Monday, November 4, 2019

පැණි කුරුල්ලනේ... නිල් කොබෙයියනේ... ගිය තැනකින් වරෙල්ලා....


පෘථිවියේ ඇති ශාඛ වර්ග වලින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් සහ සමස්ත වනගහණයෙන් 83% ක් පමණ මේ වන විට සහමුලින්ම විනාශ වී ඇති බව සඳහන් සටහනක් මෑතකදි මුහුණු පොතේ බොහොම දෙනක් බෙදාගෙන තිබුණ. ඒවගේම නිතරම කුමක් හෝ වර්ගයක සත්ත්වයෙක් මිහිතලයෙන් වඳවී ගිය බව වාර්තා වෙනව. මේ කිසිදෙයක් මිනිස්සු හිතාමතා කළ දේවල් නොවුණත් දියුණුව සංවර්ධනය කියමින් සොබාදහමේ පැවැත්ම ගැන යන්තම් වත් නොතකා සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් වල සමස්ත ප්‍රතිඵලය මේකයි. මිනිසා කියන්නෙ සොබාදහමේ පාලකයා නොවෙයි ඔහුත් සොබාදහමේ කොටසක්. ඒ නිසා පරිසරය විනාශ කරගන්නව කියන්නෙ මිනිස්සු විනාශ කරගන්නෙ තමන්ගෙම පැවැත්මයි. මොනදේ වුණත් ගස් කොලන් සත්තු ඇළ දොළ එක්ක අමුතු රොමාන්තික බැඳීමක් මිනිස්සුන්ට තියනව. අහස උඩින් බැඳුන තුරුවියනක් යට ගලන දොලපාරක නාදය අහගෙන හමන සීතල සුළඟක පහස විඳින්න අකමැති මනුශ්‍යයෙක් මේ ලෝකෙ නැතිව ඇති. නමුත් දැන් ඔහු ආපසු හැරෙන්න නොහැකි තරම් විනාශයේ මාවතේ බොහෝ දුරක් ඇවිත්.


ලූෂන් බුලත්සිංහලගේ පද රචනාවට, සරත් දසනායක ගේ සංගීතයෙන් මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන "පැණි කුරුල්ලනේ" ගීතය සොබාදහමේ ක්‍රමයෙන් සිදුවන විපර්යාසය අපූරුවට පෙන්වා දෙනව.



පැණි කුරුල්ලනේ ..නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා...



පැණි කුරුල්ලන් නිල් කොබෙයියන් සහ නොයෙක් ආකාරයේ කුරුල්ලන් කාලයක් අපි අවට පරිසරයේ නිතර දකින්න ලැබුණ. ඒත් දැන් උන් එදා තරම් දකින්න නෑ.
අලුත් පරම්පරාවක් ලෝකෙට බිහිවෙමින් ඉන්නව "පුංචි පුතා ඇවිල්ලා" ඒත් එදා අපි එක්ක මේ ගහකොළ බෙදා ගත්ත පැණි කුරුල්ලන් නිල් කොබෙයියන් දැන් අපි අතර නෑ..



කොහෙද උන් ගියේ??



අඹ දඔ නාරං ගස් යට 
කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා..



අපේ පුංචි කාලය ගත වුණේ කජු ගස් වලට නැගල පුහුලන් කඩාගෙන කමින්, අඹ ගස් වලට පොලු ගහල අඹි ගෙඩි බිම දමමින්, කෝකිරිල්ල තුවක්කු වලින් සෙල්ලම් කරමින්, මිදෙල්ල මල් වැල් කඩාගෙන මාල හදමින්. අලුත් පරම්පරාව බිහිවෙද්දි ඉතිරි වෙලා තියෙන්නෙ අර අපිට හෙවණ දුන්න ගස් කොලන් කිසි දෙයක් නොමැති ලෝකයක්. ඔවුන් ගේ අලුත් ලෝකය අපිට වඩා බොහොම වෙනස්. මේ වෙනස ඇතිවුණේ කොහොමද...



පුංචි පුතා එන්න කලින්
උන් හිටිතැන් නැතිවුනදා
ගහට ගහක් මුණ ගැහෙන්න
බැද්ද ගිහිල්ලා..



ක්‍රමයෙන් වෙළඳ පොළ මුල් කරගත්ත පරිභෝජනවාදී ක්‍රමය බලවත් වෙද්දි ගස් පවා මුදලට විකිණී ගිහින් "ගහට ගහක් මුණගැහෙන" ලී මඩුවකින් අවසන් වෙලා.



