Thursday, January 7, 2021

ප්‍රතිමා දෙවිවරු

ලිහා දැමු පසු දේව සළුපිලි
ප්‍රතිමා වලින් බැස එති දෙවිවරු..

සඳෙහි ලා කිරණ පරදා
විදුලි එළි දිලෙන නගරයේ
ඇවිද යති පා රිදෙන තුරු..

වීදි අද්දර අවන්හල් දොර
රැඳුනු මධු මත් මීදුමේ
වැසි පොදයකින් පවා උතුරන
මග දෙපස කාණු වතුරේ
උස පහන් කණු යටින් මතුවන
ලාබ විලවුන් පුසුඹේ
කැසට් කබලක නිතොර ඇසෙනා
වේග රිද්මේ ස්වර අතරේ
සැරසරති බොහෝ රෑ වන තුරු..

ඉන්පසු
පැමිණ යළි දෙව්මැදුරු තුළට
ඇඳ පැළඳ යළි දේව සළු පිලි
ගල් ගැසී ප්‍රතිමා විලස
සිටිති ඒ දෙවිවරු..



No comments:

Post a Comment