව වෙනුවෙන් ජීවිතේ පවත්වාගෙන යන්න. මිනිසාට අවශ්‍ය නිදහසේ ජීවත් වන්න නමුත් ලෝකය හැඩගැසී තිබෙන්නේ ඔහුගේ නිදහස අහිමි කරවන ආකාරයකය. මෙය විපරීත තත්ත්වයක්. විපරීතවාදයට අනුව ජීවිතයට අර්ථයක් ඇති කරගන්නට නම් ඊට අරමුණක් සොයාගත යුතුයි. මේ ආකාරයට රැකියාවක් කිරීමේ අර්ථවත් යමක් වීමට නම් එය ජීවිතයේ අරමුණ සහ නිදහස ඇතුළු පුද්ගලයාගේ ආත්ම අභිලාශයන් සමග සමබර වන තත්ත්වයක් විය යුතුයි. විපරීතවාදය නාස්තික වාදයෙන් (nihilism/ ශුන්‍යවාදය) වෙනස් වෙන්නේ මෙතැනින්. ශුන්‍යවාදයට අනුව ජීවිතය ඇතුළු මෙලොව ඇති සියල්ල අරුත් සුන් වූ ශුන්‍ය දේවල්. ඊට අමුතුවෙන් අරුතක් එක් කරන්නට උත්සාහ කිරීම හෝ එහි අර්ථයක් සොයා යෑම නිරර්ථක යමක්. නමුත් ඊට වෙනස්ව විපරීතවාදයේදි කියැවෙන්නේ ලෝකය විපරීත අරුත් ඇති බවත්, ජීවිතයට අරමුණක් අලුතෙන් එක්කර ලෝකයේ විකෘති බවට එරෙහිව නිදහස වෙනුවෙන් වෑයම් කිරීම අර්ථවත් බවත්. විපරීතවාදී දාර්ශනික සම්ප්‍රදාය පෝෂණය කළ කේන්ද්‍රී චරිතය විදිහට පිළිගැනේනේ ප්‍රංශ ජාතික ලේඛක Albert Camus. කැමූ ගේ ලේඛන විපරීතවාදී සාහිත්‍ය කෙරහි විශාල බලපෑමක් කළ බව පිළිගැනෙනවා. යුරෝපය තුළ පැවති කලා සම්ප්‍රදායන්, සංස්කෘතින් දැඩි සේ අර්බුදයට ලක්වීමට බලපෑ මූළ හේතුව නම් දෙවන ලෝක යුද්ධයයි. ඒ දෙවන ලෝක යුද්ධය සහ එහි තිබූ කෲරත්වය බටහිර තුළ පැවති හර පද්ධතීන් අභියෝගයට ලක්කළ නිසා. නූතනවාදය, පශ්චාත් නූතන වාදය සහ විපරීතවාදය වැනි සංකල්ප බිහිවන්නට මූලික බලපෑමක් කළේ මේ සංසිද්ධිය.

දෙවනි ලෝක යුද්ධයෙන් පස්සෙ අපි ආයෙත් කෙළින්ම එනවා අපි ජීවත්වන මේ වර්තමානයට. ආයෙමත් Yorgos Lanthimos ළඟට. ගෙවී ගිය අවුරුද්දේ යෝගොස් ගේ නම සිනමාලෝලින් අතර වඩ වඩාත් කියවෙන්න පටන් ගත්තේ ඔහු සහ Emma Stone සුසංයෝගය ගෙන ආ Poor Things චිත්‍රපටිය නිසා. ඉන් අවුරුද්දක් ගත වෙන්නටත් මත්තෙන් නැවතත් යෝගෝස් සිනමා ප්‍රේක්ෂකයා හමුවට එන්නේ තවත් Yorgos Lanthimos සහ Emma Stone සුසංයෝගක් වුණු Kinds of Kindnes චිත්‍රපටිය හරහා. ලැන්තිමෝස් ගේ චිත්‍රපටි වචනේ අර්ථයෙන්ම විපරීත ඒවා. ලෝකය, සමාජය සහ මිනිසාම තුළ ඇති විපරීත කම් අතිශෝක්තියට නංවලා ඔහු නරඹන්නා හමුවට අරගෙන එනවා. Poor Things වල මේ ස්වභාවය තරමක් තනුක කර ඇති බවක් දැකගන්න ලැබුණත් ඔහුගේම Dogtooth වගේ චිත්‍රපටයක අප දුටු අසම්මත සහ හිතුවක්කාරී සිනමා කරුවා නැවත කරළියට පැමිණ ඉන්නා බව Kinds of Kindnes හරහා නිවේදනය කෙරෙනවා.

Kinds of Kindnes කියන්නෙ වචනෙ අර්ථයෙන්ම විපරීත සිනමා කෘතියක්. මේ වැනි චිත්‍රපටියක් විවරණය කිරීම පහසු නෑ. මොකද නරඹන්නාගේ පුද්ගල රුචිකත්වය, ඔහුගේ අදහස් ලෝකය මේ වැනි චිත්‍රපටියක් හරියට ග්‍රහණය කරගන්න දැඩිව බලපාන නිසා. එවැනි කලා කෘතියක් වචනයෙන් විස්තර කරන්න යෑම "හමන සුළං මකුළු දැලෙන්" අල්ලා ගන්න උත්සාහකරනාවට සමානයි. මට දැනුණ විදිහට ඉතා කෙටියෙන් චිත්‍රපටිය ගැන යමක් කියන්නම්.

නමුත් ඊට කලින් ලැන්තිමෝස් ම තමන්ට මෙහෙම චිත්‍රපටියක් හදන්න හිතුණේ ඇයි කියන කාරණේ ගැන කියා තියෙන යමක් මෙතන සඳහන් කරන්න වටිනවා.

"ඉතින් මම කල්පනා කරන්න පටන් ගත්තා එක මිනිහෙක් අනෙක් අයගේ ජීවිත පාලනය කරන්න පටන් ගත්තොත් කොහොමද කියලා. ඊටපස්සෙ මං හිතුවා පුද්ගලික මට්ටමෙන් මේ ගැන තව ගවේශණය කලොත් සෑහෙන සිත්ගන්නා සුළු යමක් වේවි කියලා. ඔයාගෙ මුළු ජීවිතේම, බොහොම පොඩි දේවල් පවා, තව කෙනෙක් පාලනය කරන්න ගත්තොත් ඒක කොහොම වේවිද? ඉතින් ඊටපස්සෙ අපි මේක ලියන්න පටන්ගත්තා. නමුත් ඉක්මණින්ම අපිට දැනුණා මේ ආකෘතිය එක්ක අලුත් අත්හදාබැලීමක් කරන්න ඕන කියලා. කතා තුනක් ලියන අදහස ආවෙ එතැනදී"

මෙතනදි අපි යනුවෙන් හැඳින්වෙන්නේ ලැන්තිමෝස් සහ ඔහුගේ දිගුකාලීන සහය පිටපත් රචකයා වුණු Efthimis Filippou. ලැන්තිමෝස්ම කියල තියනවා වගේ මේ චිත්‍රපටිය එකම අය එකිනෙකට වෙනස් චර්ත රඟපාන, එකිනෙක අසම්බන්ධිත කතා තුනක් සහිත වෙනස්ම ආකෘතියක අමුතු වැඩක්.

කතා තුන මොනවද කිව්වොත්,

1. The Death of R.M.F.
2. R.M.F. Is Flying
3. R.M.F. Eats a Sandwich

මේ R.M.F නම් චරිතයක් මේ කතා තුනේදිම අපි දකිනවා. නමුත් R.M.F කියන්නෙ හරියටම කවුද සහ මේ අකුරු තුනේ තෙරුම මොකක්ද කියලා ලැන්තිමෝස් පැහැදිලිව යමක් කියා නැහැ.

අනෙක් කාරණාව මේ චිත්‍රපටියේ නම, Kinds of Kindness, මේ නම ගැන අවධානය යොමු කාලොත්, මං හිතනවා ලැන්තිමෝස් මේ Kindness යන පදයෙන් නිරෑපිත කරන්න උත්සාහ කර තිබෙන්නෙ මිනිස්සු එකිනෙකා සමග තියෙන බැඳීම්, එකිනෙකා කෙරෙහි ඔවුන්ගේ ආකල්ප වැනි යමක් කියලා. Kindness වෙනුවට මෙතනදී Love, Friendship නැතිනම් Concern වගේ යෙදුමක් ආදේශ කරලා බැලුවොත් ඒ බව තේරුම්ගන්න පුළුවන්.

