Sunday, August 25, 2024

Longlegs (2024)

2024 අවුරුද්දෙ බොහොම හොඳ ප්‍රතිචාර තියන horror films ගණනාවක්ම ඇවිත් තියන බව දැක්කා. ඒ අතර 2024 වසරේ හොඳම horror ෆිල්ම් එක විදිහට ගොඩක් දෙනා නම් කර තිබ්බ Longlegs මෑතක digital release වුණ නිසා බලන්න හැකියාවක් ලැබුණා. මට අනුව Longlegs කියන්නෙ හොඳ horror චිත්‍රපටියක් තමා. ඒකට හේතු කාරණා කීපයක් තියනව.

පළවෙනියටම film එකෙ cinematography එක. Horror ෆිල්ම් එකක තිබිය යුතු අඳුරු, පාළු, ගුප්ත ස්වභාවය මතුකරනා ආකාරයෙන් රූප රාමු සහ පසුතල සැකසීම සිදුවෙලා තිබුණා. බොහෝවිට භාවිත කරලා තිබුණා තීව්‍ර බවින් අඩු වර්ණ. අළු පාට අහස, කොළ හැලිලා ගිය ගස්, පාළු ගෙවල්, අඳුර ආලෝකය මෙහෙයවා තිබුණ ආකාරය සහ සමහර දර්ශන කැමරාවට හසුකරගෙන තියන ආකාරය චිත්‍රපටියෙ බිහිසුණු කම ඇඟටම දනවන්න සමත් වෙලා තිබුණා. ඒ නිසා චිත්‍රපටියෙ සාර්ථකත්වය වෙනුවෙන් cinematography අංශය ලොකු වැඩකොටසක් කර ඇති බව කිවහැකියි.

ඊළඟට චරිත ගොඩනැංවීම. ආධුනික FBI නියෝජිතවරියක් මුල්කරගෙන නිර්මාණය කරලා තිබූ හින්දා සමහරු මේක Silence of the Lambs චිත්‍රපටිය එක්ක සසඳා තිබ්බ හැටි දැක්කා. නමුත් ඒ සැසැඳීම සාර්ථක නැති බව කියන්න ඕන. Silence of the Lambs කියන්නෙ අපරාධමය ශානරයෙ අග්‍රස්ථානයෙ තැබිය හැකි කෘතියක්. ගැහැනියකට "ගැහැනියක්" වීම නිසා FBI පමණක් නොවේ ඕනෑම ආයතනයක් ඇතුළෙ මුහුණ දෙන්න සිදුවෙන අභියෝග නිරාවරණය කරන චිත්‍රපටියක්. Silence of the Lambs චිත්‍රපටිය නිසාම පමණක් FBI ආයතනයට අයදුම් කරන කාන්තා නියෝජිතවරියන් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබුණු බවයි වාර්තා වෙන්නෙ. ත්‍රාසය සහ භීතිය ඇරුණාම Longlegs ඒ තරම් බරපතළ සමාජ කතිකාවකට යන්නෙ නැහැ. ඒ නිසා මේක Silence of the Lambs වගේ නිර්මාණයක් එක්ක සැසඳීම ගැළපෙන්නෙ නැහැ.

Longlegs ෆිල්ම් එක බලන කාටත් වැඩියෙන් මතක හිටින්නෙ චිත්‍රපටියෙ ප්‍රධාන දුෂ්ට චරිතය වුණු Longlegs ම තමයි. මේ චරිතය කරන්නෙ සුප්‍රකට හොලිවුඩ් නළු නිකලස් කේජ්. නම දුටුවොත් මිස මේ ඉන්නෙ කේජ් ද කියලා හොයාගන්න බැරි තරම් ඔහුගේ බාහිර ස්වරූපය අදාළ චරිතයට ගැළපෙන විදිහට වෙනසකට ලක්කරලා තිබුණා. ඔහුගෙ අමුතුම දුෂ්ට පෙනුම දුටුවාම මගෙ මතකයට නැගුණේ වෙනත් කෙනෙකුව. ඒ තමා ඇමරිකානු රොක් ගායක Marilyn Manson ව (ඔහු මේ නම හදාගන්නෙ මැරිලින් මොන්‍රෝ සහ කුප්‍රකට ඝාතකයෙකු වුණු චාල්ස් මැන්සන් ගේ නම් දෙක එකතු කරලා. චාල්ස් මැන්සන් ගැන මේ චිත්‍රපටියෙත් සඳහන් වෙනවා). Marilyn Manson ගේ පෙනුමට යම් තරමක සමාන පෙනුමක් මේ Longlegs ට ලබා දීම චිත්‍රපටියෙ නිර්මාණකරුවන් හිතාමතාම කළ දෙයක් වෙන්න ඇති කියල මට හිතෙනව. ඒකට හේතුව Marilyn Manson ගේ තියන ආගම් විරෝධී ස්වභාවය කියලයි මම අනුමාන කරන්නෙ. Marilyn Manson ගේ ගීත වලිනුත් බොහො වෙලාවට ආගම විවේචනය කරන දේවල් කියවෙනවා. Marilyn Manson සාතන් අදහන්නෙක් බවත් සමහරු කියනව. නමුත් ඒ බව සනාථ කරන්න තරම් සාධක නැහැ. ඇමරිකාව ඇතුළත ඕනෑම ආගමක් අදහන්න ඕනෑම කෙනෙකුට නිදහස තිබෙන නිසා සාතන් වුණත් අදහන්න බාධාවක් නැහැ. Anton LaVey නම් පුද්ගලයා විසින් ආරම්භ කළ සාතන්ගේ සභාවක් සහ සාතන්ට වැඳුම් පිදුම් කරන පුදබිම් ඇමරිකාවේ පිහිටා තිබෙන බව කියන්න ඕන. සාමාන්‍යයෙන් LaVey ගේ සාතනික සභාව වටා එකතු වෙන්නෙ සාම්ප්‍රදායික ආගම් වලට එරෙහි අදහස් දරන්නන් බවයි පිළිගැනෙන්නේ. මේ කරුණු කාරණා චිත්‍රපටිය එක්ක සම්බන්ධ වෙන්නෙ කොයි විදිහට ද කොතැනින් ද කියන දේ හරියටම වටහාගන්න නම් චිත්‍රපටිය නරඹන්න ඔබට සිද්දවෙනව.

චිත්‍රපටියෙ ආධුනික FBI නියෝජිතවරිය වුණු Lee Harker ගේ චරිතය රඟදක්වන්නෙ thriller ගණයේ චිත්‍රපටවල රඟපෑමෙන් යම් ආකාරයක නමක් දිනාගත් Maika Monroe. මුල සිට අග දක්වාම Lee Harker ගෙ මුහුණේ එකසේම දකින්නට ලැබෙන්නේ යම් ආකාරයකින් කම්පනයට පත් ස්වරූපයක්. ඝාතකයින් සහ මිනීමැරුම් සමග ගතකරන්න සිදුවන වෘත්තිය ජීවිතය ඇයට ඒ පෙනුම ලබාදුන්නද? නැත්නම් ඇය කම්පනයට පත් වෙලා ඉන්නෙ ඇයට සොයාබලන්න නියමිත Longlegs නම් අපරාධකරුවා සිදු කළ බව කියන ඝාතන වල බිහිසුණු කම නිසා ද? නැත් නම් ඇයව පීඩාවට පත් කළ වෙනත් යමක් තිබුණා ද?

කතාව දිහාට හැරුණොත් චිත්‍රපටියෙ කතාව 1990 දශකය මුල් කරගෙන නිර්මාණය වුණු එකක්. මට චිත්‍රපටිය දැනුණේ ඒ යුගයෙ අපිව භීතියට පත් කළ X Files නාට්‍යයෙම පැය එකහමාරක් පමණ දිග episode එකක් විදිහට. චිත්‍රපටිය සෑහෙන මන්දගාමීව ගලා යන Slow burn කතාවක්. ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ වසර ගණනාවකට වරක් අමුතු ආකාරයෙ ඝාතන මාලාවක් සිදුවෙනවා. බොහොම සාමකාමීව ජීවත්වන පවුලක පියා හිටිගමන් බිරිඳ සහ දරුවා මරා දමලා තමනුත් දිවිනසා ගන්නව. අපරාධයට යොදාගන්න ආයුධය පමණක් සැරින් සැරේ වෙනස් වෙනව. ඒ හැම වතාවකදිම Longlegs නම් පුද්ගලයෙක් විසින් සංකේත භාෂාවකින් ලියුව ලිපියක් අපරාධ ස්ථානයෙන් සොයාගැනෙනව. නමුත් කොයි විදිහකින්වත් පවුලේ අය හැර පිටස්තර කෙනෙක් එතැන සිටි බවට සළකුණක්වත් සොයා ගන්න ලැබෙන්නෙ නෑ. අපරාධ ස්ථානයේ නොසිට කෙනෙක් අපරාධයක් කරන්නෙ කොහොමද? සහ Longlegs ගේ සංකේත ලිපිවල කියවෙන්නෙ මොකක් ද? Longlegs සොයා යෑම පැවරෙන්නෙ ආධුනික FBI නිලධාරීනී Lee Harker ට. මේ වසර ගණනාවක් පැරණි නොවිසඳුණු අපරාධ සොයා යන්න ඇයට බාර වෙන්නෙ ඇයි? චිත්‍රපටියෙ ඈව නිරූපණය කරලා තියෙන්නෙ කරුණු කාරණා වහා වැටහෙන යම් අධිමානසික හැකියාවක් ඇති කෙනෙකු විදිහට. Lee Harker ගේ ප්‍රධානී විලියම් කාටර් ඇයව මේ පරීක්ෂණයට සම්බන්ධ කරන්නෙ ඇය සතු මේ මානසික හැකියාවන් ගැන දැනගෙන. නමුත් ඇයට අධි මානසික ශක්තියක් ලැබුණේ කොහෙන්ද සහ ඇයගෙ චරිතය මේ ආකාරයෙන් නිර්මාණය කරල තියෙන්නෙ ඇයි කියන දෙයට චිත්‍රපටිය ඇතුළේ පිළිතුරක් නැහැ. තමන්ට දැකගන්න ලැබෙන දේවල් අනුව නරඹන්නාට තමාගේ ම පරිකල්පනය මෙහෙයවා සිතා බලන්නට නිර්මාණකරුවන් ඉඩ තබා තිබෙනවා. Lee Harker ගෙ චරිතය පමණක් නොවෙයි Longlegs චිත්‍රපටියෙ බොහොමයක් දේවල් නිර්මාණය කර තිබෙන්නෙ ඒ ආකාරයට.

ඊළඟට කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තවත් ගැටළුවක් තමා මේ අපරාධකරුට Longlegs කියන නම් දීල තියෙන්නෙ ඇයි කියන කාරණාව. මේ නම ඇහුණ සැණින් සාහිත්‍ය කලා රසිකයෙකුට නම් මුලින්ම මතකයට නැගෙන්න ඕන සුප්‍රකට Daddy Longlegs නම් නවකතාව. එතකොට Longlegs නම් අපරාධකරුගෙන් සංකේතවත් වෙන්නෙ පීතෘ භූමිකාව ද? අනික් පස හැරවූ ත්‍රිකෝණයක සලකුණ චිත්‍රපටියෙ වරින් වර දැකගන්න ලැබෙනවා. චිත්‍රපටියෙ අපරාධ හැම එකක්ම සිදුවෙන්නෙ පවුල මුල් කරගෙන නිසා අනික් පස හැරවූ ත්‍රිකෝණයෙන් සංකේතවත් වෙන්නෙ සැමියා, බිරිඳ සහ දරුවන්ගෙන් සැදුම්ලත් පවුල කියන ඒකකයෙ මානව සම්බන්ධතා අභියෝගයට ලක්වීම ද කියන ගැටළුව මතුවෙනවා. Longlegs පිටපත ලියලා අධ්‍යක්ෂණය කරන්නෙ Oz Perkins. ඔහු හිච්කොක් ගේ සුප්‍රකට Psycho චිත්‍රපටියෙ ඝාතකයාගෙ රඟපෑ Anthony Perkins ගේ පුත්‍රයා. Anthony Perkins ඒඩ්ස් රෝගයෙන් මියයනව. Oz ගේ මව Berry Berenson සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතය අහිමි කරගන්නව. චිත්‍රපටියෙ පිටපත රචනා වෙන්න දෙමාපියන් සම්බන්ධ ඔහුගෙ මේ පෞද්ගලික අත්දැකීම බලපෑමක් කරන්න ඇති බව නොසලකා හරින්න බැහැ.

කොහොම වුණත් Longlegs ආදායම් අතින් සෑහෙන සාර්ථකත්වයක් ලබන්න හැකිවෙලා තිබෙනවා. මුල මැද අග විස්තර සහිත පැහැදිලි කතාවක් නොකියා සංකේත බොහොමයක් භාවිත කරලා අවමවාදී ස්වභාවයකින් සහ කුතුහලය, බය දනවන පරිසරයක් ගොඩනගමින් නිර්මාණය වුණු සාර්ථක horror චිත්‍රපටියක් විදිහට Longlegs මට හඳුන්වාදෙන්න හැකියාව තියනව. Horror ෆිල්ම්වලට කැමති අය මේක මිස් කරගන්න එපා. ෆිල්ම් එකක් බලලා මොකක්ද ඒ බැලුවෙ කියල පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න තරම් නිදහසක් තියනව නම් තවත් හොඳයි කියල අමතර වශයෙන් කිව හැකියි.




1 comment:

  1. හොරර් ගනයේ චිත්‍රපටවලට වැඩි කැමැත්තක් නැති උනත් මේකෙ තිබෙන බව පෙනෙන රහස් පරීක්ෂක චරිතය නිසා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete