Friday, July 20, 2018

නාඳුනන සහෝදරයා - Rain Man (1988)


අපි පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ විකාශය වුණ නමයයි පහ වැඩසටහන ගැන ආයෙමත් කතාබහක් ඇතිවුණේ ඒ වැඩසටහන ඉදිරිපත් කරපු නිවේදක මහත්මයගෙ අභාවයත් එක්ක. නමයයි පහ කිව්ව ගමන් මතක් වෙන්නෙ ඒ වැඩසටහන ආරම්භයෙ විකාශය වෙන සංගීත ඛණ්ඩය. Rain man චිත්‍රපටය බලද්දි මේ අපූරු සංගීතය ආයෙමත් මට ඇහෙන්න පටන්ගන්නවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි Rain man චිත්‍රපටයෙ තේමා සංගීතය.අප්‍රිකානු සංගීතයත් 80 දශකයටම අනන්‍ය electronic නාදමාලාවනුත් එක්ක තමා Hans Zimmer මේ සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ. මුලු කතාවම පැත්තක තියල සංගීතය විතරක් අහන් ඉන්න හිතෙන වර්ගයේ  චිත්‍රපට අතලොස්සක් අතරින් එකක් විදිහට මට Rain man හඳුන්වන්න පුලුවන්.

චිත්‍රපටයෙ කතාව මේ වගෙයි. ඇමරිකාවෙ Los Angeles නගරෙ ජීවත් වෙන චාලි බැබිට් (Charlie Babbit) කියන්නෙ මෝටර් රථ ආනයනය කරල නැවත විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණයෙක්. තව තවත් ව්‍යාපාරය දියුණු කිරීම, තව තවත් වැඩියෙන් මුදල් ඉපයීම තමා චාලි ගෙ ජීවිතයෙ එකම අරමුණ. චාලි කියන්නෙ යාන්තම් තරුණ වයස එද්දිම ගෙදරින් පිටවෙලා ඇවිත් තමන්ගෙම ජීවිතයක් හොයා යන පුද්ගලයෙක්. මේ අතර චාලිට දැනගන්න ලැබෙනව ඔහායෝ පළාතෙ ඒ කියන්නෙ ඇමරිකාවෙ අනිත් කොණේ ජීවත්වෙන තමන්ගෙ පියාගෙ මරණය. චාලි කියන්නෙ කොහොමත් දෙමව්පියන් එක්ක වැඩි සම්බන්ධයක් ඇති පුද්ගලයෙක් නොවුනත් ඔහු තීරණේ කරනව අවසන් කටයුතු වලට සහභාගි වෙන්න. ඒ වෙන දෙයක් නිසා නෙමේ පියාගෙ උරුමය වුණ අති විශාල දේපොළ තමන්ට ලැබේවි යන විශ්වාසයෙන්. අවමඟුලට සහභාගි වෙන චාලි ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්නෙ පියාගෙ අන්තිම කැමත්ත අනුව තමන්‍ට ලැබෙන්නෙ පරණ කාර් එකකුත් රෝස මල් පඳුරු කීපයකුත් පමණක් බව දැනගැනීමෙන්. අන්තිම කැමති පත්‍රයට අනුව ඩොලර් මිලියන තුනක විශාල දේපළක හිමිකාරයා විදිහට නම් කර තියෙන්නෙ කවුද කියන කාරණය හොයා යන චාලි දැනගන්න ඒ උරුමකාරය ජීවත් වෙන්නෙ මානසික රෝහලක බව. චාලි මේ පුද්ගලයව හොයාගෙන මානසික රෝහලට යනව. රේමන් බැබිට් Raymond Babbit කියන මේ පුද්ගලය වෙන කවුරුවත් නොවෙයි කුඩා වයසෙදිම තමන්ගෙන් වෙන් කළ තමාගෙම වැඩිමල් සහෝදරය බව චාලි දැනගන්නව. රේමන් "ඔටිසම්" කියන තත්ත්වයෙන් පෙළෙනව. මේ ඔටිසම් වැළඳුන අයගෙ සන්නිවේදන හැකියාව, තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ඉතා අවමයි. මේ නිසා රේමන් බැබිට් සෑහෙන වයස මනුස්සයෙක් වුණත් හැසිරීම් අතින් නොදරුවෙකුට සමානයි. කොහොම වුණත් චාලිගෙ අවධානය යොමු වෙන්නෙ ඩොලර් මිලියන ගණනක් තමන්ට ලබාගැනීම ගැන විතරයි. මේ නිසා පිටස්තර ලෝකය ගැන කිසිම විදිහකින් අවබෝධ කරගන්න හැකියාවක් නැති තමන්ගෙම සහෝදරය ව මානසික රෝහලෙන් හොර රහසෙම පිටමං කරගන්න චාලි  ඔහුවත් අරගෙන ඇමරිකාව හරහා ආපහු L.A එන්න පිටත් වෙනව. ඒක දින ගණනාවක් ගතවෙන දිග ගමනක්. ඒ අතරෙ ‍රේමන් ගැන ඉතාම සුවිශේෂ සොයාගැනීම් කීපයක් කරගන්න චාලි සමත්වෙනව. 

Raymond Babbit ගෙ චරිතය රඟදක්වන Dustin Hoffman ගෙ රංගනය චිත්‍රපටය බලන කෙනෙකුට ලේසියෙන් අමතක වෙන එකක් නොවේ. ඔටිසම් තත්ත්වයෙන් පසුවන කෙනෙකුගෙ හැසිරීම් අධ්‍යනය කරන්න ඔහු අවුරුද්දක පමණ කාලයක් එවැනි අය එක්ක ගතකර තියනව. ඒ උත්සහයෙ ප්‍රතිඵල විදිහට ඒ අවුරුද්දෙ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇතුළු ප්‍රධාන පෙලේ සම්මාන ගණනාවකින් Dustin Hoffman පිදුම් ලබනව. මානසික රෝගියෙක් විදිහට ඔහු මේ චිත්‍රපටයෙ කරන රඟපෑම ඒ තරම් අපූරුයි. ඒ වගේම Charlie  ගෙ චරිතය නිරූපණය කරන Tom Cruise ගෙ රංගනයත් අමතක කරන්න පුලුවන් එකක් නෙමෙයි.

චිත්‍රපටය Raymond  ගෙ චරිතය මුල් කරගෙන ගොඩනැගී තිබුණත් Charlie ගේ කතාවත් ඊට සමගාමීව පසුබිමෙන් ගොඩනැගෙනව. චාලිගෙ ස්වරූපය බැලුවමත්, කොණ්ඩ විලාසිතාවෙන් පවා, ඔහු නිරූපණය කරන්නෙ නූතත්වය වැළඳගත්ත තාරුණ්‍යය. පුලුවන් තරම් මුදල් ඉපයීම සමාජයෙ තව තවත් ඉහළට යෑම, මේව තමා චාලිගෙ ජීවිතේ තේමාවන්. ඒත් ඒ අතරෙ තමන්ට වැදගත් යමක් ජීවිතේ මගහැරෙන බව ඔහු දකිනව. ඒ තමාගෙ මානසික රෝගී සහෝදරයා ගෙ ආශ්‍රයෙදි. චාලිගෙ පෙම්වතිය ඔහු හැර ගිහින්, ඔහු දෙමව්පියන්ගෙ ආදරය ප්‍රතික්ෂේප කරන්නෙ කුඩා වයසෙමයි.  ව්‍යාපාර බිඳවැටෙද්දි, අසාර්ථකත්වය තමාව හොයා එද්දි ඔහුගෙ පිහිටට කවුරුත් නෑ.හිතවතෙක් එක්ක වාඩිවෙලා ටිකක් නිදහසේ කතාබහ කිරීම, තවත් කෙනෙකුට සවන්දීම වගේ දේවල් වල වටිනාකම චාලි ඉගෙනගන්නව. නූතනයෙ මිනිස් සබඳතා මැද්දට මුදල් කියන සාධකය පැමිණීමත් එක්ක මනුස්සය කොයිතරම් යාන්ත්‍රික සත්ත්වයෙක් බවට පත්වෙමින් ඉන්නවද කියන කාරණාව තමා මම මූලික වශයෙන් මේ චිත්‍රපටයෙන් දැක්කෙ.    Classic/ Drama වර්ගයේ චිත්‍රපට බලන්න කැමති අයට මේක ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්.








4 comments:

  1. මේක බලලා නෑ. පොඩි අවුලක් දැනෙනවා මොකද නීතියේ හැටියට ඔටිසම් හෝ වෙනත් මානසික ආබාධයක් තියෙන කෙනෙකුට දේපල පවරන්න බෑ නේද ?

    ඒක පැත්තකින් තියමුකෝ. Tom C කිව්වහම ඉතින් නොබලත් බෑ

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. නීති තත්ත්වය ගැන නොදනිමි...ඒ රටේ නීතිය අනුව පුලුවන්ද දන්නෙ නෑ..Tom Cruise බොහොම තරුණ වයසේදි ආව එකක්.....A few good men, Eyes wide shut එක්ක Tom ගේ මම දැක්ක හොදම එකක් තමා මේ.....

      Delete
  2. සතියකට කලින් බැලුවා..මමත් මල්ලි කෙනෙක් ඉන්න අයිය කෙනෙක් නිසාද මන්ද තදටම වැදුන..නියම සලරුවක්..නියම රංගනයක්..
    ප.ලි.Scent of a woman බලන්න..මේකට කැමති උනා නම් ඒකටත් අනිවා කැමති වේවි..Al Pachino ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!... Al Pachino හොළිවුඩයේ මම කැමතිම නළුවෙක්..එ් සිනමාපටයත් බලන්නම්!

      Delete