චිත්‍රපටියේ පළමු කතාවෙ තියෙන්නේ එක්තරා ආයතනයක වැඩ කරන සේවකයෙක් සහ ඔහුගේ ජීවිතය අසීමිතව පාලනය කරන ස්වාමියෙක් ගැන. අඩුවශයෙන් ඔහු ආදරය කරන්න ඕන කාටද, ඔහු විවාහ වෙන්න ඕන කාත් එක්කද, ඔවුන් ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඕන කීයටද? කන්නෙ කීයටද? බොන්නෙ කීයටද? මේ හැම දේම සිද්ධවිය යුතු වෙන්නෙ ආයතන ප්‍රධානියා ගේ කැමැත්ත අනුව. මම හිතනවා ලැන්තිමෝස් මෙතනදි පෙන්වන්න උත්සාහ කරන්නෙ නූතන ආයතනික ව්‍යුහය ඇතුළේ ස්වාමි සේවක සම්බන්ධය කොයිතරම් විපරීත තත්ත්වයට පත්වෙලාද කියන කාරණාව.
භය සහ පක්ෂපාතී බව පාවිච්චි කරලා අසීමිත විදිහට අනෙකාව පාලනය කිරීම, පොඩි හොඳක් කළත් අනවශ්‍ය විදිහට එය හුවා දක්වමින් වර්ණනා කිරීම වැනි දේවල් එතනදි සිදුවෙන බව ලැන්තිමෝස් මේ කතාංගයෙන් පෙන්වා දෙනවා.

දෙවනි කතාංගය පොලිස් නිලධාරියෙක් සහ සාගර විද්‍යාඥවරියක් වුණු ඔහුගේ බිරිඳ සම්බන්ධ එකක්. ගවේශණ චාරිකාවකදී ඇය මුහුදේ අතුරුදහන් වෙනවා. නමුත් පසුව ඈව සොයා ගැනෙනවා. ආපසු නිවසට එන ඇය සහ අතුරුදහන් වන්න කලින් සිටි ඇය අතර වෙනසක් ඇති බව ඔහුට පේනවා. ඔහු ඈව සැක කරනවා. නමුත් ඇය ඔහුට තමන්ගේ ඇති ආදරය නොවෙනස් එකක් බව ඔප්පු කරන්න වෙර දරනවා. මෙතන ඇති වෙන්නේ තවත් විපරීත තත්ත්වයක්. එක තැනකදී ඔහු ඇය අතින් උයන කෑම නොකා හාමතේ සිටිනවා, මොනවම හරි කන්න කියලා ඈ ඔහුට කියනවා. ඔහු එතකොට කියන්නේ "ඔයාගෙ ඇගිල්ලක් කපලා උයලා දුන්නොත් කනවා" කියලා. එතකොට ඇය ඇත්තටම ඉතාම අමාරුවෙන් ඇගිල්ලක් කපලා ඔහුට උයලා කන්න දෙනවා. ආදරය මුල් කරගත් බැඳීමක් ඇතුළේ එකිනෙකා කෙරෙහි ගරුත්වය, විශ්වාසය, තේරුම් ගැනීම අවශ්‍යයෙන්ම තිබිය යුතුවුණත් අනවශ්‍ය ආකාරයෙන් බය, සැක, පීඩාකකාරී බව අනෙකාව තමන්ට උවමනා විදිහට හසුරුවන්න යෑම නිසා ඇතිවන විපරීත තත්ත්වය මේ කතාවෙන් කියවෙන බව මට දැනෙනවා.

