Friday, November 15, 2019

මල් පඳුර


"දැන් ඉතින් තවත් මොකටද
එක මලක් වත් පිපෙන්නෙ නැතුව..
කපල දාමු මේ මල් පඳුර"

"මම කියන්නෙ අපි ඉවසමු
ගිම්හානෙ ගෙවුණම
මල් පිපේවී ආයෙම
මලක් දෙකක් නොදුන්නට
ගහක් කපන්නම ඕනැ ද?"

"ඒ වුණාට
අයිති නොවෙන මල් වලින් වැඩක් තියනවද?."
.........................................

ඊළඟ උදෑසනම
ඈ කපා දමා තිබුණා මල් පඳුර
හිස් ව තිබුණා
ඇගෙ කුටිය..

මූසලම මූසල
මහ පාලු ගතියක්
හුළඟක් වගේ හමමින් තිබුණා දස අත..

ඈ නික්ම ගොස් තිබුණා
කෙටි සටහනක්වත් නොතබාම
.....................................

කවදාක හෝ යළි
මෙතැන පසු කර යන විට
පෙනේවි ද ඇයට
මේ හිස් බිම් කඩ..

ඇසේවිද
මට මෙන්ම
අතු ඉති සිඳ දැමුවාට
තවමත් හුස්ම ගන්නා හඬ
භූගතව ඉතිරි
මුල් රැස..





2 comments: