Sunday, March 10, 2024

The Taste of Things (2023)

බලන්න නෙමේ කන්න හිතෙන චිත්‍රපටි මෙව්වා.  මෙහෙම කෑම ඉවිල්ලක් නම් දැකල නැති තරම්. සම්පූර්ණයෙන්ම කෑම ඉවීම, පිළිගැන්වීම සහ රස බැලීම මත තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. ගිය අවුරුද්දේ හොඳම විදෙස් භාෂා අංශයෙන් ඔස්කාර් සම්මානය වෙනුවෙන් තෝරාගත්‍ත කෙටි ලයිස්තුවට ප්‍රංශය නියෝජනය කරමින් මේ චිත්‍රපටය ඇතුළත් වුණා. 1800 ගණන්වල ප්‍රංශයේ විවිධාකාර කෑම වර්ග රස බැලීම ප්‍රිය කරන තරුණ වංශාධිපතියෙක් සහ ඔහුගේ ප්‍රධාන සූපවේදිනිය මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ. කෑම ඉවිල්ල අතරට ප්‍රේමයත් මනුස්ස සම්බන්ධකමුත් හරි ලස්සනට රහට මුහු කරල තිබ්බා. ඒවගේම කෑම ඉවිල්ල පිටිපස්සෙ කොච්චර ලොකු ශ්‍රමයක් තියනවද කොයිතරම් ලොකු ආදරයකින් මේ වැඩේ කරන්න ඕන ද කියල පෙන්වා දෙනව. රහට ගුණට සහ දැක්කම කන්න හිතෙන ආකාරයෙන් ඉවීම විතරක් නෙමේ කෑම රස බැලීමත් එක්තරා කලාවක් බව හිතෙනවා මේක බලද්දි. 

සූපවේදිනිය ඉයුජීන් ගෙ චරිතය කරන යුරෝපයේ අග්‍රගණ්‍ය නිළි ජුලියට් බිනෝශේ මේ චිත්‍රපටයට ලොකු අවදානයක් ලැබෙන්න හේතුවුණා කියල හිතනව. ඇයත් ඇගෙ ස්වාමියා විදිහට රඟපාන ඔහුත් කාලයක් ඇත්‍තටම විවාහ වෙලා සිටි අය වීම විශේෂත්වයක්. මේකෙ පසුතල එහෙම යුරෝපයටම අනන්‍ය සෞන්දර්යෙන් පිරුණු ඒව. ෆ්‍රේම් එකක් ෆ්‍රේම් එකක් ගානෙ ඇහිපිය නොහෙලා බලා ඉන්න පුලුවන් තරම් පුදුමාකාර ලස්සනයි. යුරෝපීය කෑම වර්ග මූලිකවම  එළවලු සහ මස් මාලු වර්ග තම්බලා ඉන්පස්සෙ නොයෙක් ඒව කරල ගන්න ඒවද කියල හිතෙනව. හැබැයි මේකෙ කේක් එකක් තියනව  උඩින් වයින් වක්කරලා පස්සෙ ගිනි පත්තුකරලා කන්න ගන්න. ඒක දැක්කම කොයි ලෝකෙන් හරි හොයන් කන්න හිතෙනවා.  විශේෂයෙන්ම බඩගිනි ඇතිකරන සුළු ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වා දෙන්න සිද්දවෙනව. 




Monday, March 4, 2024

ආයෙමත් අඩු ලකුණු

 "ආයෙමත් අඩු ලකුණු"

මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?

රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නිමවන ලද මෙම සිතුවම, "ආයෙමත් අඩු ලකුණු" ලෙස නම් කළේ ය.

එහි සිටින්නේ විභාගය අසමත්වී පාසලේ සිට ආපසු එන පිරිමි ළමයෙකි. පවුලේ අය ඔහු දෙස බලන්නේ අපහාසාත්මක ආකාරයෙනි. ඔහුගේ සහෝදරයා ඔහු දෙස බලා සිටින්නේ සරදම් සිනහවක්ද සමගය. නමුත්, විභාගයට ගත් ලකුණක් ගැන නොවිමසා සුපුරුදු ළෙංගතු කමෙන් ඔහුව නිවසට පිළිගන්නේ සුනඛයා පමණි. 

මේ සිතුවම නිමැවූ කලාකරුවා ඒ ගැන කියන්නේ මෙසේ ය: “බල්ලෙක් ඔහුට සලකනවා වගේ ඔහුට සලකන්න, ඔහු සමත් වුවත්, අසමත් වුවත් ඔහු ළමයෙකු ලෙස පමණක් දැක බල්ලා ඔහුට ආදරය දක්වයි."

~ extracted and translated from "Petslover"



Friday, March 1, 2024

Poor Things (2023)

මිනිස්සු අවට ලෝකය ගැනත්, තමන් ගැනත් නිවැරැදිව තේරුම්ගන්නෙ කොහොමද කියන ගැටලුව කාලයක පටන් බටහිර දර්ශනවාදය ඇතුළේ විවාදයට ලක්වෙමින් තිබෙන කරුණක්. මේක අයිති වෙන්නෙ දැනුමේ ස්වභාවයන් සහ එහි ප්‍රභවයන් ගැන සොයාබලන, දර්ශනවාදයේ තියන ඥනවිභාගය (Epistemology) නම් ක්ෂේත්‍රයට. මෙතනදි, බටහිර දාර්ශනික සම්ප්‍රදායන් ඇතුළේ ප්‍රධාන වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දැරූ ප්‍රවාදයන් දෙකක් හඳුනාගන්න ලැබෙනව. බුද්ධිවාදී (Rational) දාර්ශනික ප්‍රවාහය මින් එකක්. මීට පක්ෂව දාර්ශනිකයන් ගෙන එන මූලික අදහස තමා මිනිස්සු දැනුම ලබාගන්නෙ තර්ක බුද්ධියෙන් කල්පනා කිරීම හරහා බව. මිනිස් චින්තාව තාර්කික පදනමකට ගොනුකර විග්‍රහ කිරීමටයි මොවුන් වෑයම් දැරුවේ. ග්‍රීක සම්භාව්‍ය දාර්ශනිකයන් වුණු සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ සහ ඉන් පස්සේ යුරෝපයේ ඩෙකාට් වැනි අය මේ පක්ෂයේ ප්‍රමුඛතම චරිත විදිහට හඳුනාගැනෙනවා. අනෙක් කණ්ඩායම නම් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදන සහ ඒවායින් ලබන් අත්දැකීම් මුල් කරගෙන මිනිසා දැනුම ලබාගන්නා බවට ප්‍රකාශ කළ අනුභූතිවාදී (Empirical) දාර්ශනිකයින්. ඔවුන් කිව්වා මනුස්සයෙක් ලෝකෙට බිහිවෙන්නෙ හරියට හිස් කඩදාසියක් වගේ කියලා. පසුකාලීනව ඔහු හෝ ඇය ලබන අත්දැකීම් අනුව, ඒ කියන්නෙ මේ ළදරුවා නම් හිස් කඩදාසියේ ලියැවෙන දේ අනුව, ඔහු හෝ ඇය කවුරුන් බවට පත්වෙනවාද යන්න තීරණය වෙන බව ඔවුන් කිව්වා. තර්ක බුද්ධිය මිනිස් දැනුමේ ප්‍රධාන මූලාශ්‍රය විදිහට නම් කළ නොහැකි බවට ඔවුන් වාද කළා. ජෝන් ලොක්, ඩේවිඩ් හියුම්, ජෝර්ජ් බාක්ලේ වැනි දාර්ශනිකයින් මේ පක්ෂයේ පුරෝගාමී චරිත විදිහට නම් කළ හැකියි. මේ දාර්ශනික සම්ප්‍රදායන් අතරට පසුව ජර්මන් ජාතික දාර්ශනික  එම්මෑනුවෙල් කාන්ට් වෙනස් අදහසක් අරගෙන ආවා. ඔහු මේ "හිස් කඩදාසියක් ආකාරයට ලෝකයට උපදින" කතාව ප්‍රශ්න කළා. ඔහු කිව්වා අත්දැකීම් ආශ්‍රයෙන් දැනුම ලබන්න නම්, අත්දැකීම් ග්‍රහණය කරගත හැකි සහ ඒවා ගැන විනිශ්චය කර බැලිය හැකි යම් පූර්ව දැනුමක් (A priori) උරුම කරගෙන මිනිසුන් මෙලොවට ඉපදිය යුතු බව. ඔහු මෙය අත්දැකීම් සීමාවෙන් එහා සිට පැවත එන කුසලතාවක් විදිහටයි නම් කරන්නෙ. කාන්ට් එක්තරා ආකාරයකට බුද්ධිවාදය සහ අනුභූතිවාදය එක් කර ඒ අතර මැද නව මාවතක් විවර කළා කියන්න පුළුවන්. දැනුම ගැන තියන මේ දාර්ශනික සංවාද පැත්තකින් තියෙද්දී, අවට ලෝකය තේරුම් ගන්න අපි ලබන අත්දැකීම් සහ අපේම බුද්ධිය කොයිතරම් වැදගත් වෙනවද කියන කරුණ ගැන ජීවිතේ ඇතුළෙන් අපිටම වටහගත හැකියි. දැන් සමාජ මාධ්‍ය අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන හින්දා, මේවයින් අපිට ලැබෙන තොරතුරු, නොයෙක් අදහස් මතවාදවලට අපි නිරාවරණය වීම එක්ක, මේ දේවල් අපි හිතන පතන ස්වභාවය හැඩගස්වන්න සෑහෙන බලපෑමක් කරනව. අදින් අවුරුදු දහයකට කලින් හිටිය අපි සහ දැන් ඉන්න අපි අතර වෙනස හිතා බැලුවොත්, ලෝකය පිළිබඳව සහ ජීවිතේ ගැන, දේශපාලනික සහ සමාජීය කරුණු කාරණා ගැන අපි හිතන පතන දේවල් කොයිතරම් වෙනස් වෙලාද කියල අපිටම කල්පනා කරල බලන්න පුළුවන්. ජීවිතේ ඇතුළෙ සහ අපේ මනුස්ස සම්බන්ධකම් ඇතුළේ අපිට අත්විඳගන්න සිදුවන දේවල්, අපේ චරිත ස්වභාවයන් සහ අපේ සිතුවිලි හැඩගස්වන්න කොයිතරම් බලපෑමක් කරනවද කියල හරි අපූරුවට පෙන්වා දෙන සිනමාපටයක් පහුගිය 2023 අවුරුද්දේ තිරගත වුණා. ඒ තමා යෝගෝස් ලැන්තිමෝස් කියන ග්‍රීක් ජාතික සිනමාකරුවාගේ ඇමරිකානු හොලිවුඩය නිර්මාණයක් වුණු Poor Things චිත්‍රපටය. 

ලන්ඩනයේ ජීවත්වෙන එක්තරා ආකාරයක අසම්මත ජීවිත පැවැත්මක් ඇති ශල්‍ය වෛද්‍ය Godwin Baxter ට දවසක් මියයමින් ඉන්නා තරුණ ගැහැනියකගේ සිරුරක් මුණගැහෙනවා. ඇයට ජීවය දෙන්න ඔහු උත්සාහ කළත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ ශල්‍ය වෛද්‍යවරයා එක උපක්‍රමයක් යොදවලා ඇයව නැවත පණගන්වනවා. නමුන් ඒ සිරුරේ ඉන්නෙ ඇය නොවෙයි. 
යළි පණ ලබන්නේ ජීවිතේ කිසිම අත්දැකීමක් නොලැබූ ළදරු මනසක් හිමි තැනැත්තියක්. Godwin ඇයට Bella Baxter යන නම තබනව. Bella ගේ ළදරු ක්‍රියාවන් සමීපව නිරීක්ෂණය කරන Godwin ඇය ක්‍රමයෙන්, ඇය ලබන අත්දැකීම් ආශ්‍රයෙන් යම් යම් දේ ඉගෙන ගන්නා බව දකිනවා. Godwin කොහොම වුණත් Bella ව ආදරයෙන් බලාගන්නව. Bella ත් ඔහුට ආදරෙයි. ඇය ඔහුට කියන්නේ God කියල. නමුත් Godwin, Bella ට පිටස්තර ලෝකය තහනම් තැනක් බවට පත් කරලා යි තිබෙන්නෙ. නිවසින් පිටට යන්න ඇයට ඔහුගේ අවසර හිමි වෙන්නෙ නෑ. ඇයට  යහපතක් වෙන්න තමන් ගාව ඉන්නා යහපත්ම ගති පැවතුම් ඇති වෛද්‍ය ශිෂ්‍යයෙකුට ඈව විවාහ කරදෙන්න Godwin කල්පනා කරනවා. නීතිඥ Duncan දවසක් ඔවුන්ගේ ගේ ගෙදරට එන්නෙ ඔය අතරෙයි. Bella ව Duncan ගෙ ඇස ගැටෙන්නෙ එතකොටයි. Duncan ටිකෙන් ටික Bella ට කිට්ටුවෙනවා. තමුන් මේ රට අතහැරලා පෘතුගාලයේ ලිස්බන් නුවරට යන බව කියන Duncan තමන් එක්ක එන්න Bella ට ආරාධනා කරනවා. ඒ අනුව Godwin ගෙන් මිදිලා Bella, Duncan එක්ක ලිස්බන් බලා යනව. නොවැඩුණු ළමා මනසක් තියන Bella ඇය කිසිදාක නොදැන උන්නු ලෝකයට කොහොම මුහුණදේවිද? Duncan ඇයට ඇත්තටම ආදරෙයි ද? මේ Bella Baxter කියන්නෙ ඇත්තටම කවුද?

යෝගෝස් ලැන්තිමෝස් ගේ චිත්‍රපටි බලලා තියෙන කෙනෙකුට නම් ඔහුගේ සිනමා භාවිතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. කලින් ඔහුගේ Dogtooth චිත්‍රපටිය ගැන ලියද්දීත් ඒ ගැන සඳහන් කළා. ඔහු බොහෝමයක් වෙලාවට තමන් විසින්ම පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන නිර්මාණ කරුවෙක් වුණත් Poor Things නිර්මාණය කරන්නේ මෙනමින්ම පළ වී ඇති නවකතාවක් පාදක කරගෙන. ඔහු මේ වර්තමාන යුගයේ වඩාත් හිතුවක්කාරීම සිනමාකරුවෙක්. ඔහුගේ චිත්‍රපටි අසම්මත දර්ශන බොහෝම ඇතුළත් ඒවා. ඔහුගේ චිත්‍රපටිවල පසුතල නිර්මාණයන් සහ රෑප රාමු ගොඩ නැංවීම් සෞන්දර්යාත්මක අතින් ඉහළම තැනක තියනවා වගේම ඒවායේ පසුබිම් සංගීතය මේ චිත්‍රපටිවල අමුතු විකාර රෑපී බව ඉස්මතු කරවන ආකාරයෙන් යොදාගන්නවා. හැබැයි මතුපිට තලය ඒ ආකාරයෙන් වුණත්, ඒවායේ නිරෑපිත වෙන තේමාවන් සහ යටිපෙළ අරුත් වශයෙන් මතුකෙරෙන කාරණා ජීවිතය සම්බන්ධයෙන් ඉතා අනුවේදනීය ඒවා. ලැන්තිමෝස් ගේ සිනමාපට උපරිමෙන් විඳින්න නම් එක්තරා ආකාරයකට මේ අභූතරූපී මතුපිට ගොඩනැංවීම සහ ඒ පසුබිමේ ඇති පරස්පර අරුත තේරුම්ගැනීම අවශ්‍යයි. Poor Things පවා අපිට කියවාගන්න පුළුවන් වෙන්නේ ඒ ආකාරයටමයි. Poor Things ගැන පළවී තිබුණ ප්‍රේක්ෂක විචාරක අදහස් විමසා බැලුවම පෙනෙන්නෙ ඔවුන් එක්කො චිත්‍රපටයට දැඩිව ආදරේ කරන, නැතිනම් දැඩිව එය විවේචනය කරන ආකාරයට ධ්‍රැවීකරණය වී තිබෙන බවක්. නමුත්, අතිශ්‍ය බහුතරයක් දෙනා මේ චිත්‍රපටය සාමාන්‍ය මට්ටමෙන් සලකන්නෙ නැති බව ඒ අනුව අපිට තීරණය කරන්න සිද්දවෙනවා. ඇත්තටම Poor Things එහෙම විවේකයට විනෝදයට ඔහේ බලලා ඉවර කරන්න පුලුවන් විදිහේ කතාවක් නොවෙයි කොහොමත්. එකක් මෙහි අන්තර්ගතය තේමාවන් ගණනාවකින් අපිට කියවා ගන්න පුළුවන් බොහොම සාරවත් එකක්. අනෙක් කාරණය මෙහි රෑපමය ගොඩ නැංවීම. චිත්‍රපටයට බහුලවම යොදාගෙන තියෙන්නේ නිර්මිත පසුතලයන්. ඒවා කොයිතරම් විචිත්‍රවත්ව අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට නිර්මාණය කරලා තිබුණාද කියලා චිත්‍රපටිය බැලූ කෙනෙක් දන්නවා. 

ආදරය සහ මිනිස් සම්බන්ධ කම් ගැන කරලා තියෙන අර්ථ නිරූපණයන් එක්ක චිත්‍රපටිය කියවාගන්න අපිට තවත් මාවතක් විවර කරගන්න පුළුවන්. ආදරය මූලික වශයෙන් මිනිස් ජීවිතයේ අවස්ථාවන් තුනක් මුල්කරගෙන පවතිනවා. භෞතිකත්වය, හැඟීම් ඇතුළු සිතුවිලි කලාපය සහ ආධ්‍යාත්මය ආදි වශයෙන්. භෞතිකත්වය මුල්කරගත් ආදරය යනු ආශාවන් සංතෘප්ත කරගැනීමේ ආදරයයි. ආශාවන් ඉතා ප්‍රාථමිකයි සහ වහා ඇතිවී නැතිවී යන සුළුයි. ඒවා මත පදනම් වෙලා ජීවිතේ ගැන වැදගත් තීරණ ගැනීම ඉතාම අනතුරුදායක විදිහට අවදානම් සහගතයි. ආශාව මුල් කරගත් ආදරයත් ඒ වගෙයි. ඉන් එහා සීමාවේ තියෙන, අපි බොහෝවිට කතා කරන රොමාන්තික ආදරය පවතින්නේ හැඟීම් සහ සිතුවිලි කලාපය අතරෙයි. මෙය කෙනෙකුගේ ගති ස්වභාවය, රුචි අරුචි කම් වගේ දේවල් නිසා හදවතේ ඇතිවෙන ප්‍රසන්න හැඟීම් එක්ක හටගන්න සහ දිගුකාලීනව ජීවිතය පුරා පවතින ආදරයක්. ප්‍රේම සම්බන්ධතා බවට පත්වෙන්නෙ මෙහෙම බැඳීම්. නමුත් අයිති කරගැනීමේ ආශාව, අනෙකාට වඩා මම ඉස්මතු වීම වගේ කාරණාවන් එක්ක මේ ආදරයත් බොහෝවිට රිදවීමට ලක්වීම වළක්වන්න ඉතා අපහසුයි. තුන්වෙනි තැන තියෙන්නෙ කිසිවක් පෙරළා අපේක්ෂා නොකරන, අනෙකා වෙනුවෙන් හැකි සියල්ල ලබා දෙන ආදරයක්. මෙතැනදී අයිතිය ගැන ගැටළුවක් නැහැ, මෙතන තමාගේ පරම සතුට අනෙකාගෙ සතුටම නිසා තමන්ගේ හදවතේ ඇතිවෙන දුක්වේදනා තමා විසින්ම අවබෝධ කරගෙන ඒවා විඳදරාගන්න නිසා එයින් හානියක් වෙන්නෙ නෑ. Bella Baxter ගේ ජීවිතේදීත් ඇය මේ තුන් ආකාරයේම ආදරයන් අත්දකිනවා. මේ තුන් ආකාරයේම ආදරවන්තයින් ඇයට මුණ ගැහෙනවා. ඇය ජීවිතේ ගැන අත්දැකීම් ලබන්නේ මේ ආකාර ආදරයන් එක්ක. අර සමර විජේසිංහ මහත්මයගෙ "උගත් තරුණියගේ කවිය" මෙතනදි මතකෙට එනව.

නොසිතන් 
සබන් කැට මෙන්
ගැහැනු ගෙවෙතැයි 
පෙම්වතුන්ගෙන්

සත්‍යය පටහැනිය
පෙම්වතුන්ගෙන් ගැහැනු
වැඩෙනු මිස
ගෙවෙනු නැත

Godwin Baxter ගේ චරිතය කරන Willem Dafoe කියල තිබ්බා චිත්‍රපටයේ වේෂ නිරූපණයන් වෙනුවෙන් දවසට පැය හයක් පමණ එකම ඉරියව්වෙන් ඉන්න සිද්ධ වුණා කියල. ප්‍රධාන චරිතයක් කරන Mark Ruffalo තමන්ගේ රංනය ගැන ලොකු අතෘප්තියකින් පසුවුණු බවත් සඳහන් වෙනවා. නමුත් ඔහු නතර වෙලා ඉන්නෙ හොඳම සහය නළුවා වෙනුවෙන් ඔස්කාර් නිර්දේශයකුත් ලබලායි. Bella Baxter චරිතය කරන එමා ස්ටෝන් ගෝල්ඩන් ග්ලෝබ්වල දි වෙන්න ඕන, කියල තිබ්බ ඇය යෝගොස් ලැන්තිමෝස් යටතේ තව දුරටත් වැඩ කරන්න ඉතාම කැමැත්තෙන් ඉන්නව කියලා. ස්ටෝන් සහ ලැන්තිමෝස් සුසංයෝගයෙන් දැනට චිත්‍රපටි තුනක් හැදිල තියනව. The Favourite (2018), Poor Things (2023) සහ ඉදිරියේ තිරගත වෙන්න නියමිත Kinds of Kindness. මේ දෙන්නා අතර දැනට ඉතාම හොඳ මිත්‍රත්වයක් ගොඩනැගී තියෙන බව තමා කියවෙන්නෙ. මේ දෙන්නා දිගටම එකට වැඩ කරනවා නම් ඒක හරි අපූරු දෙයක් වේවි. මොකද හොඳ නිර්මාණකරුවෙකුට අති දක්ෂ රංගවේනියක් මුණ ගැහෙනව කියන්නෙ ප්‍රෙක්ෂකාගාරයෙ ඉන්න අපිට නම් යහපතක් වෙන වැඩක් නිසා. Poor Things වලදී ඒක හොඳින්ම දැකගන්න පුළුවන්. මෙතනදි එමා කරන රඟපෑම ඕනෑම කාලෙක දැක ගත හැකි අතිවිශිෂ්ඨතම චරිත නිරෑපණයන් අතරෙ තැබිය හැකි රංගනයක් බවයි මට දැනුණේ. ඇවිදින විදිහ කතා බහේ පටන් විකාර රූපී ළදරු මට්ටමේ සිට ක්‍රමයෙන් වැඩෙන ගැහැනියක් ඇය ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට ප්‍රතිනිර්මාණය කර තිබුණා. විශේෂයෙන් ඇය මෙහි නිරුවත් සහ ලිංගික දර්ශන නොබියව ඉදිරිපත් කිරීමට කැමති වු බව ලැන්තිමෝස් කියා තිබෙන්නෙ ඇය ගැන විශාල ගෞරවයකින්. ඉතින් 2023 වසරේ හොඳම නිළිය අංශයෙන් ඔස්කාර් නිර්දේශයක් එමා ට නොලැබුණා නම් තමා පුදුම. හොඳම නිළිය, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව ඔස්කාර් නිර්දේශ 11ක් වෙනුවෙන් නාම යෝජනා ලබන්න Poor Things සමත්වෙලා තියෙනව. ඒ වගේම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණු කාන්ස් සිනමා උළලේදී එහි ලබාදෙන උපරිම ත්‍යාගය Golden Lion දිනාගන්නත් Poor Things චිත්‍රපටයට හැකියාව ලැබුණා. යෝගොස් ලැන්තිමෝස් සිනමාවලියේ ඔහුගේ මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය විදිහටත් Poor Things නම් කරනු ලැබුවා. තිරගත කරලා අවුරුද්දක වගේ කාල සීමාවක Poor Things චිත්‍රපටිය ලොව පුරා විවිධාකාර සම්මාන 408 කට නිර්දේශ වෙලා ඉන් 93 ක් මේ වෙනකොට දිනාගෙන තියෙනව. මේ මාර්තු 11 වෙනිදා පැවැත්වෙන ඔස්කාර්වලින් පස්සෙ මේ ඉලක්කම් ගණන් වෙනස් වේවි. එය එහෙමම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!



Tuesday, February 27, 2024

The Zone of Interest (2023)

දෙවනි ලෝක යුද්ධ කාලයෙදී ස්පාඥ ජාතික චිත්‍ර ශිල්පී පිකාසෝ ප්‍රංශයේ පැරිස් නගරයේ කලක් වාසය කළා. ඔය අතරෙ හරියටම 1940 ජුනි 14 වෙනිදා ජර්මානු නාසි හමුදාව පැරිස් නගරයේ බලය අල්ලාගත්තා. පිකාසෝ මේ නගරෙ වාසය කරන බව නාසිවාදීන් දැනගෙන හිටියා. ඔවුන් පිකාසෝගේ යුධ විරෝධී කලා භාවිතාවට කැමැත්තක් දැක්වුවේ නෑ. දවසක්  පිකාසෝගේ නවාතැන පරික්ෂා කරබලන්න හිට්ලර් ගේ රහස් පොලීසිය වුණ ගෙස්ටපෝ භටයින් කීප දෙනෙක් පැමිණුනා. නිවස පරික්ෂා කරන අතරෙ ඔහුගේ සුප්‍රකට "ගුවර්නිකා" නම් විශාල සිතුවමේ කුඩා පරිමාණ පිටපතක් ඔවුන් සොයාගත්තා. ගුවර්නිකා සිතුවමෙන් ඉතාම සංකේතාත්මකව නිරූපිත වෙන්නේ ස්පාඥ්ඤ සිවිල් යුධ සමයේදී නාසි හිතවාදී පාලක ෆ්‍රැන්කෝ ගේ හමුදාවන් ගුවර්නිකා නගරය ගුවනින් බෝම්බ දැමීමේ සිද්ධිය සහ එවකට රටේ තිබූ පරිහානිය. ගුවර්නිකා කියන්නේ ස්පාඤ්ඤයේ එවකට පැවති ෆ්‍රැන්කෝ ගේ ඒකාධිපති පාලනයට විරුද්ධ වුණු නිදහස් මතධාරී මිනිසුන් බොහෝමයක් සිටි නගරයක්. සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ ගණනක් මරා දමමින් එල්ල කළ මේ බෝම්බ ප්‍රහාරය ලෝක ඉතිහාසයේ එක් අඳුරු පැල්ලමක්. 

"තමුසෙද මේක කළේ" ගුවර්නිකා සිතුවමේ පිටපත පෙන්වමින් ගෙස්ටපෝ නිලධාරියා පිකාසෝගෙන් ඇහුවා. "මං නෙමේ තමුසෙලයි ඕක කළේ" කියල පිකාසෝ අනික් පැත්තට උත්තර දුන්න කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. කලාකරුවෙකුගේ අන්තර්ඥානය ගැන හොඳ උදාහරණයක් විදිහට මේ සිද්ධිය අපිට අරගන්න පුළුවන්.  ඒ ප්‍රකාශය වගේම සිතුවම් මාධ්‍යයෙනුත් පිකාසෝගේ යුධ විරෝධය නාසින්ට එල්ල වෙන්නෙ අති සියුම්ව සෞන්දර්යාත්මකව නමුත් කණේපාරක් ගැහුවා වගේ ප්‍රබලව. පිකාසෝගෙ සිද්ධිය මගෙ මතකෙට ආවේ මේ වතාවේ (2024) ඔස්කාර් සම්මාන උළලේ විදෙස් භාෂා අංශයෙන් වගේම වසරේ හොඳම චිත්‍රපටය සඳහාත් නිර්දේශ වෙලා තියන The Zone of Interest නරඹද්දී. The Zone of Interest කියන්නෙත් මෙහෙම අති සියුම්ව තදබල යුද විරෝධක් නිරූපිත කරන සිනමාපටයක්.

යුද්ධය කියන තේමාව ගැන කතා කළත් කොයිම වෙලාවකත් යුද්ධයක්වත්, අවි ආයුධ හෝ මනුෂ්‍ය ඝාතනයක්වත් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබෙන්නෙ නෑ. යුධ විරෝධය කියන තේමාව යටතෙ නිර්මාණය වුණු බොහොමයක් චිත්‍රපට අතර The Zone of Interest සුවිශේෂ නිර්මාණයක් වෙන්නෙ ඒ හින්දා. එහෙනම් මේකෙ තියෙන්නෙ මොනවද? සමහරවිට ඒ විස්තරයම ඇති වේවි ඔබව මොහොතක් කම්පනයට පත්කරන්න. නාසි හමුදාවේ ඔෂ්විට්ස් සිරකඳවුර ගැන බොහෝවිට ඔබ අහල ඇති. එතැන තමා නාසීන් ඔවුන්ට තිබුණ "යුදෙව් ප්‍රශ්නයට" විසඳුම ලබා දුන්නු තැන. "යුදෙව් ප්‍රශ්නය" නම් ඓතිහාසික සංසිද්ධිය ඇතිවෙන්නේ යුදෙව් ජාතිකයින් යුරෝපයේ මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල සීග්‍රයෙන් ව්‍යාප්තවීමත් එක්ක. ඔවුන්ට තමන්ගේම ස්වෛරී රාජ්‍යයක උරුමය තිබුණේ නෑ. 18 අවසාන සහ 19 වන සියවස්වල යුරෝපීය ඒකාධිපති පාලකයින් මේ යුදෙව් ජනයා දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් විශාල ප්‍රශ්නයක් වන බව නිගමනය කළා. 19 සියවස මැද භාගය කිට්ටුව ජර්මනියෙන් පහළ වී යුරෝපයෙ සැලකියයුතු බලයක් අල්ලාගත් හිට්ලර් නොයෙක් ක්‍රම වලින් යුදෙව්වන්ට සමාජ බලය අහිමි කරවන්න උත්සාහ දරමින් සිටියත්, මේ යුදෙව් ප්‍රශ්නයට ඇති අවසාන විසඳුම විදිහට ඔහු තෝරාගන්නේ ඔවුන්ව යුරෝපීය භූමියෙන් අතුගෑවී යන තුරුම සමූල ඝාතනය කර දැමීම. තමන්ගෙ මේ අමානුෂික වැඩපිළිවෙල සාධාරණීකරණය කරන ආකාරයට ඔහු ජර්මානු ජන මනස වෙනස් කරගෙන තිබුණා. ඔෂ්විට්ස් කියන්නෙ මේ යුදෙව්වන් අතුගාදැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුණු තැන, එනම් කිරි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා භේදයකින් තොරව යුදෙව්වන් සමූහ වශයෙන් පණපිටින් පුළුස්සා දැමුණු තැන. වඩාත් සරලව කිව්වොත් මේක තමා මිහිමත අපාය! නමුත් මේ අපායේ අල්ලපු වැටේ නිවසක් හදාගෙන ජීවත් වෙන්න ඔබට මට අවස්ථාවක් ලැබුණොත් කොහොමට තියෙයිද? සැකයක් නෑ කොහොම වුණත් අපි කවුරුවත් එහෙම තැනක වසන්න කැමති වෙන්නෙ නෑ. නමුත් ඔය අපාය එහා වැටේ තියාගෙන සුරපුරයක් වගේ ගෙයක් සහ මල්වත්තක් හදාගෙන ජීවත් වුණු කෙනෙක් නෙමෙයි මුළු පවුලක්ම හිටියා. The Zone of Interest මූලික වශයෙන් ගොඩනැගෙන්නෙ මේ පවුල මුල් කරගෙන. දෙවනි ලෝක යුධ සමයේ යුදෙව් සංහාරය උපරිමෙන්ම යථාර්ථවාදීව නිරූපණය කරන Schindler’s List චිත්‍රපටිය ඔබ බලලා තියනව නම් The Zone of Interest කියන්නෙ ඒ සිද්ධියම, ඒ මොහොතෙම අසල්වැසි නාසි හමුදා නිලධාරියෙකුගේ නිවසේ ගෙවත්තේ හිටගත්තාම දැනෙන හැටි. චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මෙනමින්ම පළවුණු නවකතාවක් මුල් කරගෙන.

මේ ගෙදර වාසය කරන්නේ ඔෂ්විට්ස් බාරව කටයුතු කළ ප්‍රධාන හමුදා නිලධාරියෙක්, ඔහුගෙ බිරිඳ, දරුවන් සිව්දෙනා සහ ගෙදර මෙහෙකාරයින්. තාප්පෙන් එහා තියෙන්නෙ මොකක්ද කියන කාරණේ අමතක කරවන තරම් මේ නිවස සහ ගෙවත්ත පුදුම තරම් ලස්සනයි. බැලු බැලු අත තියෙන්නෙ කොළ පාටක්. නිතර මල් පිපෙන් මල් ගස්, මල් වැල්. (ෆිල්ම් එකේ මේ පෝස්ටර් එකෙන් ඒකාරණාව හොඳටම පෙන්නුම් කරනව) ඒත් ඇත්තටම ඔවුන්ගේ ජීවිතවල ඔය ලස්සන තියනවද? මේ දෙමව්පියෝ පුළුවන් තරම් අවට ලෝකයේ ඇතිවී තියන යුද්ධයේ නපුරු කම් දරුවන් ගෙන් වසන් කරන්න උත්සාහ ගන්නවා. සතුටින් ජීවත්වෙන්න සහ ඒ බව පෙන්වන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඒත් චිත්‍රපටය පුරාම මේ පවුල ගැන දැනෙන්නෙ මහ හිස් හැඟීමක්. දැන් එතකොට තාප්පෙන් එහාපැත්තෙ තියෙන දේ නොපෙනුණත් අඩු ගාණෙ සද්දයක් වත් මෙහාට ඇහෙන්නෙ නැද්ද? අන්න ඒ කාරණේ නිසාමයි මේ චිත්‍රපටය තවත් සුවිශේෂ එකක් බවට පත්වෙන්නෙ. තාපේපෙන් එහා ලෝකයේ සිද්ද වෙන්නෙ මොකක්ද කියල චිත්‍රපටය නරඹන්නෙකුට දැනගන්න ලැබෙන්නෙ ඈත ඉඳන් ඇහෙන නොයෙක් සද්ද බද්ද එක්ක. ඒ චිත්‍රපටයෙ මූලික සිද්ධි දාමයට පසුබිමෙන්. මේ පසුබිම් ශබ්ද ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් චිත්‍රපටයෙ භාවිත කරල තියනව කියන්න පුළුවන්. සමහරවිට මේ නිර්මාණකරුවන් තවත් චිත්‍රපටයක් හදන්න යන වෙහෙස දරන්න ඇති පසුබිම් ශබ්ද වෙනුවෙන්. (චිත්‍රපටයේ සමහර තැනක එංජිමක් ක්‍රියාත්මකවෙන සද්දය අහන්න ලැබේවි, හැබෑ ජීවිතේ මේ යුධ නිලධාරියා සිර කඳවුරේ සද්ද තමන්ගේ පවුලේ අයට ඇසීම වළක්වන්න පිටතින් එංජිමක් ක්‍රියාත්මක කර තියන්න උපදෙස් දී ඇති බව කියවෙනවා) The Zone of Interest හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයකට නිර්දේශ වෙන්නෙ ඒ නිසාමයි. (The Zone of Interest ඔස්කාර් සම්මාන 5කට නිර්දේශ ලබල තියනව, හොඳම විදෙස් භාෂා චිත්‍රපටය, හොඳම ශබ්ද පරිපාලනය, වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම අනුවර්තිත තිරපිටපත; ඒ වගේම Anatomy of Fall වෙනුවෙන් හොඳම නිළියට ඔස්කාර් නිර්දේශ වෙලා ඉන්න Sandra Huller මේකෙ ප්‍රධාන චරිතයක් කරනව)

චිත්‍රපටය මැදක් වෙද්දී සාමාන්‍ය ආකාරයෙන් ගලාගිය රෑප රාමු හිටි ගමන් වෙනස් වෙලා, උෂ්ණ සංවේදී තර්මල් කැමරාවකින් රෑගත කළ කළු සුදු දර්ශන පෙළක් තිරය මත මැවෙනවා. එතනදි අහන්න ලැබෙන්නේ භීතිය දනවන සුළු පසුබිම් ශබ්දයක්. එතැනදි දැකගන්න ලැබෙන්නේ ගැහැනු ලමයෙක් සිර කඳවුරේ සිරකරුවන්ට සොයාගන්න පුළුවන් වෙන ආකාරයට ඇපල් ගෙඩි සඟවා යන සිද්ධියක්. මේ සිදුවීම් මාලාව චිත්‍රපටයෙන් අනෙක් දර්ශන අතර වැඩියෙන් අවධාරණය කරන්න අවශ්‍ය නිසා මේ උපක්‍රමය භාවිත කරන්න ඇති. එක අතකින් චිත්‍රපටයේ තියන සුන්දර දර්ශන හැම එකම වගේ යුද්ධයේ බිහිසුණු කම පසුබිමේ මැවෙන නිසා, චිත්‍රපටයේ තියෙන ඇත්තටම අනෙකා ගැන ආදරයෙන් සිදු කරන ක්‍රියාව අඳුරු පසුවිමක නිමවන්න මේ නිර්මාණ කරුවන් කල්පනාකරන්න ඇති. නැත්නම් තර්මල් ක්‍රමයට අවට පරිසරය අඳුරේ තියෙද්දී අදාළ චරිතය පමණක් ආලෝකවත්ව මතුකරන්න නිසා මෙහෙම කළා වෙන්න පුළුවන්. එයින් මූලිකව මතුකරන්න උත්සාහ කරන්නේ මේ දැරියගේ ආත්මයේ ඇති ආලෝකය වන්න ඉඩ තියනව. නමුත් වැදගත්ම දෙය මේ විදිහට වෙනස්ම ආකාරයෙන් ඒ දර්ශන මාලාව ඇතුළත් කර තිබීම නිසා චිත්‍රපටිය නරඹන කෙනෙකුට මෙය හොඳින් මතකයේ රැඳීම. මේ ගැහැනු ළමයාගේ චරිතය නිර්මාණය කළේ ඇත්තටම තමන්ට මුණගැහුණ, මේ ආකාරයෙන් සිර කඳවුරේ ඇපල් සඟවා තැබුව, දැන් වයස්ගත ව පසුවෙන පෝලන්ත ජාතික කාන්තාවක් නිසා බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ Jonathan Glazer කියා තිබෙනව.

කලිනුත් කිව්වා වගේ චිත්‍රපටයේ දකින්න ලැබෙන්නෙ අර පිකාසෝගේ කතාව වගේ අන්තර්ඥානයකින් වටහාගත යුතු අති සියුම් යුධ විරෝධයක්. මේ යුද්ධයේ බිහිසුණු කම සහ තවත් මිනිසෙක් ගැන ඇති සහකම්පනය මිය ගිහින් තියන හැටි මතු කරන්න අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය පුරා සංකේත සහ ඇතැම් මිනිස් හැසිරීම් භාවිත කරල තියන විදිහ අතිවිශිෂ්ඨයි. සමහර විටෙක සෙබළුන් සමග ඇවිද යන ඌරෙක්, නිවසේ ඇවිදින කළු බල්ලෙක්  සංකේතමය චරිතයක් රඟදක්වනවා. ඔෂ්විට්ස් ගැන දන්නා කෙනෙකුට නම් සමහර දර්ශන දැඩි තිගැස්මක් ඇති කරනවා. ඈතින් අහසට නැගෙන දුම එක්ක අළු වෙලා යන්නේ මනුෂ්‍යත්වය නේද කියලා හිතන්න පොළඹවනවා. සිනමාව කියන මාධ්‍යයේ තියෙන කලාත්මක භාවය උපරිමෙන් භාවිත වුණු තැනක් විදිහට මේ චිත්‍රපටිය හඳුන්වා දෙන්න පුළුවන්. මොකද මෙතැන මුල මැද අග ගැළපුණු කතාවක් කියනවා වෙනුවට සියුම් ඉඟි සහ සංකේත රූප මාර්ගයෙන් නරඹන්නාට යුද්ධයෙ තියන අප්‍රසන්න කම ඇඟටම දැනවීමයි මුල සිට අග දක්වාම චිත්‍රපටයෙන් කරන්නේ. ඒ හින්දා මේ චිත්‍රපටය නරඹන්න නම් සෑහෙන "සිනමා සංවේදී" කමක් උවමනායි. අවසානය කිට්ටුවෙද්දී, චිත්‍රපටය එතෙක් ගලා ආ කාල රාමුවෙන් පිට පැනලා වර්තමානයක් සහ අතීතයක් අසම්බන්ධිත රෑප රාමු පෙළක් හරහා නරඹන්නා ඉදිරිපිට මවනවා. අර තර්මල් කැමරා දර්ශන වගේ මේ රෑප මාලාවත් හිතුවක්කාරී වෙනසක් ඇති කරන නමුත් නරඹන්නෙකු තුළ ඇති කරන්නෙ විශාල තැතිගැන්මක් වගේම දෙවනි ලෝක යුද්ධයේ ඒ ක්‍රියාකාරකම් ගැන විශාල අප්‍රසාදයක්. යුද්ධය කියන සංසිද්ධිය මිනිස්සු අතරට අරගෙන එන නපුර කොයිතරම් බලවත්ද කියන කාරණාව එක අවි ආයුධයක්, මිනිස් ඝාතනයක් නොපෙන්නා පෙන්වන්නෙ කොහොමද කියන දේ ගැන හොඳම උදාහරණයක් මේ චිත්‍රපටය. ඒ සිනමා භාවිතාවෙ සුවිශේෂත්වය නිසාම වසරේ හොඳම චිත්‍රපට අතරට The Zone of Interest නිසැකවම ඇතුළත් විය යුතුමයි.



Thursday, February 8, 2024

ලොව සිනිඳුතම වළාකුළු

ලොව ඇති සිනිඳුතම වළාකුළු
පාව එනුයේ රෝහලට ඉහල අහසෙනි...
තටු කැඩුණු සුරදූතයන්,
මෙ ලෝ එළිය දකිනට මත්තෙන්
ඇස් පියාගත් සුරදූතිකාවන්,
සනීපෙට නිදයි එහි...

ලොවේ කොතැනක හෝ
මවකගෙ මුවින් ගිලිහෙන ගී
මුහුවී අවුත් සුළඟේ
පෙරී විත් වළාකුළු ඉමට
ගැයෙයි ඒ තුළ ලොව ඇති 
මිහිරිතම නැළවිලි...

ආකාශ ගංගාවේ
සඳේ සඳසාවුන් නිදන
සඳවළල්ලෙන් බේරී
ගලා එයි ඒ වළාකුළු තුළට
සඳෙහි සියුමැලිම සඳ කෙඳිති...

ඒ සියළු මිහිරයි
වැහි මන්දාරමේ අඳුරින්
ආකහේ බොඳ වෙද්දී
පායා එන්නෙ දේදුන්නක් වී...



Wednesday, February 7, 2024

Three of us (2023)

ජීවිතේ අතිශ්‍ය නොවැදගත් කුඩා මොහොතක වුණත් සමහර වෙලාවට කොයිතරම් කාව්‍යාත්ම ලස්සනක් තියෙන්න පුළුවන්ද කියල හිතුණා Three of us බලද්දී. අන්තර්ගතය එහෙම පිටින්ම අතහැරලා රෑප රාමුවෙන් රෑප රාමුවට ඇස් ඉස්සරහ මැවෙන සෞන්දර්යයෙන්ම හිත පුරවාගෙන යන්න තියනව නම් ඒ වුණත් ඇති කියලා හිතනේනේ එහෙම වෙලාවට. එක වෙලාවකදි තිරය මත මැවෙන්නේ රැළි නැගෙන මූදු වෙරළක්, ආයෙ වෙලාවක ගරා වැඩිච්ච උළු හෙවිල්ලපු පරණ ගෙයක්, අවන්හලක රෑ ආහාර ගනිම්න් ඉන්නා කෙනෙකුගේ මූණට වැටෙන පැති ආලෝක ධාරාවක්. තව පැත්තකින් දිය දහරක් ගාව තියන කෝවිලක්, පරණ කළු ලෑල්ලක්, දූවිලි වැදිච්ච ඩෙස් බංකු තියන පන්ති කාමරයක්, කොළ පාටින් වැහිච්ච පරසරයක්, භරත නාට්‍යම් නර්තනයේ යෙදෙන සුන්දර යුවතියන් කාණ්ඩයක්, ඔවුන්ගේ සිරුරුවල මතුවන ඉසියුම්.හැඩතලයක්, පසුබිමෙන් ඇහෙන ඉන්දියානු සම්භාව්‍ය සංගීතයක්, ඒ හැමදෙයක්ම අතරෙ මල් පෙති වගේ මෘදු ගැහැනු සහ පිරිමි, මේ හැම දෙයක්ම පුදුමු ප්‍රහර්ෂයකින් ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි දේවල්. 

එතකොට මේකෙ අන්තර්ගතය? ඒක වැදගත් නැද්ද? මේ දේ මෙහෙම වුණේ ඇයි? අපිට ඕන නම් පුළුවන් හරස් ප්‍රශ්න අසමින් මේ කතාවෙ තවත් ගැඹුරට යන්න. ඒ අතරෙදි ජීවිතේ අංශුමාත්‍රයක් දිහා බලා සිටීමෙන් හදවත පුරවගන්න. පුරවගත් දෙයින් බිංදුවක් ජීවිතේට අරගෙන යන්න. මෙතදි මං දෙවනි තැනින් නතර වෙන්නම්. මොකද මේක තමන්ගෙ ඇස් දෙකෙන් දැකල තමන්ම විඳගන්න ඕන දෙයක් නිසා. හරියට කවියක් වගේ. කවියක් වුණත් එහෙමනෙ. කවියක පරිපූර්ණ කතාවක් නෑ. වචනවලින් මැවෙන සෞන්දර්ය විඳින ගමන් ඒ අත්දැකීමේ ගැඹුර හදවතින් ස්පර්ශ කිරීමයි වෙන්නෙ. එහෙම බැලුවාම මේ තමා කාව්‍යමය ඉන්දියානු සිනමාව කියන්නෙ. ලෝකෙ කොහෙවත් නැති, ඉන්දියාවෙ පමණක්ම දකින්න ලැබෙන පෙරදිග සෞන්දර්යයි මෙතනදි අපිට විඳගන්න ලැබෙන්නෙ. 

හින්දි භාෂාවෙන් නිර්මාණය වෙලා තිබුණත් මේක හින්දි චිත්‍රපටයක් ද කියල නොදැනෙන තරම්. මොකද හින්දි සිනමාව කිව්ව ගමන් අපේ මනසෙ මැවෙන්නෙ ගැයුම් වැයුම් එක්ක නාට්‍යමය උද්වේගකාරී බව පිරුණු මසාලා සිනමාවක් නෙ. ඒ අතින් Three of us වල ගොඩක් දැනෙන්නෙ  බොලිවුඩ් ඇරුණාම ඉන්දියාවෙ අනෙක් ප්‍රාන්තවල, මලයාලම්, ඈසැම්, බෙංගාලි චිත්‍රපට වලට හුරු ගතියක්. මේ නිස්කලංක බව, දේවල් විස්තරාත්මකව නොපෙන්වා ඇඟවීම වගේ සාහිත්‍යමය පක්ෂය මේ ජනප්‍රිය හින්දි සිනමාවෙ දකින්න ලැබෙනව අඩුයි. එහෙම හිතුවාම Three of us කියන්නෙ කලබලකාරී මනස සුවපත් කරන ඉන්දියානු ඔසුවක් තමයි. මේ වගේ චිත්‍රපට ප්‍රිය කරන කලාලෝලී කිසි කෙනෙක් මග හැර නොගතයුතු චිත්‍රපටයක් බව කියන්න කැමතියි.

ප.ලි - මේ චිත්‍රපටය බලල දැන් ටිකක් කල් සහ මේ සටහන ඔය කාලෙ ඇතුලෙ ලියවී තිබුණ එකක්. මෑත දවසකදි  පැවැත්වුණ මේ අවුරුද්දේ  Filmfair සම්මාන උළලේ Three of us හොඳම චිත්‍රපටය විදිහට නිර්දේශයකුත්, මේකෙ ප්‍රධාන චරිතය රඟපෑ Shefail Shah හොඳම නිළිය සම සම්මානයත් දිනාගන්නව. මේ චිත්‍රපටයෙ Shefail ගෙ රඟපෑම කාලෙකට අමතක නොවෙන අතිවිශිෂ්ථ ගණයේ එකක්. ඇය ලැබූ ජයග්‍රහණය ගැන තියෙන්නෙ ලොකු සතුටක්.

\



Friday, January 26, 2024

The Breaking Ice (2023)

මේ මහ පොළවත්, හමන සුළඟත්, සූර්යාලෝකයත් හැමදාම එකම විදිහට අපි වටා පවතින්නෙ නැහැ. කාලෙන් කාලෙට මේවයෙ රටාවන් විවිධාකාර විදිහට වෙනස් වෙනව. කාලෙකට වේලාසනින්ම හැන්දෑ වෙලා කළුවර වැටෙන්න පටන් ගන්නව, තවත් කාලෙකට වැඩිපුර හුළඟ හමනව, කාලෙකට උදෑසන මීදුමෙන් බර වෙනව, සීත, උෂ්ණ බව අඩු වැඩි වෙනව. ඍතු බේදය කියල අපි කියන්නෙ මේකට. අපි වගේ සමකාසන්න රටවලට යන්තමිනුත්, උත්තර සහ දක්ෂණාර්ගෝල කිට්ටුවෙන් බොහෝම පැහැදිලිවත් මේ දේශගුණික වෙනස්කම් දැකගන්න පුළුවන්. මෙහෙම සිද්දවෙන නොයෙක් ඍතු විපර්යාස අතරේ හිමකැට අරන් එන සීත කාලය කියන්නෙ ඒ රටවලට නම් සාපේක්ෂවශයෙන් දුෂ්කර සමයක්. උෂ්ණත්වය සමහර විට සෙල්සියස් අංශක ඍන ගණන්වලට බැහැලා පාරවල් හිමෙන් යට වෙනව, ලස්සනට තිබුණු ගංගා, ඇළ දොළ, විල්, පොකුණු ඝනීභූත වෙලා යනව. පර්යටනික කුරුල්ලන් නම් මේ කාලෙට අපේ වගේ උෂ්ණ රටවල් සොයාගෙන පියාඹා යනව, බොහොම සත්තු පොළවේ හාරාගත්ත බිම් ගෙවල්වලට වෙලා සිසිර නින්දේ නිදාගෙන සීත ඍතුව ගෙවා දමනවා. මේ දුරුතු මාසේ උදේම තියන සීතල උහුලන් ඉන්න අමාරු අපිට ඔය යක්ස හීතල කොයි වගේද කියල ටිකක් විතර හිතා ගන්න පුළුවන්.

මෙන්න මේ විදිහට වෙනස්වෙන දේශගුණික රටාවන් කියන්නේ ජීවිතයත්, පරිසරයත් එකිනෙක හරි අපූරුවට සම්බන්ධ කළ හැකි ඉසව්වක්. සමහරවිට ජීවිතේ යම් යථා ස්වභායන් තේරුම්ගන්න සොබාදහමේ මේ ගතිගුණය අපිට උදව්වෙනවා. ජීවිතේ ඇතුළෙන් මල් පිපෙන කාල වගේම හිම වැටෙන සීත කාල එන බව එතකොට තේරුම්ගන්න පුලුවන්. කාලෙකදි සනීප සීතලක් අරගෙන ආව හුළඟ වුණත් ඇඟට ඉඳිකටු තුඩු වලින් අනින්නා වගේ දරා ඉන්න අමාරු දෙයක් බවට පත්වෙද්දී, සියළු ළතෙත් බර තැන් ඝනීභවනය වෙලා අයිස් මිදිලා යද්දී, ජීවිතේ එකම හිම කාන්තාරයක් බවට පත්වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සනීපදායක මනුස්ස ඇසුරක පහස ලබන්න කාටත් ඕන වෙන්නෙ අන්න ඒවගේ මොහොතක . එහෙම බැඳීම් හරියට සීත කාලෙදි උණුහුම ගේන හිමකබායක් වගේ හදවත උණුහුම් කරනව. ජයග්‍රහණයෙදී සතුට සමරන්න වගේම පරාජය ලබල එනකොට ආදරණීයව වැළඳගන්න කෙනෙක් දෙන්නෙක් හෝ ජීවිතේ ඉන්නම ඕන. නමුත් එහෙම අය අපිට මුණගැහෙන්නෙ බොහොම කලාතුරකින්. මොකද මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ පැවැත්ම වෙනුවෙන්. තමන්ගේ පැවැත්ම සහ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් මිනිස්සු බැඳීම් ඇති කරගන්නෙ. ඇත්තම කතාව ගත්තොත් අපිට තියන ගොඩක් සම්බන්ධකම්වල තියෙන්නේ දේශපාලනයම සහ ව්‍යාපාරිකමය වියළි බවක් තමයි. එවැනි තැන්වල සහෘදාත්මක අවංකභාවය නෑ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ලෝකය ගොඩනැගිල තියෙන්නෙ එහෙම තමා. ඒකට කාටවත් දොස්පවරලා වැඩක් නෑ. බියක්, සැකක් තියගන්නේ නැතිව අවංකම තම හදවත විවෘත කළ හැකි, සහ හිත හඳුනාගන්න පුළුවන් ටික දෙනෙක් පමණක් හරි ජීවිතේදි අපිට මුණගැහෙනව නම් ඒක වටිනව. වැඩි දෙයක් බලාපොරොත්තු නොවී ළඟ ඉඳීමෙන්, බෙදාහදා ගැනීමෙන් පමණක් සෑහෙන එහෙ ලස්සන මනුස්ස සම්බන්ධකම් දිහා බලන් හිටියත් හිත පිරෙනව.

2023 අවුරුද්දේ චිත්‍රපටි ලයිස්තුවේ මෙහෙම චිත්‍රපටියක් දැකගන්න ලැබුණා. ඔස්කාර් සම්මානය වෙනුවෙන් හොඳම විදෙස් භාෂා අංශයෙන් සිංගප්පූරුව නියෝජනය කළ The Breaking Ice චිත්‍රපටියට ඇතුළත් වෙන්නේ කලින් කිව්වා වගේ අපූරු මනුස්ස සම්බන්ධකමක් ගැන කියවෙන කතා පුවතක්. මේක සිංගප්පූරු ජාතික සිනමාකරු Anthony Chen ගේ නිර්මාණයක්. මෙතනදි අපිට දැකගන්න ලැබෙනව තුන් දෙනෙක්. ජීවිතේ හිම කුණාටු සමයක් ගෙවා දමමින් ඉන්නා තුන්දෙනෙක්, එකිනෙකට වෙනක් ගති ගුණ තියන තුන්දෙනෙක්. එක මොහොතක මේ තුන්දෙනා හමුවෙන හැටිත්, ඉන් පස්සේ දවස් කිහිපයක් තුන්දෙනා එකට ගෙවාදමන හැටිත් තමා මේ කතාවෙ ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටිය පුරාම දැඩී සීතල, හිම සහ අයිස් කියන සංකේත රෑප ඉතා ප්‍රබලව පසුබිමෙන් දක්නට ලැබෙනව. සැබෑම නිර්ව්‍යාජ මිත්‍රත්වයත්, ආදරය සහ අනුරාගයත්, මනුෂ්‍යත්වයත් ජීවිතේ දුක්වේදනාවේ සීතල අයිස් කුට්ටි දිය කරමින් මතුවෙන හැටි බලා ඉන්න අපූරුයි. ටිකක් වැඩිපුර සීතල දැනෙන මේ කාලෙ මට මේ චිත්‍රපටිය හරියට උණුහුම්ව විඳගත හැකි සිනමාත්මක වැළඳගැනීමක් වගෙයි දැනුණේ.