Saturday, August 30, 2025

The Life of Chuck (2024)

බුදුන් වහන්සේ වතාවක් කියල තියනවා මම බඹයක් පමණ මේ ශරීරය තුළ මුළුමහත් ලෝකයම පනවමි කියලා. (මේ කතාව ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ රෝහිතස්ස සූත්‍රයේ. රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් සහ බුදුන් වහන්සේ අතර ඇති වෙන සංවාදයක අතර දී මේ කාරණාව මතුවෙන්නෙ. රෝහිතස්ස වරක් භාවනා කරල සිත දියුණු කරගෙන ඊතලයක වේගයෙන් විශ්වය හරහා ගමන් කිරීමේ හැකියාව ලැබූ කෙනෙක්. විශ්වයේ කෙළවර හොයා ගෙන ඔය විදිහට අවුරුදු සීයක් ගමන් කරලා කෙළවරක් නොදැක මේ රෝහිතස්ස මියැදෙනවා. අවසානෙ දේව පුත්‍රයෙක් විදිහට ඉපදෙන මේ රෝහිතස්ස තමයි බුදුන්වහන්සේ ගෙන් ලෝකයෙ කෙළවර ගැන අහන්නෙ. ඊට දෙන පිළිතුර අතරෙ උන්වහන්සේ කියනව බඹයක් පමණ මේ ශරීරය තුළ ලෝකයත්, එයින් මිදීමේ මාර්ගයත් පනවමි කියලා)

අපි අවට මුළුමහත් සියළු දේකම, මුලු විශ්වයම අරගත්තොත් මේකේ ආරම්භයක් අවසානයක් අගක් මුලක් කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් අපි බාහිර ලෝකයේ විශ්වයේ කොයිතරම් දේවල් දැක්කත් ඇහුවත් බැලුවත් අපි ඒ දේ කරන්නෙ අපේ ඉන්ද්‍රියන් හරහා. පිටස්තර ලෝකය අපි තේරුම් ගන්නෙ අපේම මනසින්. අපේ මතක, සංවේදනා, අදහස් සිතුවිලි මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නෙ බාහිරින් අපි ග්‍රහණය කරගන්න දේවල් එක්ක. මෙන්න මේවයින් හැදුණු විශ්වයක් ඇතුළාන්තයෙන් අපි ගොඩනගා ගන්නව. බඹයක් පමණ ශරීරයේ ලෝකයම පනවමි කියලා බුදුන් වහන්සේ කියන කතාව එහෙම අර්ථවත් කරගන්න පුලුවන්.  


එතකොට "මම" කියන්නේ නිකන්ම පුද්ගල චරිතයක් පමණක් නෙවෙයි. මගේ ජීවිතේ මම ලැබුව සමස්ත අත්දැකීම් වල එකතුව මං ඇතුළේ මේ මොහොතෙත් පවතිනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මං ඇතුළේ එකට පවතිනවා. හරියට දේදුන්නක පාට හත වගේ එකිනෙකට වෙනස් ගතිගුණාංග සහිත නමුත් එක තනි පැවැත්මක් මම. ඇමරිකානු ජාතියේ කවියා විදිහට සලකන Walt Whitman ගේ Song of Myself කවියේ තැනක මේ ගැන කියැවෙනවා.


Very well then I contradict myself, 

I am large, I contain multitudes.


පොඩ්ඩක් හිතන්න "ගණකාධිකාරීවරයෙක්" කිව්වම හිතේ මැවෙන්නෙ කොයි විදිහේ රෑපයක් ද? එතකොට "නැට්ටුක්කාර ගණකාධිකාරීවරයෙක්" කිව්වොත්? හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ නොගැළපෙන ඒ වුණත් හරි අපූරු පුද්ගල චරිතයක් එතනදි මැවෙනවා. මිනිස්සු සහ මේ මනුස්ස ජීවිතේ සරලවම ඒ වගේ පරස්පරතාවන් ගෙන් පිරිලයි පවතින්නේ. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි ජීවිතේ තේරුම් ගන්නත් බැරි ඒක ඇතුළේ තියෙන මේ පරස්පර ස්වභාවයන් හින්දා. ඊළඟ මාසේ, හෙට දවසේ, නැත්නම් ඊළඟ තප්පරයේ ජීවිතේ අපිට අරගෙන එන්නෙ මොනවද කියන්න අපි දන්නෙ නෑ. නමුත් මේ තේරුම්ගන්න බැරි පටලැවිලි සහගත බව, ඉක්මණින්ම වියැකෙන සුළු බව සමහර වෙලාවකට ජීවිතේට වෙනස්ම ලස්සනක් අරගෙන එනවා. පොඩ්ඩක් හිතන්න හැම දෙයක්ම කෙළින් ඉරක් ගැහුවා වගේ නිශ්චිතයි නම්, අපේ ජීවිතේ අසීමිත කාලයක් පුරා පවතිනව නම් ජීවිතේ මෙච්චර වටිනා කමක් අපිට නොදැනෙන්න තිබ්බා. මේ වෙනස් කම් එක හිතින් බාර ගෙන එක මොහොතක් නෑර විඳගන්න එක තමා අපිට කරන්න පුළුවන් වැඩේ.


චිත්‍රපටියක පින්තූරයක් දාලා මෙච්චර ගොඩක් දේවල් කියන්නෙ ඇයි කියල හිතෙනව නම් මෙන්න මේ Life of Chuck කියන චිත්‍රපටියයි ඔය කාරණා ටිකයි අතරේ සම්බන්ධයක් තියනව. (විශේෂයෙන් මේ පින්තූරයම තෝරාගත්තේ චිත්‍රපටියේ මේ scene එකට මට පුදුම තරම් ආසා හිතුණ හින්දා. Pulp Fiction, La La Land වගේ චිත්‍රපටි වලට පස්සේ සිනමාව ඇතුළෙන් දැක්ක ලස්සනම Dancing scene එකක් මේක. කතාවට බලෙන් එල්ලපු කෘත්‍රිම දර්ශනයක් නොවී ස්වභාවික විදිහට කතාව ඇතුළෙන්ම මතුවන සහ කතාවට අදාළම scene එකක් හින්දා මේකේ ලස්සන තවත් වැඩිවෙනවා) කියල තියන දේවල් එක්ක Life of Chuck කියන්නෙ බරසාර, මහා දාර්ශනික, ඔලුව ඇතුළෙ සමනල් ගැට වැටෙන චිත්‍රපටියක් කියල හිතෙනව නම් ඒක වැරදියි. මේක එහෙම මහප්‍රාණ කතාවක් නෙමේ. මුලින්ම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගන්න බැරි වුණත් පස්සෙ හැම දෙයක්ම තේරුම් යන්න පටන් ගන්නවා. වෙලාවකට මියුසික් එකත් එක්ක අඩිය තියලා නටන්න හිතෙනව. තවත් වෙලාවක විශ්වයේ පැවැත්ම, පරිසර දූෂණය සහ මානව සංහතියේ ඉදිරි ගමන වගේ කාරණා ගැන අහස පොළොව ගැටලන්න කල්පනා කරන්න හිතෙනව. සරලව විඳින්න වගේම ගැඹුරට හිතන්න වුණත් කාරණා මේකෙ තියනවා. 


මේක මම දැකල තියන අමුතුම සහ වෙනස්ම වැඩක්. එහෙම වෙන්න එක හේතුවක් තියනව. ඒ තමා Stephen King. මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නෙ එයාගෙ කෙටි නව කතාවකින්. Stephen King මහත්මයගෙ පරිකල්පනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. Green Mile, Shawshank Redemption, The Shining වගේ සිනමාව ඇතුළෙ සම්භාවනීය චිත්‍රපටි වල ඉඳලා Secret Window, It, The Mist, 1408, In the tall grass, The Monkey, Doctor Sleep වගේ චිත්‍රපටි ලයිස්තුවක්ම Stephen King ලියපු කතා මුල් කරගෙන නිර්මාණය වෙලා තියනව. අනෙක් හේතුව Mike Flanagan. මේ චිත්‍රපටියෙ තිර රචනාව සහ අධ්‍යක්ෂණය කරන්නෙ Mike. මෑත කාලෙදි කතා බහට ලක්වුණු horror/ thriller ගණෙයෙ රූපවාහිනී නාටක වුණු The Haunting of Hill House, Midnight Mass, The Fall of the House of Ushser කියන්නෙ Mike Flanagan ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ඒව. මේ දෙන්නම මින් පෙර කරල තියෙන නිර්මාණ දැක්කම මේකත් අමුතුම වැඩක් නොවුණොත් තමා පුදුම. අවසාන වශයෙන් The Life of Chuck කියන්නෙ මම බලපු වෙනස්ම සහ අමතක නොවෙනම සිනමා අත්දැකීමක් දුන්න චිත්‍රපටියක් බව කියන්නම්.




Wednesday, August 27, 2025

Sorry, Baby (2025)

 හැම හොඳ ප්‍රබන්ධයකින්ම කරන්නෙ අපිට අමතක නොවෙන චරිතයක් මුණගස්වන එක. නවකතාවකින් හරි කෙටි කතාවකින් හරි චිත්‍රපටියකින් හරි වෙන්නේ මෙහෙම එක චරිතයක් මතු කරලා අරගෙන එයාගේ විශේෂතා වගේම දුර්වලකම් එක්ක එයා ගේ සපත්තුවට බැහැලා ඇවිදන් යන්න ඉඩ සලස්වන එක. එයාගේ ඇස් දෙකෙන් ලෝකය දැකලා ඒ සිතුවිලි වලට එබීබලන්න දොරක් විවර කරලා දෙන එක. පොඩ්ඩක් හිතන්න ඇල්බෙයා කැමූ පිටස්තරයා නොලීවා නම් මාර්සෝ කෙනෙක්ව අපි දන්නෙ නෑ. මාර්කේස් කොළරා කාලේ ආලේ නොලීවා නම් ෆ්ලොරෙන්තිනෝ සහ ෆර්මිනා කෙනෙක්ව අපි දන්නෙ නෑ. කොනත් ඩොයිල් මහත්මයා රහස් පරීක්ෂක කතා නොලීවා නම් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ගැන අපි අහලවත් නෑ. ඔය කාරණාව සිනමාවටත් පොදුයි. අපි බලන චිත්‍රපටි ඇතුලේ නොයෙක් චරිත අපිට මුණගැහෙනවා. සමහර චරිතවල තියන ගතිගුණාංගයන් එක්ක අපි ටිකක් වැඩිපුර අනන්‍ය වෙනවා. සමහර අයගෙ පෙනුම, හිතන පතන විදිහ වගේ දේවල් එක්ක අපි ටිකක් වැඩිපුර ඒ අය එක්ක බැඳෙනවා. 2025 අවුරුද්දට අදාළව එහෙම කෙනෙක් මට මුණගස්වපු චිත්‍රපටියක් ගැනයි මේ කියන්නෙ.

එයාගෙ නම ඇග්නස්. ඇග්නස් මට හමුවෙන්නෙ මේ අවුරුද්දෙ ආව Sorry, baby චිත්‍රපටියෙන්. ඇග්නස් ගේ චරිතය රචනා වෙන්නෙ, රඟදක්වන්නෙ, අධ්‍යක්ෂණය වෙන්නෙ එකම ගැහැනියක අතින්. Eva Victor ඇගේ නම. ඇමරිකානු රංගන පාසලක අධ්‍යාපනය ලබලා සිනමාවට පිවිසෙන Eva ගේ කුළුඳුල් සිනමා රචනය සහ අධ්‍යක්ෂණය තමා Sorry, baby. මේ කතාව ලියන්න ඇයට මුල් වෙන්නෙ එයාම මුහුණදීපු එක් අත්දැකීමක් බවයි කියවෙන්නෙ. එහෙම බැලුවාම ඇග්නස් කියන්නෙ මුළුමණින් Eva ගේ ප්‍රතිනිර්මාණයක්. ඇගේම ආත්ම ප්‍රකාශනයක්.


ඇග්නස් කියන්නෙ කවුද? එයා මොනවද කරන්නෙ? ඇග්නස් ගේ ජීවිතේ වෙනස් අවධීන් තුනකුයි මේ චිත්‍රපටියෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ. ඈ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය ඉගෙන ගන්නා ශිෂ්‍යාවක් ව ගෙවුණ අවධිය, එම විශ්ව විද්‍යාලයේම සාහිත්‍යය පිළිබඳ ආචාර්‍යවරියක් බවට පත්ව සිටින අවධිය සහ ඒ අතර සංක්‍රාන්ති සමයක්ව ගෙවුණ යුගය. වතාවක් ඇය ජීවිතේ එක්තරා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දෙනවා. මේ අප්‍රසන්න දෙය සිදුවෙන්නෙ ඈ ප්‍රිය කරන කෙනෙක් අතින්. මේ සිදුවීම ඇයට ජීවිතේ පුරා දිගුකාලීනව බලපෑම් කරන ක්ෂිතිමය අත්දැකීමක් (Trauma) බවට පත්වෙනවා. ක්ෂිතිමය ඇත්දැකීමක් නැත්නම් Trauma එකක් කියන්නෙ යම් පීඩාකාරී සහ අප්‍රසන්න සිදුවීමකට ප්‍රතිචාර විදිහට ඇතිවෙන හැඟීම් සමූහයක්, මනෝභාවයක්. සමහර විට මේක ශාරීරිකව සිද්දවෙන්නත් පුලුවන්. Trauma එක්කට මුල්වෙන්නෙ කෙනෙක් මුහුණ දෙන ප්‍රචණ්ඩකාරී සිදුවීමක්, අපයෝජනයක්, නොසලකා හැරීමක් වැනි තනි සිදුවීමක් නැති නම් සිදුවීම් මාලාවක්. මේ සිදුවීම නිසා ඇති වෙන බිය, අනාරක්ෂිත බව, අපහසුතාව දිගුකාලීනව මනස ඇතුලේ පවතිනවා. ඇග්නස් එවැනි තත්වයකටයි පත්වෙන්නෙ. නමුත් වැදගත් කාරණේ මෙන්න මේක. ඇග්නස් තමන්ගෙ පීඩනය තමන් ඇතුළෙම විඳ දරාගෙන තමන් සුවපත් වෙන්න උත්සාහ කරනවා මිස නැවත ලෝකයට පීඩාවක් වෙන්නෙ නැහැ. ඇතුළෙන්ම බිඳවැටුණු මිනිස්සු එක්ක වැඩකරන්න ගොඩක් වෙලාවට අපහසුයි. මොකද ඇතුළාන්තය අඳුරින් පිරුණු අය වටේ නිතරම පවතිනව යම් අඳුරක්. නමුත් ඇග්නස් ඒ තැනට වැටෙන්නෙ නෑ. ඇය මේ අඳුර ආලෝකයක් බවට පෙරළා ගන්නව. මම දකින ඇගේ විශේෂත්වය තමයි ඒක. ඒ වගේ ම මං හිතනව යහපත් මිතුරු ඇසුරත් ඇයට මෙතනදි බලපෑමක් කරනව කියලා. මූණට හිනා වෙලා නැති තැන දොස් කියන, වැරදිම හොයන මිතුරු වෙසින් එන සතුරන් වගේම ඉඳහිටක ඇවිත් උණුහුමක් දීලා යන කෙනෙක්, ඕනෑම දෙයක් බෙදාහදා ගත හැකි එකම විදිහට හිතන පතන මිතුරියක්, උදව් ඕනැ මොහොතක ලඟට ඇවිත් සහනයක් සැනසීමක් දීලා යන අහඹු මනුස්සයෙක්, ඇග්නස් ගේ ජීවිතේ මේ අය ඉන්නවා. ඇතුළාන්ත සුවපත් වීමකට මෙවැනි අය ගොඩක් වැදගත්.


Sorry, Baby චිත්‍රපටිය එක්ක සිනමාවට තවත් අලුත් වීරවරියක් ඇවිත් ඉන්නා බව නිවේදනය කරනවා. ඇය තමා Eva Victor. තිර රචනාව ලියලා ඒක අධ්‍යක්ෂණය කරන ගමන් තමන්ම ප්‍රධාන චරිතයත් රඟපාන එක ලේසි වැඩක් නෙමේ ඇත්තට. නමුත් මෙතනදි ඈ ඒ අභියෝගය සාර්ථකව ජය ගන්නවා. අධ්‍යක්ෂණය ගැන අත්දැකීමක් ලබාගන්න ඈ I saw the TV glow චිත්‍රපටියෙ දර්ශන තලයෙ හිටිය බව කියනවා. කොහොමින් හරි Eva ගෙ පළවෙනි වැඩෙ එයාගෙ ඊළඟ වැඩක් එන තුරු බලා ඉන්න සලස්වනවා. 2020 දි Nomadland හැදුව Cloe Zaho, 2017 දි Lady Bird හැදුව Greta Gerwig, 2023 Past Live හැදුව Celine Song වගේ මතක හිටින නිර්මාණ හරහා එළිදකින අධ්‍යක්ෂ වරියන්, නැතිනම් මෑත කාලීනව සිනමාවට ඇවිත් ඉන්නා කැපීපෙන තරුණ ගැහැනුන් අතරට Eva ගේ නමත් ඇතුළත් කරන්න දෙවරක් හිතන්න ඕන නැහැ.




Monday, August 25, 2025

නිල්පාට තිත් පෙළින් හෙළි වුණු රහස

 Émile Durkheim කියන්නෙ සමාජ විද්‍යාවෙ පීතෘවරයෙක් විදිහට සලකන කෙනෙක්. ඔහු ජීවත් වෙන්නෙ 19 වෙනි සියවසේ. Émile ඔහුගේ කෘතියක එක්තරා අපූරු ප්‍රකාශයක් කරල තියනව. ඔහු කියනවා දරුණු අපරාධ සමාජයෙන් නැත්තටම නැති වෙලා ගිය කාලෙක මොකක් වේවිද කියන දේ ගැන. අපරාධ, යුධ ගැටුම් ගැන අහන්නවත් ලැබෙන්නෙ නෑ. වංචා දූෂණ කියලා දෙයක් පවතින්නෙවත් නෑ. හැමෝම හැමකෙනෙකුටම ගරුත්වයෙන් සලකනවා මිස කොතනකවත් නරකක් නපුරක් නෑ. අපි ජීවත්වෙන සමාජය මෙහෙම තැනක් වෙනව නම් හැමෝම කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් ජීවත් වේවි නේද? අපි කවුරුත් කැමති සමාජය එහෙම තැනක් බවට පත් වෙනව නම්, නමුත් Durkheim ගේ උත්තරය ඔබ මම බලාපොරොත්තු වෙන විදිහෙ එකක් නොවෙයි.

ඒ ගැන කියන්න කලින් මම කැමතියි හාවඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ ආචාර්ය David E. Levari ඇතුළු කණ්ඩායමක් වතාවක් සිදුකළ එක්තරා පරීක්ෂණයක් ගැන කියන්න.  


David ඇතුළු කණ්ඩායමේ අරමුණ වුණේ මිනිස් මනසේ තිබෙන එක්තරා මනෝභාවයක් පිළිබඳව අනාවරණය කරගැනීම. පර්යේෂණයෙදි ඔවුන් සිදුකළේ මෙන්න මේ දෙය. පර්යේෂණයට ලක්වෙන අයට සිදුවුණා පරිගණක තිරයක් ඉදිරිපිට වාඩි වෙලා බලා ඉන්න. පරිගණක තිරයේ වර්ණ ගැන්වුව තිත් දාහකට ආසන්න ගණනක් වරින් වර දර්ශනය වුණා. මේ තිත් වර්ණ ගන්වා තිබුණේ නිල් පාට, දම් පාට සහ නිල් දම් අතර වර්ණ වලින්. පර්යේෂණයට ලක්වෙන අය ඉදිරියෙ බොත්තම් දෙකක් තිබුණා. එකක් Blue සහ අනෙක Not Blue විදිහට නම් කර තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ නිල්පාට තිතක් තිරයේ පෙනුණ විට Blue බොත්තම ඔබන්නත් අනෙක් හැම තිතකටම Not Blue බොත්තම ඔබන්නත්. පෙනෙන විදිහට වැඩේ හරිම සරලයි. පරික්ෂකයින් මුලින්ම නිල්පාට තිත් වැඩිපුර තිරය මතට යොමු කළා. හැම කෙනෙකුම කිසිම ගැටලුවක් නැතිව ඊට ප්‍රතිචාර දැක්වුවා. නමුත් ඔවුන් ටිකෙන් ටික නිල් පාට තිත් තිරය මත පෙනෙන වාර ගණන අඩු කරලා නිල් සහ දම් අතර වර්ණ වැඩියෙන් තිරය මත පෙනෙන්න සැලැස්වුවා. එතනදි පරික්ෂණයට ලක්වුණු අය කළේ පැහැදිලිවම නිල්පාට විදිහට නොපෙනුණු වර්ණ පවා Blue නමින් නම් කරන එක. ඒ කියන්නෙ ඔවුන් දකින්න අපේක්ෂාවෙන් හිටි වර්ණය ක්‍රමයෙන් අඩුවෙද්දි ඊට සාපේක්ෂව දක්වන ප්‍රතිචාරය වෙනස් කරනවා වෙනුවට ඔවුන් ඒ වර්ණය හඳුනාගන්න ආකාරය වෙනස් කර ගත්තා. 


ඊළඟට මේ පරීක්ෂණයෙ ඊළඟ පියවර සිදුවුණා. පරීක්ෂකයින් පරිගණක තිරය මතට යොමු කළේ විවිධාකාර හැඟීම් පළ කරන මිනිස් මුහුණු වල පින්තූර. ඒවා තර්ජනාත්මක, මිත්‍රශීලී සහ කිසි හැඟීමක් පළ නොකරන විදිහට වර්ගීකරණය වුණා.  පරිගණක තිරය ඉස්සරහ තිබුණේ "තර්ජනාත්මක" සහ "තර්ජනාත්මක නොවන" විදිහට නම් කළ බොත්තම් දෙකක්. පර්යේෂණයට ලක් වුණ අයට කරන්න තිබුණේ තර්ජනාත්මක හැඟීමක් පළ කළ මුහුණක් දකිද්දී "තර්ජනාත්මක" කියන බොත්තම ඔබන්න. එහෙම නොවන හැඟීමක් පළ කරන මුහුණක් දකිද්දී "තර්ජනාත්මක නොවන" බොත්තම ඔබන්න. මෙතනදි පර්යේෂකයින් මුලින් තර්ජනාත්මක මුහුණු වැඩිපුර පෙන්වුවා. ඉන්පස්සෙ ක්‍රමයෙන් ඔවුන් තර්ජනාත්මක හැඟීම් පළ වන මුහුණු තිරයේ පෙන්වන වාර ගණන අඩු කළා. ප්‍රතිඵලය කලින් වතාවේ වගේමයි. තර්ජනාත්මක මුහුණු අඩුවෙන් දකිද්දි පර්යේෂණයට ලක්වුණු අය මිත්‍රශීලී මුහුණුවල පවා තර්ජනාත්මක බවක් දැක තිබුණා.


පරීක්ෂකයින් මේ ක්‍රියාකාරකම තවත් පියවරකට අරගෙන ගියා. මෙතනදි ඔවුන් පර්‍යේෂණයට ලක්වුණු අයට පෙන්වුයේ විවිධාකාර රැකියා යෝජනාවන්. සමහර ඒවා කිසිම සදාචාර සම්පන්න බවකින් තොරව ලියවුණ ඒවා වුණු අතරේ සමහර ඒවා ඉතාම සාමාන්‍ය සහ කිසිම වරදක් නැති ආකාරයෙන් ලියවී තිබුණා. ඔවුන්ට කරන්න තිබුණේ පරිගණක තිරයේ මතුවන මේ ලියවිලි සදාචාර සම්පන්න ඒවාද නැත්නම් එහෙම නොවන ඒවාද කියලා වර්ගීකරණය කරන්න. මෙතනදිත් මුලින්ම ඔවුන්ට දැකගන්න ලැබුණේ සදාචාරමය නොවන රැකියා යෝජනා වුණු අතරේ ක්‍රමයෙන් ඒවා තිරය මත දිස්වෙන වාර ගණන අඩු කරලා සාමාන්‍ය මට්ටමෙන් ලියවුණු ඒවා වැඩිපුර පෙන්වන්න පටන් ගත්තා. සිදු වුණේ පෙර සංසිද්ධිය මයි. පර්යේෂණයට ලක්වුණු අය සදාචාරමය නොවෙන ලිවීම් දකින්න ලැබුනවා අඩු වෙද්දී සමාන්‍ය ලිවීම් පවා සදාචාරමය නොවෙන විදිහට වර්ගීකරණය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ සදාචාරමය නොවෙන දේවල් දකින්න ලැබෙනවා අඩු වෙද්දී ඔවුන් තමන්ට තිබුණ සදාචාර මිනුම්දඬු වෙනස් කරගන්න පටන් ගත්තා. 


පරීක්ෂකයින් තමන් අනාවරණය කරගත්ත කාරණය Prevalence-induced concept change යන නමින් හැඳින්වුවා. ඉන් කියවෙන්නෙ අපි ජිවත් වන වටපිටාව කොයිතරම් ආරක්ෂාකාරී සහ සාමකාමී එකක් වුණත් අපි අපේක්ෂා කරන්නෙ අනතුරුදායක දේවල් නම් අපිට ඒවා වැඩිපුර දකින්න ලැබෙන බව. එනම් කිසිම අනතුරක් නැති අතිශ්‍ය සාමාන්‍ය දේවල් පවා අනතුරුදායක විදිහට දකින්න අපි පෙළඹෙන බව.


ආයෙමත් Emile Durkheim ළඟට ආවොත් ඔහු කියන දේ මෙන්න මේ පර්‍යෙෂණ ප්‍රතිඵලය එක්ක හොඳින් ගැළපෙනවා. ඔහු කියනවා සමාජයෙ දරුණු අපරාධ නැති වෙන තරමට මිනිස්සු ඊට වඩා කුඩා දේවල් දරුණු මට්ටමෙන් සලකන්න පටන් ගනීවි කියල. ලොකු වැරදි නැති වෙන තරමට මිනිස් ස්වභාවයෙ තියන කුඩා දුර්වලකම් විශාල වැරදි විදිහට සලකන්න අපි පටන් ගනීවි කියලා. මනෝවිද්‍යාව ඇතුළෙත් කියන්නෙ මේ දෙය. අපේ මනස නිතර බලාපොරොත්තු වෙන්නෙ අරමුණු වල ගැටෙන්න. අපේ මනස නිතරම යම් ප්‍රමාණයක පීඩනයක් ඉල්ලා සිටිනව. මේ විදිහට ලොකු පීඩනයක් මනසට දෙන්න දෙයක් නැති වුණාම සාමාන්‍ය දේවල් වලින් පවා මනස පීඩාවට පත්වෙනවා. ඒ කියන්නෙ අපිට තියන ප්‍රශ්නයේ ප්‍රමාණයට අපි ඒකට ප්‍රතිචාර දක්වනවා වෙනුවට අපි කරන්නෙ අපිට අවශ්‍ය පීඩනයේ ප්‍රමාණයට ප්‍රශ්නය ලොකු කර ගන්න එක. කෙනෙක් භෞතික වශයෙන් කොයිතරම් ලොකු දියුණුවක් ලැබුවත් මිල මුදල්, යාන වාහන කොයිතරම් ගොඩගහ ගත්තත් කිසිදාක මානසික සහනය ලැබෙන්නෙ නැත්තෙ ඒ හින්දයි. අපි ලෞකික මට්‍ටමෙන් කොයි තැනක හිටියත් අතෘප්තිය අපිව හොයාගෙන එනවා. මනස ඉල්ලා සිටින පීඩනය, ගැටුම බාහිරින් ලැබෙන්නෙ නැති වුණාම ඒ කියන්නෙ සියල් සපිරි ජීවිතයක් ලැබෙන තරමට ජීවිතේ තියන අතිශ්‍ය සාමාන්‍ය කුඩා දෙවල් අපිට පීඩා කරන්න පටන් ගන්නවා. ලෞකික ජීවිතේ දියුණුව ගොඩක් වෙලාවට මිනිස්සුන්ව ආත්මාර්ථකාමී සහ ළාමක බොළඳ අදහස් ඇති අය බවට පත් කරනවා. 


ඉංග්‍රීසි භාෂාවෙ වචනයක් තියනව Nitpicking කියලා. ඒ කියන්නෙ සාමාන්‍ය නොවැදගත් දේවල් වල පවා වැරදි හොයන එක. කෙස් ගහක අඩුපාඩුවක් පවා හොයමින් තර්ක කරන එක. කෙනෙකුගෙ, නැතිනම් මොකක් හරි දෙයක වරදක් හොයාගන්න ඕන නිසාම වැරදි හොයන එක. විවාහ ජීවිත ගත කරන අයට නැත්නම් දිගුකාලීන සම්බන්ධකම් ඇතුළේ ඉන්න අයට ගොඩක් ඔය අත්දැකීම ඇති. ගොඩක් වෙලාවට දෙදෙනෙක් අතරෙ එහෙම ලොකු ප්‍රශ්න ආරවුල් නැති වෙද්දි පොඩි දේවල් පවා වැරදියට පේන්න පටන් ගන්නව. මිනිස්සු කියන්නෙ සර්ව සම්පූර්ණ ජාතියක් නොවෙයි නෙ. දුර්වලකම්, අතපසුවීම් කාගෙ අතිනුත් වෙනව. ඉතින් සම්බන්ධකමක් හරිම සාමාන්‍ය විදිහට යනකොට මනසට අවශ්‍ය පීඩනය ලබා දෙන්න දෙයක් නැති වෙනකොට මේ වගේ සාමාන්‍ය දේවල් ලොකු වැරදි විදිහට සලකලා මතගැටුම් ඇති කර ගන්නවා. ඒ කියන්නෙ අපිට අවශ්‍ය පමණට අපි අපේ ප්‍රශ්නයේ ප්‍රමාණය සහ ඒකට දෙන අවධානය වෙනස් කර ගන්නවා. David E. Levari ඇතුළු කණ්ඩායම පර්‍යේෂණාත්මකව හොයාගත්තු කාරණාව මෙන්න මේක. Prevalence-induced concept change. නිල් පාට වැඩිපුර පේන්න නැති වෙනකොට දම් පාට පවා නිල් විදිහට හඳුනාගත්තා වගේ, තර්ජනාත්මක නොවෙන පින්තූර වැඩිපුර දකිද්දී සාමාන්‍ය පින්තූර පවා තර්ජනාත්මක විදිහට දකින්න පටන්ගත්තා වගේ අපේ මනස ඉල්ලා සිටින දේ අනුව අපි දකින දෙය වෙනස් කරගන්නවා. ඉතින් ලොකුවට අපේ මනසට පීඩනයක් ඇති කරන දේවල් ඇත්තටම එහෙම ඒවා නොවෙන්න පුළුවන්. අපි සමහර දේවල් ගැන අනව්‍ය තරම් කල්පනා කරමින් ලොකු කාලයක් ශ්‍රමයක් වැය කරනවා. සමහර විට ඒ දේවල් වල එහෙම හිත හිතා වදවෙන්න තරම් වටිනා කමක් නෑ. අපට කන්දක් විදිහට පේන දේ ඇත්තටම නිකම් පස් ගොඩැල්ලක් විතරක් වෙන්න පුලුවන්. මහ මුහුදක් විදිහට අපි හිතා ගෙන ඉන්න දේ පොඩි වතුර වළක් විතරක් වෙන්න පුලුවන්. අපි ලොකු අවධනය දීල තියෙන්නෙ සමහර විට ඇත්තටම එහෙම හිතන්න අවශ්‍ය නැති නොවටිනා ඒවට. ඒ නිසා දේවල් ඇති සැටියෙන් දකින්න පුරුදු වීම හැම අතින්ම වැදගත්. 




Friday, August 1, 2025

Materialist (2025)

විවාහය කියන්නෙ කොයි අතින් බැලුවත් හරි අපූරු දෙයක්. ඔයා තමන්ගෙ සහකාරයට විශ්වාසවන්ත වෙනවා, දුකේදිත් සැපේදිත් එයා ළඟින්ම ඉන්නවා කියලා ප්‍රසිද්ධියේම කියලා කොලේකත් අත්සන් කරලා පටන් ගන්න එකම සම්බන්ධකම ඒක විතරයි. වෙන කිසිම බැඳීමක් ඇතුළේ අනෙකා සම්බන්දයෙන් මේ වගේ දෙයක් ලිඛිතව සිද්ද වෙන්නෙ නැහැ. ඔයා මගේ යාළුවෙක් වෙන්නේ ඔයාට උදව් ඕන වෙලාවට මම ඔයාගෙ ළග ඉන්නවා, මිනිස්සු ඔයාට හිනා වෙද්දී ඔයත් මාත් එක්ක එකතුවෙලා මාත් උන්ට හිනාවෙනවාය කියලා කොලේක අත්සන් කරලා නෙමේ. නැත්නම් ඔයාව මම යාළුවෙක් විදිහට තෝරගන්නෙ ඔයාගෙ රස්සාව මොකක්ද, මාසෙ පඩිය කීයද, පදින වාහනේ සෙකන් හෑන්ඩ් ද, ගෙදර කාමරේ ඇටෑච් බාත්රූම් තියනවද කියලා හොයලා නෙමේ. නමුත් ප්‍රේම සම්බන්ධ කම්, යාළු මිත්‍රකම්, නොයෙක් හිතවත් කම් මේවා ඇතුළේ යම් අප්‍රකාශිත ගිවිසුම්ගත වීමක්, එකඟතාවක් තියනවා. ඒවා කොහේවත් ලියලා නැහැ. අපි ඒ බැඳීම්වලට අවංකයි නම් වචනෙන් ප්‍රකාශ නොවෙන මේ එකඟතාවන් කොන්දේසි විරහිතව අපි පවත්වාගෙන යනවා. ඒ වගේ මිත්‍ර සම්බන්ධකමක් ජීවිතේ ඇතුලේ ඇති වෙන්නේ නිරායාසයෙන්මයි. කෙනෙකුගේ අදහස් සිතුම් පැතුම් අපිට සමීපව දැනෙනවා නම්, ඒ පුද්ගලයා එක්ක අදහස් හුවමාරු කරගන්න එක පහසුවක් නම් ස්වභාවයෙන්ම ඒ වගේ දෙන්නෙක් අතරේ කිට්ටු හිතවත්කමක් ඇතිවෙනවා. මේ සම්බන්ධකම් ජීවිතේ ඇතුළේ කොයිතරම් දුරක් යනවද කියන දේ තීරණය වෙන්නේ අර අප්‍රකාශිත ගිවිසුම කොයිතරම් දුරට මේ අය සපුරාලනවද කියන දේ උඩ තමා. නමුත් විවාහය කියන තැනට ආවම, ඉතිහාසය ඇතුළේ විවාහය කියන එක සමාජ චාරිත්‍රයක් බවට පත්වෙනකොට එතෙක් වචනෙන් ප්‍රකාශ නොවුණු එකඟතාවක් විදිහට පැවතිච්ච මේ විවාහය ඇතුළට ලිඛිත ගිවිසුම් ගත වීම අනිවාර්ය අංගයක් විදිහට එකතු වෙන්න ඇති. 2025 ආව Materialist චිත්‍රපටිය පටන්ගන්නේ විවාහයේ මේ ඉතිහාසගත පසුබිම ගැන පොඩි ඉඟියක් ලබා දීලා. මේ Film එක නූතන සමාජේ මිනිස්සු භෞතික ජීවිතේ ගොඩනගාගන්න තරගෙට දුවන අතරේ විවාහ වෙන්න කෙනෙක් හොයාගැනීම කියන ප්‍රශ්නේ විසඳාගන්නෙ කොහොමද කියන කාරණේ මුල් කරගෙන හැදුන එකක් බව මං හිතනවා.

කසාද බඳින්නෙ ඇයි කියන ප්‍රශ්නෙට අවධානෙ යොමුකළොත් මේකට නොයෙක් අය ගාව නොයෙක් විදිහෙ උත්තර දෙන්න පුලුවන්. වයසට ගියාම වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕන හින්ද, ලස්සනට ඇඳල ලොකු වෙඩින් එකක් ගන්න ආස හින්ද, අම්ම තාත්ත කියන හින්ද වගේ තැනක ඉඳන් කවුරු හරි කෙනෙකුට ආදරේ හින්ද සහ ඒ ආදරේ මනුස්සයා එක්ක හැමදාම ළඟින් ඉන්න ලැබෙන හින්ද කියන තැන දක්වා පරාසයක උත්තර ඒ අතර තියේවි. සමහර විට කෙනෙකු ගාව ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් නැති වෙන්නත් පුලුවන්. නමුත් තමන් කසාද බඳින්න හොයන්නෙ කොයිවගේ කෙනෙක්ද, නැත්නම් තමන් කවද හරි බඳින කෙනා ගාව තියෙන්න ඕන කොයි වගේ දේවල්ද කියල හොයල බැලුවොත් මම හිතන්නෙ වැඩි දෙනෙකුට මේ ගැන අදහසක් තියනවා. අඩි හයක් උස, හම සුදු පාට, බඩ තිබීම හෝ නැති වීම, කෙට්ටුවීම, අධ්‍යාපන සුදුසුකම්, රස්සාව.. ඔය වගේ දේවල් ඒ අතර තියනව. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ ඔය හැමදේකින්ම සියල් සපිරි කෙනෙක්ව හොයාගන්න එක තමා. සමහර වෙලාවට එහෙම හොයලා හොයලා ජීවිතේ තරුණ කාලෙ එහෙම හොයමින්ම ගෙවලා දාපු අයත් ඉන්නවා. ඕක ජීවිතේටම එකපාරක් ගන්න බලාපොරොත්තු වෙන තීරණයක් නෙ ඉතින් හොයන්නෙ නැතිව බැහැ තමා. ඔය ප්‍රශ්නෙ දිහා වෙනත් මානයකින් බැලුවොත් මම හිතන්නෙ ඔය කෙනා හොයාගන්න ඒක පහසුවක් වේවි කියලා. හිතන්න හෙට දවසෙ ඉඳන් ආයෙ මැරෙනකම්ම ජීවත්වෙන්න ඕන එක මනුස්සයෙක් එක්ක. ඉතින් එහෙම ජීවිතේ ගෙනියන්න නම් ඒ මනුස්සය කොයි වගේ කෙනෙක් වෙනව නම් ද වඩාත් හොඳ?