ඇලේ වතුර නිල් කැටේට
දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා..



ගස් පමණක් නොවේ ඇළ දොළ වැව් වල පවා පිරිල තිබුණෙ නිල් පාට බබළන පිරිසිදු වතුර. වතුරෙ බැහැගෙන තිත්තයො, දණ්ඩි, පෙතියො, ලූල්ලු, මඩකරි, හුංගො අල්ලමින් ගතවුණේ අපේ ළමා කාලෙ. ඒත් දැන් මොකද වෙලා තියෙන්නෙ.



පුංචි පුතා එන්න කලින්
කළු දිය දහරා හැළිලා
ඇළට පාර අමතක වී මං මුලා වෙලා..



දැන් ඇළකට දොළකට බහින්න බෑ. ළඟින් යනකොටත් එන්නෙ පල් ගඳක්. ඒව අද කවුරුත් බාරගන්නෙ නැති මිනිස්සුන්ගෙ කුණු කන්දල් එකතු කරන මද්‍යස්ථාන බවට පත්වෙලා...



"ඇළට පාර අමතක වී මං මුලා වෙලා"



මුලු මිනිස් සමාජයක්ම යන්නෙ කොහෙද නොදැන මංමුලාවේ අතරමං වී ඇති බවද මේ කියන්නෙ...?



ගීතයේ සංගීතය ගැන කිව්වොත් ඒක 6/8 තාලයට තරමක් වේග රිද්මයෙන් ගලා යන්නක්. තනුව Major chords යොදාගෙන නිමවා තියෙන නිසා සතුටු දායක විනෝදජනක හැඟීම් දනවන්නක්. ඇත්තටම මේ ගීතය අහද්දි දැනෙන්නෙ සතුටු දායක බොහොම ප්‍රසන්න හැඟීමක්. නමුත් මේ ගීයේ අරුත් විමසා බැලුවොත් ඒක එහෙම විනෝදෙන් කතාකරන්න පුලුවන් දෙයක් නොවෙයි. සංගීතයෙ මිහිරියාව එක්ක බොහොම දුක්බර දෙයක් මේ ගීතය ඇතුලෙ තියෙන්නෙ. ඒ නිසා සංගීතයෙන් ගීයේ අරුත තරමකට යටපත් වෙලා තියනව. නමුත් පද රචනාව වෙනම කියවා බැලුවොත් ඒ අදහස තේරුම් ගන්න පුලුවන්.



දැන් අපි සියලු දේ අතහැරල ආපහු අතීතයට යමු කියන දේ නොවෙයි කියන්නෙ. අපි මිනිස් සංහතියේ දියුණුව කරා යන ගමන වැටිල තියෙන්නෙ සොබාදහමෙ මළගම උඩින් නම් ඒ මිනිස් වර්ගයාගෙත් මළගම බව තේරුම් ගතයුතුයි. එක්කො මිනිස්සු පරිසරයත් ආරක්ෂා වෙන ආකාරයෙ සංවර්ධන මාවතකට එන්න ඕන. නැත්නම් සියලු දේ විනාශ කරගෙන අපිත් වඳවී යන්න ඕන. දැන් මිනිස්සු වඩාත් කිට්ටු ඔය දෙවනි විසඳුමට..

මිල්ටන් මල්ලවාරච්චි

ලූෂන් බුලත්සිංහල

සරත් දසනායක


3 comments:

  1. කොයිතරම් අහල තිබුණත් මේ ගීතයේ තේරැම ගැන ඒතරම් හිතල තිබ්බෙ නෑනෙ. ඇත්තටම ඔබට බොහොම ස්තූතියි. ලූෂන් බුලත්සිoහල මහත්මයාගෙ හැකියාවන්ගෙන් හරිහමන් වැඩක් ගැනීමට ඉඩ ලැබුනෙ නෑ, ඒගැනත් කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මං කැමති ගොඩක් ගීත වල පද මාලාව මෙතුමගෙ... බොහොම සරල වචන වලින් ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ෂ කරන අපූරු ගුණාංගයක් ඒ වචන වල තියනව...

      Delete
  2. ගීතය රචනා වුන කාලය පිළිබඳවත් කියවුනා නම් වටිනවා

    ReplyDelete