තුන්වෙනි කතාවෙදි කියවෙන්නේ මළවුන්ට පණ දිය හැකි කාන්තාවක්ව සිහිනයෙක් දකිනා එක්තරා ගැහැනියක් ගැන. මේ කාන්තාව කොහේ හෝ ජීවත්ව ඉන්නා සැබෑම කෙනෙක් බව විශ්වාස ඇය ඒ කාන්තාව සොයා යනවා. මෙතනදී ඇය තම දරුවාවත්, සැමියාවත් අතහැරලා දමලා තමයි තම ගමන යන්නේ. ඇය එක්තරා අමුතු ගති පැවතුම් ඇති කල්ලියකට බැඳී ඉන්නවා. තම සිහිනයට යන්න ඇය ඒ කල්ලියෙන් උදව් ලබා ගන්නවා. නමුත් සැරින් සැරේ ඈ ඇවිත් තම දරුවාත් සැමියාත් දිහා බලා ඉන්නවා. මං හිතන්නේ පුද්ගලික සිහින පසුපස යෑම සහ තම පවුල මග හැරීම කියන කාරණාවයි මේ කතාවේ මුඛ්‍ය අර්ථය විදිහට මතු කරගත හැකි වෙන්නේ. (කතා තුනම මම මෙතන ලියා තිබෙනවාට වඩා සෑහෙන විස්තරාත්මකයි සහ මතුවන අරුත් බහුලයි, කලිනුත් කිව්වා වගේ මේ අතිශ්‍ය සරලමතිකව කතා තුන මූලික මට්ටමෙන් ලිහා ගන්නට ගත්ත සුළු ප්‍රයත්නයක් පමණයි.)

චිත්‍රපටිය ගැන නිවේදනය වුණු මොහොතේ පටන්ම වඩා සිත්ග්නනාසුළු කාරණාවක් විදිහට මතුවුණේ මෙය තවත් Emma Stone, Yorgos Lanthimos සුසංයෝගයක් වීම. (එමා සහ ලැන්තිමෝස් එක්ව නිර්මාණය වෙන තවත් චිත්‍රපටියක වැඩ කටයුතු සිද්දවෙමින් යන බව දැක්කා) නමුත් චිත්‍රපටිය ඇතුළේ වඩාත් කැපී පෙනෙන්නේ එමාට වඩා Jesse Plemons ගේ රගපෑම් බව මම හිතනවා. ජෙසීව මුලින්ම මම දකින්නේ Breaking Bad නාට්‍යයේ චරිතයකින්. මැට් ඩේමන්ට සෑහෙන සමාන පෙනුමක් තිබුණ කෙනෙක් විදිහට ජෙසීව මට මතක තිබුණා. ඉන්පස්සේ Black Mirror කතාමාලාවේ කොටසකත් ඔහු දැක්කා. අද වෙද්දී කතාබහට ලක්වෙන උසස් මට්ටමේ සිනමා කෘති ගණනාවකම ඔහුගේ රංනයන් දකිනවා. ජෙසී කියන්නේ මොන චරිතය වුණත් පණ පිහිටුවා මවා පෙන්විය හැකි බව දැනටම ඔප්පු කර ඇති දක්ෂයෙක්. ඔහුට තියෙන්නේ එක්තරා ආකාරයක අමුතු, ගුප්ත චරිතවලට ගැලපෙන මුහුණක් තමා. නමුත් ඔහුගේ වෙනස් වෙනස් රගපෑම් ඉදිරියේදී අපට දැකගන්න ලැබේවි කියලා හිතෙනවා.

චිත්‍රපටියේ මම ආසම දෙයක් වුණේ මේකෙ Theme Music එක විදිහට අරගෙන තියෙන Eurythmics නම් ගායක කණ්ඩායමේ Sweet Dreams සින්දුව. මේකෙ සංගීතයත්, වචනවල අර්ථයත් චිත්‍රපටිය එක්ක එකට තිබ්බාම මැවෙන්නේ පුදුමාකාර ගැළපීමක්. මේ සින්දුවම චිත්‍රපටියට භාවිත කිරීමෙන් Yorgos Lanthimos කරලා තියෙන්නේ නිවැරදිම තෝරාගැනීමක්. අධ්‍යක්ෂවරයෙක් විදිහට තම නිර්මාණයේ කලාත්මක පරිසමාප්තිය පිළිබඳව ඔහු කොයිතරම් අවධානයක් යොමු කර තිබෙනවාද කියන කාරණාවයි එයින් පෙන්නුම් කෙරෙන්නේ. අවසානෙට සින්දුවේ වචන ටික මෙතන සදහන් කරන්නම්.

Sweet dreams are made of this
Who am I to disagree?
I've traveled the world and the seven seas
Everybody's lookin' for something

Some of them want to use you
Some of them want to get used by you
Some of them want to abuse you
Some of them want to be abused



1 comment:

  1. මෑතකදී බාගත කරගත්තා. තාම බලන්න බැරි උනා. දැන් උත්තේජනයක් තියන නිසා බලන්න ඕනෑ.

    ReplyDelete