Friday, May 4, 2018

ශ්‍රී ලාංකේය සංගීතයේ මා වඩාත්ම ආදරය කරන සංගීතඥයන් 5 දෙනා....



සුනිල් සාන්ත

1946 රේඩියො සිලෝන් ආයතනය පිහිටුවීමෙන් අනතුරුව එහි පටිගත කල පළමු
ගීතය සුනිල් සාන්තයන් ගේ 'ඕලු පිපීලා' ගීයයි. එහි පබැඳුම ද සංගීතය ද ඔහුගේම විය. එවකට
ඉන්දියානු අනුකාරකත්වයට යටව තිබූ සිංහල ගීය ඉන් මුදා ගෙන බටහිර සංගීතයේ කෝඩ්ස්
ආශ්‍රය කරගෙන ශ්‍රීලාංකේය අනන්‍යතාවකින් යුත් සරල ගීයක් නිර්මාණය කිරීමට පුරෝගාමී  විය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'රේඛාව' 'සංදේශය' යන චිත්‍රපට සදහා ගී තනු නිර්මාණය කලේ ය. 
1952 භාරතීය මහාචාර්ය වරයෙකු වූ රත්නජන්කර් ඉදිරියේ සම්මුඛ පරීක්ශනයකට පෙනී සිටීම
ප්‍රතික්ෂේප කිරීම නිසා ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. ඉන් පසු ජීවිකාව සදහා වඩු වැඩ,
මේසන් වැඩ, සිල්ලර වෙලද සැලක් පවත්වාගෙන යාම ආදී රැකියා වල නිරත විය. රැකියාව අහිමි වුව ද
තම ප්‍රතිපත්ති පාවා නොදීමට තරම් 'පිටකොන්දක්' තිබූ සැබෑ මිනිසෙකු ලෙස සුනිල් සාන්ත
නාමය ඉතිහාස ගතව ඇත.



------------------------------------------------------------------------------------------------------------

නෙවිල් ප්‍රනාන්දු

ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයේ පුරෝගාමී කණ්ඩායමක් වන 'ලොස් කැබලෙරොස්' හි
ආරම්භකයා මෙන් ම අති දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්විය. එවකට තිබු
සංගීත කණ්ඩායම් ගීත ගායනා කලේ ඉන්ග්‍රීසි සහ ස්පාඥ භාෂා වලිනි. සිංහල ගීත ගායනය
අරඹමින් ලොස් කැබලෙරොස් කණ්ඩායම සී.ටී.ප්‍රනාන්දු ගේ ගීත ගායනා කලහ. සී.ටී.ප්‍රනාන්දු
මෙයට විරෝධය දක්වා සිටි හෙයින් තමන්ගේම ගීත නිර්මාණය කර ගැනීමට ඔවුහු යොමුවූහ.
මෙලෙස සී.ටී.ගේ 'පුන් සද හිනැහෙන්නේ' ගීයේ ආකෘතියටම අනුව නෙවිල් ප්‍රනාන්දු විසින්
'මල් බර හිමිදිරියේ' ගීතය නිර්මාණය කර රුක්මණී දේවි සමග ගායනා කලේ ය. එය ඉතා
ඉක්මණින් ජනප්‍රියත්වයට පත්විය. ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීත ඉතිහාසයේ මුල්ම සිංහල ගීය
ලෙස එය සැලකෙයි. ඉන් පසු නෙවිල් ප්‍රනාන්දු තම කණ්ඩායම සදහා ගීත රාශියක් නිර්මාණය
කලේ ය. 'මැණිකේ ඔබේ සිනාවේ'  'සදක් නැගී සදක් දිලේ'  'ගලන ගගක දොළපාරක' ඉන්
කීපයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 'දෙලොවක් අතර' චිත්‍රපටයට මහගමසේකර පද
රචනා කල අමරදේවයන් සංගීතවත් කල 'ගයන ගැයුම්' ගීය ගයමින් ලොස් කැබලෙරොස්
කණ්ඩායම චිත්‍රපට ගීත ගායනයට  එක්විය. නෙවිල් ප්‍රනාන්දු ගේ ගායනය කෙරෙහි
අමරදේවයන් කොතරම් පැහැදුනාදයත් 'රන්සලු' චිත්‍රපටයට 'බදුන් පිරී උතුරන මී'
යන ගීය ගායනා කිරීමට ඔහුව තෝරාගත්තේ ය. 'කලු දිය දහර' චිත්‍රපටයට නෙවිල් ප්‍රනාන්දු
ගායනා කල 'මාස්ටර් සර්' ගීතය සිංහල ගීයේ සංධිස්ථානයක් ලකුණු කල ගීයකි. කෙසේ වුවද
නෙවිල් ප්‍රනාන්දු අකාලයේ ජීවිතයෙන් සමුගැනීම සිංහල සංගීතයට සිදුවූ බලවත් පාඩුවකි.




------------------------------------------------------------------------------------------------------------

ප්‍රේමසිරි කේමදාස

ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයෙකි. සිංහල ජන සංගීතය ද,
ඉන්දියානු රාගධාරි සංගීතය ද, බටහිර සම්භාව්ය  සංගීතය ද, ඇසුරු කරගෙන අනන්‍ය
සංගීත ශෛලියක් බිහිකලේය. කුඩා කල සිටම බටනලා වාදනයට දක්ෂතාවයක් දැක්වීය.
අද්‍යාපනයෙන්  ඉහළට යාමට එතටම් කැමැත්තක් නොදැක්වූ  කේමදාස සංගීතයම තම ජීවිතය
කරගැනීමට සිහින මැවීය. සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අද්‍යක්ෂණය
කරමින් කේමදාස චිත්‍රපට සංගීත අද්‍යක්ෂණයට පිවිසියේ ය බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන
විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය.
අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අද්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපට වලට සංගීත අද්‍යක්ෂණයෙන් දායක වූවේ ය.
චිත්‍රපට සංගීත අද්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ අතර
එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ
රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්ය සංගීතයේ භාවිතය,
චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය.ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු
ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම
උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මාණය කළ
සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය.
සිනමා සංගීතයද මතු නොව වෙද හාමිනේ, අකාල සන්ධ්යා, දඩුබස්නාමානය, අසල්වැසියෝ
වැනි ටෙලි නාට්‍ය සදහාද  ජයන්ත චන්ද්‍රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ
මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්‍ය වලට ද සංගීත නිර්මාණය කලේය. ශ්‍රී ලාංකේය
සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්‍රගුන කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස
කේමදාස හැඳින්විය හැක. ගම්බද ප්‍රදේශ වලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා
පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ්‍ය පරපුරක් ඔහු සතුව සිටියේ ය
2008 ඔක්තෝබර් 24 වන දා ඔහු ජීවිත්යෙන් සමුගත්තේ මෙවැනි මහාර්ඝ නිර්මාණ
රාශියක් ඉතිරි කර තබමිනි




------------------------------------------------------------------------------------------------------------

ක්ලැරන්ස් විජේවර්ධන

නෙවිල් ප්‍රනාන්දු ගෙන් පසු  සිංහල කණ්ඩායම් ගීතය වඩාත් රසවින්දනාත්මක තලයකට
ඔසවා තැබිමේ ඊලග පුරෝගාමියා ක්ලැරන්ස් ය. අද වන විට ගිටාර් වාදනය අරඹන
ආධුනිකයෙකු බොහොවිට තම වාදනය අරඹන්නේ ක්ලැර්න්ස් ගේ ගීයකිනි. ඔහු විසින් සිංහල ගීයට
ඇතිකල බලපෑම මෙයින් ම පැහැදිලිවේ. ඔහු නැති උත්සවයක්, ප්‍රියසාදයක්, මිතුරු හමුවක්
අපට නැතිතරම් ය.1965 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායම පිහිටුවාගෙන සංගීත ක්ෂේත්‍රයට පිවිසි
ක්ලැර්න්ස් තම කණ්ඩායම වෙනුවෙන් නිර්මාණයකළ 'මංගෝ කලු නැන්දේ' ගීතය ගුවන් විදුලියේ
ප්‍රචාරය වීමෙන් අනතුරුව ඉතාම ජනප්‍රියත්වයකට පත්විය. ඉන් පසුව ඔහු 'ගෝල්වන් චයිම්ස්'
'සුපර් ගෝල්ඩන් චයිම්ස්' 'මදාරා' යන සංගීත කණ්ඩායම් පිහිටුවා අදටත් රසිකයන් අතර මුවග
රැව්දෙන ගීත රාශියක් නිර්මාණය කලේ ය. තමන් ගයන ගීත තමන්ම රචනා කරගත් ඔහු
රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය යන සියලු අංශ වලින් දක්ෂතා දැක්වූ දුර්ලභ
කලා කරුවෙකි. මිල්ටන් මල්ලවාරච්චි, ටී. එම්. ජයරත්න. සනත් නන්දසිරි, ජෝතිපාල
වැනි ඔහුගේ සමකාලීනයන් සදහා ක්ලැරන්ස් විසින් නිර්මාණය කල ගීත අදටත් ජනප්‍රිය ය. 
සිකුරුලියා, අපේක්ෂා, චතුමදුර, හලෝ ශ්‍යාමා යන චිත්‍රපට සඳහා මොහු සංගීත අද්‍යක්ෂවරයා
ලෙස කටයුතු කළ අතර සිහසුන, කොළඹ සන්නිය, ජනක සහ මංජු සහ සිව්රඟ සේනා නමැති
චිත්‍රපට සඳහා ද ඔහු ගීත ගයා ඇත. සුසීමා සහ නිදිකුම්බා මල් නමැති ටෙලිනාට්‍ය දෙකෙහි
සංගීත අද්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇත. ගිටාරය සිංහල ගීය තුල අවස්ථානෝචිත
ලෙස භාවිතයෙන් ද යුග යුග ගණන් පවතිල ඉතා මනරම් ගීතනු රැසක් රචනා කිරීමෙන්
ද සිංහල ගීයට ඔහු කළ සේවය අප්‍රමාණය.




------------------------------------------------------------------------------------------------------------

අයිවෝ ඩෙනිස්

අති දුර්ලභ 'බේස්' කටහඩක් ඇති සුවිශේෂී ගායනවේදියෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංගීතඥයන්
දෙදෙනෙකු වන සුනිල් සාන්තයන් ද ප්‍රේමසිරි කේමදාසයන් ද තම ප්‍රධාන ගායකයා ලෙස
යොදා ගත්තේ ඔහුව ය. දිනක් ගුවන් විදුලියෙන් තමගේ ගීයක් තමන්ටම සමාන වූ හඩක්
ඇති අයෙකු විසින් ගයනු සුනිල් සාන්තයන්ට අසන්නට ලබුනි. එ ගැන සොයාබැලූ සුනිලුන් ට
දැනගන්නට ලැබුනේ එ අයිවො ඩෙනිස් නම් ආධුනික ගායකයා බවය. සුනිලුන් සෙවණේ ශිල්ප
හදාරන්න ඔහුට ඉඩ ලැබුනේ එයිනි. සුනිල් සාන්තයන් ඔහු වෙනුවෙන් ගීත කීපයක් නිර්මාණය
කර දුනි. ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ගීපද පෙළකට තනුව සහ සංගීතය නිර්මාණය
කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ගීත ගයන්න පැවරුණේ ටී. එම්. ජයරත්නටය. එහෙත් ඒ ගීයට
තවත් ගැඹුරු හඬක අවැසිතාව මතුවිය. ටී. එම්. ජයරත්නයන් ඒ සඳහා කේමදාසයන්ට හඳුන්වා
දුන්නේ අයිවෝ ඩෙනිස්‌වය.

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන්හට නෑසේ......

පොළොව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ මහවරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ....

ටී. එම්. ජයරත්න සමග ඒ ගීය ගැයු අයිවෝ ඩෙනිස්‌ට තවත් චිත්‍රපට ගීයක ගැයීමට වරම්
ලැබිණි. උදුම්බරා..... හිනැහෙනවා...... ටී. එම්. ජයරත්න සුනිලා අබේසේකර සමග අයිවෝ
ඒ ගීය ගැයූ අතර "හිම කතරට" ගැයූ ගීය වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානද හිමි විය.
කේමදාසයන්ගේ "පිරිනිවන් මංගල්ලය" "මානසවිල" කැන්ටටාවේද ඔහුගේ හඬ ඇතුළත්ය. 
අයිවෝ ඩෙනිස්‌ට ගුරු පත්වීමක්‌ ලැබ රත්නපුර, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීය.
පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා වන ඔහු එවක රජයේ ප්‍රධාන සංගීත
පරීක්ෂක ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ සිත දිනාගනිමින් "හෙළ මිහිර" ගායන වෘන්දයේ
මූලිකයා බවටද පත්විය. වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහන බැද්දගේ වැන්නෝ
"හෙළ මිහිරේ" අයිවෝගේ සමකාලිනයන් වූහ.හෙළ කිතුණු ගීයට ද ඔහු විසින් තනු නිර්මණයන්
දායකවූ අතර ඔහු ගේ සුමධුර ගී තනු අදටත් දේවස්ථාන වල ගායන වේ. තම සංගීත දැනුම ශිෂ්‍ය
පරපුර අතර බෙදා දෙමින් ඔහු අදටත් අප අතර ජීවමානය.




------------------------------------------------------------------------------------------------------------

තොරතුරු - ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය - සුනිල් ආරියරත්න , අන්තර්ජාලය ඇසුරෙන්



4 comments:

  1. ස්තුතියි ඔවුන් ගැන අපිත් එක්ක බෙදා හදා ගත්තට. මමත් බොහොම ප්‍රිය කරන සංගීතවේදීන් කිහිප දෙනෙක්. විශේෂයෙන්ම ක්ලැරන්ස් සහ කේමදාසයන්. ඔවුන්ට තිබුණෙ හාත්පසින්ම වෙනස් ශෛලීන් වුණාට ඒ ගීත වල රසයෙහි අඩුවක් තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...ඒ අය නිර්මාණය කළ සංගීත රටා වල විශේෂත්වය මම දකින්නෙ බටහිර සංගීතය අපේ රටට ගැළපෙන ආකාරයෙන් යොදා ගැනීම කියල මම හිතන්නෙ....කේමදාස මාස්ටර් සම්භව්‍ය සංගීතයෙනුත් ක්ලැරන්ස් සරල ගීයෙනුත් එ් වෙනස කළා කියල මම හිතනව....

      Delete
  2. කේමදාසයන් මා ඉතා ප්‍රිය කරන කෙනෙක්. ඒ වගේම ට්‌ එම් ජයරත්න මම කැමතිම ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. ට්‌ එම් ජයරත්න මමත් කැමති ගායකයෙක් බොහෙම හිත නිවන හඩක්.....

      Delete