Monday, October 18, 2021

The Double Life of Veronique (1991)

අවුරුද්දක් අවසානෙ නත්තල උදාවෙමින් තිබුණු එක හැන්දෑවක පුංචි වෙරෝනිකාට එයාගෙ අම්ම පෙන්නා දුන්න ඈත අහස පායා එමින් තිබුණ නත්තල් තරුව. එයා හරි පුදුමෙන් ඒ දිහා බැලුවෙ ජීවිතේට දුටුව අරුම පුදුම දෙයක් වගේ. ඇත්තට ඒ තරුව පිහිටා තිබුණෙ පෘථිවියට කොයිතරම් ඈතින් ද. ඒ ආලෝකවර්ෂ ගණනාවක දුරක්. හිතාගන්නවත් බැරි පරතරයක්. නමුත් හැම අවුරුද්දේම ඒ තරුව පායා එන කොට නත්තල උදාවෙන්න කිට්ටු බව මිනිස්සු දැනගන්නව. මේ තරම් දුරකින් පිහිටන ග්‍රහවස්තු දෙකක් අතර එකකින් අනෙකට වෙන බලපෑම කොයිතරම් අපූරු ද. විශ්වය කියන මේ අසීමිත අවකාශය ඇතුලෙ පැවැත්ම සිද්දවෙන්න එහෙම. ඕනෑම වස්තුවක් තමන් එක්කමත් තමන් නොවෙන අනෙකා එක්කත් ඇතිවෙන සම්බන්ධකම් අතර. ඒ කාරණේ තේරුම්ගන්න අපිට මේ වායුගෝලෙන් එපිටට යන්න ඕනත් නැහැ.

මේ පෘථිවි ග්‍රහයා ගත්තත් මේක පුරා විසිරී ඉන්න මිනිස් ජීවිත සමූහය පවතින්නෙ එකිනෙකා අතර තියන අන්තර්සම්බන්ධකම්  උඩ නේද කියන දෙය අපිට වටහ ගන්න පුලුවන්. දැන් අපි ගෙවමින් ඉන්නා යුගය ගත්තොත් ලෝකෙ ව්‍යාප්ත අන්තර්ජාලය හරහා, සමාජ මාධ්‍යවලින් මිනිස්සුන්ව අතාත්ත්විකව නමුත් යථාර්ථයෙන් වඩා සමීප කරල තියනව. එකම දූපතක වුණත් අන්ත දෙකක වාසය කරන, කිසිදා දැන අඳුනගන්න ඉඩක් නොතිබුණු දෙන්නෙකුට මිතුරන් බවට පත්වෙන්න ඉඩක් හැදිල තියනව. අපි භෞතිකව ඈත් වුණත් අපේ යථාර්ථයන් ඒ අතින් කොයිතරම් කිට්ටුද. 

පෝලන්ත ජාතික සුප්‍රකට සිනමාකරු Krzysztof Kieślowski ගේ The Double Life of Veronique චිත්‍රපටයෙන් වෙනස් රටවල් දෙකක වාසය කරන, නමුත් පෙනුමෙන් සහ නමින් එක සමාන තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවී තිබෙන අපූර්ව සම්බන්ධකමක් ගැන කියවෙනව. නමුත් ඔහු අපිට මේ කතාව කියන්න ඉදිරිපත් වෙන්නෙ කවියෙකුගෙ ස්වරූපයෙන්. එනම් කිසිවක් නරඹන්නාට පැහැදිලිව විස්තර ඇතිව ඉදිරිපත් නොකිරීමෙන්. එයින් එහා මේ වෙරෝනිකා නමින් හැඳින්වෙන තරුණියන් දෙදෙනාගේ චරිත ස්වභාව, ආශාවන්, මනෝභාවයන් නිරාවරණය වෙන්න ඉඩ හැරීමෙන්. ඒ නිසා The Double Life of Veronique නරඹන්නෙකුට දැකගන්න ලැබෙන්නෙ අසම්පූර්ණ චිත්‍රයක්. තමන්ගේම වර්ණයන්ගෙන් පුරවාගත යුතු හිස් අවකාශයක්. නමුත් මේ හිස් අවකාශය Kieślowski මෙහෙයවාගන්නෙ සිනමාවටම විතරක් කල හැකි කාව්‍යමය සෞන්දර්යකින්. The Double Life of Veronique මෙතෙක් ලොව නිර්මාණය වුණු වඩාත් කාව්‍යාත්මකම සිනමා කෘති අතරට ගැනෙන්නේ ඒ හින්ද. වෙරෝනිකාගේ චරිතය රඟපාන Irène Jacob ගේ රංගනයත් කොහෙත්ම අමතක කල නොහැක්කක්. ඇය වෙරෝනිකා තුලින් මවන්නේ සිනමා තිරයේ දැකගත හැකි සුන්දරතම ස්ත්‍රී රුවක් බව කියන්නම්. නමුත් ඇගේ සුන්දරත්වය යටින් දිවෙන කතා පුවතයි හඳුනාගන්න අවශ්‍ය වෙන්නෙ. Kieślowski මේ චිත්‍රපටය ගැන එක් තැනක තමන්ගේ අදහස ප්‍රකාශ කරනව. චිත්‍රපටය නැරඹූ කෙනෙකුට වුණත් යම් පැටලුමක් ඇත්නම් එය නිරාකරණය කරගන්න මේ අදහස් උදව්වේවි කියා හිතනව.

"මේ චිත්‍රපටයෙ මූලික තේමාව ' වඩා සැලකිලිමත්ව ජීවත්වෙන්න' කියන කාරණයයි. මොකද ඔයාගෙම සමහර ක්‍රියාවල ප්‍රතිවිපාක මොනවද, ඒවයින් අනෙක් මිනිස්සුන්ට වෙන්නෙ මොනවද කියන්න ඔයා දන්නෙ නෑ. ඔයා දන්න නොදන්න ඕනෑම කෙනෙකුට මේ දේවල් බලපාන්න පුලුවන්. ඒ නිසා පරිස්සමෙන් ජීවත් වෙන්න. ඔයා වටා යම් පිරිසක් ඉන්නව. ඒ අයගෙ යහපැවැත්ම රැඳී තියෙන්නෙ ඔයා මත. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අරමුණු අපේ මාවත් එකිනෙක මුණගැහෙනව. මට අනුව වගකීම කියන්නෙ මෙන්න මේ කාරණය ගැන දැනුවත්ව සිටීම. සැලකිල්ලෙන් සහ පරික්ෂාකාරීව ජීවත් වීම. අපිට අවබෝධයක් තියෙන්න් ඕන අපි වටා ඉන්න අය ගැන. හැමදේකටම වැඩියෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕන අපි ගැනම"

- Krzysztof Kieślowski 



No comments:

Post a Comment