Tuesday, May 15, 2018

Vettah (දඩයම) -(2016)


තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා.
අපි කවදාවත් ජීවිතේ තෝරාගන්නේ නෑ. 
ජීවිතේ තමයි අපිව තෝරන්නේ.

පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය 
මම තෝරපු එකක් නෙමෙයි. 
මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා 
ඒ වෘත්තිය මාව තෝරාගත්තා.

හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම 
අමතක නොවන සිද්ධියක් තියනවා.
මගේ ජීවිතෙත් ඒ වගේ සිද්ධියක් තියනවා.
මෙල්වින් පිලිප්.. 

ඒ නම මට පලවෙනි වතාවට ඇහුනේ ඒ සිද්ධියෙදී. 
ඒ නම මගේ ජීවිතේ වෙනස් කරයි කියල මම කවදාවත් හිතුවේ නෑ.

හැමදේටම පස්සේ.. ජීවිතේ කියන්නේ දඩයමක්,
දඩයම් කරනවද , නැත්තං දඩයම් වෙනවද ,
කියන එක අපි තමයි තෝරාගන්න ඕන.
-------------------------------------------------------------------------

Vettah ආරම්භක වාක්‍ය කීපය තමා මේ. මෑත කාලෙ ඉන්දියානු සිනමාවෙ බොහොම 
හොඳ මට්ටමේ crime/ thriller වර්ගයේ සිනමාපට අපිට දැකගන්න ලැබුණා. මලයාලම් 
සිනමාපටයක් වුණ Vettah ඒ අතර අනිවාර්යයෙන්ම තියන්න පුලුවන් කියල මම හිතනව. 

එක රාත්‍රියක ප්‍රසිද්ධ නිළියක් අතුරුදහන් වෙනවා. සාක්ශි පසුපස්සෙ හඹාගෙන පොලීසිය, 
වැරදිකරු විදිහට මෙල්වින් පිලිප් කියන පුද්ගලයාව අල්ලාගන්න සමත්වෙනවා. තමන් ඇයව 
මරාදැම්ම බව මෙල්වින් පාපොච්චාරණය කරනවා. චිත්‍රපටයෙ මුල් විනාඩි 20 වගේ කාලයක් 
ඇතුලත මේ හැමදෙයක්ම වෙලා අවසන්. කතාව එතනින් ඉවරද? 

ජනප්‍රිය නිළිය මරා දැම්ම බව පිලිගත්තත් ඇගෙ මළසිරුර හැංගුවේ කොහෙද කියන්න 
මෙල්වින්ට මතකයක් නෑ. පොලීසියේ දීර්ඝ ප්‍රශ්නකිරීම් හමුවේ වුණත් මෙල්වින්ට කියන්න 
තියෙන්නෙ එකම කතාවක් විතරයි. පොලීසිය මෙල්වින්ව දකින්නෙ මානසික රෝගියෙක් 
විදිහට. මේ අතරෙ තමන්ගෙ  පුද්ගලික ජීවිතයේ සිදුවීම් කීප‍යකත් මෙල්වින් කියන 
කතාවෙත්, සමානකම් තියන බව මේ පරික්ෂණ මෙහෙවන ප්‍රධාන පොලිස් පරික්ෂකයෙක් 
වුණ සයිලෙක්ස් දකිනව. ඒ එක්කම මේ සිද්ධිය මෙහෙයවන ප්‍රධාන පොලිස් පරික්ෂිකාව 
වන ශ්‍රී බාලා, තමන්ගෙ තාත්තාව සාදාකාලික රෝගියෙක් කල හදිස්සි අනතුරත්, 
පොලිස් පරික්ෂක සයිලෙක්ස් අතරත් සම්බන්ධයක් ඇතිබව හොයාගන්නව.  සිද්ධිය 
හැරෙන්නෙ පොලිස් නිලධාරීන් ගේ ම ජීවිත දිහාට. ඇත්තටම මෙල්වින් කියන්න 
මානසික රෝගියෙක්ද ? නැත්තම් මෙල්වින් මේ හැමදෙයක්ම කරන්නෙ කලින් හදාගත්ත 
සැලසුමකට අනුව නම්, ඔහුගෙ අරමුණ මොකක්ද ? මෙල්වින් දඩයම් කරන්නෙ කාවද? 
මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනව.

අවසානය මෙන්න මෙහෙමයි කියල හොයාගන්න පුලුවන් ඉඟියක් කතාවෙ 
අතරමැද නැති නිසා අවසානයෙ twist එක සාර්ථකයි කියන්න පුලුවන්. ඒ වගේම 
කතාවෙ ප්‍රධාන චරිතය ශ්‍රී බාලා ගෙ චරිතය රඟපාන නිළිය (Manju Warrier) ගේ 
රංගනය ඉතාම ආකර්ශනීයයි කියල කියන්න ඕන. Crime / thriller රසිකයෙක් නම් 
හොයාගෙන බැලුවට පාඩු නෑ කියන්න කැමතියි.





4 comments:

  1. ඔය කියන විදියේ නවල් එකක් නම් මම කියවලා තියනවා. ඇයි රන්දික අපි දාන කමෙන්ට් වලට රිප්ලයි කරන්න තරම් කාරුණික නොවන්නේ . වැඩ වැඩි නිසාද?

    ReplyDelete
    Replies
    1. වැඩත් එක්ක එහෙම වෙනව ගණන් ගන්නෙපා ;)

      Delete
  2. දැන් දැන් හොඳ දෙමළ ෆිල්ම් හැදෙනවා. බලන්න ඕනේ මේකත්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මේක මළයාලම් එකක්...මෑතක ඉදන් හොද ෆිල්ම් හැදෙනව මලයාලම් සිනමාවෙ...premam එහෙම එකක්...මේකත් බලන්න

      Delete