Friday, February 26, 2021

Pieces of a woman (2020)

1990 වර්ෂයේ, මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබියදී සොයාගත් මොහොතේ ඔහුගේ මව මනෝරානි සරවනමුත්තු මහත්මිය කියා තිබුණා "දරුවෙක් අහිමිවීම නම් තමාට තමාවම අහිමිවීමක්" බව. මේ කාරණාව ඇයට පමණක් නොවෙයි, ලෝකවාසී අතිශ්‍ය බහුතරයක් වුණු මව්වරුනුත් පියවරුනුත් සම්බන්ධයෙන් සත්‍යයක් බවට පත්විය හැකි යමක්. විශේෂයෙන්ම මවකට, මොකද ඇය දරුවා මාස නමයක කාලයක් තමන්ගේ කුස තුළ දරා ඉන්න නිසා, දරුවා ඇගේම කොටසක් විදිහට ඇගේ සිරුර තුළ වර්ධනය වන නිසා, මවක් සහ දරුවෙක් අතර ඇතිවෙන සම්බන්ධතාව ලෝකයෙ අනෙක් සම්බන්ධතාවන්ට වඩා ප්‍රබලයි. මොකද කිසිම කෙනෙක් තවත් කෙනෙකුව තමන්ගෙ සිරුර තුල දරාගෙන නොඉන්න නිසා. එ වැනි බැඳීමක් ඇතිවෙනව නම් ඒ මව සහ දරුවා අතරෙම පමණයි. දරුවෙක් කොයිතරම් වයසින් වැඩිවියට පත්වුණත් මව සමග තිබෙන මේ අත්‍යන්ත සම්බන්ධය බිඳෙන්නෙ නෑ. දරුවෙක් නිතරම මවගේ ජීවිතයේ වැදගත් කොටසක් දරා ඉන්නව. දරුවා අහිමිවීම ඇයට තමාම අහිමි වීමක් වෙන්නෙ ඒ නිසා. විශේෂයෙන් උපන් මොහොතේම දරුවෙක් අහිමිවීම කියන්නෙ මවකට වගේම පියෙකුටත් තමන්ගේ මුලු ජීවිතයම අඳුරට ඇද දැමිය හැකි අතිශ්‍ය වේදනාකාරී අත්දැකීමක්. 

ජීවිතේ මේ දුක්බර අත්දැකීම ලැබූ එක් ගැහැනියක් තමන්ට මේ වේදනාවෙන් ගැලවිය හැකි මඟක් සොයා යනව. ඇය සොයාගන්න ගැලවීම නම් තමන්ගේ අත්දැකීම්, තමන්ගේ සිතිවිලි  ඒ ආකාරයෙන් ලියා තැබීම. ඇය නම් හංගේරියානු ජාතික පිටපත් රචිකාවක් වුණු Kata Wéber ඇගේ සැමියා නාට්‍යවේදියෙක් වගේම සිනමාකරුවෙක් වුණු Kornél Mundruczó. 

"මට දැනුණ මගෙ සිරුර තවදුරටත් මට අයිති නැති බව. මම ඇසුරු කරන හැම කෙනෙක්ම දරුවා අහිමිවීම ගැන ඒ අයගෙ උපදෙස් මට දෙන්න පටන්ගත්ත. මම තව දුරටත් මට අයිති වුණේ නැහැ. ලිවීම හරහා මම උත්සාහ කලා සිදුවුණු දෙය නිවැරදිව පැහැදිලි කරන්න. ලිවීම මට විශාල සහනයක් වුණා"

Kata Wéber තමන් ලිවීමට පෙළඹුනු ආකාරය විස්තර කරන්නෙ එහෙම. ඇයත් ඇගේ ස්වාමියාත් එක්වෙලා ඇගේ ලිවීම මුල් කරගෙන 2018 වසරේදි හංගේරියානු බසින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනව. නාට්‍ය වෙනුවෙන් හොඳ ප්‍රතිචාර මේ දෙදෙනා ලබනව. නාට්‍යට ලැබෙන යහපත් ප්‍රතිචාර නිසා මේ දෙදෙනා තීරණය කරනව එය මුල් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. නමුත් ඒ සඳහා ඔවුන් පැමිණෙන්නේ හංගේරියාවෙන් බැහැරව හොලිවුඩ් පුරවරයට. ඉංග්‍රීසි භාෂාවෙන් මේ කතාපුවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් ලොව පුරා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට එය රැගෙනයාහැකි බව ඔවුන් සිතුවා විය හැකියි. 2020 වසරේදි, Kata Wéber ගේ පිටපත් රචනයෙන් සහ  Kornél Mundruczó ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වෙන Pieces of woman චිත්‍රපටයට පදනම් වෙන්නෙ මේ ඔවුන් ලබපු සැබෑම ජීවිත අත්දැකීමයි.

Pieces of a woman චිත්‍රපටයෙ මුළු ධාවන කාලය මිනිත්තු 128 ක්. එයින් මිනිත්තු 30 කට ආසන්න කාලයක් වෙන්වෙන්නෙ ආරම්භයෙදි දකින්න ලැබෙන දරු ප්‍රසූතියෙ දර්ශනයට. මේ දර්ශනය අඛණ්ඩ තනි දර්ශනයක් (One take) විදිහට රූපගත කර තිබෙන්නෙ. මේ දර්ශනය දවස් දෙකක් පුරා හය වතාවක් නැවත නැවත රූගත කර තිබෙනව. අවසානෙ චිත්‍රපටය වෙනුවෙන් භාවිත කර තිබෙන්නෙ ‍ඒ අතරින් හතරවෙනි දර්ශනය බවයි කියවෙන්නෙ. මේ දර්ශනය මේ ආකාරයට රූගත කිරීමට හේතුව දරු ප්‍රසූතියක තිබෙන සැබෑම තත්ත්වය ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයන්ට දැනවීමට අවශ්‍ය වුණ නිසා බවයි අධ්‍යක්ෂවරයා කියා තිබෙන්නෙ. කොහොම නමුත් චිත්‍රපටය නැරඹූ කෙනෙකුට නම් එය ලේසියෙන් අමතක කල නොහැකි තරම් ප්‍රබල දර්ශනයක් බව ඇත්ත. ඒවගේම පවුලේ හමුවකදී චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය මාර්තාත් ඇගේ මවත් අතර ආවේගයෙන් වචන හුවමාරු වන සිදුවීමත් රූගත කර තිබෙන්නෙ තනි දර්ශනයක් විදිහට. මෙතැනත් චිත්‍රපටය ඇතුළේ කැපී පෙනෙන එක් ප්‍රබල සිදුවීමක්.

Pieces of woman චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක, නැතිනම් මේ අත්දැකීමට මුහුණ දෙන විවාහක යුවළ නම් වෙන්නෙ මාර්තා සහ ෂෝන් නමින්. ෂෝන් ගේ චරිතය නිරූපණය කරන්නෙ සුප්‍රකට නළු Shia LaBeouf විසින්. Transformers චිත්‍රපට පෙළ හරහා ඉතාම තරුණ වයසේදිම ලොව පුරා ජනප්‍රියත්වයක් දිනාගත් Shia LaBeouf දැන් වඩාත් සංකීර්ණ චරිත නිරූපණය කරමින් හොලිවුඩය තුල තමාගේ ස්ථාවරය ගොඩනගාගන්නා ආකාරය නිරීක්ෂණය කල හැකියි. චිත්‍රපටයෙ වැඩිවශයෙන් මතු කරන බිරිඳ ගේ චරිතය රඟ දක්වන්නෙ Vanessa Kirby විසින්. ඇයත් බොහෝම විට ක්‍රියාදාම චිත්‍රපටවලට සීමාවුණු ස්වභාවයක් දක්නට ලැබුණත් මේ චිත්‍රපටය විසින් ඉල්ලා සිටින ඒ සියුම් සහ වඩා සංකීර්ණ රංග වින්‍යාසය ඇය තුළින් මතුවන ආකාරය විස්මයජනකයි. කිසිදාක දරුවෙක් බිහිකර නොමැති නිසා  ඇය විශේෂ අවසරයක් ලබාගෙන සජීවීව දරුවෙක් බිහිවන අවස්ථාවන් නිරීක්ෂණය කර තිබෙනව. ඇගේ මේ හැදෑරීම් වල නියම ප්‍රතිඵල ඇය ලබාගෙන ඇති බව චිත්‍රපටය නරඹනවිට වටහාගන්න පුලුවන්. ඇගේ රඟපෑම 2020 වසරට අදාලව හොඳම රංගනයක් බව කිවහැකියි. 2020 වැනිස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළලේදි ඇය මේ රඟපෑම වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබනව. ඒවගේම මේ මොහොතේ, ඉදිරියේදි පැවැත්වීමට නියමිත සම්මාන උළෙල ගණනාවක් සඳහාම ඇගේ නම නිර්දේශ වී තිබෙනව.

කලිනුත් සඳහන් කල ආකාරයට චිත්‍රපටය තුලින් නිරූපිත වෙන්නෙ උපන් මොහොතේම දරුවෙක් අහිමි වීම නිසා මවකට මුහුණදීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන්. ඒ නිසා මේ චිත්‍රපටය මූලික වශයෙන් ගැහැණිය පදනම් කරගත් එකක් බව හඳුන්වන්න පුලුවන්. මේ අවාසනාවන්ත සිදුවීම එක්ක තමන්ගේ ස්වාමියාගෙන්, නෑදෑ හිතමිත්‍රයන් ගෙන්, සමාජයෙන් සිදුවෙන බලපෑම එක්ක ඇතිවන මානසික අරගලය මැද ඇය ජීවිතයට මුහුණ දෙන ආකාරය චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරන්නෙ. "මගෙ සිරුර තවදුරටත් මට අයිති නොවෙන බව දැනුණා" මේ සිදුවීම සැබවින්ම අත්වින්ද Kata Wéber කියන්නෙ එහෙම. බොහෝ වෙලාවට අපේ ප්‍රශ්න තවදුරටත් අපේ ප්‍රශ්න නොවෙයි. ඒවා අපේ සමීපතමයන්ගෙත් ප්‍රශ්න බවට පත් වෙනව. එතනදි ප්‍රශ්නයට මුහුණදුන් කෙනාට සිදුවෙනව ඒ දුකත් වගෙම පිටස්තරයෙනුත් එල්ලවෙන සියලු බලපෑම් විඳදරාගනිමින් ජිවිතය ගෙනයන්න. පිටපත් රචිකාවක් විදිහට ලිවීම ජීවිතයෙ පුරුදු පුහුණු කරගෙන සිටි නිසා Kata Wéber ට ලිවීම තුළින් යම් සහනයක් ලබාගන්න හැකියාවක් ලැබෙන්න ඇති. Pieces of a woman චිත්‍රපටය බිහිවෙන්නෙ එහි ප්‍රතිඵලයක් විදිහට. ජීවිතේ විඳි දුක්වේදනාවන් ඇයට එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. දුක්වේදනාවත් ඇතුලේ ගිලී නොගොසින් ඒ දේවල් යහපත් ආකාරයට හැඩගැස්වා ගැනීමට අවශ්‍ය ශක්තිය අප තුළම පවතිනව. එවැනි කඩාවැටීම් හමුවේ ජීවිතයෙන් පලායනවා වෙනුවට අපි යතාර්ථය ඒ අයුරින් බාරගන්නට හුරු විය යුතුයි. ඇද වැටුණු තැනින් නැගී සිටින්නට අවශ්‍ය ආත්ම විශ්වාසය අපි තුළම ගොඩනගා ගත යුතුයි. මම හිතනව චිත්‍රපටය නිර්මාණය වුණු ආකාරය ගැන කතාපුවත තුළම ඒ පණිවුඩය සැඟවි තිබෙන බව.



No comments:

Post a Comment