Tuesday, November 19, 2019

Children of men (2006)

ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපටයක් මැද්දෙ සිංහල දෙබසක් ඇහුණොත් ඒක කොහොම වේවි ද.. Alfonso Cuaron (Harry potter කතා මාලාවේ Prisoner of Azkaban අධ්‍යක්ෂනය කරන්නෙ ඔහු සහ 2019 හොඳ විදෙස් භාෂා චිත්‍රපටයට හිමි ඔස්කා සම්මානය දිනාගත් Roma ඔහු ගේ නිර්මාණයක්) කියන හොලිවුඩයේ නැගී එන සිනමාකරුවා ගේ Children of men සිනමාපටය ඇතුලෙ අපිට සිංහල භාෂාවෙන් යමක් අහන්න පුලුවන්. ඒත් ඒක එතරම් සතුටුදායක හැඟීමක් ඇතිකරන තැනක් නොවෙයි.

Children of men කතාවට අනුව 2027 අවුරුද්ද වෙනකො දූෂණය, භීෂණය, ත්‍රස්තවාදය, ලෙඩ රෝග වසංගත මේ දේවල් ඉහවහා ගිහින් ලෝකයේ සියලු රටවල් ආණ්ඩුවල පාලනයෙන් තොරව අරාජිකත්වයට පත්වෙනව. බ්‍රිතාන්‍ය පමණක් හමුදා පාලනයක් යටතේ පාලනය වෙනව. ලෝකෙ අනිත් රටවලින් මිනිසුන් සරණාගතයින් විදිහට බ්‍රිතාන්‍යට සංක්‍රමණය වෙන නමුත් බ්‍රිතාන්‍යයේ හමුදා පාලනය ඔවුන්ව බොහොම අමානුෂික විදියට මර්ධනය කරනව. මේ අතරෙ යම් හේතුවකට මිනිසුන්ට දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වී ගිහින්. අවුරුදු 18 කින් මෙහා කිසිම දරුවෙක් මෙලොව ඉපදිලා නෑ. ඔය අතරෙ දරුවෙක් පිළිසිඳගන්න කාන්තාවක් ලෝකයේ සියලු දුෂ්ටකම් වලින් ආරක්ෂා කරගැනීමට වෙරදරන Theo නම් මිනිසෙක් ගැන කතාවක් Children of men කියන්නෙ..

ලෝකයේ විවිධාකාර භාෂාවන්, සංස්කෘති එකතැනකට අරගෙන එන සිනමාපටයක් Children of men. සමස්තයක් විදිහට චිත්‍රපටයට භාවිතා කර තිබෙන්නෙ අඳුරු වර්ණ පරාසයක්. ඒ වගේම කුණු කසල පිරුණු මුඩුක්කු, පටු වීදි, හිටිගමන් සිද්දවෙන බෝම්බ පිපිරීම්, අමානුෂික පාලකයින්, යන එන මං නැති සරණාගතයින්, ඔවුන්ගේ දුක වේදනාව මේ සිනමාපටය පිරිල තියෙන්නෙ එවැනි දේවල් වලින්. දැනටත් මේ බොහෝ දෑ අපි අතරම දැක ගන්න පුලුවන්. අනාගත ලෝකය වේදනාවෙන්, අසරණත්වයෙන්, අමානුෂිකත්වයෙන් පිරුණු එකක් වියහැකි බවද මේ කියන්නෙ ?

මේ චිත්‍රපටයෙ එක තැනක කෑම මේසයක පසුතලයෙන්, පිකාසෝගේ "ගුවර්නිකා" සිතුවම දැකගන්න පුලුවන්. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදි නාසි හමුදාව ස්පාඤ්ඤයේ "ගුවර්නිකා" නගරයට බෝම්බ දැමීමේ සිද්ධිය බොහොම සංකේතාත්මකව මේ සිතුවමෙන් දැක්වෙන්නෙ. කලා කෘතියක් ඇතුලෙ තව කලා කෘතියක් භාවිතයට ගෙන තිබුණ සුවිශේෂ තැනක් විදිහට ඒ දර්ශනය හඳුනාගන්න පුලුවන්.

Children of men සංවේදී, හද කම්පා කරවන සිදුවීම් බහුල සිනමාපටයක්. විශේෂයෙන් දරුවා බිහිවීමෙන් පස්සෙ සිදුවීම් ඉතාම සංවේදීයි. අලුත ඉපදුන දරුවාගේ දර්ශනය අවි ආයුධ පිරිවරාගත්ත යුද්ධයක් මොහොතකට නතර කරනව, මිනිස්සු දණින් වැටෙනව, සමරු තමන්ගෙ ආගම් සිහිකරගන්නව. අඳුරින් වැහුණු හිත්පිත් නැති ලෝකෙකට අලුත් බලාපොරොත්තුවක් ඉපදුනා වගෙයි.. දවසින් දවස ලෝකය පුරා මහ අඳුරක් පැතිරී යනව.... මිනිසාගෙ පැවැත්ම වෙනුවෙන් මිනිසා පිහිටුවා ගත් ආයතන නැවත ඔහුගේම ජීවිතයේ සාරය උරාගනිමින් ඉන්නව... පරිපාලනය සහ බලය වෙනුවෙන් ඔහු නිර්මාණය කරගත්ත ක්‍රමවේදයන් පිළිකාවක් වගේ දවසෙන් දවස ඔහුව යට කරමින් වැඩෙනව.. මේ අඳුර යන්තමින් හරි එළිය වෙන්නෙ ඉඳහිට Theon වැනි කෙනෙකුගෙ කැපවීමෙන්..(අලුත උපන් බිළිඳෙක් රැක ගැනීමට වෙහෙසෙන සොල්දාදුවෙක් ගැන කියවෙන Savior චිත්‍රපටය මේක නරඹද්දි මතකයට නැඟුනොත් පුදුමයක් නෙමෙයි) ඒක එක්තරා ආකාරයක හුදෙකලා අරගලයක්... Children of men හද කම්පා කරවන සුලු සංවේදී සිනමා අත්දැකීමක්.. හැමකෙනෙකුටම මේ චිත්‍රපටය නරඹන්න ඒ අත්දැකීම විඳගන්න ආරාධනා කරනව..










 Alfonso Cuaron




2 comments:

  1. Indiana Jones and the Temple of Doom film also has Sinhalese dialogues. Famous Indian villain actor Amrish Puri played a main role as well. I was pleasantly surprised to hear Sinhalese in this movie long time ago, when I watched it. Thanks for the intro of Children of Men.

    ReplyDelete
    Replies
    1. Yep ...Ive heard of them.. and also Indian movie Water. completely shooted on Sri Lanka as I know... Its great to know you also like this..a brilliant movie indeed..

      Delete