Thursday, August 22, 2024

Blue Velvet (1986)

ඔස්කාර් වයිල්ඩ් ගේ The Happy Prince නම් සුප්‍රකට කෙටිකතාවක් තියනව. මේ කතාව යුරෝපයේ එක්තරා නගරයක කන්දක් උඩ තියන කුමාරයෙකුගේ රත්තරන් පිළිරුවක් වටායි ලියවිලා තියෙන්නෙ. කතාවෙ හැටියට දවසක් එක් වැහිළිහිණියෙක් බොහොම කලබලෙන් මේ නගරය හරහා පියාඹාගෙන යනවා. වැහිළිහිණි කියන්නේ සංචාරය කරන කුරුල්ලන් විශේෂයක්. උන් ඉන්නා යුරෝපීය රටවලට සීත කාලය එද්දී මේ කුරුල්ලන් සමකාසන්න උණුහුම් රටවල් බලා සංචාරය කරනවා. මේ කියන කාලය වෙද්දී සීත ඍතුව ළග ළගම එමින් තිබුණු නිසා වැහිළිහිණි ඔක්කොම යුරෝපය අතහැර ගිහින් ඉවරයි. නමුත් අපේ මේ වැහිළිහිණියට යම් හේතුවක් නිසා නියමිත වෙලාවට තමන්ගේ මිතුරන් එක්ක පියාසැරියට එකතුවෙන්න බැරි වෙනවා. (ඒ කතාව කියන්න ගියොත් කෙටි කතාව ඔක්කොම කියන්න වෙන හින්දා ඒ ටික නොකියා ඉන්නම්) ප්‍රමාද වුණු මේ අපේ මිත්‍රයා සීත කාලය එන්න කලින් මේ බිමෙන් පිටවෙලා යන්නයි ඉක්මණින්ම පියාඹා ගියේ. නමුත් දිග දුරක් පියාසරලා ඌ හිටියේ බොහොම වෙහෙසට පත්වෙලා. එතනදි පුංචි වැහිළිහිණියා දකිනවා කුමාරයා ගේ රත්තරන් පිළිරුව. කුමාරයාගේ පා සෙවණේ නැවතිලා ටිකක් වෙලා ගිමන් හරින්න කුරුල්ලා තීරණේ කරනවා. ටිකක් වෙලා ඔහොම ඉන්නා අතරෙදී කුරුල්ලාට දැනෙනවා උගේ අත්තටු වලට යමක් වැටුණු බව. වැහි බින්දු! නමුත් අහසේ එක වළාකුළක්වත් නෑ. එහෙනම් මේ වැහි බින්දු වැටෙන්නේ කොහොමද? වැහිළිහිණියා ඉහළ බලනවා. ඒ වැහි බින්දු නෙවෙයි කුමාරයෙගෙ ඇස්දෙකෙන් කඩාහැලෙන කදුළු බව වැහිළිහිණියා දකිනවා.

ඔයා කවුද? වැහිළිහිණියා අහනවා. "මම තමා ප්‍රීතිමත් කුමාරයා." පිළිරුව උත්තර දෙනවා. "මං ඉන්නෙ හිනා වෙලා. ඒ නිසා නගරෙ මිනිස්සු ඒ නම මට දුන්නා. ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා මම කියලයි ඒගොල්ලො කියන්නෙ." "ඔයා ප්‍රීතිමත් කුමාරයෙක් නම් ඇයි මේ අඩන්නේ?" වැහිළිහිණියා ඇහුවා. කුමාරයා එයාගෙ කතාව වැහිළිහිණියාට කියන්න පටන් ගත්තා. කුමාරයා ජීවත් වුණේ හැදුණෙ වැඩුණේ ලොකු මාළිගාවක් ඇතුළේ. කිසි දේකින් අඩුවක් නොතිබුණු ඉතාම සැපවත් ජීවිතයක් කුමාරයා ගතකළේ. එයාට අවශ්‍ය හැමදේම අතට පයට ලැබුණා. එයා වගේම යාළුවෝ මේ මාළිගාව ඇතුළේ තවත් හිටියා. ඒ අය සෙල්ලම් කරමින් විනෝදෙන් කාලෙ ගෙව්වා. මාලිගාව ලොකු තාප්පයකින් වටවෙලායි තිබුණේ. ඉන් එහා ලෝකයක් කුමාරයා කවදාවත් දැකල තිබුණෙ නෑ. ඉන් එහා යමක් ගැන හිතන්න එයාට උවමනා වුණෙත් නෑ. මොකද අවශ්‍ය හැම දෙයක්ම මේ කොටු පවුර ඇතුළේ තිබුණ නිසා. නමුත් නොහිතූ විදිහට බොහොම අඩු වයසෙන් එයා ජීවිතෙන් සමුගත්තා. නගරෙ වැසියෝ කුමාරයාව රත්තරනින් සරසලා පිළිරුවක් බවට පත් කරලා නගරේ උසම තැන කදු ගැටයක් උඩින් ගෙනත් තිබ්බා. දැන් කුමාරයා තාප්පෙන එහා ලෝකය දකිනවා. නගරේ මෙතෙන් නොදුටු අඳුරු අහුමුලු දැන් එයාට පේනවා. ජීවිතේ ගෙනියන්න සමහර මිනිස්සුන්ට කොයිතරම් දුකක් විඳින්න වෙලා තියනවද කියලා දැන් මේ ප්‍රීතිමත් කුමාරයා දකිනවා. මිනිස්සු අතරේ නපුර කොයිතරම් පැතිරිලා තියනවද කියලා එයාට පේනවා. ඒවා දකිද්දී කුමාරයාගේ අහිංසක හදවත බිඳෙනවා. ඇස්වලින් කඳුළු වැටෙන්න පටන් ගන්නවා.

ඔස්කාර් වයිල්ඩ්ගේ කතාව තවත් ඉදිරියට ගලා යනවා. නමුත් මේ කොටස කියවද්දී ඔබට හොඳහැටි අහල පුරුදු තවත් කෙනෙකුව මතකයට නැගෙන්න ඕන. ඒ තමයි සිද්ධාර්ථ ගෞතම. සිද්ධාර්ථ කියන්නෙත් ඔස්කාර් වයිල්ඩ් ගේ ප්‍රීතිමත් කුමාරයා වගේ සියල් සපිරි සැපවත් ජීවිතයක් ගත කළ කෙනෙක්. අපි අහල තියන විදිහට ජීවිතේ මේ සැපවත් සීමාවෙන් එහාට අඩිය තියන තැනයි සිද්ධාර්ථගේ ලෝකය සසල වෙලා යන දර්ශන කිහිපය දකින්නෙ. (රෝගියෙක්, මහල්ලෙක්, මෘතශරීරයක්, පැවිද්දෙක්)
ප්‍රීතිමත් කුමාරයා සහ සිද්ධාර්ථ කියන දෙන්නාම පිටස්තර ලෝකය දිහා බලන්න පුරුදු වෙලා හිටියෙ යම් අහිංසක, අවංක දැක්මකින් කියල මං හිතනව. ඒකයි මේ වගේ දර්ශනයක් දෙකක් දුටු පමණින් එයාලාගෙ ඇතුළාන්ත ලෝකය ඒ තරම් කම්පාවට ලක්වුණේ. දැන් මම ඔබට හඳුන්වා දෙන්නම් තුන්වැන්නෙක්ව. ඔහුගෙ නම ජෙෆ්‍රි. ඔහුව අපිට මුණගැහෙන්නෙ ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet චිත්‍රපටිය ඇතුළේ.

ජෙෆ්‍රි කියන්නෙ පාසල් අද්‍යාපනය අවසන් කරන සීමාවෙ ඉන්න සුකුමාර යෞවනයෙක්. ජෙෆ්‍රිගෙ තාත්තා යකඩ බඩු විකුණන කඩයක අයිති කරුවෙක්. මේ අය ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ උතුරු කැරොලිනාවෙ ලුම්බර්ටන් කියන නගරෙ. මේ නගරෙ බැලුබැල්මට බොහොම සාමාකාමී තැනක්. හැම පුරවෑසියෙක්ම සතුටින් ජීවත් වෙනව. දවසක් ජෙෆ්‍රිගෙ තාත්ත්ට නොහිතු විදිහට හෘදය ආබාධයක් හැදිලා රෝහල්ගත කරන්න සිද්ද වෙනව. රෝහල්ගත කරලා ඉන්න තාත්තව බලල එන ජෙෆ්‍රිට වෙන්නෙ අමුතුම දෙයකට මුහුණ දෙන්න. අහම්බෙන් වගේ ජෙෆ්‍රෙට තමන්ගෙ නිවස ලඟ තිබිලා හමුවෙන්නෙ කපා දැමුව මිනිස් කනක්. ජෙෆ්‍රි කරන්නෙ මේ කන වහාම නගරෙ පොලිස් ස්ථානයට බාරදෙන එක. සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්න බාරගන්න පොලිස් පරීක්ෂක ජෝන් විලියම්ස් මේ කපා දැමූ කන වැඩිදුර පරීක්ෂණ වලට යොමු කරනව. එතනදි ඔවුන් සොයාගන්නව මේ කන කෙනෙක් ජීවත්ව සිටියදිම කපා දැමූවක් බව. ඒ කියන්නෙ කනක් අහිමි කෙනෙක් බොහොම වෙලාවට මේ නගරෙම කොහේ හෝ ජීවත්ව සිටිය යුතුයි. තරුණ ජෙෆ්‍රිගේ හිතට මේක මහා ගැටලුවක්. කොහොමත් තරුණ වයස කියන්නෙ ඔය වගේ කුතුහල මොන ක්‍රමයකින් හරි සංසිඳුවා ගන්න පෙළඹෙන වයසක් නේ. මෙතනදි තවත් හතර වැන්නෙක් ඔබට හදුන්වා දෙන්න සිද්ද වෙනවා.

ඇයගේ නම සැන්ඩි. සැන්ඩි කියන්නෙ ජෙෆ්‍රිගේ හොදම මිතුරියක්. ඇයත් ඔහු වගේම ජීවතය ගැන යහපත් බලාපොරොත්තු පුරවාගත් සහ ජීවිතය දිහා සුබවාදී ඇහැකින් බලන්න පුරුදුවී සිටි යෞවනියක්. වැදගත්ම කාරණේ සැන්ඩි කියන්නේ කපා දැමුව කන සම්බන්ධව පරික්ෂණය මෙහෙයවන පොලිස් නිලධාරි ජෝන් විලියම්ස් ගේ දියණිය වීම. තාත්තාගේ සමහර දුරකථන සංවාදවලට ඇහුම්කන් දීලා සැන්ඩි මේ අබිරහස ගැන කරුණු කාරණා කීපයක් සොයාගන්නව. ජෙෆ්‍රි ඇය මාර්ගයෙන් ඒ කාරණා දැනගන්න සමත් වෙනවා. දැන් ඔහුගේ අරමුණ ඇයවත් උදව් කරගෙන තමන් විසින්ම මේ අබිරහස සොයා යෑම. නමුත් ඉන් පස්සෙ වෙන්න නියමිත මොකක්ද කියලා යන්තම් හරි තේරුමක් තිබුණා නම් ජෙෆ්‍රි කවදාවත් ඔය ගැන වැඩිදුර හොයන්න යන්නෙ නැතිවෙන්න තිබුණා.

අධ්‍යක්ෂ වරයෙකු විදිහට ඩේවිඩ් ලින්ච් වඩාත් ප්‍රකට වෙන්නේ ඔහුගේ අධි යථාර්ථවාදී (surreal) සිනමා භාවිතාව නිසා. ඔහුගේ චිත්‍රපටි සම්බන්ධව බොහෝ දෙනාගෙ අදහස ඒවා ඉතාම දුරවබෝධ ඒවා බව. මොකද බොහොම වෙලාවට ඔහුගේ චිත්‍රපටි ගොඩනැගෙන්නේ අපට හුරුපුරුදු යථාර්ථ සීමාවන් තුළ සිටිමින් ඒවා ඉක්මවා යමින්. නමුත් මෙතනදි Blue Velvet වෙනස් චිත්‍රපටයක් වෙන්නේ මේ ලින්ච්මය දුරවබෝධ ස්වභාවය මේ චිත්‍රපටයේ අවම වශයෙන් දකින්න ලැබීම. ඒ කියන්නෙ නරඹන සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට වැඩි දුෂ්කරතාවකින් තොරව චිත්‍රපටයේ කතාව තේරුම්ගත හැකියි. ලින්ච් ගේ චිත්‍රපට නොබැලූ සහ ඔහුගේ රටාව නුහුරු කෙනෙකුට ලින්ච්මය සිනමා ලෝකයට එක්තරා ආකාරයක ප්‍රවේශයක් විදිහට Blue Velvet කියන්නෙ හොද තෝරගැනීමක් බව බොහෝ අය කියන ආකාරය මම දැක තියනවා. නමුත් Blue Velvet බැලූ බැල්මට සරල කතාවක් වගේ පෙනුණත් නරඹන්නෙකුට නොයෙක් ආකාරයට ප්‍රවේශ විය හැකි සංකීර්ණ යටිපෙළක් සහිත සිනමා කෘතියක් බව සදහන් කළ යුතුයි.

Blue Velvet චිත්‍රපටිය ආරම්භයෙදි අපි දකින්නේ ඇමරිකාවෙ ලුම්බර්ටන් නගරය පිළිබද ප්‍රචාරක දැන්වීමක ආකාරයේ සුන්දර රූප මාලාවක්. ඉන්පස්සෙ අපි දකිනවා ජෙෆ්‍රිගේ පියාට හෘදයාබාධයක් වැලඳී පොළවට ඇදගෙන වැටෙන දර්ශනය. මෙතනදි කැමරාව බිම ඇද වැටී ඉන්නා ජෙෆ්‍රිගේ පියාගෙන් මෑත් වී ඉතාම සියුම්ව පොළෙවේ තණබිස්සට යටින් සිටින කුඩා කෘමී සතුන් වෙත යොමු කෙරෙනවා. එතනදී තිරය මත අදාළ දර්ශන පෙළ මැවෙන්නේ යම් සිහිනමය ස්වභාවයකින්. ප්‍රචාරක දැන්වීමේ පෙන්වන අයිසින් තැවරූ යථාර්ථයට යටින් සැඟවී දිවි ගෙවනා කුඩා අඳුරු ජීවිත ගැන සංකේතාත්මක ප්‍රකාශයක් විදිහට ඒ දර්ශන කිහිපය චිත්‍රපටිය ඇතුළේ අපට අරුත් ගන්වාගන්නට පුළුවන්. ඉන් පසුව නරඹන්නාට දැකගන්න ලැබෙන සිදුවීම් පිළිබඳ යම් පූර්ව දැනුම්දීමක් විදිහටත් ඒ දර්ශන කිහිපය කියවාගන්න අපට හැකියාව තියනවා. චිත්‍රපටියේ ලෝකය පැහැදිලිවම හොද සහ නරක විදිහට සීමා ඉරකින් බෙදා වෙන්කර තිබෙන ආකාරයකුයි දැකගන්න ලැබෙන්නෙ. සමහර දර්ශන රූගත කරලා තියෙන්නෙ නරඹන්න තරමක් අපහසු මට්ටමෙන්. ලෝකයේ ඇති අඳුරු සහගත යථාර්ථයන්ට නිරාවරණය වෙන ජෙෆ්‍රි වැනි තරුණයෙකුගේ මනෝභාවයන් වඩා හොදින් නිරූපිත කරන්න මේ ආකාරයෙන් තිර පිටපත රචනාවී ඇතුවා වෙන්න බොහෝම ඉඩකඩ තියෙනවා. ලින්ච් මෙතනදී හොලිවුඩයේ noir සිනමාපටවලින් ආභාසය ලබා ඇති බවයි සිනමා විචාරකයන් කියන්නේ. හොලිවුඩ් noir චිත්‍රපටි කියන්නෙ ඇමරිකාවේ 40 /50 දශකවලදී අපරාධමය සිදුවීම් සම්බන්ධ කරගනිමින් යම් නරුමවාදී දෘෂ්ටියක් මුල්කරගෙන නිපදවුණු චිත්‍රපට ප්‍රවර්ගයකට. මෙන්න මේ ගුණාංග පසුව ලින්ච් ගේ චිත්‍රපටිවල ඔහුගේ අනන්‍යතාව බවට පත්වී ඇති බව නිරීක්ෂණය කළ හැකියි. කෙසේවෙතත් Blue Velvet දෙවන වතාවටත් ලින්ච්ට හොඳම අධ්‍යක්ෂවරයා විදිහට ඔස්කාර් නිර්දේශයක් ලබාදෙන්න සමත් වෙනවා.

චිත්‍රපටයේ සිත්ඇදගන්නා සුළුම කාරණය 80 දශකය පසුබිම් වූ වටපිටාව. 80 වර්ණවත් විලාසිතා, වාහනවල හැඩහුරුකම් කොණ්ඩ මෝස්තර 90 අග පටන් ලෝකය දකින්න පටන් ගත්ත පරම්පරාව වුණු අපේ අතීතකාමී මතකයන් අවුස්සනවා. සැන්ඩි ගේ චරිතය රඟපාන ලෝරා ඩර්න් නම් නිළියගේ තරුණ සුන්දර රූපකායත් අමතක කරන්න බෑ. මේක ලෝරාගේ මුල් අවධියේ චිත්‍රපටියක්. පසුව ස්පීල්බර්ග් ගේ Jurassic Park චිත්‍රපටයෙනුයි ඈ ලොව පුරා ප්‍රසිද්ධියට පත්වන්නේ. චිත්‍රපටියෙ ආකර්ශණීය බවේ කේන්ද්‍රය වෙන්නෙ ඩොරති නම් අතීශය සුරූපී ගායිකාව ගේ චරිතය රගදක්වන Isabella Rossellini ගේ සුන්දරත්වයයි. ඉතාම සුන්දර රූපකායක් හිමි Isabella චිත්‍රපටය ඇතුළේ අභියෝගාත්මක රගපෑමක යෙදෙනවා. ගැහැනියක් විදිහට ඇය ඒ අවස්ථාවන් කොහොම රඟපෑවාදැයි පුදුම හිතෙනා තරම්. ඈ ගැන වැඩිදුර යමක් නොකියා ඉන්නම්, මොකද එය චිත්‍රපටිය නරඹලාම අත්විඳගත යුතු යමක් හින්දා.

1984 දී Dune නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය නිර්මාණය කරලා අසාර්ථකත්වයට පත්ව සිටි ලින්ච් සිනමාව ඇතුළේ නැවත ඉදිරි පියරවක් තබන්නේ Blue Velvet හරහා. මේ පිටපත රචනා කරන්නෙත් ලින්ච්මයි. Blue Velvet නම් ගීයක් අසමින් සිටිද්දී මේ කතාව තමන්ගේ සිතට නැගුණු බව ඔහු කියා තිබෙනවා. ඒ ගීය චිත්‍රපටිය ආරම්භයෙදී වාදනය වෙනවා. යහපත් සහ පවිත්‍ර චේතනාවකින් ලෝකය දිහා බලන සුහුඹුල් යෞවනයෙකුගේ අවංක සිතුම් පැතුම් Blue Velvet ගියේ තනුව තුළත්, චිත්‍රපටයෙනුත් මැනවින් නිරූපිත වෙනබව මම හිතනවා. චිත්‍රපටියෙ කතාපුවත අතර මූලික ඝට්ටනය නිර්මාණය වෙන්නෙ අවංක පිරිසිදු චේතනාවන් සහ පිටස්තර ලෝකයේ විෂමාචාරීත්වය එකිනෙක සම්මුඛ වෙන මොහොත. ලින්ච් ඉතාම ප්‍රබලව මේ සංකීර්ණ මොහොත තම සිනමා කෘතිය හරහා ප්‍රතිනිර්මාණය කරන බව සමස්තයක් වශයෙන් කිව හැකියි.



2 comments:

  1. කියෙව්වෙමි ලිපිය
    නැඟුණෙන් කුතුහලය
    බැලුවෙමි ට්‍රේලරය
    හොඳනේ! කියා හැඟුනෙය

    දෙපැයක් ඉදිරි දිනෙකදි
    දන්දී ෆිලුම බලනෙමි
    ලිපියට තුතිත් පුද දී
    තිතක් තියමින්- මෙයින් නවතිමි.

    ReplyDelete
  2. ලින්ච් කියන්නේ හොලිවුඩ් සිනමාවෙ දැවැන්තයෙක්
    ඔහුගේ නිර්මාන හැම එකක්ම වගේ යමි ගුඨ බවක් උසුලනවා
    මම කැමතිම උනේ ඔහුගේ Mulhollnd drive සිනමාවට ඒ විතරක් නෙවේ සිනමා පටයක මා දුටු බියකරුම දසුන දුටුවෙත් ඔහුගේ සිනමාපටයක

    ReplyDelete