මම සාමාන්‍යන් tv series බලලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ Episode ගණන් කාලය වෙන්කරගෙන බලන්න ඉඩපාඩුවක් ලැබෙන්න නැති තරම් හින්දා. එහෙම පුලුවන් කමක් තිබුණ කාලෙ Game of Thrones සහ Breaking Bad බැලුව එක ගැන නම් සතුටුයි. මොකද ඔය කාලෙ ඕක මග ඇරුණා නම් බොහොම දුරට ඕව බලන්න ආයෙ නොහිතෙන්න ඉඩ වැඩි නිසා. රූපවාහිනී මාලාවැඩසටහන් ඉතිහාසෙ උඩම තැන කෙසේ වෙතත් අඩුගණනෙ ඒ කිට්ටුවෙන්ම තියන්න පුලුවන් වැඩ ඒවා. මේක ලියන්න හිතුණෙ ඔය ගණයට දාන්න පුලුවන් තවත් වැඩක් පහුගිය කාලෙ බැලූ හින්දා. වාසනාවට මේක කොටස් අටක් පමණක් තියන කුඩා පරිමාණෙ series එකක්. ඒ තමා Mare of Easttown. මං ආසම Crime/ thriller වැඩක් නිසා ආපු දවස්වලම බලන්න ඕන කියල හිතුණත් කොටස් 8 ක්ම බලන්න තියන හින්දා ඒ සිතුවිල්ල එහෙමම යටපත් වෙලා ගියා. Crime/ thriller එකක් වීමට අමතරව පහුවෙලා හරි බලන්න හිතුණෙ Kate Winslet ප්‍රධාන චරිතය කරන නිසා කියල නොකියා ඉන්නම්. ටයිටැනික්වලට පස්සෙ මට බලන්න ලැබුණ එයා උන්නු Sense and Sensibility, Eternal Sunshine of the Spotless Mind, The Reader, Revolutionary Road, The Dressmaker වගේ චිත්‍රපටි නිසා Kate මගේ ලෝකෙ අමතක නොවෙන චරිතයක් බවට පත්වෙලා තිබුණා. ඉතින් එහෙම වෙද්දී Mare of Easttown වගේ වැඩක් මගඇරගෙන බැහැනේ. හැබැයි කොයි විදිහකින් හරි මැරෙන්න කලින් ඕක බලන්න ලැබීම ලොකු දෙයක් කියලා හිතුණෙ අවසන් කොටසත් බලලා ඉවර වුණායින් පස්සෙයි. බලලා ඉවර කරලා මාස ගණනක් ගෙවුණත් තවමත් ඒ සිද්ධිය සහ ඒ වටා උන්නු චරිත මතක ලෝකෙ ඇවිදින අඩි සද්දේ ඇහෙනවා.
Wednesday, February 12, 2025
Mare of Easttown
Mare of Easttown කතාව ගොඩනැගෙන්නේ Easttown නම් කල්පිත ඇමරිකානු ගම් ප්‍රදේශයක් මුල් කරගෙන. Mare නැත්නම් මේරි ඈන් මේ ගමේ පොලිස් ස්ථානයේ පරික්ෂකවරියක් විදිහට වැඩ කරන ගමේම කෙනෙක්. පොඩි වයසෙදිම දරුවෙකුගේ අම්මා කෙනෙක් වුණු Erin කියන ගැහැනු ළමයාව මරා දමලා ගමේම තියන කැලෑරොදක දමා ගිහින් කියලා පොලීසියට දැන ගන්න ලැබෙනවා. මේ පරික්ෂණය බාර වෙන්නේ Mare ට. Mare නැත්නම් මේරි ඈන් Erin ගේ ඝාතන අභිරහස සොයා යෑමයි කොටස් අට පුරාම මේ කතා මාලාවේ දකින්න ලැබෙන්නෙ. Easttown ගමේ ජීවත් වෙන බොහෝ දෙනා එකිනෙකා දන්නා හඳුනන අය. ගමක් වුණාම ඉතින් මිනිස්සු අතරෙ හිතමිත්‍ර සම්බන්ධකම්, ආරවුල්, නොයෙක් හුටපට පිරිච්ච තැනක් නෙ. Easttown කියන්නෙත් එහෙම තැනක් තමා. කොහොම හරි Mare තමයි මේ කතාවේ කේන්ද්‍රය. එයා දරුවෙක් අහිමි වුණ අම්මා කෙනෙක්. නමුත් ඇගේ මව්වත් බව එතනින් අවසන් වෙන්නෙ නෑ. අකාලෙ මිය ගිය ඇගේ පුතාගේ දරුවා නැත්නම් තමන්ගේ මුණුබුරාව ඈ බොහොම ආදරෙන් අරපරිස්සම් කරලා හදාවඩා ගන්නව. දරුවාගේ අම්මා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිතේ අයාලේ යන ගැහැනියක්. Mare දරුවාව ඇයට බාර දෙන්න සූදානම් නැහැ. දරුවෙක් අහිමි වීමේ වේදනාව විඳ දරාගෙන තවත් දරුවෙකුට ජීවිතය දෙන්න උත්සාහ කරන මවක් ඇය, ඒවගේම තවත් වෙලාවකදී පෙම්වතියක්, තවත් වෙලාවකදී රාජකාරිය අතරේ පුද්ගලික අරමුණු ඉස්මතු වීම නිසා රැකියාව අනතුරේ දමා ගත්තත් අභිරහස් මරණයක සුලමුල සොයා යන්න වෙරදරන පොලිස් නිලධාරිනියක්, විශ්වාසවන්ත මිතුරියක් මේ නොයෙක් ආකාරවලින් Mare ව අපි ඉස්සරහා මැවෙනවා. ප්‍රධාන කතාවට සමගාමීව සහ ඊට සම්බන්ධ වෙමින් මේ අතුරු කතා ගලාගෙන යනවා. රහස් පරීක්ෂක කතාවක වුණත් සෑහෙන ලොකු පරාසයක ජීවිත විවරණයක් සිද්ද වෙන ආකාරය දැක ගන්න ලැබෙන්නෙ කලාතුරකින්. Mare of Easttown ඇතුළේ ඒ වැඩේ සිද්ධ වෙනවා. මනුස්ස බැඳීම් වල තියන අසම්මත අඳුරු තැන්, ආදරය පිරුණු ආලෝකවත් තැන් මේ හැම කලාපයක්ම කොටස් 8 කින් හරි අපූරුවට පෙන්වා දෙනවා. මිනිස්සු තුළ යහපත් මානුෂික ගති ගුණාංග තියනව වගේම සමහර තත්ත්වයන් යටතේ තමන්ගේම ක්‍රියාකරකම් සාධාරණීකරණය කරගන්න වාතාවරණයක් ඇතුළේ මිනිස්සු ඒ යහපත් ගුණාංග වලින් බැහැර වෙනවා. කෙනෙකුට "හොඳ" දෙයක් තවත් කෙනෙකුට "නරකට" බලපානවා. හරියට බැලුවොත් මනුස්ස හැසීරීම් ගැන පොදු විනිශ්චයක් දෙන්න හරි අමාරුයි. මේ ජීවන සංකීර්ණතාවන් බොහොම නිර්මාණාත්මකව සහ සියුම්ව ග්‍රහණය කරගන්න නිසා Mare of Easttown පිටපත මේ කතාවේ විශිෂ්ටත්වයට හේතුකාරක වෙනවා.
ඒ වගේම අනෙක් අතින්, සාර්ථක රහස්පරීක්ෂක කතාවක් නම් අවසානෙදි මොකක් හරි අභිරහසක් අනාවරණය වෙන්න ඕන. ඒක මුල පටන්ම කාටවත් හිතා ගන්න බැරි දෙයක් වෙන්නත් ඕන. මේ අතින් Mare of Easttown උපරිම තැනක ඉන්නව කියන්න පුළුවන්. මොකද කතාවේ මූලික අභිරහස Erin මරා දැම්මේ කවුද? කවුරු වුණත් එහෙම කළේ ඇයි? කියන කාරණා හින්දා මුල පටන් මෙන්න මේ අය ඔය අපරාදෙ සිද්ද කරන්න ඇති කියලා ඉඟි ලබා දීලා අවසානෙදි හිතාගන්න අමාරු විදිහට කතාව වෙනස්ම පැත්තකට හැරෙනවා.
එහෙම බැලුවම Crime/ thriller එකක් විදිහට Mare of Easttown පරිපූර්ණයි. Kate Winslet රඟපාන Mare ගේ චරිතය තමයි කතාවේ වැඩි බරක් ඇදගෙන යන්නෙ. මේ වගේ චරිතයක් කරන්න ලැබෙන එක කොයිතරම් ලොකු අභියෝගයක්ද කියන්න ඕන නැහැනෙ. Kate ඒ අභියෝගය ජය ගන්නෙ ඉහළින්ම. මං හිතන්නෙ මම එයාගෙ දැක්ක හොඳම act එකක් මේක. අනෙක් චරිත වලින් ලැබෙන දායකත්වයත් ඒවගේම ඉස්තරම්. Act සහ Script එක ඇරුණම cinematography එකත් මේක සාර්ථක නිර්මාණයක් වෙන්න ලොකු බලපෑමක් කරනව. බලල ඉවර කරලා ටික කාලයක් ගිහිල්ලත් මේ ගැන යමක් ලියන්න හිතුණේ තවමත් ඒ කතාව ඔලුව ඇතුලේ දෝංකාර දෙන නිසාමයි. මගේ friend list එකෙ බොහොම දෙනා ආපු කාලෙම මේක බැලූ බව දැක්කා. තවමත් නොබැලූ කෙනෙකුට හොයාගෙන බලන්න මේ පෝස්ට් එක හේතු වෙනව නම් ඒ ඇති.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment