කෙනෙක් ළමා වයස පහුකරලා ඇවිත් නව යෞවනයට අඩිය තියනවා කියන්නේ සෑහන වෙනස්කම් සිද්ධවෙන්න පටන් ගන්නා කාලයක්. ඒක භෞතිකව ශාරීරික වශයෙන් විතරක් නෙමෙයි, මානසිකවත්, ජීවිතේ දිහා දකින ආකාරයෙනුත් සිද්ද වෙන්න පටන්ගන්න වෙනසක්. අපි බාහිර ලෝකයෙන් වීර ප්‍රතිරූප හොයාගෙන යන කාලයක් මේක. ඒවගේ නොයෙක් වීර ප්‍රතිරූපවලට ආසක්ත වෙන කාලයක්. එතෙක් හරි ලොකු චරිත වගේ අපි දුටුව දෙමාපියන්ව ඉන්පස්සෙ බොහෝ වෙලාවට පේන්න පටන් ගන්නෙ නපුරන් විදිහට. සුනිල් පෙරේරා මහත්මයා "එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ" කියලා සින්දුවකිනුත් කියලා තියෙන්නෙ ඔය සංසිද්ධිය තමා. හැබැයි ඒ මහත්මයාම ඔය සින්දුවෙම කියන විදිහට පස්සෙ කාලෙක හරි අපිට ඒ අය කරන කියන දේ තේරුම්යන්න පටන් ගත්තම ඒ අය ගැන තියන වෛරී හැඟීම් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට නව යෞවන වයසේ හෝමෝන කැළඹීමත් එක්ක ජීවිතේට මුහුණ දෙන එංගලන්ත ජාතික ගැහැනු ළමයෙක් ගැන කතාවකුයි 2024 ආව ස්වාධීන සිනමාපටයක් වුණ Bird වල තියෙන්නෙ.
Friday, December 27, 2024
Bird (2024)
එංගලන්තය කිව්ව ගමන් ගොඩක් වෙලාවට මතක් වෙන්නේ හිරු නොබසින අධිරාජ්‍ය. ලෝකෙ පුරා ලොකු පොඩි නොයෙක් රටවල් මොන ක්‍රමයකින් හරි යටත් කරගෙන "සුද්දා" ගොඩ නැගුව සුපිරි රාජධානිය. එහෙම නැත්නම් ලෝකෙම අගනුවර විදිහට සලකන ලන්ඩන් නගරය, ලන්ඩන් පාලම, බිග්බෙන් එක, රාජකීය පවුල, බකින්හැම් මාළිගාව වගේ දේවල් ටිකක්. කොහොම වුණත් ඔය දූපත ලෝකෙ තියන ප්‍රබලම රාජ්‍යයක් විදිහට තමා අපේ මතකයෙ තියෙන්නෙ. හැබැයි ඔය එංගලන්තයේම උතුරුදිග කෙන්ට් ප්‍රාන්තයේ තට්ටු ගෙවල් පේළි අතරේ තියන ගොඩනැගිල්ලක උඩම තට්ටුවට ගිහිල්ලා පහත බැලුවාම පේන චිත්‍රය නම් ඊට හාත්පසින්ම වෙනස් එකක්. බිත්තිවල අඳපු graffiti චිත්‍රවලින් වැහුණ අපිරිසිදු කඩවීදි, එක එක ජාති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ තරුණ කාණ්ඩ, හරි හැටි අම්ම තාත්තා කවුද නොදැන අයාලේ හැදෙන ළමයි, අවුල් වෙච්ච පවුල් ජීවිත, ඔය වගේ දේවල් ටිකක් තමා පසුබිමේ පේන්න තියෙන්නෙ. Bird චිත්‍රපටියෙ කතාවට පාදක වෙන ගෑනු ළමයා ජීවත් වෙන්නෙත් ඒ වගේ වටාපිටාවක.
එයාගෙ නම බේලි, බේලිට වයස 12 යි. කිව්වත් වගේ එයා ඉන්නේ ළමා වයසත් නව යෞවන කාලයත් වෙන්වෙන සීමාව උඩ. බේලි ජීවත් වෙන්නෙ එයාගෙ තාත්තා බග් සහ තාත්තාගෙ කලින් කසාදයක දරුවෙක් වුණ හන්ටර් එක්ක තට්ටු නිවාසක. හන්ටර් කරන්නෙ එයාගෙ යාළු කොළු රෑනට වැටිලා පොඩි පොඩි මැරවැඩ කරන එක. තාත්තා බග් මන්ද්‍රව්‍ය විකුණනවා, ඒවා පාවිච්චි කරනවා, එයාගේ මත්ලෝලී යාළුවෝ එක්ක ගෙදර තිතරම පාටි දානවා. ඔය අතරේ බග් ආයෙම වතාවක් කසාදයක් කරගන්නයි හදන්නේ. ඒකට බේලි නම් පොඩ්ඩක් වත් කැමති නෑ. දවසක් බේලිට අහම්බෙන් වගේ ගවුමක් ඇඳගත්ත අමුතු පෙනුමක් තියෙන මනුස්සයෙක්ව මුණ ගැහෙනවා. එයා කාවදො කෙනෙක්ව හොයමින් යන කෙනෙක්. බේලි කියන්නේ සාමාන්‍යයෙන් අනික් අයව නුරුස්සන ගති ගුණ තියන ළමයෙක්. එයා මේ අමුතු මනුස්සයාවත් වැඩියෙ මායිම් කරන්නෙ නෑ. නමුත් ආයෙ දවසක් මේ දෙන්නා මුණගැහෙනවා. එයා හොයන්නෙ කාවද? සහ බේලිලාගේ ජිවිතවලට මොන මොන දේවල් සිද්ද වෙයිද? ඒක දැනගන්න නම් Bird චිත්‍රපටිය බලන්න වෙනවා.
Bird නිර්මාණය වෙන්නෙ ස්වාධීන සිනමාපටයක් විදිහට. ඒ කියන්නෙ ප්‍රධාන නිශ්පාදන සමාගමකින් තොරව නිර්මාණය වෙන වැඩක් විදිහට. මේක නිව් යෝක් නගරේ ජාතික සිනමා විචාරක මණ්ඩලය විසින් 2024 වසරේ හොඳම ස්වාධීන සිනමාපටි 10 න් එකක් විදිහට නම් කරලා තියනව. මේකෙ නිර්මාණය කරල තියෙන්නෙ American Honey, Fish Tank වගේ චිත්‍රපටි රසිකයන් අතරෙ ජනප්‍රිය වුණු වැඩ කිහිපයක්ම කරලා තියන Andrea Arnold කියන අධ්‍යක්ෂවරිය. ඒ වගේම මේකේ Barry Keoghan ගේ රඟපෑම ගැන කතා නොකර බෑ. Barry ට තියන අමුතු පෙනුම එක්ක අපි එයාව ගොඩක් දුරට දැකලා තියෙන්න දුෂ්ට නපුරු චරිත වලින්. නමුත් ඊට වෙනස්ව තාත්තා කෙනෙකුගේ චරිතයක් (බග්) රඟපාන හැටි දකින්න ලැබෙන පළවෙනි අවස්ථාව මේක වෙන්න ඕන. හැබැයි Barry වගේ සෑහෙන තරුණ කෙනෙක් තාත්තා කෙනෙකුගේ චරිතයට ගැලපේවිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් චිත්‍රපටියෙ විදිහට බග් තාත්තා කෙනෙක් වෙන්නේ සෑහෙන අඩු වයසෙන්. බග් විතරක් නෙමේ ඒ පරිසරයේ හැදෙන වැඩෙන ගොඩක් අය එහෙම බවයි අපි දකින්නේ.
නමේ හැටියටම මේකේ කුරුල්ලා කියන සත්ත්වයා ව සංකේත රූපයක් විදිහට චිත්‍රපටිය පුරාම භාවිත වෙනවා. පොළවේ ඉන්න අපිට අහසේ පියාඹන කුරුල්ලන්ව පේන්නේ බොහොම නිදහසේ පාවී යන සත්ත්ව කොට්ටාසයක් විදිහට. එහෙම බැලුවම බේලිලාගේ බග්ලාගේ ජීවිතත් එහෙමද කියලා හිතෙනවා. අපිට එයාලාව පේන්නෙ ජීවිතේ ඇතුළේ ලොකු බරසාර අරමුණු නැති, යන්තම් එදාවේලෙ හොයාගෙන ජීවත්වෙන අපිළිවෙළ, අවුල්සහගත නමුත් නිදහස්කාමී පාවෙන ජීවිත විදිහට. ඔය පරිසරයක හැදෙන වැඩෙන ළමයි වුණත් අන්තිමට ඔය තාලෙටම ලොකුමහත් වෙන එකයි වෙන්නෙ. ඒකට හොඳම උදාහරණය හන්ටර්. අපේ සමාජෙ ඇතුළෙ වුණත් එක්තරා සමාජ තීරුවක් ඇතුළෙ මේ වගේ අයව අපිට මුණගැහෙනවා. එයාලා බොරු වැදගත්කම් සලකන්නෙ නැති "ප්‍රබුද්ධ" සමාජයට වැද්ද නොගන්න අය. නමුත් ජීවිතේකට ඇත්තටම වටිනාකම් කියල දේවල් තියනව නම් ඒව මොනවද කියලා චිත්‍රපටිය අවසානෙදි පෙන්වා දෙනව කියල මම හිතනවා. Bird කියන්නෙ මේ අවුරුද්දෙ ආව හොඳම වැඩක් වෙන්නෙ එහෙමයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment