Sunday, August 4, 2024

අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම

ප්‍රභාත් ජයසිංහ ගේ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම" කවි පොත කියවලා මේවට කවි කියලා කියන්න පුලුවන් ද කියල කවුරු හරි කෙනෙක් අහන්න පුලුවන්. එහෙම අහන කෙනෙකුගෙන් ආපහු අහන්න තියෙන්නෙ මේව කවි නොවන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි. වාග්මය සෞන්දර්ය, කාව්‍ය අලංකරණ වගේ භාෂාමය සැරසිලි හැකිතාක් ඉවත් කරලා ලියවෙන කවි ගැන හොයාබලනකොට මං හිතන්නෙ සිංහල භාෂාවෙන් ලියවෙන කවි සම්බන්ධයෙන් තරමක් ඉතිහාසයකට අපිට ආපහු ගමන් කරන්න සිද්දවෙනවා. කොළඹ යුගයේදි කවිය අතිශ්‍ය සෞන්දර්යවාදීව රොමාන්තිකකරණයට ලක්වෙලා, සිව්පද විදිහට ආකෘතිගත වෙලා තිබුණ කාලයක ජී. බී. සේනානායක, සිරි ගුණසිංහ වගෙ අය බටහිර කවියේ ආභාසය අරගෙන, එවකට තිබුණ විරිතකට අනුව පද්‍ය ගොනු කිරීමේ සම්ප්‍රදාය බැහැර කරලා, යම් ආකාරයක නිදහස් ආරකින් කවි රචනා කරන්න පටන් ගත්තා. සඳැසින් මිදුණු ඒවා නිසඳැස් විදිහට හැඳින්වුණා. අර භාෂාවෙ රසකාරකයන්ගෙන් මිදිලා හැකිතාක් කාව්‍යමය අත්දැකීමට මූලිකත්වය දෙමින් සංරචනය වුණ සාහිත්‍ය ප්‍රවර්ගයක් විදිහට මේ කවි අපිට හඳුනාගන්න ලැබෙන්නෙ. ඉන්පස්සෙ ආරියවංශ රණවීර වගේ කවියෙක් මේ ආකාරයෙ කවි ඉතාම ජනප්‍රිය තලයකට අරගෙන ආව. මේ ක්ෂුද්‍ර ගුණයෙන් (කාව්‍ය තේමාව අනුව) යුක්ත රණවීරමය කවිය සිංහල කවිය ඇතුලේ අතුපතර ලා වැඩුණා.

නමුත් මේ කවිය කෙනෙකුට පහසුවෙන් අනුකරණය කරන්න පුලුවන් ආකෘතියක් නෙවෙයි. බැලුබැල්මට ඉතාම සරල වචන පෙළක් පහලට ලියා ඇති බවක් පෙනුනට කවිය බවට පත්වෙන්නෙ කාව්‍ය නිමිත්ත, අනුභූතිය වෙන්නෙ ඉතා සියුම් ජීවිත අත්දැකීමක්. හොඳ රසවින්දන ශක්තියක් සහ කාව්‍යමය පුහුණුවක් නොලැබූ කෙනෙකුට මෙන්න මේ දෙය ග්‍රහනය කරගන්න හැකියාවක් නෑ. කවිය කියන්නෙ කවියාගෙ ප්‍රකාශයක් නෙමෙයි. කවිය කියන්නෙ කවියාගෙ චිත්‍ත සන්තානයෙ පහළවන සිතිවිල්ලමයි. කවිය යනු එක්තරා ආකාරයක සිතීමේ ක්‍රමයක්. කවිය සහ කවියා මෙතනදි දෙකක් නොවෙයි එකක්. මේ ආකෘතිය වෙනත් කෙනෙකුට අනුකරණ කරන්න බැරි ඒ නිසා. ඔහු එය තම ජීවිතයෙන්ම උපයාගත යුතුයි, තම සිතීම හරහාම කවිය උපදවා ගත යුතුයි. එහෙම සිතීමේ ක්‍රමයක් වැඩි දියුණු කර නොගත් කෙනෙකුට ඒ කවි මාර්ගයෙ පවතින්න බෑ. ප්‍රභාත් ජයසිංහගෙ මේ කවි පොතේ අපිට මුණ ගැහෙන්නේ ජීවිතේ මැදිවයස ඉක්මවා යමින් සිටින සහ ගෙවී ගිය අතීත ජීවිතයක් සහ සැඳැ සමයක් අබිමුවේ ජීවිතේ දිහා "කාව්‍යමය කල්පනාවකින්" බලන කල්පනාකාරී මිනිසෙක්.

උදාහරණ විදිහට පොතේ තියන 14 වෙනි කවිය අරගමු. කවියෙ ඉන්නෙ ස්විමිං පූල් එකක නාන්න ගිය තරුණ පුතෙක් සහ තාත්තා කෙනෙක්. තාත්තාට පීනන්න දන්නෙ නෑ, වතුරට බැහැල ඔහේ දියබුං ගගහ ඉන්නව. පුතාට හොඳට පීනන්න පුළුවන්. පුතාට ඒ හැකියාව ලැබිල තියෙන්නෙ තාත්තා පොඩි කාලෙම පුතාව ප්‍රයිවට් පූල් එකකට යවලා පීනන්න හුරු කළ නිසා. පීනන්න බැරිව ස්විමිං පූල් එකට වෙලා තාවර වෙවී ඉන්න තාත්තව දැකල වෙන්න ඕන පුතා ඇවිත් තාත්තට කියනව "තාත්තෙ මං පීනන්න උගන්නම්" කියලා. ඒක අහලා තාත්තා ගෙ සතුට උපරිම තැනට එනවා. කාව්‍ය නිමිත්ත වෙන්නෙ මේ අත්දැකීම. එක්කො මේ තාත්තට තමන්ට තරුණ වයසේ නොලැබුණ නිදහස් විනෝදකාමී ජීවිතයක් ගැන සාංකාවක් තියනව. ඔහු පුතාව හදන්නෙ ඒ අඩුපාඩුව පුතාට නොදැනෙන්න. "පිහිනීම" කියන කාරණෙන් සංකේතවත් වෙන්නෙ තාත්තට ලබා ගන්න බැරිවුණු ඒ ජීවිතය. නැත්නම් ඔහුට තියෙන්නෙ ඇරියස් එකක්. තමන්ට කරගන්න බැරි වුණු දේ පුතා ලවා කරවා ගැනීමේ උවමනාවක්. නැත්නම් මේ තාත්තා ඉන්නෙ මේ දෙකම අතර මැද වෙනත් අවස්ථාවක වෙන්නත් පුලුවන්. කියවන්නාට තමන්ගෙ දෘෂ්ටි කෝණයෙන් කවියට පිවිසෙන්න ඉඩක් කවිය ඇතුලෙ හැදිලා තියනව. මේ ආකාරයට නොයෙක් නොයෙක් දිශාවන්ට වරනගන්නට හැකිවීම (සංදිග්දතාව) හොඳ කවියක ලක්ෂණයක්.

ඊළඟට පොතේ 31 කවිය. මං වඩාත් ඊරිසියාසහගතම කවිය. මේ වගේ එකක් ඇයි මට නොහිතුණෙ කියල හිතුණු කවිය. කවියෙ ඉන්නෙ දිය ඇලි බලන්න යන මනුස්යෙක්. හැතැප්ම සිය ගණන් ගෙවාගෙන දියළුම, දුන්හිඳ වගේ දිය ඇලි බලන්න වාහනේ නැගලා ඔහු යනවා. එතකොට ඔහුත් එක්කම එන යාලුවෙක් අහනව "ඔච්චර දුර යන්නෙ මොනව බලන්නද" වගේ කතාවක්. ඒ ප්‍රශ්නෙට ඔහුට තියන උත්තරේ කාව්‍යාත්මක එකක්. ඔහු තමාවත් දියඇල්ලත් එක ළඟ තියලා සංසංදනය කරමින් හිතනවා. ඒ සිතීම තමා කවිය වෙන්නෙ. මේ පහළින් තියෙන්නෙ ඒ කවිය. ඔහු දිය ඇල්ල අමතන්නෙ "ඇය" කියලා. සොබාදහමත් එක්ක ඔහුගේ බැඳීම නිසාද එහෙම ඔහුට හිතෙන්නෙ? නැත්නම් ඔහු තමන් දන්නා හඳුනන වෙනත් ගැහැනියක් ද දිය ඇල්ලට අනුරූප කරන්නෙ?? ඒකට උත්තරේ දන්නෙ ඔහු පමණක් වුණත් මේ කවිය පැහැදිලිවම අපිට අපේ කරගන්න පුලුවන්. අපේම ජීවිත ඇත්දැකීම එක්ක ඒකාත්මික කරගන්න පුලුවන්. ඒ තමා හැබෑම කවිය.
.
.
.
දියළුම දුන්හිඳ රාවණා
කොලපතන
ලවර්'ස් ලීප්

සැතපුම් සිය ගණන් මග ගෙවා
පාමුලට ගොස්
බලා ඉමි

'මෙච්චර දුර ගෙවාගෙන ඇවිත්
මොනවද උඹ හොයන්නෙ'
අසයි මිතුරෙක්
මා සමග පැමිණි

'දිය ඇල්ලට දිය ඇල්ලක්
සම්මුඛ වීම'
මම කියමි

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
එක්තරා තැනකදි
ඉහිල්ව
නිදහසේ
කඩා හැලී
කුඩා බිඳිතිව බිඳී
පාමුලදි එකතුවී
යළි ගලා යන්නෙය ඇය

ගලාගෙන ඇවිත් වෙහෙසව
ගලන එක මොහොතකට නවතා
ඇය'භියස
නිදහසේ
කඩා හැලී ඈ එක්කම
කුඩා බිඳිතිව බිඳී
පාමුල දි එකතු වී
යළි කාරයෙ නැගී
ගලා එන්නෙම ගෙදර මම


~ "අන්තිමට, නිහඬබවම කතාකරන්න ගත්තම"
~ප්‍රභාත් ජයසිංහ



1 comment: