දේශපාලනික හේතුන් මත සිදු කරන පැහැරගෙන යෑම්, අතුරුදහන් කරවීම් සහ ඝාතන කියන්නේ අපේ රටේ අලුත් දේවල් නොවෙයි. විශේෂයෙන් 80 දශකයේ අග සහ 2000 මැද ගණන්වල වගේ මෑත කාලීන ඉතිහාසය ඇතුළේ පැවතුණු රාජ්යන්ගේ අනුහසින් මේ වැනි අපරාධ බොහොමයක් මේ රටේ සිද්ධ වුණු බවත්, ජීවිත දහස් ගණනක් දේශපාලනික හේතු මත විනාශ කර දමා ඇති බවත් ඒ ගැන හොයා බැලුවොත් සොයාගන්න හැකිවේවි. තවමත් දේශපාලන වේදිකාවල මේව ගැන කතාවෙනව සහ එහෙම අතුරුදහන් කරනු ලැබූ සහ මරා දැමූ අය වෙනුවෙන් යුක්තියක් සාධාරණයක් ඉෂ්ඨවෙලා තියනවද කියන ප්රශ්නය තවමත් ඉතිරි වෙලා තියනව. ඒක වෙනම කාරණාවක්. නමුත් කොයිතරම් මේව ගැන කතා කළත් ඒ අතුරුදහන් වුණු සහ මරා දැමූ අය අහිමි වීම නිසා ඔවුන්ට සමීපව සිටිය විශේෂයෙන්ම ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත වල ඇති වෙලා තියන හිස් කම මකා දමන්න මොන විදිහකින්වත් හැකියාවක් නැහැ. (ඔවුන් ගැන කතිකාවක් ඇති වෙන එක අර්ථයක් නැහැ කියන දේ නොවෙයි කියන්නෙ) ඒ අඩුව දැන්නෙනේ ඔවුන්ට ආදරයෙන් හිටිය අයට මිස වෙනත් කාටවත් නොවෙයි. රත්න ශ්රී විජේසිංහ කවියා එක්තරා ගීතයක පදපේළි අතරේ ලියා තබන්නේ මේ අදහස තමයි.
Tuesday, March 18, 2025
I'm Still Here (2024)
නුඹ අහිමි වුණේ මටමයි මේ රටට නොවෙයි..
මහ පොළොවට මිස මිනිස් කමට පෙම් නොකරන රටට නොවෙයි..
බිරිඳකට අහේතුකව ස්වාමිපුරුෂයෙක් අහිමි කරනවා කියන්නේ දරුවන්ට පියෙක් අහිමි කරනවා කියන්නෙ ජීවිත කාලයම විඳවන්න සිද්ධවෙන මහා වේදනාත්මක අත්දැකීමක්. තම බලය පවත්වාගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට ගන්නා දේශපාලකයින් කියන්නෙ කොයිතරම් නින්දිත මනුෂ්යත්වය පිරිහී ගිය ජීවින් කොටසක්ද කියන දේ මේ වැනි සිදුවීම් හරහා මතු වෙන එක වළක්වන්න බැහැ. 2024 අවුරුද්දේ ලෝක සිනමාව ඇතුළේ සෑහෙන කතාබහට ලක්වුණ බ්රසිලියානු චිත්රපටයක් වුණු I'm Still Here නිර්මාණය වෙන්නෙත් මෙවැනි තේමාවක් මුල් කරගෙන.
I'm Still Here චිත්රපටියට පසුබිම් වෙන්නේ 1960 යුගයේ බ්රසීලය. 1964 දී බ්රසීල හමුදාව එටර වුන් සමාජවාදී පාලක João Goulart නෙරපා දමලා රටේ බලය අල්ලා ගන්නව. මේ රාජ්යවිරෝධී කුමන්ත්රණයට එවකට ලොව පුරා පැතිර යමින් තිබුණ වාමාංශික ප්රවණතාව මැඩලීමට වැඩ කරමින් වුන් දක්ෂිණාංක කඳවුරේ ඇමරිකානු රජයේ සහයෝගය ලැබුණු බව රහසක් නොවෙයි. එතැන් පටන් වසර 21 ක් බ්රසීලය හමුදා පාලනයකට යටත්ව පවතිනවා. මේ මිලිටරි පාලනය පැවති කාලයේ බ්රසීලයේ රජයට විරුද්ධ අදහස් දැරූවන් සහ සමාජවාදී සමාජ දේශපාලන ක්රියාකාරීන් විදිහට හඳුනා ගත් බොහොම පිරිසක් දරුණු විදිහට මර්ධනයට ලක්වුණා. වර්තමානයෙ බ්රසීලයේ පාලන බලය හොබවන එරට දක්ෂණාංෂික දේශපාලන කඳවුර මේ යුගයේ පැවතුණේ බිහිසුණු ඒකාධිපති පාලනයක් කියන කරුණ බැහැර කරමින් මේ චිත්රපටිය වාරණය කරන්න උත්සාහ දැරුවත් එය සාර්ථක වුණේ නෑ. ආදායම් අතින් ඉහළන්ම සාර්ථක වෙමිනුයි චිත්රපටිය බ්රසීලයේ තිරගත කෙරුණේ. 1960 යුගයේ බ්රසීලයේ මිලිටරි රාජ්යය පවතිද්දී දේශපාලනික හේතුමත අත්අඩංගුවට ගෙන අතුරුදහන් කරනු ලැබූ කෙනෙක් තමයි Rubens Paiva කියන්නේ. ඔහු බ්රසීලියානු සිවිල් ඉංජිනේරුවරයෙක්, දේශපාලන ක්රියාධරයෙක්. සියළුදේටම වඩා ඔහු දරුවන් පස්දෙනෙකුගේ පියෙක්, ආදරණීය සැමියෙක්. I'm Still Here චිත්රපටිය ගලා යන්නේ Rubens ගේ පවුල, විශේෂයෙන් ඔහුගේ බිරිඳ Eunice මුල් කරගෙන.
මුහුදු වෙරළ අද්දර පිහිටා ඇති Rubens ගේ නිවස නිතරම සතුටින් සිනහවෙන් පිරී ගිය තැනක්. පොඩි පුතෙක් සහ දුවක්, නව යෞවනයේ දියණියන් තුන්දෙනෙක් ඉන්න ගෙදරක් ඒවගේ නොවී තිබුණොත් තමා පුදුම. ඒ අතරේ සමාජවාදී නැඹුරුවත් එක්ක එවකට ලොව පුරා පැතිරුණ නිදහස්කාමී වෛවර්ණ හිපි විලාසිතා, බීට්ල්ස් සංගීතය වැනි දේවල් ඒ නිවස පසුබිමේ අපිට දැකගන්න ලැබෙනවා. දූ දරුවන් සහ බිරිඳ සමග ගෙන ගිය ඔවුන්ගේ පවුල් ජීවිතයේ ප්රීතිමත් එකක් බව ඒවායින් ඉඟිකරනවා. නමුත් මිලිටරි රජයේ අඳුරු සෙවණැලි ඔවුන් වටා පැවති බවත් අතරින් පතර සංකේතාත්මකව දැකගන්න ලැබෙනවා. Rubens සහ ඔහුගේ පවුලේ පැවති සාමකාමී විනෝදබර ගතිය කණපිට හැරෙන්න පටන් ගන්නේ දවසක් ආගන්තුකයින් කිහිප දෙනෙක් නිවසට පැමිණිලා ප්රශ්න කිරීමකට කියලා Rubens ව රැගෙන යන වෙලාවේ. පසුව Eunice වත් ප්රශ්න කරන්න රැගෙන යනවා. දවස් ගණනාවක් හරිහැටි කෑමක් බීමක් නැතිව සිරගතව ඇඳිවත පිටින් හමුදාවේ ප්රශ්න කිරීමට ලක්වෙන Eunice අවසානෙදි ගෙදර තමන්ගේ දරුවන් ළඟට එන්න සමත් වෙනවා. නමුත් පෙනෙන ආකාරයට Rubens ඒ තරම් වාසනාවන්ත නැහැ. Eunice රැගෙන ගිය අයම ඇයව ආපහු ගෙදරට ගෙන ආවත් Rubens ආයෙමත් ගෙදර එන්නෙ නෑ. ඔහු නැති වුණා කියලා Eunice ඒ අඩුව ඉන් පස්සෙ කිසිදවසක දරුවන්ට දැනෙන්න ඉඩ හරින්නේ නැහැ. හැකි තරම් දරුවන්ව සතුටින් තියන්නත් තමන්ගේම උත්සාහයෙන් තම පවුල ඉදිරියට ගෙන යන්නත් ඈ වෙර දරනවා. නමුත් පැහැරගෙන යනු ලැබුවායින් පසුව ඔහුට වෙන්නෙ මොකක්ද කියන දේ හොයාගන්න ඈ සියළු උත්සාහයන් ගන්නවා. I'm Still Here කියන්නෙ එක අතකින් දේශපාලනික කතා පුවතක් වගේම තවත් පැත්තකින් තනි ගැහැණියකගේ ජීවන අරගලයක් පිළිබඳ කතා පුවතක්. බ්රසිලියානු රංගවේදිනියක වෙන Fernanda Torres නියම විදිහට මේ ගැහැනියගේ ප්රතිරූපය තිරය මත නිරූපණය කරනවා. ඒක 2024 වසරට අදාළව හොඳම රඟපෑමක් බව කිව්වොත් වැරදි නැහැ.
I'm Still Here කියන්නෙ සත්ය සිදුවීමක් මුල් කරගෙන හැදුණ චිත්රපටියක්. තවත් විදිහට කිව්වොත් මේක අවාසනාවට ඇත්ත කතාවක්. 2025 අවුරුද්දෙ තිබුණ 97 වන ඔස්කාර් සම්මාන උළලේදි හොඳම විදෙස් භාෂා චිත්රපටියට හිමි සම්මානය දිනා ගත්තෙ මේ චිත්රපටිය. කතා කරන තේමාවේ ප්රබල කම සහ අදාල ප්රස්තුතය සිනමාත්මකව ඉදිරිපත් කරලා තියන ආකාරය එක්ක Im Still Here හැම අතින්ම මේ ආකාරයෙන් සම්මානනීය තත්වයක් ලබා ගන්න සුදුසුයි කියල හිතන්න පුලුවන්. වැදගත්ම කාරණාව තමා මේ අතුරුදහන් කරනු ලැබූ අය, මරා දැමූ අය නිහඬ කරවන්න මොන ආකාරයෙ දේශපාලන යාන්ත්රණයක් ක්රියාත්මක කෙරුණත් ඔවුන්ගේ හඬ සදහටම නිහඬ කරවන්න ඒ කිසි දෙයකට හැකියාවක් ලැබිල නැහැ කියන දෙය. සිනමාව ඇතුළේදි මේ විදිහට ඉතිහාසය ඇතුළෙ යටපත් කර දැමූ හඬවල් යළි උපදිනවා, ඝාතකයින්ව ලෝකයා හමුවේ නිරුවත් වෙනවා. සිනමාවට කලා මාද්යක් විදිහට නිවැරදි භාවිතයක් ඇතුළේ කොයි තරම් දෙයක් කරන්න පුලුවන් ද කියලා නරඹන අපේ ඇස් ඉස්සරහපිට පෙන්වා දෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment