Tuesday, December 3, 2019

The Last Temptation of Christ (1989)


සෝර්බා නම් ග්‍රීකයා (Zorba the Greek) නවකතාව ලියපු Nikos Kazantzakis ගේ මේ නමින්ම ලියවුණු නවකතාව ආශ්‍රයෙන් හැදුණ සිනමාපටය The Last Temptation of Christ. බයිබලයේ සුභාරංචි ග්‍රන්ථ වලින් යම් තරමකට බැහැරව, කතුවරයාගේ පරිකල්පනයෙන් ක්‍රිස්තු චරිතය ආන්දෝලාත්මකව නැවත ගොඩ නංවා තිබීම මේ කතාවෙ විශේෂත්වයක්. හුදෙක් ජේසුස් වහන්සේ ගෙ ජීවිත කතාව කියාපෑම වෙනුවට මනුෂ්‍යයක් විදිහට උන්වහන්සේ කල කී දෑ ඉදිරිපත් කිරීම මේ කතාවෙන් අපිට දැක ගන්න පුලුවන්. සතන් හෝ දෙවියන් වහන්සේ ගේ හෝ රඟමඬලක් වෙන මිනිස් සිතුවිලි ඔහුගේ ආශාවන්, බලාපොරොත්තු, ඔහුගේ එඩිතරත්වය, බිය, අවිශ්වාසය, ආත්ම ශක්තිය මේ හැම දෙයක්ම තුළින් ක්‍රියාකරන හැටි ජේසුස් වහන්සේගේ චරිතය තුළින් නිරූපණය කර තිබෙනවා. ආගමික දෘෂ්ටියෙන් බැහැරව කලා කෘතියක් විදිහට මේක ඉහළින්ම අගය කලහැකි නිර්මාණයක් බව වාදයක් නැහැ. විශේෂයෙන් පසුබිම් සංගීතය, කැමරාකෝණ, කතාව ගලායෑම මේ හැම ආකරයෙන්ම සිනමාරූපී බව හොඳින්ම පවත්වාගෙන තිබෙනවා. මේක Martin Scorsese ගේ චිත්‍රපටයක් බව කීම හොඳටම ප්‍රමාණවත් මං හිතන්නෙ. අපේ රට ඇතුලෙ ආගමික ශාස්තෘ වරයෙකුගෙ චරිතය අරන් මෙවැනි නිර්මාණයක් කළොත් සැකයක් නෑ, ඒ නිර්මාණකරුවන්ට නතර වෙන්න සිද්ධවෙන්නෙ හිරේ විලංගුවෙ වැටිල. ඉදිරියටත් මේ නිදහස අහුරන තත්ත්වය ලිහිල් වෙන බවක් නම් පෙනෙන මානෙක නෑ. ඒක කණගාටුවට කරුණක්. යම් නිර්මාණයක් කලා කෘතියක් පමණක් බවත්, තමන් ගෙ ආගමික විශ්වාසයන් රිදවූ පමණින් එය වාරණය කිරීම ප්‍රකාශනයේ නිදහසට වැට බැඳීම බවත් නිදහස වෙනුවට විලංගු ම ඉල්ලා හිටින මේ සමාජය කවදා තේරුම් ගනීවිද කියන ප්‍රශ්නාර්ථයක් පමණයි අවසානෙ ඉතුරු වෙන්නෙ.














2 comments:

  1. මේ සිනමා පටය ආරම්භයේදිම ඇසෙන පසුබිම් සංගීත කණ්ඩයේ අපට හුරු ගතියක් ඔබට දැනුනේ නැත්ද?ඉස්සර අපේ මරණ ගෙවල්වල කිව්වයි කියන වෙස්සන්තරේ තාලය යන්තමට මේක ඇතුලේ තියනවා.සිනමාපටය ආරම්භයේදි අපි දකින්නේ අපි දැකලා පුරුදු ජේසු තුමා නෙමේ.නමුත් කාළය ගෙවිගන යද්දී අපිට නොදැනුවත්වම අපි දැකලා පුරුදු ජේසු තුමා ක්‍රමක්‍රමයෙන් මතු වෙන්නේ අපිත් නොදැනුවත්වම.මම මේ සිනමා පටය නැරඔුවේ 1993 විතර.සේන වීරසේකර මහත්තයා සිනමා පසුබිම් සංගීතය ගැන අපට උගන්වන්ඩ උපයෝගී කර ගත්තේ මෙම සිනමා පටයයි.

    ReplyDelete
    Replies
    1. මැද පෙරදිග කලාපයට ආවේණික සංගීතයකුත් ඒ අතර ඉන්දියානු රාගධාරී සංගීතයට සමාන බවකුත් දැනෙනව..නමුත් ඒ හැම දෙයක්ම අවස්ථානුකූලව භාවිතා කරල තියනව..හැම අතින්ම ඉහළම සිනමා නිර්මාණයක්...බොහොම ස්තූතියි ඔබේ වටිනා කමෙන්ටුවට....

      Delete