Tuesday, July 3, 2018

කවි උපදිනා හැටි


වෙහෙසකර දිගු දවසක කෙළවර 
උපයගත් සන්තාප පිරිපත
නෙතග බැල්මන් මදහාස සනහස
සාද කතා වැඩ පොළේ මගතොට
හදවත කළල් ගැඹුරේ
පොහොර වෙයි..

එවන් සිතුවිලි පතුලක 
ලතෙත් සිහිලස විඳ විඳ
අලුත් කවියක ලා දළු
පැන නැගෙයි..

බිහිවුණු එවන් කවි පැළ
අතරෙන් එකක් ඉඳහිට
අතු ඉති දමා කදිමට
ගසක් ලෙස මතුව එයි.....

එ ගසේ අතු රිකිලි අග
නොයෙකුත්  වර්ණ පැහැ ගෙන
ඉමිහිරි සුවඳ විහිදන
දහසක් මල් පිබිදෙයි.....

පිපුණ මල් සුවඳ ඉවකර
නන් දෙසින් වන බිඟුන් සපැමිණ
උරා බී මකරන්ද මී විත
තුටුව ඉගිල යයි....

සියුම් පෙති  හලා එකිනෙක
මිලින මල් වැටෙයි ගස මුල
මලක රොන් සුවඳ ඉමිහිර
සෙමෙන් මැකී යයි..

එ අතර
රන් පැහැය තවරා උදාගිර
මීදුම් සේල සළු මෑත් කර
තවත් එක දවසකට 
හිරු නැගෙයි.

2017/07/03







No comments:

Post a Comment