බලන්න නෙමේ කන්න හිතෙන චිත්‍රපටි මෙව්වා. මෙහෙම කෑම ඉවිල්ලක් නම් දැකල නැති තරම්. සම්පූර්ණයෙන්ම කෑම ඉවීම, පිළිගැන්වීම සහ රස බැලීම මත තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. ගිය අවුරුද්දේ හොඳම විදෙස් භාෂා අංශයෙන් ඔස්කාර් සම්මානය වෙනුවෙන් තෝරාගත්‍ත කෙටි ලයිස්තුවට ප්‍රංශය නියෝජනය කරමින් මේ චිත්‍රපටය ඇතුළත් වුණා. 1800 ගණන්වල ප්‍රංශයේ විවිධාකාර කෑම වර්ග රස බැලීම ප්‍රිය කරන තරුණ වංශාධිපතියෙක් සහ ඔහුගේ ප්‍රධාන සූපවේදිනිය මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ. කෑම ඉවිල්ල අතරට ප්‍රේමයත් මනුස්ස සම්බන්ධකමුත් හරි ලස්සනට රහට මුහු කරල තිබ්බා. ඒවගේම කෑම ඉවිල්ල පිටිපස්සෙ කොච්චර ලොකු ශ්‍රමයක් තියනවද කොයිතරම් ලොකු ආදරයකින් මේ වැඩේ කරන්න ඕන ද කියල පෙන්වා දෙනව. රහට ගුණට සහ දැක්කම කන්න හිතෙන ආකාරයෙන් ඉවීම විතරක් නෙමේ කෑම රස බැලීමත් එක්තරා කලාවක් බව හිතෙනවා මේක බලද්දි.
Sunday, March 10, 2024
The Taste of Things (2023)
Monday, March 4, 2024
ආයෙමත් අඩු ලකුණු
"ආයෙමත් අඩු ලකුණු"
Friday, March 1, 2024
Poor Things (2023)
මිනිස්සු අවට ලෝකය ගැනත්, තමන් ගැනත් නිවැරැදිව තේරුම්ගන්නෙ කොහොමද කියන ගැටලුව කාලයක පටන් බටහිර දර්ශනවාදය ඇතුළේ විවාදයට ලක්වෙමින් තිබෙන කරුණක්. මේක අයිති වෙන්නෙ දැනුමේ ස්වභාවයන් සහ එහි ප්‍රභවයන් ගැන සොයාබලන, දර්ශනවාදයේ තියන ඥනවිභාගය (Epistemology) නම් ක්ෂේත්‍රයට. මෙතනදි, බටහිර දාර්ශනික සම්ප්‍රදායන් ඇතුළේ ප්‍රධාන වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ ප්‍රවාදයන් දෙකක් හඳුනාගන්න ලැබෙනව. බුද්ධිවාදී (Rational) දාර්ශනික ප්‍රවාහය මින් එකක්. මීට පක්ෂව දාර්ශනිකයන් ගෙන එන මූලික අදහස තමා මිනිස්සු දැනුම ලබාගන්නෙ තර්ක බුද්ධියෙන් කල්පනා කිරීම හරහා බව. මිනිස් චින්තාව තාර්කික පදනමකට ගොනුකර විග්‍රහ කිරීමටයි මොවුන් වෑයම් දැරුවේ. ග්‍රීක සම්භාව්‍ය දාර්ශනිකයන් වුණු සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ සහ ඉන් පස්සේ යුරෝපයේ ඩෙකාට් වැනි අය මේ පක්ෂයේ ප්‍රමුඛතම චරිත විදිහට හඳුනාගැනෙනවා. අනෙක් කණ්ඩායම නම් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදන සහ ඒවායින් ලබන් අත්දැකීම් මුල් කරගෙන මිනිසා දැනුම ලබාගන්නා බවට ප්‍රකාශ කළ අනුභූතිවාදී (Empirical) දාර්ශනිකයින්. ඔවුන් කිව්වා මනුස්සයෙක් ලෝකෙට බිහිවෙන්නෙ හරියට හිස් කඩදාසියක් වගේ කියලා. පසුකාලීනව ඔහු හෝ ඇය ලබන අත්දැකීම් අනුව, ඒ කියන්නෙ මේ ළදරුවා නම් හිස් කඩදාසියේ ලියැවෙන දේ අනුව, ඔහු හෝ ඇය කවුරුන් බවට පත්වෙනවාද යන්න තීරණය වෙන බව ඔවුන් කිව්වා. තර්ක බුද්ධිය මිනිස් දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය විදිහට නම් කළ නොහැකි බවට ඔවුන් වාද කළා. ජෝන් ලොක්, ඩේවිඩ් හියුම්, ජෝර්ජ් බාක්ලේ වැනි දාර්ශනිකයින් මේ පක්ෂයේ පුරෝගාමී චරිත විදිහට නම් කළ හැකියි. මේ දාර්ශනික සම්ප්‍රදායන් අතරට පසුව ජර්මන් ජාතික දාර්ශනික එම්මෑනුවෙල් කාන්ට් වෙනස් අදහසක් අරගෙන ආවා. ඔහු මේ "හිස් කඩදාසියක් ආකාරයට ලෝකයට උපදින" කතාව ප්‍රශ්න කළා. ඔහු කිව්වා අත්දැකීම් ආශ්‍රයෙන් දැනුම ලබන්න නම්, අත්දැකීම් ග්‍රහණය කරගත හැකි සහ ඒවා ගැන විනිශ්චය කර බැලිය හැකි යම් පූර්ව දැනුමක් (A priori) උරුම කරගෙන මිනිසුන් මෙලොවට ඉපදිය යුතු බව. ඔහු මෙය අත්දැකීම් සීමාවෙන් එහා සිට පැවත එන කුසලතාවක් විදිහටයි නම් කරන්නෙ. කාන්ට් එක්තරා ආකාරයකට බුද්ධිවාදය සහ අනුභූතිවාදය එක් කර ඒ අතර මැද නව මාවතක් විවර කළා කියන්න පුළුවන්. දැනුම ගැන තියන මේ දාර්ශනික සංවාද පැත්තකින් තියෙද්දී, අවට ලෝකය තේරුම් ගන්න අපි ලබන අත්දැකීම් සහ අපේම බුද්ධිය කොයිතරම් වැදගත් වෙනවද කියන කරුණ ගැන ජීවිතේ ඇතුළෙන් අපිටම වටහගත හැකියි. දැන් සමාජ මාධ්‍ය අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන හින්දා, මේවයින් අපිට ලැබෙන තොරතුරු, නොයෙක් අදහස් මතවාදවලට අපි නිරාවරණය වීම එක්ක, මේ දේවල් අපි හිතන පතන ස්වභාවය හැඩගස්වන්න සෑහෙන බලපෑමක් කරනව. අදින් අවුරුදු දහයකට කලින් හිටිය අපි සහ දැන් ඉන්න අපි අතර වෙනස හිතා බැලුවොත්, ලෝකය පිළිබඳව සහ ජීවිතේ ගැන, දේශපාලනික සහ සමාජීය කරුණු කාරණා ගැන අපි හිතන පතන දේවල් කොයිතරම් වෙනස් වෙලාද කියල අපිටම කල්පනා කරල බලන්න පුළුවන්. ජීවිතේ ඇතුළෙ සහ අපේ මනුස්ස සම්බන්ධකම් ඇතුළේ අපිට අත්විඳගන්න සිදුවන දේවල්, අපේ චරිත ස්වභාවයන් සහ අපේ සිතුවිලි හැඩගස්වන්න කොයිතරම් බලපෑමක් කරනවද කියල හරි අපූරුවට පෙන්වා දෙන සිනමාපටයක් පහුගිය 2023 අවුරුද්දේ තිරගත වුණා. ඒ තමා යෝගෝස් ලැන්තිමෝස් කියන ග්‍රීක් ජාතික සිනමාකරුවාගේ ඇමරිකානු හොලිවුඩය නිර්මාණයක් වුණු Poor Things චිත්‍රපටය.
Tuesday, February 27, 2024
The Zone of Interest (2023)
දෙවනි ලෝක යුද්ධ කාලයෙදී ස්පාඥ ජාතික චිත්‍ර ශිල්පී පිකාසෝ ප්‍රංශයේ පැරිස් නගරයේ කලක් වාසය කළා. ඔය අතරෙ හරියටම 1940 ජුනි 14 වෙනිදා ජර්මානු නාසි හමුදාව පැරිස් නගරයේ බලය අල්ලාගත්තා. පිකාසෝ මේ නගරෙ වාසය කරන බව නාසිවාදීන් දැනගෙන හිටියා. ඔවුන් පිකාසෝගේ යුධ විරෝධී කලා භාවිතාවට කැමැත්තක් දැක්වුවේ නෑ. දවසක් පිකාසෝගේ නවාතැන පරික්ෂා කරබලන්න හිට්ලර් ගේ රහස් පොලීසිය වුණ ගෙස්ටපෝ භටයින් කීප දෙනෙක් පැමිණුනා. නිවස පරික්ෂා කරන අතරෙ ඔහුගේ සුප්‍රකට "ගුවර්නිකා" නම් විශාල සිතුවමේ කුඩා පරිමාණ පිටපතක් ඔවුන් සොයාගත්තා. ගුවර්නිකා සිතුවමෙන් ඉතාම සංකේතාත්මකව නිරූපිත වෙන්නේ ස්පාඥ්ඤ සිවිල් යුධ සමයේදී නාසි හිතවාදී පාලක ෆ්‍රැන්කෝ ගේ හමුදාවන් ගුවර්නිකා නගරය ගුවනින් බෝම්බ දැමීමේ සිද්ධිය සහ එවකට රටේ තිබූ පරිහානිය. ගුවර්නිකා කියන්නේ ස්පාඤ්ඤයේ එවකට පැවති ෆ්‍රැන්කෝ ගේ ඒකාධිපති පාලනයට විරුද්ධ වුණු නිදහස් මතධාරී මිනිසුන් බොහෝමයක් සිටි නගරයක්. සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ ගණනක් මරා දමමින් එල්ල කළ මේ බෝම්බ ප්‍රහාරය ලෝක ඉතිහාසයේ එක් අඳුරු පැල්ලමක්.
Thursday, February 8, 2024
ලොව සිනිඳුතම වළාකුළු
Wednesday, February 7, 2024
Three of us (2023)
ජීවිතේ අතිශ්‍ය නොවැදගත් කුඩා මොහොතක වුණත් සමහර වෙලාවට කොයිතරම් කාව්‍යාත්ම ලස්සනක් තියෙන්න පුළුවන්ද කියල හිතුණා Three of us බලද්දී. අන්තර්ගතය එහෙම පිටින්ම අතහැරලා රෑප රාමුවෙන් රෑප රාමුවට ඇස් ඉස්සරහ මැවෙන සෞන්දර්යයෙන්ම හිත පුරවාගෙන යන්න තියනව නම් ඒ වුණත් ඇති කියලා හිතනේනේ එහෙම වෙලාවට. එක වෙලාවකදි තිරය මත මැවෙන්නේ රැළි නැගෙන මූදු වෙරළක්, ආයෙ වෙලාවක ගරා වැඩිච්ච උළු හෙවිල්ලපු පරණ ගෙයක්, අවන්හලක රෑ ආහාර ගනිම්න් ඉන්නා කෙනෙකුගේ මූණට වැටෙන පැති ආලෝක ධාරාවක්. තව පැත්තකින් දිය දහරක් ගාව තියන කෝවිලක්, පරණ කළු ලෑල්ලක්, දූවිලි වැදිච්ච ඩෙස් බංකු තියන පන්ති කාමරයක්, කොළ පාටින් වැහිච්ච පරසරයක්, භරත නාට්‍යම් නර්තනයේ යෙදෙන සුන්දර යුවතියන් කාණ්ඩයක්, ඔවුන්ගේ සිරුරුවල මතුවන ඉසියුම්.හැඩතලයක්, පසුබිමෙන් ඇහෙන ඉන්දියානු සම්භාව්‍ය සංගීතයක්, ඒ හැමදෙයක්ම අතරෙ මල් පෙති වගේ මෘදු ගැහැනු සහ පිරිමි, මේ හැම දෙයක්ම පුදුමු ප්‍රහර්ෂයකින් ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි දේවල්.
