Sunday, September 6, 2026

වැසි දවස

නිරසයි මේ දවස, තෙත්බරයි, අඳුරුයි

ඇද හැලෙයි වරුසා, හමන සුළඟද රුදුරුයි,

ඇදී යයි මිදි වැළ, ඉපැරණි බිත්තිය දිගේ

හමා එන සුළං දහරේ, මැරුණු මිදි පත් ඇද හැලේ,

නිරසයි මේ දවස, අඳුරුයි.


නිරසයි මගෙ දිවිය, තෙත්බරයි, අඳුරුයි.

ඇද හැලෙයි වරුසා, හමන සුළඟද රුදුරුයි,

ඇදී යයි මගෙ සිතුම්, ඉපැරණි කාලය දිගේ,

තුරුණු විය මගෙ පැතුම්, හමන සුළඟේ ඇද හැලේ,

නිරසයි මේ දවස්, අඳුරුයි.


ඉවසනු මැනවි මා හද, නවත්වා ළතැවිලි,

වැහි වළාවලට ඔබ්බෙන්, සුදිලේය හිරු එළි,

නුඹට මෙන් කාහටත්, එකම ඉරණම එයයි,

ගෙවෙන හැම දිවියකටම, වැහි පොදක් ඇද හැලිය යුතුයි,

නිරස විය යුතුයි සමහර දවස්, අඳුරු විය යුතුයි.


"The Rainy Day" by Henry Wadsworth Longfellow ~






4 comments:

  1. මේ දවස් වල එල්ලිලෝ එකක් ඇවිත් වහින්නේ නෑ කියලා පෙවුත්ති වල දැක්කා රංදික මල්ලි

    ReplyDelete
  2. මල්ලියා වැස්සේ තෙමෙන්න ආසයිද මේ අජිත් අයියා එක්ක

    ReplyDelete
  3. වැස්ස, සුළඟ, අඳුර සහ මැරී වැටෙන මිදි පත්—කවියේ මුලදී මේවා පෙනෙන්නේ හුදෙක් අඳුරු දවසක දසුනක් විදිහටයි. නමුත් ටිකෙන් ටික ඒ බාහිර පරිසරය කවියාගේ ඇතුළත ලෝකය බවට පත්වෙනවා. පැරණි බිත්තිය දිගේ ඇදෙන මිදි වැළ මෙන්ම, ඔහුගේ සිතුවිලිත් ඉපැරණි කාලය දිගේ ආපසු ඇදෙනවා. තරුණ වියේ තිබුණු පැතුම් සහ සිහිනත් සුළඟේ ගසාගෙන යන මැරුණු කොළ මෙන් අහිමි වී යනවා.

    ඒ නිසා “නිරසයි මේ දවස” කියන වචනය අවසානයේ “නිරසයි මගෙ දිවිය” බවට පත්වෙනවා. එහෙත් කවිය එතැනින් නවතින්නේ නැහැ. තමන්ගේම හදවතට “ඉවසනු මැනවි” කියන කවියා, වැහි වළාවලට ඔබ්බෙන් හිරු එළිය ඇති බව සිහිපත් කරනවා.

    අවසානයේ ඔහු තමන්ගේ දුක තනි පුද්ගලයකුගේ අත්දැකීමක් ලෙස නොව, හැම ජීවිතයකම අනිවාර්ය කොටසක් ලෙස දකිනවා. හැම දවසක්ම සුන්දර විය යුතු නැහැ. සමහර දවස් නිරස විය යුතුයි, අඳුරු විය යුතුයි, වැසි වැටිය යුතුයි. ඒත් ඒ අඳුරෙන් එහා හිරු එළියක් ඇති බව අමතක නොකිරීමයි වැදගත්.

    ඒ නිසා මේ කවියේ අවසානය දුකක අවසානයක් නොවෙයි. එය දුක සමඟ ජීවත් වීමට ඉගෙන ගත් මනසක නිහඬ පිළිගැනීමක් වගේ.

    ReplyDelete