කසාද බඳින්න කෙනෙක් හොයනවා කියන්නෙ ජීවිතේටම බලපාන ලොකු තෝරාගැනීමක් හින්දා එතනදි කෙනෙකුට ගැළපෙන කෙනෙක් හොයාගන්න උදව්වෙන එක වෘත්තීයක් විදිහට කරන කට්ටියක් ඉන්නවා. ලංකාවෙ අපි මේකට කියන්නෙ මගුල් කපුකම කියල, ඇමරිකාවෙ නම් ඕකට කියන්නෙ matchmaking කියලා. මේ matchmakers ලා ගාව එයාලගෙ සේවා දායකයින්ගෙ විස්තර ඇතුළත් තොරතුරු ගොනුවක් තියනවා. ඉතින් මට ජීවිත සහකාරයෙක් හොයාගන්න ඕන නම් කරන්න තියෙන්නෙ ඊට අදාළ මුදලක් ගෙවලා මගෙ විස්තර ටික matchmaker කෙනෙකුට දෙන එක. එයාලා එතකොට මම බලාපොරොත්තු වෙන විදිහෙ ගතිගුණාංග තියන කෙනෙක් මගෙ කැමැත්ත අකමැත්ත අනුව තෝරගෙන අපි අතරේ date එකක් සංවිධානය කරනවා. එතනදි මාත් මට එයාල තෝරාදෙන සහකාරයත් එකිනෙකා ගැන දක්වන්නෙ කොයිවගේ ආකල්පයක්ද, ඒ කියන්නෙ පළමු හමුවීමෙන්ම සරලවම එයා ගැන මගේ මොකක් හැරි කැමැත්තක් ඇති වෙලා තියනවද කියන දේ ගැන හොයා බලනවා. එතින් එහෙම දෙයක් තියනව නම් මේ දැන හැඳුනුම්කම ඉදිරියට පවත්වගෙන යන්න මට පුලුවන්. Matchmaker ලා එතනදි අපි ලබන සාර්ථකත්වය ගැන අවධානයෙන් ඉන්නවා. කොහොම හරි මේ හමුවීම අවසානයෙදි විවාහයෙන් කෙළවර වෙන බවට සහතික වීමයි Matchmaker ගෙ රාජකාරිය. 


Lucy කියන්නෙ මේ වගේ Matchmaker කෙනෙක් විදිහට වැඩකරන ගෑනු ලමයෙක්. අනික් අයට කසාද බඳින්න උදව් කළාට Lucy තාමත් තනිකඩයි. පොඩ්ඩක් ඉන්න... ලුසී වගේ ලස්සන හැඩ ගෑනු ළමයෙක් (ලුසී ගෙ චරිතෙ කරන Dakota Johnson මාරම ලස්සනයි මට නම් මේ ෆිල්ම් එක ඇතුළෙ) ඔච්චර කාලයක් තනිකඩව ඉඳීවි කියල හිතන්න පුලුවන් ද.. ඇත්තටම එහෙම බැහැනෙ..  මේ පෝස්ටර් එකෙන් පෙන්නුම් කරන ආකාරයට Lucy ගේ ලෝකේ පෙම්වතුන් දෙන්නෙක් අතරේ දෝලනය වෙන එකක්.


පළමු වැන්නා, John හෙවත් දුප්පත් අසරණ තරුණයා. John තමා Lucy ගෙ පළමු ප්‍රේමවන්තයා. Lucy මැච්මේකිං පටන් ගන්න කලින් නිළියෙක් විදිහට වැඩ කරලා අසාර්ථක වුණු කෙනෙක්. John ඉන්නෙත් ඒ බෝට්ටුවෙ මයි. මම කියන්නෙ රඟපෑම කියන එක ජීවිතේ ලොකුම හීනයක් කරගෙන අන්තිමේ හරිහමන් වැඩකුත් නැතුව අතේ සතේ නැති ගාණට වැටිලා නමුත් රඟපෑමේ හීනය අත නොහැර සිටින්නන් ගේ බෝට්ටුවෙ... John ගෙ මේ ආකල්ප හින්දා Lucy රඟපෑමත් John වත් මේ දෙකම එකපාර අතහැර දමලා යනවා. නමුත් ජීවිතේ වෙනස්ම කාල රේඛාවක දි John සහ Lucy ආයෙමත් එකිනෙකා මුණගැහෙනවා. 


ඊළඟට දෙවැන්නා, සියල් සපිරි Harry. හැරී ට Lucy ව මුණ ගැහෙන්නෙ Lucy ගේ වෘත්තීය ජීවිතේ වැදගත් තැනකදි, ඒ කියන්නෙ wedding එකකදි. Harry ට අවශ්‍ය විවාහ වෙන්න කෙනෙක් හොයා ගන්න. Harry ඒකට උදව් පතන්නෙ Lucy ගෙන්. ඒක වෘත්තීමය උදව්වක් වුණත් Lucy තේරුම් ගන්නවා Harry කියන්නෙ කෙනෙකුට කලාතුරකින් මුණගැහෙන ජාතියේ දුර්ලභ පිරිමියෙකු බව. ඒකට හේතුව Harry කියන්නෙ කිසිම දේකින් අඩුවක් පාඩුවක් නැති පුද්ගලයෙක්. Harry එන්නෙම සල්ලිකාර පවුලකින්. සල්ලි පැත්තෙන් එයා ඉන්නෙ ඉහළම උඩම තැනක. එතකොට අනික් පැත්ත. මනුස්ස පැත්ත? උතුරන්න සල්ලි තියන පසුබිමකින් එන ගොඩක් මිනිස්සුන්ගෙ මනුස්ස ගති ගුණාංග අඩුයි, ලොකුකම වැඩියි, මෝඩයි... ඒත් පුදුමෙකට Harry ට නම් ඔය දුර්ගුණාංග එකක්වත් පිහිටලා නෑ. Harry බොහොම කාරුණිකයි, විනයගරුකයි, කඩවසම්, බුද්ධිමත්, උගත්.. පිරිමියෙකුට තියෙන්න ඕන හොඳ ගුණාංග ඔක්කොම කියන්න.. Harry ගාව ඒ හැම දේම තියන බව සහතිකයි. ඉතින් එහෙම පිරිමියෙක් බඳින්න කෙනෙක් හොයන්න තමන් ගාවට එද්දි ඒ මනුස්සයව තෝරා නොගෙන ඉන්න Lucy ට හේතුවක් තියෙන්න විදිහක් නෑ. 


Lucy, Harry සහ John කියන තුන්දෙනා අපිට මුණගැහෙන්න 2025 අවුරුද්දෙ ආව Materialists චිත්‍රපටිය ඇතුළෙ. මේකෙ අධ්‍යක්ෂණය සහ තිර රචනාව 2023 අවුරුද්දෙ ආව Past Lives නිර්මාණය කළ Celine Song ගෙ. Past Lives කියන්නෙ ඒ අවුරුද්දෙ විතරක් නෙවෙයි, බලන්න ලැබෙන හොඳම වර්ගයෙ Romantic චිත්‍රපටියක්. Materialists කියන්නෙ Celine Song ගේ දෙවනි වැඩේ. පළවෙනි චිත්‍රපටියෙන් ගොඩනගාගත්ත සාර්ථකත්වය දෙවනි චිත්‍රපටියටත් ඈ අරගෙන්න එන්න සමත්වෙලා තියනව මට අනුව නම්. Romantic Drama එකක් විදිහට මේක කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුළුවන් ලස්සන, සුන්දර Feel Good වර්ගයේ චිත්‍රපටියක්. අනිත් දේ මේක ප්‍රේමය සහ විවාහය මූලික කරගත්ත මනුස්ස සම්බන්ධ කම් ගැන හිතට දැනෙන්න කතා කරනවා. මිනිස්සු කොයිතරම් සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කළත්, කසාද බඳින්න කොයිතරම් සම්පූර්ණ කෙනෙක්ව හෙව්වත් අවසානෙ කවුරුවත් මේ පරිපූර්ණත්ව ලබා ගන්නෙ නෑ. එහෙම පරිපූර්ණ සහකාරයෙක්ව කවදාවත් කාටවත් ලැබෙන්නෙත් නෑ. මොකද මිනිස්සු ගාව අනිවාර්යයෙන්ම අඩුපාඩු තියනව. එහෙම නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඉතින් එහෙම අඩුපාඩු තියන කෙනෙකුට මුලිනුත් කිව්වා වගේ සැපේදිත් දුකේදිත් වෙනසක් නැතිව එකට ඉන්නවා කියලා ලිඛිතවම පොරොන්දු වෙලා ජීවිතේම බාරදෙන්නෙ කොහොමද?? අඩුපාඩුකම් මනුස්ස දුර්වලකම් තියන දෙන්නෙක් දුක සැප බෙදාගෙන එකට ජීවිතේ ගෙනියන්නෙ කොහොමද?? නූතන විවාහය කියන කාරණේට ආවම, Materialist චිත්‍රපටිය එක අතකට මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාග්නන දරලා තියන උත්සාහයක්. 


මුලින්ම කිව්වා වගේ Dakota Johnson ගේ ආකර්ශණීය බව චිත්‍රපයටියෙන් ඇස් එළියට ගන්න නොහිතෙන්න බලපෑව ප්‍රධාන සාධකයක්. ඊළගට Chris Evans කැප්ටන් ඇමරිකා චරිතෙන් මිදිලා මේ වගේ චිත්‍රපටිවලිනුත් දැකගන්න ලැබීම සතුටක්. අනික Pedro Pascal මේ දවස්වල ටිකක් දකින්න ලැබෙනවා වැඩි දෝ කියල හිතෙන තරමට නිතර පේන මුණක් බවට පත්වෙලා තියනව වුණත් මේකේ Harry ගේ චරිතයට බොහොම හොදින් Pedro ව ගැළපෙනවා කියලා හිතෙනවා. අවසානෙට, මේ අවුරුද්දට අදාළව දැනට ආව හොදම වැඩක් තමා Materialists කියන්නේ.




Wednesday, July 23, 2025

Mama, I’m coming home

 Rock Music කියන දේ අපේ පරම්පරාවේ කන්වලට හුරු කළේ Linkin Park, Green Day, Evanescence, Audioslave, වගේ බෑන්ඩ්වලින් කියල කිව්වොත් මං හිතන්නේ වරදක් නැති වේවි. Jimi Hendrix ලා, Ozzy Osbourne ලා, David Gilmore ලා, Robert Plant ලා වගේ උදවිය අපිට මුණගැහෙන්නෙ ඊටත් ටිකක් ගැඹුරෙදි. 70, 80 කාලේ Rock සින්දුවල තිබ්බ අතීතකාමී නොස්ටැලිජික් සද්දෙ, දීර්ඝ සහ පිස්සු හැදෙනසුළු ගිටාර් solos, ඒ සින්දුවල තිබ්බ මාර වචන වගේ දේවල් Rock සංගීතය එක්ක අපිට තිබ්බ බැඳීම තවත් වැඩි කළා. අද දවසේ ජීවිත රගමඩලෙන් සමුගත්ත Ozzy Osbourne වැදගත් චරිතයක් විදිහට මතුවෙන්නෙ එතනදි. එයා සහ එයාගේ බෑන්ඩ් එක Black Sabbath එතෙක් පැවතිච්ච Rock සංගීත සද්දේ වඩාත් බර හඬක් සහ වඩාත් අඳුරු ටෝන් එකක් ඇතුළේ වෙනස් හැඩයකින් එළියට අරන් ආවා. මේ වැඩේ මුළින්ම කළ එකම බෑන්ඩ් එක එයාලා නොවෙන්න පුළුවන්. නමුත් වැඩි පිරිසක් අතරට මේ අළුත් "බර" සද්දේ අරගෙන යන්න එයාලට පුළුවන් වුණා. Rock සංගීතය ඇතුළේ Heavy Metal කියල තවත් සංගීත ප්‍රවර්ගයක් මේ හරහා නිර්මාණය වුණා. Heavy Metal ඉන් ඉස්සරහට ගිහින් වෙනම සංස්කෘතියක් විදිහට වර්ධනය වුණා. (Blalak Sabbath කණ්ඩායමේ ගිටාර් වාදක Tony Iommi ගේ guitar riffs එක්ක මේ Heavy Metal පටන් ගන්න බවයි පොදු පිළිගැනීම, නමුත් මුල් කාලීනව බර Rock Sound එකක් දුන්න Deep Purple, Led Zeppelin වගේ බෑන්ඩ්ස් මේ Metal සංගීතේ වෙනුවෙන් ලොකු දායකත්වයක් දුන්න බවට තියන අදහස ඉවත දාන්න බෑ). Black Sabbath බෑන්ඩ් එකේ හඬ සහ ප්‍රධන ප්‍රාසාංගිකයා වුණු Ozzy Osbourne අද 76 වසරක් ආයු වළදලා ජීවිතෙන් සමුගන්නවා. ප්‍රසංග වේදිකාව උඩ විතරක් නෙමේ ජීවිතේම පෙරළිකාර චරිතයක් විදිට වචනේ අර්ථයෙන්ම පෙන්නන්න පුළුවන් උදාහරණයක් තමයි Ozzy කියන්නෙ. මිනිස් මනසේ තියන අඳුරු පැතිකඩ, සමාජ දේශපාලන ක්‍රමය ඇතුළේ තියන භීෂණය සහ විෂමාචාරීත්වය Ozzy තමන්ගේ සින්දුවලට බොහෝ වෙලාවට තේමා කරගත්තා. එයා ලෝකයේ පවතින අඳුර තමන් සහ තමන්ගේ කලාව ඇතුළේ ප්‍රතිනිර්මාණය කළ අන්ධකාරයේ කුමාරයෙක්ම වුණා. (Ozzy ව සාමාන්‍යයෙන් "Prince of Darkness"කියන විරුදාවලියෙන් හැදින්වෙනවා). ඒ ගැන බොහෝ දෙනා ලියා තිබෙන නිසා වැඩි දෙයක් ලියන්නෙ නෑ. 


Ozzy ගේ මං කැමතිම සින්දුවක් ඔහුගේ නික්මයාම වෙනුවෙන් අද දවසේ බෙදා ගන්නවා. සින්දුව mama i'm coming home. මේක ozzy අනන්‍යතාව වුණු බර rock සද්දෙන් මිදුණු සුමට සෞම්‍ය ගුණයක් අරගෙන එන සින්දුවක්. ඔසී Black Sabbath වලින් ඉවත් වෙලා තනි පුද්ගල නාමයෙන්ම සංගීත ගමන පටන් ගත්තායි පසුව ඔහුගේ දිගුකාලීන ගිටාර් වාදකයා සහ සහායක ගීත රචකයා වුණු Zakk Wylde කියන විදිහට Ozzy ගේ ජීවිතේ ඒ වැදගත් පරිච්ඡේදයක් මේ සින්දුව ලියන්න හේතු කාරක වෙනවා. ඒ තමා Ozzy දැඩි වශයෙන් පීඩා විඳිමින් වුන්න මත්ද්‍රව්‍ය ඇබ්බැහි කමින් ගොඩ එන්න ඔහු සමත් වෙමින් සිටි කාලය. 1982 අවුරුද්දේ පටන් මරණ මොහොත දක්වාම නොවෙනස්ව ඔහු ළග සිටිමින් ඔහුව රැකබලාගතතේ ඔහුගේ බිරිඳ Sharon. මේ අධික මත් ලෝලීත්වයෙන් ඔහුව මුදවාගෙන ඔහුට නැවතත් ජීවය දුන්න ගැහැනිය වුණේ ඇය. මේ ගීතය රචනා වෙන්නේ Ozzy ගේ ඒ අත්දැකීම ඇසුරෙන්. සින්දුව එළියට එන්නෙ 90 දශකයේ මුල. 


Mama, I’m coming home


මෙතනදි ඔහු Mama යනුවෙන් ඔහු අමතන්නේ ඔහුගේ බිරිඳට. home කියන්නේ ඇබ්බැහිකමේ පීඩාවෙන් මිදුණ තැන, ජීවිතයට සැනසීම ගෙනෙන තැන, නිවස, පවුල, මේ දේවල්. ඒ තමා ඔහුගේ නිදහසේ ගීතය. බොහෝ දුරට මරණයෙන් කෙළවර වෙන්න තිබුණ මාර්ගයක කෙළවර නැවතත් ජීවිතයට පැමිණීමේ උදාන ගීතය.


Times have changed and times are strange

Here I come, but I ain’t the same

Mama, I’m coming home

Time’s gone by, it seems to be

You could have been a better friend to me

Mama, I’m coming home


Zakk Wylde කියන කියන විදිහට මේ ගීතයේ තනුව බොහෝ කාලයක් Ozzy ‌ගේ මතකයේ තැන්පත්වෙලා තිබිලා තියනවා. දීර්ඝ සංගීත ප්‍රසංග මාලාවක් අවසාන වෙලා ආපහු ගෙදර එන හැම වතාවෙම Ozzy බිරිද Sharon ට දුරකථනෙන් අමතලා කියන්න පුරුදුවෙලා හිටි වචන පෙළක් තමයි Mama, I’m coming home නමින් අවසානේ ඒ තනුවට අනුව නිමවෙන්නේ.


Took me in and you drove me out

Yeah, you had me hypnotized

Lost and found and turned around

By the fire in your eyes


I've seen your face a hundred times

Everyday we've been apart

I don't care about the sunshine, yeah


'Cause mama, mama, I'm coming home

I'm coming home


තමන් දිගුකාලයක් ජීවත් වීම වෙනුවෙන් Ozzy බොහොම වෙලාවට ස්තූතිවන්ත වෙන්නේ Sharon ට. ඇය නොහිටින්න Ozzy ට උරුම වෙන්න තිබුණේ සෑහෙන කෙටි ජීවිත කාලයක්. ඔහුගෙ ඇත්තම නික්ම යාම වුණු දවසේ මේ සින්දුව බෙදාහදා ගන්නෙ ඔහුත් ඇයත් ඔවුන් දෙදෙනාගෙ ආදරයත් සිහිපත් කරමින්.


Thank you for everything and May your soul Rest In Peace Ozzy!




Saturday, July 19, 2025

හිස් පාත්‍රයේ කථාව

වරක් බුදුන් වහන්සේ සිය පාත්‍රයද රැගෙන පුරාණ භාරතයේ එක් ජනාකීර්ණ ගම්දනව්වක් හරහා නිහඬවම ගමන් ගනිමින් සිටියේය. එය උදෑසනක් විය. කුරුල්ලන් හාත්පස ගී ගයන්නට පටන්ගෙන තිබුණි. නමුත් මේ පෙදෙස වසා පැතිරී තිබුණේ කලබලකාරී පීඩිත ස්වභාවයකි.


බුදුන්වහන්සේ එක් වෙළඳසලක් ඉදිරිපිටට පැමිණ නතර වුණි. ධනවත් කඩහිමියා ඉන් පිටතට නික්මුණේ කෝපයෙන් යුක්තවයි. ඔහුගේ ව්‍යාපාරය පාඩු ලබා තිබුණි. පිටත වුන් නිහඬ නිසසල බුදුන් දුටුව ඔහුගේ කෝපය තවත් වැඩි විය.


"උඹ කම්මැලි හිඟන්නා", ඔහු කෑගැසීය. “කිසි වැඩක්පළක් නොකර බොරුවට සුද්දවන්තයෙක් වගේ පෙන්නගෙන නිකම් කකා ඇවිද ඇවිද ඉන්නව නේද !!


බුදුන් කිසිවක් නොපැවසීය, එකදු රළක් හෝ නොනැගෙන පැහැදිලි විල් දිය තලාවක් සේ උන්වහන්සේ ගේ දෑස් නිසලය.


කඩ හිමියා යාබද වෙළඳසැලක තිබූ පිළුණු වූ ආහාර ස්වල්පයක් ගෙන බුදුන්ගේ හිස් පාත්‍රය තුළට දැමී ය. "මෙන්න, මේක අරගනින්" ඔහු බුදුන්ට අවමන් කරමින් කෑගැසීය.

සැණෙන් මුළු කඩ වීදියම කම්පනයට පත්වී ගියා සේ විය. බුදුන් මේ ක්‍රියාවට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි දැකබලා ගනු රිසි වූ සෙනග එතැන වටවී බලා සිටියහ. එතුමන් කිසිත් නොකියා මේ වෙළඳ සල හැර යනු ඇතැයි ඔවුන් සිතූ නමුත් සිදු වූයේ අනෙකකි. සිය පාත්‍රය දෙස බැලූ බුදුන් එය ගෙන මුනින් අතට නැමුවේය. පාත්‍රය තුළ තිබූ පිළුණු ආහාර වෙළඳසැල ඉදිරිපිට සීසීකඩ විසිරුණි.

ඉන්පසු එතුමන් කඩ හිමියා දෙස බලා මෙසේ විමසීය.

"කෙනෙක් ඔබට යමක් දෙනවා නම්, ඒ දේ ඔබ බාර ගන්නෙ නැති නම්, ඒ දේ අයිති වෙන්නෙ කාට ද?"

"දුන්නු කෙනාටම වෙන්න ඕන මම හිතන්නෙ.." කඩ හිමියා මඳක් විපිළිසර වී පැවසී ය. 

බුදුන් මඳ සිනාවක් පා මෙසේ කී ය.

"හරියටම හරි, ඔබේ වෛරය මම බාරගන්නෙ නෑ. ඒක අයිති ඔබටම යි"

මෙසේ පවසා බුදුන් වහන්සේ පැමිණි විලසම ශාන්තව එතැනින් පිටවී ගියේ ය.

.................

චිත්තවේගමය නිදහස

බුදුන් වහන්සේ මෙතැනදී පෙන්වා දෙනුයේ සන්සුන් බව පමණක් නොවේ, ස්වාධිපත්‍යය යි.

අනෙක් අය ඔබට දමා ගසනා දේ ඔබ රැගෙන යා යුතු නැත.

සෑම අපහාසයකටම ඔබ පිළිතුරු බැඳිය යුතු නැත, සෑම හැඟුමක් ම නිවැරදි කරන්නට උත්සාහ කළ යුතු නැත, සෑම කුණාටුවක්ම ඔබ තුළට උරාගත යුතු නැත.

ඔබ අහසකි.

වෛරයට ඔබ පසු කරයන්නට ඉඩ දෙන්නට, ශෝකයට ඔබ පසු කර යන්න ඉඩ දෙන්න.

නින්දාවන්ට සේම ප්‍රශංසාවන්ට ඔබ පසු කර යන්න ඉඩ දෙන්න.

කිසිවක රැඳී නොසිටින්න. හිස් පාත්‍රය සේ පවතින්න.

චිත්තවේගමය නිදහස නම් මෙයයි.

චිත්තවේග සමග සටන් වැදීම නොව, ඒව ඔබ නොවන බව තේරුම් ගැනීමයි.

චිත්තවේග පැමිණ ආපසු නික්ම යයි .

ඔබ පවතියි.


~ Translated from the facebook page "Galastic Federation of Light"




Monday, July 14, 2025

දේවල් පුද්ගලිකව බාර නොගන්නේ කෙසේ ද?

දේශක Frederik Imbo විසින් සිදුකරන ලද How not to take things personally? TED talk කතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

සුබ සැන්දෑවක් හැමකෙනෙකුටම, හැමෝම හොඳින් නේද... නියමයි..


අවුරුද්දකට කලින් මට පාපන්දු තරග විනිශ්චයකාරවරයෙක් වෙන්න ඕන වුණා. සල්ලි හින්ද නෙමේ ඇත්තටම. කොහොමත් ඒකට හොඳ ගාණක් හම්බවෙන්නෙත් නෑ. එක තරගෙකට යුරෝ විස්සයි. මම එහෙම තීරණේ කෙරුවේ හේතු දෙකක් හින්දයි. පළවෙනි එක, ඒක ශරීර සෞඛ්‍යට හොඳයි. දෙවනි එක, මට ඕන වුණා දේවල් පුද්ගලිකව බාර නොගෙන ඉන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න. ඔයාල හිතනව ඇති තරග විනිශ්චයකාරයෙක් වෙන එක මේ කාරණේ ඉගෙන ගන්න තියන හොඳම විදිහක් කියලා, එහෙම නේ ද? මොකද තරගෙ නරඹන අය හැම තිස්සෙම කාට හරි බනින්න බලාගෙන ඉන්නෙ. මම තමයි ගොඩක් වෙලාවට බැනුම් අහගන්න කෙනා. ඉතින් මට ඕන වුණා කොහොමද මේවා පුද්ගලිකව බාර නොගෙන ඉන්නෙ කියලා ඉගෙන ගන්න. මොකද මම ඒක හින්දා සෑහෙන පීඩා විඳලා තියන නිසා. උදාහරණ විදිහට මම පාර අවට මොකක් හරි තැනක් හරියට හොයාගන්න ඕන හින්දා හෙමින් වාහනේ එළවගෙන යනකොට මට දැනෙනවා පිටිපස්සෙ එන කෙනා කලබල කරන බව. එයාල මට හෝන් ගහනවා. එතකොට මම ඒක පුද්ගලිකව බාර ගන්නවා. මම එහෙම කරන්න ඕන නෑ. නමුත් ඒක එහෙම වෙනවා. මම ප්‍රසිද්ධ කථිකයෙක්. මම ඒක හරි කැමැත්තෙන් කරන දෙයක්. මම කතා කරද්දී කවුරුහරි මට අවධානය දෙන්නෙ නෑ කියල දැනුණාම මම ඒක පුද්ගලිකව බාරගන්නවා. ඒත් දැන් මම එහෙම කරන්නෙ නෑ. ඒ නිසා ඔයාලට පුළුවන් බය නැතුව අතේ තියන ෆෝන් එක දිහා බලාගෙන ඉන්න. ඒත් කොහොමද මම එහෙම කරන්නේ? ඒකට මට තියනව පොඩි ක්‍රමයක්. අද මම ඔයාලත් එක්ක ඒක බෙදාගන්නයි යන්නෙ.


හිතන්න ඔයා යාළුවෙකුට කතා කරනව චිත්‍රපටියක් බලන්න යන්න. එයා කියනව. "අද මට බෑ, මං වැඩ" කියලා. ඒත් ඔයා දකිනවා ඒ යාළුවාම එදා  පාටියකට ගිය ෆොටෝ එකක් සමාජ මාධ්‍යයේ දාල තියනවා. හිතන්න ඔයා රස්සාව ඇතුළේ අමාරු ප්‍රොජෙක්ට් එකක වැඩ කරනවා. අවසානෙ බොහොම හොඳ ප්‍රතිඵලයක් ඔයාට ඒකෙන් ලැබෙනවා. ඒත් ඔයා වැඩ කරන තැන ඉන්න අනිත් අය කරන්නෙ ඒවයෙ අඩුපාඩු හොයන එක. ඉතින් ඔයා ගෙදර ඇවිල්ල ගෙදර අයත් එක්ක ඔයාට වෙච්ච මේ අවුල් වැඩේ ගැන කතා කරනවා. ඒත් කවුරුත් ඔයාට ඇහුම්කන් දෙන්න ලෑස්ති නෑ. දැන් කවුද මේ දේවල් පුද්ගලිකව බාර ගන්නෙ? ඔව් අපි හැමෝම එහෙම කරනවා. ඒත් ඇයි? 


කවුරු හරි මොකක් හරි දෙයක් කළාම ඒවයින් අපිට රිදෙනවා. අපි හිතනවා අනිත් මනුස්සයා වැරදියි කියලා. මට දැනෙන දේට වගකියන්න ඕන එයා කියලා. එයාට තමා වැරැද්ද පටවන්න ඕනා. පොඩ්ඩක් ඉන්න. කවුද එහෙම කියන්නේ? කවුද අපේ ඇතුළාන්තයේ ඉඳන් මේ කතා කරන්නේ? ඒ අපේ ඊගෝ එක. අපේ මමත්වය. අපේ මමත්වය හිතනවා අනිත් අය අපිට වටිනාකමක් දෙන්න ඕනා කියලා. මමත්වය කැමති නෑ විවේචනවලට ලක්වෙන්න. අපොයි නෑ. එයාට ඕනා අගය කිරීම පමණයි. "මම තමයි හැමතිස්සෙම හරි" ඒකද ඔයාට ඕන? ඔයාට ඕන නිවැරදි කෙනා වෙන්න? මමත්වය බලගතු වෙද්දි මට සිද්ද වෙන්නේ මුළු දවසම සටන් කරන්න. මම මුළු ලෝකයත් එක්කම අරගලයක පැටලිලා ඉන්නෙ. ඒක මගේ ශක්තිය උරාගන්නවා. දේවල් පුද්ගලිකව බාර නොගත්තා නම් මෙච්චර කරදරයක් නෑ නේද? මොකද එතකොට ඔයා කිසි කෙනෙක් මත රඳාපවතින්නෑ. ඔයා නිදහස්. ඔයාට ලොකු සාමකාමී බවක් දැනෙනව. මොකද එතකොට ඔයාව කේන්ති ගස්වන දාහක් දේවල් එක්ක සටන් කරමින් ඉන්නව වෙනුවට ඔයාගේ ශක්තිය වඩා යහපත් දෙයක් වෙනුවෙන් වැය කරන්න පුළුවන්. 


එතකොට ප්‍රශ්නෙ තමා ඔයාට ඕන නිවැරදි වෙන්න ද? ඔයාට ඕන සතුටු වෙන්න ද? මං දන්නව සමහරු හිතනව මම නිවැරදි වෙලා සතුටු වෙනව කියලා. එහෙනම් ඔයා කොහොමද ඒක කරන්නෙ? කොහොමද දේවල් පුද්ගලිකව බාර නොගෙන සතුටු වෙන්නෙ? මේකට ක්‍රම දෙකක් තියනව. පළවෙනි එක. "ඒක මම ගැන නොවෙයි" කියලා හිතන්න. මොකක්ද මේකෙ තේරුම? මම දේවල් පුද්ගලිකව බාරගන්න කොට මම හිතනව ඒ ඔක්කොම වෙන්නෙ මං හින්දයි කියලා. මම කතාව පවත්වද්දී කවුරු හරි ෆෝන් එක දිහා බලනව නම් ඒකෙන් මට රිදෙනවා. මම හිතනවා, "මේ බලන්න, මම ලොකු මහන්සියක් දරලයි මේ කතාවට සූදානම් වුණේ, පොඩ්ඩක් මට ගරුකරන්න" කියලා, මම හිතන්නේ "මාව" මුල් කරගෙන. ඒත් ඇත්තටම ඒක මං ගැන නොවෙයි. මම අනිත් කෙනාගේ පැත්තෙන් හිතුව නම්, ඇයි එයා ෆෝන් එක දිහා බලන්නෙ? එයාට මග බලාගෙන හිටපු වැදගත් මැසේජ් එක්ක ආව වෙන්න පුළුවන්. නැත්නම් මම කතා කරන දේවල්වලට එයා ආස නැති වෙන්න පුළුවන්. නැත්නම් ඒකෙ අනික් පැත්ත, මම කතා කරන්නෙ එයා ගොඩක් ආස දෙයක් නිසා එයා ඒක ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්නයි හදන්නෙ. මම මගේ අවධානය "මම" කියන තැන ඉදන් "අපි" ට වෙනස් කරගන්නයි ඕන කරන්නෙ. එතකොට මම ඒක මගේ කරගන්නෙ නෑ. මම අනිත් කෙනාගේ අරමුණ තේරුම් ගන්න උත්සාහ කරනව නම්, ඒක බාධකයකට වඩා අවබෝධයක් බවට පත් කරගන්න මට පුළුවන් කම ලැබෙනවා. මේක තමයි දේවල් පුද්ගලිකව බාර නොගැනීමේ පළමුවෙනි ක්‍රමය. අනික් පුද්ගලයාගේ අරමුණ තේරුම් ගැනීම. කවුරු හරි ඔයාට කලබලෙන් හෝන් ගහනව නම් ඒ කෙනා හදිස්සියක ඉන්න හින්දා, ඒකට ඔයාට කරන්න දෙයක් නෑ. 


පේනවනෙ, ඒක හරිම ලේසියි..... කියන්න, කරන්න ගියාම එච්චර ලේසි නෑ. හරි අමාරුයි. ඔයාලට අදහසක් තියනවද එක දවසකට අපේ මොළයේ කොච්චර සිතුවිලි පහල වෙනවද කියලා? 50 000 ක්! මේවයින් ධනාත්මක ඒව කොච්චරක් තියනව කියල හිතාගන්න පුළුවන් ද? 10 000 යි. ඒ කියන්නේ අපි හිතන දේවල් වලින් 80% ක්ම ඍනාත්මක ඒව. සෑහෙන ගොඩක් නේද. ඔයාගෙ යාළුවො දෙන්නෙක් කතා කර කර ඉන්නව ඔයා දකිනවා, ඊට පස්සෙ ඒ දෙන්නා ඔයා දිහා බලලා හිනා වෙනවා. ඔයා හිතනවා මං ගැන මොකක් හරි ඕපදූපයක් කියල තමා හිනා වුණේ කියලා. ඔයාව නිවැරදි කරගෙන, "පොඩ්ඩක් ඉන්න එයාලා කතා කරකර හිටියේ මොකක් ගැන ද කියලා මම දන්නෙ නෑ, මට අදාළම නැති දෙයක් වෙන්න පුළුවන් සමහර විට" කියලා හිතන්න ලොකු උත්සාහයක් දරන්න ඕන. මේ විදිහට හිතන්න හොඳ පුහුණුවක් වගේම හොඳ සංයමයක් ඕන. ඒ නිසා තමයි මම තරග විනිශ්චයකාර වරයෙක් වුණේ. මගේ මොළයට දේවල් පුද්ගලිකව බාර නොගන්න හැටි පුරුදු කරන්න. තරගයකට පෙර සූදානම් වෙද්දි මම මගේ මනසට මෙහෙම කියනව. "ෆ්‍රෙඩ්‍රික්, ඔයා ගන්න සමහර තීරණ වලට ඒ අය එකග නොවේවි, එයාලා ඔයාට නරක දේවල් කියලා බනියි, ෆ්‍රෙඩ්‍රික්, මේ කිසි දෙයක් පුද්ගලිකව බාරගන්න එපා. ඒ මොනවත් මං ගැන කියන දේවල් නොවේ, එයාලට නිවැරදි වෙන්න ඕන වෙලා තියනවා. මොනා වුණත් එයාලගෙ ටීම් එක දිනන්න ඕන කියල එයාලා හිතනව. එච්චරයි" පේනවනෙ, මම අනෙකාගෙ අරමුණ දිහා බැලුවාම ඒ කිසි දෙයක් පුද්ගලිකව බාරගන්න උවමනා නැහැ. තරග බිමේදි මෙහෙම හිතලා වැඩ කරන එක මට ලොකු පහසුවක් වුණා. නමුත් අවාසනාවකට වගේ හැමවෙලාවෙම නෙවෙයි. 


සමහර වෙලාවට තරග මැද්දේ නරඹන්නන් මට කියන ඒවා තදින්ම මගේ හිතට වදිනවා. "තමුසෙ මහ කමකට නැති එකෙක්, ෆුට්බෝල් නෙවෙයි ඔහේව හරියන්නෙ මාලු බාන්න" කියනවා. එයාල හරි වෙන්නත් පුළුවන්. මම අරගෙන තියෙන්නෙ වැරදි තීරණයක් වෙන්න පුළුවන්. අවංකවම මට ගොඩක් වෙලාවට එහෙම තමා දැනෙන්නේ. මම මහ පරාජිතයෙක් කියලයි හිතෙන්නේ. ඔයාලට පේනවනේ, හැම දේකම තවත් පැත්තක් තියනවා. පළමු ක්‍රමය, "ඒක මම ගැන නොවෙයි" කියලා හිතන එක සාර්ථක නොවෙන වෙලාවක් එනවා. එහෙනම් ඒ ඇත්තටම මං ගැන තමයි. එතකොට මට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් මාවම ප්‍රශ්න කරගන්න වෙනවා. අධුනික විනිශ්චයකාරවරයෙක් විදිහට මට තවමත් මහ අනාරක්ෂිත බවක් දැනෙනවා. විශේෂයෙන්ම මම කවදාවත් පාපන්දු සෙල්ලම් කරල නෑ. එතකොට ඒක මං ගැන තමයි. මගේ අනාරක්ෂිත බව ගැනම තමයි. මට මං ගැනම සැක සංකා ඇති වීම ගැනම තමයි. මම තවමත් පිළිගන්න අකමැති මගේම දුර්වලතාවයක් ගැනම තමයි.


අනෙක් රියදුරා හෝන් එක ගහන්නේ එයාට හදිස්සි නිසා වුණත් සමහර විට මම තවමත් ඒක පුද්ගලිකව බාරගෙන මගෙන්ම ප්‍රශ්න කර ගන්න ඕන, මම වාහනේ එළවනවා හෙමින් වැඩිද? ඒක ඇත්ත නම් මට ඒක දැනෙනවා. මම කාටහරි කිව්වොත් මහත්මයා ඔබ දොඩම් ගෙඩියක් කියලා එයා ඒක පුද්ගලිකව බාර ගනී ද? නෑ නෙ, මොකද එයා දොඩම් ගෙඩියක් නොවෙයි කියලා එයා දන්නවා. ඒත් කවුරුහරි කිව්වොත් "ෆ්‍රෙඩ්‍රික්, ඔයා හරි ආත්මාර්ථකාමියි" කියලා, ආහ්, ඒක මම බාරගන්නවා. මොකද අවංකවම කියනව නම්, මම දන්නවා ඒකෙ යම් ඇත්තක් නැතුවාම නොවෙයි කියලා.  මම දන්නවා මම හැම වෙලාවෙම අනෙක් මිනිස්සුන්ගේ උවමනාවන් ගැන කරදර වෙන්නෙ නෑ කියලා. ඔයා විවේචනයට ලක්වෙද්දී ඒකෙන් ඔයාට රිදෙනවා නම් සමහර විට ඔයාගේ ළමා කාලය එක්ක මේකට සම්බන්දයක් තියනවා වෙන්න ලොකු ඉඩකඩක් තියනවා. සමහර විට ළමයෙක් විදිහට ඔයා ඒ තරම් දක්ෂ නොවුණා වෙන්න පුළුවන්, ඔයා ළකුණු 10 න් 9 ක් අරන් ආවම ඒගොල්ල අහනවා ඇයි 10 ම ගන්න බැරිවුණේ කියලා. පේනවනේ, අපිට දෙයක් පුද්ගලිකව බාරගන්න පුළුවන් වෙන්නේ ඒකත් එක්ක අපේ තියන සම්බන්ධකම එක්ක. ඔයා ඔයා ගැනම සහකම්පනයෙන් බලන්න ඕන වෙන්නේ එතකොටයි. සමහර වෙලාවකදි මට අවධානය ඕන, ඒක නොලැබෙනව නම් මට දුකයි. ඒ වෙලාවෙදි කතා කරන්න, ඔයාට දැනෙන දේ අනෙකාට කියන්න, "මේ මම ඔයාට කතා කරන්නෙ, ඇයි ඔයා මගෙ කතාවට උනන්දුවක් නෑ වගේ ෆෝන් එක දිහා බලන් ඉන්නෙ? එහෙම කරන එක හරි නෑ නේ". අනෙකාට වරද පටවන්නෙ නැතුව දැනෙන දේ කියන්න. එතකොට අනෙකාට ඔයාව තේරුම්ගන්න තියන ඉඩ වැඩි වෙනවා. 


අවසාන වශයෙන් මං කියන්නම් - කොහොමද දේවල් පුද්ගලිකව බාර නොගන්නේ? එක, අනෙකාගෙ අරමුණ තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒකත් සාරථක නැත් නම්, තමන් දිහාම බලන්න. ඔයා ගැනම සංවේදී වෙලා ඔයා වෙනුවෙන් කථා කරන්න. නෝනාවරුනි මහත්වරුනි, මම හිතනව ඔයාලා මං මේ කියපු කාරණා ටික පුද්ගලිකව බාරගන්න ඇති කියලා. පාපන්දු තරග විනිශ්චය කාරවරයෙක් විදිහට, මම ඒකෙන් මුදල් ටිකක් හොයාගත්තා තමයි, ඒ වුණත් දේවල් පුද්ගලිකව බාර නොගැනීම වෙනුවෙන් මේ යුරෝ විස්සේ නෝට්ටුව හම්බ කරගන්න කැමති කවුද? මම මේ විස්සෙ නෝට්ටුව මිටිය හපලා පාගලා චප්ප කරලා දානව තාමත් ඔයාලට ඒක ඕන ද? ඇයි ඔයාලට ඒක ඕන, මොකද තාමත් ඒක යුරෝ විස්සම ම තමයි. ඒ වගේ මිනිස්සු ඔයාට පහර දෙයි, විවේචනය කරයි, ගණංනොගෙන ඉදියි, ඒත් එයාලා මොන දේ කළත් ඒ කිසි දේකින් ඔයාගේ වටිනා කම අඩු වෙන්නේ නෑ.


ස්තුතියි.


~ Translated by Hashan Randika Dias




Monday, June 23, 2025

සින්දු දෙකක් ගැන යමක්

 මේ දවස්වල සෑහෙන දෙනා කතාබහ කරන මම කැමති සින්දු දෙකක් තියනව සනුකගේ "ඉතින් මම ඉන්නවා" සහ ගයාන්ගෙ " කවුරුත් ලොකු නෑ". මියුසික් පැත්තෙන් සනුකගෙ වැඩේ පොඩ්ඩක් ඉස්සරහින් තිබ්බත් මං personally මේ සින්දු දෙකටම බොහොම කැමතියි. මේ සින්දු දෙකම අරගෙන බැලුවොත් ප්‍රධානවශයෙන් ම චරිත දෙකක ආත්ම කථනයන් විදිහටයි ලියවිලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ දෙන්නම කියන්නෙ එයාලගෙ ජිවිතේ ගැන තමන්ම ප්‍රකාශ කරන ආකාරයට.


ගයාන්ගෙ සින්දුවෙ නම් මේ චරිතයට ඉන්න සහ හිටපු යාලුවො, ප්‍රේම සම්බන්ධතා ගැන ලියවිලා තියනව. එයා කියනව එයා කාටවත් වදයක් වෙන්නෑ, කවුරුත් එයාට ලොකුත් නෑ, තමන්ගෙ පාඩුවෙ සින්දුවක් කියන් ආතල් එකෙ ඉන්නව කියල. ඒක වරදක් නෑ නෙ. එහෙම ඉන්න පුලුවන් නම් හොඳයි තමා.


සනුක ගෙ සින්දුවෙ තියෙන්නෙ ඊට හාත්පසින් වෙනස් වයිබ් එකක්. එයා වෙනත් කිසි දෙයක් කියන්නෙ නෑ. තමන්ට වුණු එක අත්දැකීමක් ගැනයි එයා කියන්නෙ. එතන ඉන්නවා "නුඹ" කියල හඳුන්වන එක් විශේෂ කෙනෙක්. එයාගෙ සින්දුව ලියවෙන්නෙ මේ "නුඹ" කියන චරිතය කේන්ද්‍ර කරගෙන. "කුණාටුව" "මාරුතේ" වගේ යෙදුම්වලින් මේ සින්දුවට අදාළ කතාවේ අවශේෂ චරිත ටිකක් සාහිත්‍යාත්මකව නිරූපණය වෙනවා.


වීඩියො එක පැත්තකින් තියලා lyrics විතරක් කියවද්දි සනුකගෙ සින්දුවේ ඉන්නව ආදරයක් අහිමි වීමේ විරහ දුක ජීවිතේ පුරා විඳින මනුස්සයෙක්. 


සදාතන පෙම් කතා අතරේ

අපේ පෙම මැකී යයි කතරේ

නුඹේ සුවඳින් පිරි හසරේ

හමා එමි හැම භවේ සසරේ


අනේ මං ආදරෙන් ඇදහූ

රුවින් රුදු වේදනා කැඳවූ...


සදාතන ප්‍රේමයක් කියලා යමක් ලෝකෙ තියනවද කියන දේ ප්‍රශ්නාර්ථයක් වුණත් මේ කියන්නෙ කිසිමාකාර කූටප්‍රාප්තියකට ලඟා නොවී අනපේක්ෂිතව නිමා කරන්න සිද්ද වෙච්ච ප්‍රේමයක් ගැන. ඒ නිසා ඔහු විඳින රිදුම් පරිමාණය ගැන.


නමුත් ගයාන් ගෙ කතාව මේකෙ සම්පූර්ණ අනික් පැත්ත. එයා කියන්නෙ එයා බඳින්නෙ නෑ ළමයි හදන්නෑ, එයාගෙ නමට ළමයි කොහෙ ඉන්නවද දන්නෑ, අද ඉන්න අය හෙට ළඟ නෑ වගෙ කතාවක්. බැලු බැල්මට එයා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් බාරගන්න කෙනෙක්. එයා තමන්ගෙ ජීවිතේ ගැන මෙහෙම කියද්දි අපිවත් ඒ පැවැත්මට ආසක්ත වෙනවා. එත් එයාට ජීවිතේ මොකක්ම හරි දුකක් බරක් පතලක් නොදැනෙනව වෙන්න බෑ. මොකද එයා මනුස්සයෙක් නෙ. හැබැයි එයා දුමක් ඇදලා, යාලුවො එක්ක ෂොට් එකක් දාලා, සමාජෙට බැහැලා ඉන්න ජීවිත රටාව ඒ දුක තුනී කරන coping mechanism එකක් විදිහට වැඩ කරනවා කියල මම හිතනව. ගයාන් මේ සින්දුව හදල තියන regge පැත්තට බර style එකත් එයාගෙ පැවැත්මෙ තියන සැහැල්ලු බව දැනෙනව.


අනික් අතින් සනුකගේ සින්දුව ඇතුළේ ඉන්න මනුස්සයාගෙ කතාව ඇහුවාම හිතේ මැවෙන්නේ අර තරම් වැඩි සමාජ ඇසුරකට යන්නෙ නැති, නිහඬ සහ දේවල් ගැන ටිකක් වැඩිපුර සංවේදී වෙන, ටිකක් වැඩිපුර හිතන කෙනෙකුව. මොකද ආදරයක් අහිමිවීම කියන අත්දැකීම එයා බාර ගන්නෙ බොහොම බරසාර විදිහට. එයා ඒ ගැන කියන්න භාවිත කරල තියන භාෂාවත් ව්‍යංගාර්ථ ගොඩක් සැඟවුණු සාහිත්‍යමය එකක්. සනුක මේකට දාල තියන ඉන්දියානු රාගධාරී සංගීතයට බර මෙලඩි එකෙනුත් ඒ සංවේගදායක හැඟීම තව තීව්‍ර කරවනවා. එයා කෙනෙකුට මුළු හදවතින් ම, අවංකව ආදරේ කරන්න ඇති. මොකක් හරි හේතුවක් නිසා එයා වෙනත් කෙනෙකු එක්ක විවාහ වෙලා මේ තරුණයාව හැරදමා යන්න ඇති. ඒ අත්දැකීම නිසා මේ සින්දු ඉන්න මනුස්සයා සැපට දුක්විඳිනවා. දවසක සමහර විට මේ මනුස්සයා වෙන කෙනෙකුට ආදරේ කරලා විවාහ වේවි. ඒත් ජීවිතේ තියන තුරු අර මුල් පෙම ගැන මතකය හදේ දරා ගෙන සහ ඇයගෙන් ඈත්ව ඉන්න ඔහු තීරණේ කරනවා. "සඳේ මම ඉන්නවා, නුඹේ හඬ නෑසෙනා මානේ".


යම් කෙනෙක් හින්දා නැත්නම් යම් දෙයක් නිසා අපිට කවද හරි දුකක් දැනෙන්නේ ඒ පුද්ගලයා හෝ ඒ දේ ගැන මොකක් හරි වටිනා කමක් අපිට තිබිලා තියන හින්දා. මොකද අපිට වටින්නැති කෙනෙක් ගැන දුකක් දැනෙන්න හේතුවක් නෑ නෙ. ආදරයක් නිසා තදබල දුකක් දැනෙනව නම් කෙනෙකුට ඒ ආදරේ ජීවිතේ ඇතුලෙ ගැඹුරු තැනකට වැදිලා තියෙන්න ඕන. ආදරේ සහ දුක අතර තියෙන්නෙ එහෙම බැලුවම අනුලෝම සහසම්බන්ධතාවයක්.


මිනිස්සු මේ දුක බාරගන්න විදිහ වෙනස්. දුකත් එක්ක ආපහු recover වෙන විදිහ වෙනස්. මේ සින්දු දෙක දිහා සංසන්දනාත්මව බැලුවාම පේන්නෙ වෙනස් ජීවිත මාර්ග දෙකක ඉන්න පිරිමි දෙන්නෙක්. ජීවිතේ ප්‍රශ්න එක්ක, දුක එක්ක මේ දෙන්නා ගනුදෙනු කරන්නෙ සම්පූර්ණ වෙනස් විදි දෙකකට. ඒ මේ දෙන්නා ජීවිතේ ඇතුළේ පුරුදු වෙලා තියන හැටියට. සනුක ගෙ සින්දුවෙ ඉන්න අතිසංවේදී සීරියස් මනුස්සයා සහ ගයාන් ගෙ සින්දුවෙ වගේ චිල් එකේ ඉන්න ආතල් මනුස්සයා කියන මේ දෙන්න බැලුබැල්මට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් වුණත් අඩුවැඩි වශයෙන් අපි හැමෝම ඇතුළේ මේ දෙන්නම ඉන්නව. ජීවිතේට යම් ගැඹුරක් අර්ථයක් අවශ්‍ය වුණත් හැම තිස්සේම පමණට වඩා හිතන්න ගියොත් ඒ ජීවිතේ සෑහෙන පීඩාකාරි එකක් බවට පත්වෙනව, අර සැහැල්ලුව නිදහසත් අපිට ඕන වෙන්නෙ ඒ හින්ද. මොනාවුණත්, ගොඩක් වෙලාවට මෑත කාලීනව හැදෙන සින්දු වලට ඒ තරම් ලොකු කැමත්තක් ඇති නොවුණත් මේ සින්දු දෙක නම් ආයෙ ආයෙම වුණත් අහන්න හිතෙන මට්ටමක තියන බව කියන්න ඕන.




Saturday, June 21, 2025

ඇමරිකානු විරාගය - Detachment (2011)

 මාටින් වික්‍රමසිංහ මහත්මයා විරාගය නවකතාව රචනා කරන්නේ අරවින්ද ජයසේන නම් චරිතය මූලික කරගෙන. අරවින්ද බාහිර ලෝකයට සම්බන්ධ දේවල් වලට ඒ තරම් උනන්දු නැති කෙනෙක්. තමන්ගේ ඇතුළු ආත්මයටම බර වුණු හිතක් තියෙන නිහඬ හුදෙකලා දිවිපෙවෙතක් ඇති අමුතු චරිතයක්. අරවින්ද කියන නමම ඔහුගේ පැවැත්ම ගැන ප්‍රබලව සංකේතවත් කරනවා. අරවින්ද කියන්නේ නෙළුමට, නෙළුම මඩෙන් ඉපදුණත් මඩෙන් සාරය උරාගෙන මඩේ නොගෑවී සුවඳම පතුරුවනවා මිස තමන් දූෂිත බවට පත් වෙන්නෙ නෑ. සමානකම් වගේම අසමාන වෙන තැන් තිබුණත්, අරවින්ද වැනි විරාගික තරුණයෙක් වෙන Henry Barthes නම් චරිතය මුල් කරගෙනයි 2011 අවුරුද්දේ Detachment චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. අරවින්ද ටත් හෙන්රි බාත් ටත් පොදු සාධකයක් තිබුණා, ඒ තමා Detachment. 


Detachment කියන්නේ වචනාර්ථයෙන් ගත්තම Attachment වල විරුද්ධ පැත්ත. එනම් වෙන්වීම්, ඈත් වීම, නොබැඳී සිටීම. දාර්ශනික වශයෙන් Detachment යනුවෙන් හැඳින්වෙන්නේ ලෞකික වස්තු, මිනිස්සු, ගැහැනු නැත්නම් ලෝකයට විෂය වෙන කාරණා වලට තදින් නොඇලී පැවතීමට. බටහිර ප්‍රධාන වශයෙන් stoic දර්ශනයේදි සරල අල්පේච්ඡ දිවි පැවැත්ම ගැන කතා කරනවා. සරල නමුත් විනයානුකූල සහ අර්ථවත් ජීවිතය සතුට සැනසුම ළඟා කරදෙන බවට stoic දර්ශනයේ ඉගැන්වෙනවා. පසුව බටහිර බිහිවී ලෝකයේ ප්‍රචලිත වුණු කිතුණු දහමේත් මේ අදහස් අන්තර්ගත වෙනවා. පෙරදිග ප්‍රධාන දාර්ශනික ප්‍රවාහයන් වෙන හින්දු දහම, තාවෝවාදය සහ බුදු දහමේත් මේ නොඇලුණු ජීවිතයක වටිනා කම කියා දෙනවා. විශේෂයෙන් බුද්ධ දර්ශනයෙදී තවත් ගැඹුරට මේ කාරණා විග්‍රහ කරමින්, සියළු දුකට හේතු වන භවය සකස් වීමට මුල් හේතුව විදිහට උපාදානය (Attachment) හෙවත් ලෞකිකත්වයට ඇති තෘෂ්ණාව බව බුදුන් වහන්සේ කියා දෙනවා. බුදු දහමට අනුව පරම විමුක්තිය එනම් නිර්වාණය ලබා ගැනීමේ මාර්ගය වැටිලා තියෙන්නෙ තෘෂ්ණාවෙන් මිදීම හරහා බවයි බුදුන් දේශනා කරන්නෙ.


Detachment චිත්‍රපටියේ එන Henry Barthes අතිරේක ගුරුවරයෙක් විදිහට රැකියාවක් කරන කෙනෙක්. එතනදිත් නිරූපිත වෙන්නේ ඔහුගේ අනිස්ථිර ජීවිත පැවැත්මයි. ඔහු කලින් කලට විවිධ පාසල් වල ගුරුවරුන් පුරප්පාඩු වන විට කෙටි කාල සීමාවකට ඉගැන්වීමේ කටයුතු කරනවා. චිත්‍රපටියේ දැකගන්න ලැබෙන ආකාරයට ඔහුට ස්ථිර වාසස්ථානයක් නැහැ. ඔහු උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය. Detachment චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙන්නේ මේ විදිහට එක පාසලක මාසයක වගේ කාලයක ගුරුවරයෙකු විදිහට වැඩ කරද්දී Henry Barthes මුහුණ දෙන්න සිද්දවෙන අත්දැකීම්. මුල පටන් අග දක්වාම චිත්‍රපටිය නිමැවිලා තියෙන්නේ මහා සංවේගදායක සිදුවීම් මාලාවකින්. Henry Barthes ඒ සියළු දේ මැද පවතිනවා. සමහර විට ජීවිතේ අතහරින්න දහසක් හේතු තිබුණත් ඔහු නොවැටී ඉන්නවා. බාහිර ලෝකයේ තියෙන පීඩාව විසකුරු විදිහට නැවත ලෝකයට මුදාහරින්නෙක් වෙනවා වෙනුවට ඔහු ඒ සියලු දේ විඳ දරා ගෙන ජීවත් වෙනවා. 


චිත්‍රපටිය ඇතුළෙදී එක අතකින් ධනවාදය සහ තරඟකාරී බව මුල්කරගත්ත ඇමරිකානු සංස්කෘතියේ තියෙන හිස්කම සහ වල්මත් වුණු තාරුණ්‍ය අපි දකිනවා. Henry ට උගන්වන්න ලැබෙන පන්තියේ ශිෂ්‍යයින් සාහිත්‍ය ඉගෙන ගන්නා පිරිසක් වුණත් ඒ අය දිහා බැලුවාම පෙනෙන්නේ අදාළ විෂයට තියා කිසිම විදිහක දැනුමක් ලබාගන්න උනන්දුවක් නැති කාණ්ඩයක් විදිහට. ඔවුන්ට අනෙකා ගැන කිසිම සහකම්පනයක් ඇති බවක් පෙනෙන්නේත් නැහැ. ගුරුවරයෙකු ගැන ගරුත්වක් ඔවුන් ළඟ නැහැ. ශිෂ්‍යයන්ට තියෙන අසීමිත නිදහස සහ අයිතිවාසිකම් නිසා ඔවුන්ගේ වරදකටවත් එරෙහි වෙන්නෙ ගුරුවරුන්ට හැකියාවක් නැහැ. විශේෂයෙන් ඇමරිකානු 'තුවක්කු සංස්කෘතිය" මේ පාසල් දරුදැරියන්ට කරලා තියෙන්නෙ ලොකු විනාසයක්. මේ ශිෂ්‍යයන් අතින් Henry සෑහෙන පීඩාවකට පත්වෙනවා. මෙහෙම තැනකදී ඔහු කියන එක දෙබසක් ඇස් දෙකට කඳුළු ගේන තරම් ප්‍රබලයි.


"I dont' have any feelings you can hurt, ok?"


මේ ළමයින් අතරන් මෙරිඩිත් කියන ගැහැනු ළමයා විශේෂ කෙනෙක්. ඇය අනෙක් ළමයි වගේ හොහික්මුණු චරිතයක් නොවෙයි. ඇය ඉතාම සංවේදී කෙනෙක්. මෙරිඩිත්ගේ ආශාව තියෙන්නේ සිතුවම් සහ ඡායාරූපවලට. නමුත් ඇගේ දෙමාපියන් ඇගේ මේ කුසලතාවන් තේරුම් ගන්නේ නෑ. ඇය කරන්නේ තේරුමක් නැති චිත්‍ර ඇඳිල්ලක් සහ ෆොටෝගැහිල්ලක් බව කියමින් ඇගේ පියා ඈට බැණවදිනවා. මෙය මෙරිඩිත්ව සෑහෙන වේදනාවට පත් කරනවා. සමහර ගතනුගතික දෙමව්පියන් වගේ ඇගේ අම්මටත් තාත්තාටත් වැඩක් ඇති දේවල් විදිහට පෙනෙන්නේ සමහර විට හොද මුදලක් ලැබෙන සමාජේ ලොකු තැනක වැජඹෙන්න පුළුවන් සුදු කරපටි රස්සාවල් පමණක් වෙන්න ඇති. උපත්තියෙන් හොඳ කලා කුසලතාවක් ලැබිලා නමුත් ඔහොම හිතන දෙමාපිය යුවළකගේ දරුවෙක් වෙනවා කියන්නේ ලොකු වේදනාවක් තමයි.


අනෙක් අතින් Henry Barthes තමන්ගේ පන්ති කාමරේ ඉන්නා බහුතර ශිෂ්‍යයන්ට සාපේක්ෂව කොයිතරම් වෙනස්ද කියන කාරණේ පිළිබිඹු වෙනවා. කලිනුත් සඳහන් කළා වගේ මුළු සමාජයක්ම මුදල් පස්සේ තරඟෙට වගේ හතිදාගෙන දිව්වත් Henry ඒ කිසි දෙයක නොඇලී නොගැටී ජීවිතය පවත්වාගෙන යනවා. ගුරුවරයෙක් විදිහට ඔහු කරන්නෙ දරුවන්ට අදාළ විෂය කියා දීලා ජීවිතය සම්බන්ධයෙනුත් නිසි මගපෙන්වන්නෙකු වීම මිස ගුරුකම ඔහුට හුදෙක් තමන්ගේ පුද්ගලික ලාභය දියුණු කර ගැනීමේ මාර්ගයක් නොවෙයි. චිත්‍රපටියෙ තැනින් තැන නිරාවරණය වෙන Henry ගේ ආත්ම කථනයන් ඇතුළෙ ඔහු කියනවා මේ තරුණ ළමයි ගැන වැඩිහිටියන් වශයෙන් ඔවුන්ට තියන වගකීම ගැන. ඒ අතින් Henry කියන්නේ පරමාදර්ශී ගුරු චරිතයක් විදිහට නම් කළ හැකි කෙනෙක්. මේක Henry Barthes අරවින්දගෙන් වෙනස් වෙන එක තැනක්. අරවින්ද තමන් ඇතුළටම හැරුණු චරිතයක් වුණත් Henry ගුරුවරයෙක් විදිහට යම් සමාජ වගකීමක් අරන් වැඩ කරන කෙනෙක්.


Henry විවාහ වුණු කෙනෙකුත් නොවෙයි. ලස්සන සුදු (ලංකාවට අනුව) ගෑනු ළමයෙක්ව කසාද බැඳගෙන, දරුවෙක් දෙන්නෙක් හදලා, වාහනයක් අරන් ගෙයකුත් හදලා ලොකු රස්සාවක් කරගෙන ඉන්න පුළුවන්නම් ඒක තමා මනුස්සයෙකුට ලබන්න පුළුවන් දියුණුව කියලා සමාජෙන් මිනිස්සුන්ගේ ඔළුවලට දාන අච්චුවෙන්, විශේෂයෙන්ම දියුණු වීමේ "ඇමරිකානු සිහිනයෙන්", ගැලවිලා තමන් විශ්වාස කරන යම් අරුතක් වෙනුවෙන් ජීවත්වන කෙනෙක් මේ Henry. ඔහුගේ ජීවිතය ඇතුළේ තියන ආදරය කියන්නේ විවාහය කියන රාමුව ඉක්මවා පවතින පැවැත්මක්. Henry මහමග හමුවෙන ළාබාල වීදි ගණිකාවක් තමන්ගේ ගෙදර ගෙනත් නවත්වාගෙන ඇයව රැකබලා ගන්නවා. නමුත් දවසක ඇයට ඔහුව හැරයන්න වෙන බව ඔහු දන්නවා. මේ ආදරය සතුටු දායක අවසානයකින් කෙළවර නොවෙන බව දැන දැන ම ඇගෙන් කිසිමාකාරයේ අයුතු ප්‍රයෝජනයක් නොගෙන ඔහු ඇයට ආදරය කරනවා. 


Henry Barthes නොබැඳි චරිතයක් වුණත් දෙමව්පියන් සහ පවුල කියන තැනදී ඔහු අසරණ වෙනවා. Henry ගේ පියා කුඩා කාලෙම Henry වත් Henry ගේ අම්මාවත් හැර යනවා. Henry ගේ අම්මාත් ඒ ඉක්මණින්ම දිවිනසා ගන්නවා. Henry ට අවසානෙ ඉතිරි වෙන්නේ සීයා පමණයි. වයසට ගිහින් අබල දුබල වුණු සීයාව සත්කාරක මධ්‍යස්ථානයක නවත්වන්න Henry ට සිද්ධවෙලා තියනවා. නමුත් එතනදිත් සීයාට හරි හමන් සාත්තුවක් ලැබෙන්නෙ නෑ. Henryට සීයා සම්බන්ධව ඒ හැර වෙන කරන්න දෙයකුත් නැහැ. දෙමව්පියන් දෙන්නාම නැතිව ලෝකයේ තනිවුණු මුල් ගැලවුණු ළමා වියක් ගත කරන්න සිද්ධ වීම සමහර විට ඔහුව මේ වගේ ලෞකිකත්වයට තදින් නොඇලුණු චරිතයක් බවට පත් කරන්න ඇති. 


නිතරම දුක් මුසු බව තැවරිච්ච ඇස්දෙකකින් ලෝකය දිහා බලා ඉන්න හෙන්රි බාත් නම් කෙට්ටු කෙසඟ තරුණ ගුරුවරයා ගෙ චරිතය රඟපාන්නේ ගිය අවුරුද්දෙ Brutalist චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්ත Adrien Brody. Henry සහ Adrean කියන්නෙ දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් කියා හිතෙන තරමට ඔහු මේ චරිතය ඇතුළේ ජීවමානයි. අවසානෙදි, එකවරක් හරි මේ මනුස්සයා වැළඳගන්න ඔබට හිතුණොත් මම පුදුම වෙන්නේ නෑ. සිනමා ලෝකය ඇතුළෙ මට මුණගැහුණ සදානුස්මරණීය චරිත අතරේ Henry Barthes ට තැනක් වෙන් වී ඇති බව නම් සහතික වශයෙන් කිවහැකියි.