Wednesday, May 30, 2018

දියබිඳට උරුම තැන


සබඳ 
මහ වැස්සකට පසුව
උරුම තැන කොතැනද
දියබිඳකට?

පෙති දෙපෙති මතුවන
කළල් මඩ මුහුවුණ
පැල ගොයම් යායේ
මූල මණ්ඩලය ද?

ඉවුරු දෑලේ නොරැඳී
දහසකුත් ගමන් සගයන් සමග
රැළි සරැළි නංවා
ගලාහැලෙනා දිය දහර ද?

නිහඬව නමුත් ගැඹුරක
මුතු ඇට කිරි කවඩි සුරකින සයුරක
ගොඩබිමක් නොපෙනෙන මානේ
දුර ඈත දියඹ ද?

වනමලින් සුවඳින් සැරසි
මිහිදුම් සේලයෙන් ගත දැවටි
සියොතුන් ගුමුගුමුව නඟනා
වනපෙතක ඉහළ වියන ද?

නැතිනම්..
දේදුන්නේ සත් පාට තැවරුණ
ඊසානදිග නිරිතදිග සුළං හමුවන
නිබඳ සිහිලස ම පවතින
වළාකුළු අතර ද?






2 comments:

  1. ආවෙ කොතනින්ද
    යන්නෙ කොතනින්ද
    ජීවිතද මේ...

    අගෙයි රන්දික.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී....ජය!!!

      Delete