Monday, October 19, 2020

වයර් පොටක සෞන්දර්ය

 තරිඳු ශ්‍රී ලොකුගමගේ, මුහුණු පොතෙන් මම හඳුනාගත්ත හොඳම ලියන්නන් අතර ඉහළම තැනක තියන්න පුලුවන් කෙනෙක්. පොත පත ගැන, වාහන, සුරතල් සත්තු මේ ආදී නොයෙක් දේවල් ගැන, තමන්ටම අනන්‍ය වුණු භාෂා ශෛලියකින්, වචනෙ අර්ථයෙන්ම "රහට" ලියන්න දක්ෂයක් තරිඳු. විශේෂයෙන් වාහන ගැන ඔහු ලියන දේවල්, වාහන ගැන මෙලෝ දෙයක් නොදන්න, වාහන වලට කිසිම කැමැත්තක් නැති කෙනෙකුට පවා බොහොම ආසාවෙන් කියවිය හැකි ඒව. තරිඳු ගෙ මුල්ම නවකතාව, 2019 අවුරුද්දේ එළිදැක්වුණු "වයර් පොටක සෞන්දර්ය" මේ 2020 පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගන්නෙ කියවන කාලය අපතේ නොයන්නක් බව ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය කඩ නොවූ බව කියන්නෙ සතුටෙන්.


"වයර් පොටක සෞන්දර්ය" නවකතාව මට දැනෙන්නෙ එක්තරා ආකාරයක "ටැරන්ටිනෝමය" පන්නයෙ සිනමා අත්දැකීමකට සමානව. ටැරන්ටිනෝ ගේ චිත්‍රපට නරඹපු කෙනෙක්ට මේ කාරණය වටහගන්න පුලුවන් වේවි. ඔහුගෙ චිත්‍රපට වල නැති දෙයක් නෑ. ඇඟ ලොමු ඩැගැගන්වන තරම් ත්‍රාසජනක සිදුවීම්, ඉළඇදෙන විහිළු, රොමාන්තික පෙම්වත්තු, "සිරා" චරිත, අමුම අමු දුෂ්ටයො ඔය ආදී අනුපානයන් අඩු වැඩිවශයෙන් අරගෙන කලවම් කරල තමයි ඇමරිකානු චිත්‍රපට අද්‍යක්ෂවරයෙක් වුණු ක්වින්ටන් ටැරන්ටිනෝ චිත්‍රපට නිර්මාණය කරන්නෙ. තරිඳු ගේ වයර් පොටෙත් ඔය හැම සෞන්දර්ය ම අඩුවැඩි වශයෙන් ඇතුලත්. විශේෂයෙන් හොලිවුඩ් චිත්‍රපට වල අපි විඳින "ඩාර්ක් කොමඩි" රසය ඔහු හරි ගාණට මේ නවකතාව ඇතුළට ගේනව. ඒව ඇත්තටම මතක තියාගෙන දවස් ගාණක් වුණක් හිනාවෙන්න පුලුවන් විහිළු. 

"අලුත් පරපුරේ කියනා ගායක ගායිකාවන් මුකුන්ද කියා මා දැන සිටියේ නැත. මට උන් හැම එකාගෙන් ම එන්නේ එකම හොටු බර හඬකි. අනික් අතට හැම එකීම සින්දු කියන්නේ සති පොළේ වැල්පෙනෙල විකුණන හඬකිනි" 

"එය අම්මට සිරි මක්වෙලාද ලෙස ඇරඹී, පවු ඩෝ හිත හොඳ කොල්ලා,බවට පත්වී, ඔය කාර්කාරයෝ මහ * රියෝ කීම දක්වා ගොස්, මේක මහ සක්කිලි ආණ්ඩුවක් මට්ටම ඉක්මවා, මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට තත්ත්වයට පැමිණ, ඉන්පසු රාත්‍රී ප්‍රවෘත්ති රස කිරීම සඳහා එක්කරන සුප්කැට  කෑල්ලක් වන තුරු විකාශය වූ සීන් එකකි"

"මම ටොපා සංජේ ගේ මිනිය දෙස බැලීමි. දොදොල් පට්ටයක් උඩට පවුඩර් ඉස්සා සේ උගේ කලුපාට මූණ එම්බාම් එකෙන් තැනින් තැන සුදුවී ඇත"

තරිඳු නවකතාව වෙනුවෙන් භාවිතා කර තියෙන භාෂාව සරල සැහැල්ලු, ආයාසයකින් තොරව කියවාගෙන යා හැකි එකක්. දේවල් ක්‍රමානුකූලව විස්තර කරනවා වෙනුවට භාෂාවත් එක්ක සෙල්ලම් කරමින්, කොයි තැනකවන් මින්පෙර කියවා නැති අලුත් ම උපමා රූපක යොදාගනිමින්, කියවන්නා ඇතුලෙ චිත්තරූප මැවෙන අමුතුම ආකාරයෙ භාෂාමය ලෝකයක් ගොඩනගමින් ඔහු මේ කතාව අපිට කියනව. 

"රැලේ යන පුසෙකු ටෙරිටරි මාක් කරන්නට ඇල්ලූ හදිසි චූ පාරක් වැනි සීමිත අවු රැල්ලක් ජනේලයෙන් පෙරී ආවේ ය"

"එහෙත් එහි තිබුණු පාරේ ත්‍රීවීලර් එක ගියේද සංසාරයේ වැටි වැටී ආත්මයෙන් ආත්මයට යන පවුකාර ගන්ධබ්බයෙකු ලෙසිනි"

"බෝඩිම ප්‍රාග් ඓතිහාසික මහා ගංවතුරකට අහුවුණු ඩයිනසෝර සොහොනක් මෙනි"

"වයර් පොට" කියවීම කියන්නෙ එක්තරා ආකාරයක අලුත් අත්දැකීමක්. බොහෝමයක් සිංහල භාෂාවෙන් පළවෙන නවකතා වල ඇතුලත්වෙන කතන්දර වලින් බැහැරව වෙනස් මානයකට විහිදෙන කතාවක්. සමස්තයක් විදිහට "වයර් පොටක සෞන්දර්ය" ක්‍රයිම් ත්‍රිලර් වර්ගයෙ නවකතාවක් විදිහට හඳුන්වන්න පුලුවන්. කතාවෙ සමහර තැන්වල තියන අඳුරු අත්භූත රසයත් එක්ක මේක "The Identity, Silence of the lambs, Shutter Island වගේ චිත්‍රපටයකට හොඳටම ගැලපෙන බවක් කතාව කියද්දි මට දැනුණ. ඒ වගේම ජීවිතය ගැන ඉතාම සියුම් සංවේදනාවන් මේ කතාවෙ සමහර තැන් කීපයක මතුවෙන්නෙ බොහොම අනුවේදනීය ආකාරයෙන්. හදවතට ඉඳිකටු තුඩකින් අනින ගාණට ඒ සියුම් තැන් කතාව ඇතුලෙ මුහුවෙලා තිබුණා.

වයර් පොටේ සෞන්දර්ය ගැන කතාවෙම ඇතුලත් වෙලා තියන ඒ අපූරු වාක්‍ය කීපයෙනුයි මේ කෙටි සටහන අවසාන කරන්නෙ. කොහොම වුණත් වයර් පොට, මේ අවුරුද්දේ එළි දැක්වුනු, සහ පොත් ප්‍රදර්ශනයෙන් මම මගහැරගත්තු,  තරිඳු ගේ දෙවනි නවකතාව "ජීවිතයේ ඔයිල් පැල්ලම" ඉක්මනින්ම මගනොහැර කියවිය යුතුයි කියන හැඟීම ඉතිරි කලා. ඉදිරි ලේඛන වැඩකටයුතු වෙනුවෙන් තරිඳුට මුලු හදින්ම සුබ පැතන්න කැමතියි. 

"ඔය එකෙකු වත් ලේසියෙන් වයර් පොටක සෞන්දර්ය හඳුනාගන්නේ නැත. උන් වෙලාවට එන්නේ නැත. වෙලාවට කන්නේ නැත. වෙලාවට දොට්ට යන්නේ නැත. උන් ඉතිරි කර යන්නේ පිස්සු ගෑනියකගේ කොණ්ඩය මෙන් අවුල් ජාලයකි.

ලස්සනට හැදුවත් මොඩර්න් ශිෂ්ටාචාරයේ ජීවනාලිය වන විදුලිය එහා මෙහා රැගෙන යන්නෙ වයර් ය. වයර් නැතිව අපට පැවැත්මක් නැත. බ්ලූටූත් වලින් කවදාවත් අපේ ශිෂ්ටාචාරය පණගන්වන්නට හැකිවන්නේ නැත.

 ඇත්තටම සමකාලීන මනුෂ්‍ය ශිෂ්ටාචාරය යනු මිනිසා සහ වයර් අතර තිබෙන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයකි. 

මේ සම්බන්ධතාව කවියක් කරගත හැක්කේ එහෙමත් මිනිහෙකුට ය."



No comments:

Post a Comment