Monday, March 25, 2019

Gone baby gone (2007)

සමහර චිත්‍රපටි වල අවසානයන් අපිව මොනවත්ම කියාගන්න බැරි තැනකට අරගෙන එනවා. ඇයි එහෙම වුණේ? මේක මීට වඩා හොඳ තැනකින් අවසාන වෙන්න බැරි ද? නැත්නන් මොකක්ද මම මේ දකින්නෙ කියන කම්පනය අවසානෙ ඉතිරි කරනවා. සමහර විට මේ දෙය මෙහෙම සිදුවිය යුතුයි කියල අපි විසින්ම නිර්ණය කරන සීමාවන් ඇතුලෙ නෙමෙයි ඇත්තටම දේවල් සිද්දවෙන්නෙ. හැබෑ ලෝකය එහෙම නැත්තම් අපි අත්දකින යථාර්ථයේ ස්වභාවය ඒකයි. යුක්තිය සහ සාධාරණත්වය කියන මුළු මිනිස් පැවැත්මේ පදනම් පවා ඒ වගෙ අවස්ථාවක දෙදරා යන්න පුලුවන්. ඒ වගේ වඩා නිවැරදි මොකක්ද, අවසානෙ කවුද හරි කවුද වැරදි කියල හිතාගන්න අමාරු විදිහෙ ටිකක් සංවේදී කතාපුවතක් තමා gone baby gone චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ.

Dennis Lehane කියන ලේඛකයාගෙ නවකතාවක් ඇසුරෙන් මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. Patrik කියන්නෙ පුද්ගලික රහස් පරික්ෂකයෙක් වගේම ක්ශේත්‍රයෙ ආධුනිකයෙක්. අතුරුදහන් වුණු පුංචි ගැහැණු ළමයෙක් සොයායාමේ පරීක්ෂණයක් ඔහුට බාර වෙනව. ඇය සොයාගැනීමට ඔහු ගන්න උත්සහය වටා මුලු චිත්‍රපටය ම ගලා යන්නෙ. Patrick ගේ තියන ආධුනික බව මෙතනදි හොඳින්ම පෙනෙනව. උපායශීලී වීමෙන් විසඳාගත හැකිව තිබූ අවස්ථා කීපයක් ආවේගයන්ට යටවීම නිසා ඔහු මගහරවාගන්නව. සාමාන්‍යයෙන් Crime/ Thriller ගණයේ සිනමාපටයක උද්වේගකාරී බව/ ඊළඟට මොකක්ද වෙන්නෙ කියන කුතුහලය මේ චිත්‍රපටයෙ දක්නට ලැබුණත් එය වඩාත් නාටකීය ස්වභාවයකට සමීප වෙනව. ඊට හේතුව මම හිතන්නෙ මේ කතාවට පදනම් වෙන බොස්ටන් නගරයෙ ජන ජීවිතය දිහා වඩා සමීපව බලන්න උත්සහ කරන නිසා කියලයි. කොකේන් වලට ඇබ්බැහි වුණ තරුණ තරුණියන්, මත්ද්‍රව්‍ය ගෙනයන්නන් සහ මිලට ගන්නන්, මේ අය අතරේ අයාලේ යන ළමා පරපුර තමා තමා අපි දකින්නෙ. කොහොම වුණත් චිත්‍රපටය අවසාන වෙන්නෙ බොහෝ දෙනෙකුගෙ ජීවිත වල ඉරණම තීරණය කරන තැනකින්. 

දක්ෂ නළුවෙක් විදිහට ජනප්‍රිය වුණ Ben Affleck තමයි මේ චිත්‍රපටය අද්‍යක්ෂණය කරන්නෙ සහ තිරපිටපත ලියන්නෙ. ඔහුගේම සහෝදරයා Casey Affleck තමයි පැට්‍රික් ගෙ චරිතය නිරූපණය කරන්නෙ. Casey Affleck මෑත කාලෙදි මම වඩාත්ම කැමති වුණු නළුවෙක්. Manchester by the sea චිත්‍රපටයෙන් ඔහු ඔස්කා සම්මානය පවා දිනාගන්නව. ඔහු තව බොහෝම දුර ගමනක් යන්න පුලුවන් නලුවෙක්. ඒ වගේම Ben නලුකම වගේම අද්‍යක්ෂණයත් ඔහුට හොඳින්ම කල හැකි බව පෙන්වා දී තිබෙනව. Gone baby gone ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයෙන්ම හොඳ ප්‍රතිචාර ලබා ගන්නව. වගේම ආදායම් අතිනුත් සාර්ථක වෙනව. Gone baby gone චිත්‍රපටය crime/thriller වගේම සංවේදී කතාපුවතක් නරඹන්න කැමති ඕනෑම කෙනෙකුට නිර්දේශ කරනව.






No comments:

Post a Comment