Friday, January 26, 2024
The Breaking Ice (2023)
මේ මහ පොළවත්, හමන සුළඟත්, සූර්යාලෝකයත් හැමදාම එකම විදිහට අපි වටා පවතින්නෙ නැහැ. කාලෙන් කාලෙට මේවයෙ රටාවන් විවිධාකාර විදිහට වෙනස් වෙනව. කාලෙකට වේලාසනින්ම හැන්දෑ වෙලා කළුවර වැටෙන්න පටන් ගන්නව, තවත් කාලෙකට වැඩිපුර හුළඟ හමනව, කාලෙකට උදෑසන මීදුමෙන් බර වෙනව, සීත, උෂ්ණ බව අඩු වැඩි වෙනව. ඍතු බේදය කියල අපි කියන්නෙ මේකට. අපි වගේ සමකාසන්න රටවලට යන්තමිනුත්, උත්තර සහ දක්ෂණාර්ගෝල කිට්ටුවෙන් බොහෝම පැහැදිලිවත් මේ දේශගුණික වෙනස්කම් දැකගන්න පුළුවන්. මෙහෙම සිද්දවෙන නොයෙක් ඍතු විපර්යාස අතරේ හිමකැට අරන් එන සීත කාලය කියන්නෙ ඒ රටවලට නම් සාපේක්ෂවශයෙන් දුෂ්කර සමයක්. උෂ්ණත්වය සමහර විට සෙල්සියස් අංශක ඍන ගණන්වලට බැහැලා පාරවල් හිමෙන් යට වෙනව, ලස්සනට තිබුණු ගංගා, ඇළ දොළ, විල්, පොකුණු ඝනීභූත වෙලා යනව. පර්යටනික කුරුල්ලන් නම් මේ කාලෙට අපේ වගේ උෂ්ණ රටවල් සොයාගෙන පියාඹා යනව, බොහොම සත්තු පොළවේ හාරාගත්ත බිම් ගෙවල්වලට වෙලා සිසිර නින්දේ නිදාගෙන සීත ඍතුව ගෙවා දමනවා. මේ දුරුතු මාසේ උදේම තියන සීතල උහුලන් ඉන්න අමාරු අපිට ඔය යක්ස හීතල කොයි වගේද කියල ටිකක් විතර හිතා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට වෙනස්වෙන දේශගුණික රටාවන් කියන්නේ ජීවිතයත්, පරිසරයත් එකිනෙක හරි අපූරුවට සම්බන්ධ කළ හැකි ඉසව්වක්. සමහරවිට ජීවිතේ යම් යථා ස්වභායන් තේරුම්ගන්න සොබාදහමේ මේ ගතිගුණය අපිට උදව්වෙනවා. ජීවිතේ ඇතුළෙන් මල් පිපෙන කාල වගේම හිම වැටෙන සීත කාල එන බව එතකොට තේරුම්ගන්න පුලුවන්. කාලෙකදි සනීප සීතලක් අරගෙන ආව හුළඟ වුණත් ඇඟට ඉඳිකටු තුඩු වලින් අනින්නා වගේ දරා ඉන්න අමාරු දෙයක් බවට පත්වෙද්දී, සියළු ළතෙත් බර තැන් ඝනීභවනය වෙලා අයිස් මිදිලා යද්දී, ජීවිතේ එකම හිම කාන්තාරයක් බවට පත්වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සනීපදායක මනුස්ස ඇසුරක පහස ලබන්න කාටත් ඕන වෙන්නෙ අන්න ඒවගේ මොහොතක . එහෙම බැඳීම් හරියට සීත කාලෙදි උණුහුම ගේන හිමකබායක් වගේ හදවත උණුහුම් කරනව. ජයග්‍රහණයෙදී සතුට සමරන්න වගේම පරාජය ලබල එනකොට ආදරණීයව වැළඳගන්න කෙනෙක් දෙන්නෙක් හෝ ජීවිතේ ඉන්නම ඕන. නමුත් එහෙම අය අපිට මුණගැහෙන්නෙ බොහොම කලාතුරකින්. මොකද මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ පැවැත්ම වෙනුවෙන්. තමන්ගේ පැවැත්ම සහ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් මිනිස්සු බැඳීම් ඇති කරගන්නෙ. ඇත්තම කතාව ගත්තොත් අපිට තියන ගොඩක් සම්බන්ධකම්වල තියෙන්නේ දේශපාලනයම සහ ව්‍යාපාරිකමය වියළි බවක් තමයි. එවැනි තැන්වල සහෘදාත්මක අවංකභාවය නෑ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ලෝකය ගොඩනැගිල තියෙන්නෙ එහෙම තමා. ඒකට කාටවත් දොස්පවරලා වැඩක් නෑ. බියක්, සැකක් තියගන්නේ නැතිව අවංකම තම හදවත විවෘත කළ හැකි, සහ හිත හඳුනාගන්න පුළුවන් ටික දෙනෙක් පමණක් හරි ජීවිතේදි අපිට මුණගැහෙනව නම් ඒක වටිනව. වැඩි දෙයක් බලාපොරොත්තු නොවී ළඟ ඉඳීමෙන්, බෙදාහදා ගැනීමෙන් පමණක් සෑහෙන එහෙ ලස්සන මනුස්ස සම්බන්ධකම් දිහා බලන් හිටියත් හිත පිරෙනව.
2023 අවුරුද්දේ චිත්‍රපටි ලයිස්තුවේ මෙහෙම චිත්‍රපටියක් දැකගන්න ලැබුණා. ඔස්කාර් සම්මානය වෙනුවෙන් හොඳම විදෙස් භාෂා අංශයෙන් සිංගප්පූරුව නියෝජනය කළ The Breaking Ice චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ කලින් කිව්වා වගේ අපූරු මනුස්ස සම්බන්ධකමක් ගැන කියවෙන කතා පුවතක්. මේක සිංගප්පූරු ජාතික සිනමාකරු Anthony Chen ගේ නිර්මාණයක්. මෙතනදි අපිට දැකගන්න ලැබෙනව තුන් දෙනෙක්. ජීවිතේ හිම කුණාටු සමයක් ගෙවා දමමින් ඉන්නා තුන්දෙනෙක්, එකිනෙකට වෙනක් ගති ගුණ තියන තුන්දෙනෙක්. එක මොහොතක මේ තුන්දෙනා හමුවෙන හැටිත්, ඉන් පස්සේ දවස් කිහිපයක් තුන්දෙනා එකට ගෙවාදමන හැටිත් තමා මේ කතාවෙ ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටිය පුරාම දැඩී සීතල, හිම සහ අයිස් කියන සංකේත රෑප ඉතා ප්‍රබලව පසුබිමෙන් දක්නට ලැබෙනව. සැබෑම නිර්ව්‍යාජ මිත්‍රත්වයත්, ආදරය සහ අනුරාගයත්, මනුෂ්‍යත්වයත් ජීවිතේ දුක්වේදනාවේ සීතල අයිස් කුට්ටි දිය කරමින් මතුවෙන හැටි බලා ඉන්න අපූරුයි. ටිකක් වැඩිපුර සීතල දැනෙන මේ කාලෙ මට මේ චිත්‍රපටිය හරියට උණුහුම්ව විඳගත හැකි සිනමාත්මක වැළඳගැනීමක් වගෙයි දැනුණේ.






